iMAGE: via Maatram
මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද සිදු වේ, ඇතැම් අයට ආධාර ද හිමි වේ, ඇතැමුන් විදේශ ගත වී දේශපාලන රැකවරණය ලබා ගෙන ඇත. නමුත් ඔවුන් කරන ලද ඒ සේවයම සිදු කරන මාධ්‍ය ආයතන සේවකයින් පිළිබඳ කිසිවෙක් කතා නොකරයි.
‘මාධ්‍යවේදියා’ යන නාමයෙන් වෘත්තීය සමිති ක්‍රියාත්මක වුව ද ඒවා මඟින් මේ මාධ්‍ය ආයතන සේවකයින් පිළිබඳ කතා නොකරයි.
සන්ගරසිවම් සිවදර්ශන් නැමති එවන් නොසළකා හරින ලද මාධ්‍ය ආයතන සේවකයෙක්ගේ අම්මා වන සන්ගරසිවම් කිලි ව කිලිනොච්චියේ දී හමුවුණෙමි.
මෙතෙක් කල් සිරකරගෙන සිටි කඳුළු පිට පැන ඇය විලාප තබන්නට වූවා ය. ඇයට හඬන්නට දී මම නිහඬව සිටියෙමි.
හැමවෙලාවෙම හරි සතුටින් මේ ගෙදර තිබුණේ.. පුතා ඉන්නකොට රේඩියෝ එකත් සද්දෙන් දාගෙන ඉන්නවා.. පුතාව මුණගැහෙන්න ගොඩක් අය ඇවිත් යනවා.. දැන් කවුරුවත් එබිලවත් බලන්නෙ නෑ.. උන්නද මළාද කියලා.. ඒක තමයි මට දරාගන්න බැරි.. ළමය ඉන්නකොට ඔක්කොම එනවා ඒක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියල.. දැන් මුකුත් නෑ.. දර්ශන්ගේ අම්මා ඉන්නවද කියල කාටත් ගාණක් නෑ..
මම හිස බිමට බර කර නිහඬ වුණෙමි.
මුලදී “ඊලනාදම්” පුවත්පතේ අර්ධ කාලීන සේවකයෙක් ලෙස රැකියාව කළ සිවදර්ශන් පසුව සේවකයින් හිඟකම නිසා පූර්ණ කාලීන සේවකයෙක් ලෙස සේවයට බැඳුනේ ය. යුද්ධයේ අවසන් සමයේ පුවත්පත මුද්‍රණය කරන ස්ථානය නිතරම වෙනස් කිරීමට සිදුවිය. අවසානයේ සිවදර්ශන් සහ අනෙකුත් සේවකයින් වාහනයක මුද්‍රණ යන්ත්‍රය හා අනෙකුත් උපකරණ සවි කර පුවත් පත මුද්‍රණය කිරීමට පටන් ගත්හ. මෙයට ලංකාවේ පළමු ජංගම මුද්‍රණාලය යැයි කිව හැකිය.
පසුව සමහර සේවකයින් මිය යෑමත්, යුද්ධය නිසා සමහර සේවකයින් ප්‍රදේශ අත්හැර යාමත් නිසා පුවත්පත මුද්‍රණය කිරීම සඳහා කැප වී වැඩ කිරීමට සිවදර්ශන්ට සිදු විය. ඔහුට සහය වීමට සිටියේ රියදුරා වන ඇන්ටනී කුමාර් යන අයයි. පරිගණකයෙන් පිටු සැලසුම් කිරීමේ සිට පුවත් පත මුද්‍රණය කර විකිණීම දක්වා සියලු දේ සිදු කළේ සිවදර්ශන් විසිනි.
සිවදර්ශන්ගේ සහ ඇන්ටනී කුමාර්ගේ කැපවීමෙන් 2009 මැයි මස පළමු සතිය වනතුරු පිටු 4කින් යුතුව පුවත්පත මුද්‍රණය විය.
කොච්චර මහන්සි වෙන්න ඇතිද ඒ පත්තරේ ඇතුළෙ. අතේ ඇඟිල්ලකුත් මැෂින් එකේ ගියා. පුතාට රෑ වැඩ තමයි තිබ්බේ. පුතා සටන්කරුවෙක් නොවුණ නිසා රස්සාවෙන් අයින් කළා. පස්සේ මිනිස්සු නෑ කියල ආයෙත් රස්සාවට එන්න කිව්ව. අන්තිමට මගේ පුතා මැරෙනකම් වැඩ කළා..
මගේ පුතා යුද්ධෙන් මැරුණ කී දෙනෙක්ව ඉස්සුවද.. ඒත් මගේ පුතාව උස්සගන්න මට බැරුව ගියා.. එහෙමම පුතාව දාල එන්න වුණා.. මගේ ළමයා හැමෝවම ආරක්ෂා කරගන්න ඕනෙ කියල උස්සගෙන දිව්වා.. අන්තිමට මේ දෙවියෝ මගෙ පුතාව බේරල දුන්නෙ නෑ.. පුතා තුවාල වුණ අයට වතුර පෙව්වා..ඒත් මගේ පුතාට වතුර ටිකක් දෙන්න මට බැරුව ගියා..
මුලින්ම මාව තුවාල වුණා,අම්මා අඬන්න එපා කිය කියා
මාව උස්සගෙන ගියා පුතා. එහෙම කියපු මගේ ළමයව බල්ලෙක් වගේ මඟ දාල එන්න වුණා මට..
මට හිටියෙ මගෙ පුතා විතරයි.. එයාව පාරෙම දාල ආවා..
මේ පින්තූරේ දකිනකොට මගේ පපුව පැලෙන්න එනවා.. වැඳපු දෙවිවරු ඔක්කොම කොහෙදෝ ගිහින් ළමයව උදුරගෙන..
අම්මා නොනවත්වා වැලපෙයි.
සිවදර්ශන් තම මව සමඟ යුද්ධයේ අවසන් දිනවල ගම්බිම් අතහැර රජයේ හමුදා පාලන ප්‍රදේශ වෙත එන විට වෙඩි වැදී මිය යන ලදී. තුවාල වූ අම්මාව අනෙක් අය විසින් හමුදා පාලන ප්‍රදේශ වෙත ගෙන එන ලදී.
අම්මගේ ඇස් පෙනීම දුර්වලය. උදෑසන නිවසින් පිටත් වන අම්මා පොළේ පලතුරු විකුණා නැවත එන්නේ රාත්‍රියේ ය. දවසටම කන්නේ රාත්‍රි ආහාරයක් පමණි.වෙළඳාම කෙරුණොත් දවසකට රු.300/= ක් පමණ උපයා ගත හැක.
කවුරුත් උදව් කරන්නෙ නැද්ද අම්මා? මම ඇසීමි.
කාගෙවත් ගෙදරකට යන්නෙ නෑ, ළමයි නෑ කියල සමෘද්ධියවත් දුන්නෙ නෑ. තිබ්බොත් කනව නැත්නම් නිකං ඉන්නවා..
අම්මා කඳුල සඟවයි.
පසු සටහන-
ඇන්ටනි කුමාර් ද ගම්බිම් අතහැර එනවිට ෂෙල් ප්‍රහාරයකට ලක් වී මිය යන ලදී.
සංස්කාරක සටහන : මෙම ලිපිය 2016 වසරේ දී මාට්‍රම් වෙබ් අඩවියේ සංස්කාරක සෙල්වරාජා රාජසේකර් විසින් මාට්‍රම් වෙබ් අඩවිය වෙත “அழுகையை சேமிக்கத் தொடங்கும் அம்மா” නමින් ලියන ලද ලිපියෙහි පරිවර්තනයකි . විකල්ප වෙබ් අඩවිය වෙනුවෙන් මෙම ලිපිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ R.C.ප්‍රදීප් කුමාර් සහ සංජුලා පීටර්ස් විසිනි. ඔවුන්ට අපගේ විශේෂ ස්තුතිය පිරි නැමේ.