Colombo, Featured Articles, Features, Puravasi Katha

කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…


Pic – www.wsws.org

කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ.
හිහ්… හිහ්… හිහ්…

(ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ
වදනක්)

ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි වතුර බැස යාම සඳහා පාර දෙපස ඉදිකර ඇති කාණු වල කළු පාට, ගඳ ගහන කුණු වතුර පිරිලාය. කාණු වල කොන්ක්‍රීට් කනු කෑලි, සිමෙන්ති පතුරු, ලොකු ගල්, ඇතුළු මෙකී නොකී සියළු දේ හිර වී ඇති බැවින් වතුර ගලා යන්නේ නැත. ඒ කුණු ගොඩටම ඔන්න කියා ප්‍රදේශවාසීහුද පත්තර කොළ, ටිපි ටිප් බෑග්, ඉටි කොළ ආදී අපද්‍රව්‍ය ඒ කාණුවටම ගලා යන පරිදි පාර දෙපස දමා ඇත.

කාණුවේ මදුරුවෝ සූ සූ ගා බිත්තර දමා ඇත. තත්පරයක් දෙකක් කාණුව දෙස බලා සිටියොත්, නලියන මදුරු බිත්තර වලින් වතුර මතුපිට වැසී ඇති අයුරු දැක ගත හැකියි. කෝටුවක් ගෙන වතුර ටිකක් පෑදුවොත් මදුරුවෝ පොකුරු පොකුරු ඉගිලී යනවා පෙනෙයි.

මේ කානු ගලා යන්නේ ප්‍රදේශවාසීන්ගේ ගෙවල තාප්ප ඉදිරියෙනි. කාණුව දකින විට ඇතිවන්නේ අප්පිරියාවකි.

මාදින්නාගොඩ ප්‍රදේශයේ මේ වන විට ඩෙංගු රෝගීන් විශාල පිරිසක් වාර්තා වී ඇත.
ඒ කාණුවට ඉදිරියෙන් මාදින්නාගොඩ ජනතාව ඇතුළු තවත් අවට ප්‍රදේශවල ජනතාව විසින් ඡන්දය දී ප්‍රාදේශීය සභාවට පත් කර යැවූ මහජන නියෝජිතයෙකුගේ නිවස්නය වෙයි.

මෙවැනි අපිරිසුදු පරිසර තත්ත්වයන්ගෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන මරාන්තික තර්ජන ගැන හැඟීමක් ඇති ප්‍රදේශවාසියෙක්, දිනක් කුණු කාණුව ගැන මේ මහජන නියෝජිතයා සමග විස්සෝපයෙන් කතා කරයි.

‛‛ප්‍රාදේශීය සභාවට කියලා මෙ කාණුව ටිකක් සුද්ද කරවන්න බැරිද මහත්තයෝ ..? මේ පැත්තේ දැන් ඩෙංගු රෝගය දරුණුවට පැතිරෙනවනෙ. අනික මේ කාණුව නිසා පළාතම කැත වෙනවා. ගඳත් ගහනවනෙ’’

වැඩේ තියෙන්නෙනෙ අපිට ඕක ගැන මුකුත් කරන්න බෑනේ… ඔය කාණු ප්‍රාදේශිය සභාවට අයිති නෑනෙ.

මේවා එතකොට කොහාටද අයිති මහත්තයෝ ?

අන්දුන්කුන්දුන් වූ අසරණ පුරවැසියා ඇසුවේය.

‛‛ඕවා නාගරික සංවර්ධන අධිකාරියට අයිති. සුද්ද පවිත්‍ර කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ එයාලට. අපිටට ඕවා ගැන කිසිම අයිතියක් නෑ. අනික බය වෙන්න දෙයක් නෑ. ඔය වගේ ජරා වතුරෙ ඩෙංගු මදුරුවො හැදෙන්නෙ නෑනෙ. ඩෙංගු මදුරුවා බිත්තර දාන්නෙ පිරිසිදු වතුරෙ.’’

‛‛ඒත් මහත්තයෝ මේ ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්‍ෂාව, පිරිසිදුකම ගැන ප්‍රාදේශීය සභාවටත් වගකීමක් තියෙනවා නේද ? ’’

‛‛මෙහෙමනේ, දැං ඔන්න පාර කොහේ හරි කැඩිලා වගේ ප්‍රශ්නයක් නං අපේ ප්‍රාදේශීය සභාව බලන්න ඕනෙ. ඒත් මේ කාණු වල වැඩ අපිට අයිතිති නෑ.’’

කෙසේ වෙතත්, මේ කාණුව ගැන මේ අදාළ පුරවැසියා නාගරික සංවර්ධන සභාවටත්, බස්නාහිර පළාත් සභාවටත් දැනුම් දුන්නේය. දින තුනකට පමණ පසු නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන් පැමිණ කාණුවේ තැන තැන හිර වී තිබූ කොන්ක්‍රීට් කෑලි ආදිය ඉවත් කොට පාදා තිබුණි.

අර මහජන නියෝජිතයාට, මෙතුවක්කාලයක් නාගරික සංවර්ධන අධිකාරියට හෝ, කාණුවල පරම අයිතිය පැවරී ඇති වෙන මොනම ආයතනයකට හෝ මේ ගැන දැනුම් දීමට නොහැකි වූයේ ඇයිද? ‛අපිට අයිති නෑ’ කියන ඉතා ලේසි උත්තරය දෙනු වෙනුවට, ‛අයිති අයට මං මේ ගැන වහාම දන්වන්නම්’ වැනි පිළිතුරක් වත් අර තමන් වගකීමට බැඳී සිටින ප්‍රදේශවාසියාට දෙන්නට තරම් ඔහු මෙය බරපතල ලෙස ගත්තේ නැත.

මොහු අයිති ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා වන ප්‍රසන්න සෝලංගආරච්චි තරුණයාගේ හැඩකාර පින්තූරය යටින්, ‛‛ප්‍රසන්න නගරයක් සඳහා කැප වෙමු’’ යන ලස්සන වැකිය ලියූ පුවරු ගම පුරාම සිටුවා ඇත.

කෙසේ වෙතත්, මට සිතෙන දේ නම්, මෙවැනි සිදුවීම් වලදී වැඩිම පැහැර හැරීම සිදු වන්නේ මහජනතාව අතින් බවයි. තමන්ගේ බදු මුදලින් පඩි කන, වරප්‍රසාද විඳින, තමන් විසින්ම කතිරය ගසා අදාළ ආයතනවලට පත් කර යැවූ නියොජිතයන්, ‛‛මොන ඉටිගෙඩියක් කරන්නේදැයි’’ නොවිමසා, සදාකාලික උකටලීභාවයේ ගිලී හිඳ ඊළඟ ඡන්දෙදිත් ඒ අයටම කතිරෙ ගසා සැනසෙන මහජනතාව සිටින රටක, මෙවැනි මහජන නියෝජිතයන් මිස වෙන කවර පිරිසක් බිහිවනු ඇතිද?

ප. ලි

මදුරු අතුරු කතාවක්

අංගොඩ, දෙල්ගහවත්තේ පදිංචිව සිටි අවුරුදු 11 ක් වයසැති දරුවෙකු 2009 වසරේ දෙසැම්බර් මාසයේදී ඩෙංගු රක්තපාත රෝගයෙන් මිය ගියේය. ඒ මරණය සිදු වී දින දෙකකට පසු මෙතෙක් කිසිදා මූණවත් පෙන්නා නොතිබූ පී එච් අයි මහත්තයා ප්‍රදේශයේ කරක් ගසමින් පිරිසිදු කම ගැන ප්‍රදේශවාසීන්ට අවවාද දෙමින් ඇවිද්දේය. ඔහු පැමිණියේ මදුරු දුම විදින සේවකයෙකුත් සමඟය. ඔහු වතුවලට දුම ගැසුවේය. එදායින් එදා, පී එච් අයි මහතා වත්, මදුරු දුම් ගසන සේවකයාවත් ප්‍රදේශවාසීන් ඇහැට දැක්කේ නැත. අර දරුවාගේ අවමඟුලට පසු සියල්ල යළි තිබූ පරිදි නිදි ගත්තේය.

මේ සිද්ධියෙන් සතියකට පමණ පසු අයි ඩී එච් උණ රෝහල ඉදිරිපිට ඇති පී එච් අයි මහතාගේ කාර්යාලයට ගිය පුරවැසියෙක්, මේ මදුරු දුම් ගහන එක අඩුගානේ මාසෙකට වතාවක් වත් කරන්න බැරිදැයි ආයාචනාත්මකව විමසා සිටියේය.


‛‛දුම ගහන එක කරන්නෙ ඒ පළාතේ මරණයක් වුණොත් විතරයි. මේ දුම ගහන එක හුඟක් වියදම් යන වැඩක්. අනිත් එක දුම ගහන මැෂින් එක වැඩ කරවන්න පෙට්‍රල් ඕනෙ. අපිට පෙට්‍රල් ගන්න ප්‍රතිපාදන ලබා දීලා නෑ. පෙට්‍රල් ගහන සල්ලි අපි ප්‍රාදේශීය සභාවෙන් කලින් ක්ලේම් කරන්න ඕනෙ. ඉතිං ඔයාලා හිතන තරං ලේසියෙන් මේවා කරන්න බෑ. මදුරුවො පාලනය කරගන්න එක මහජනතාවගේ වැඩක් ’’

අර පුරවැසියා අන්දමන්දව පීඑච්අයි මහතාට සමු දී එතැනින් පිටව ආවේය. මදුරු දුමත්, දුම් ගහන මැෂිමත් බාරව සිටින්නේ පී එච් අයි මහතාය. ඒත් පෙට්‍රල් ලබා දෙන්නේ ප්‍රාදේශීය සභාවෙනි. මේ මදුරුවෝත්, උන්ගෙන් හැදෙන ලෙඩත් අයිති මහජනතාවටය.

සෞඛ්‍ය ඇමති තුමා විසින් ප්‍රකාශිත ඩෙංගු මාසය නිමිත්තෙනි

‛නක’ විසිනි