කොවිඩ්-19 ලංකාව පුරා පැතිරීමට ආරම්භ වූ මුල් අවධියේ සිට, සෞඛ්‍ය අංශ හා එක්ව ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වසංගතය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නීති රීති වලට අවනත නොවන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම සහ ආසාධිත පුද්ගලයන් ඇසුරු කළ අය සහ ඔවුන් ආ ගිය ස්ථාන හුදෙකලා කිරීම ආදී වැඩපිළිවෙලවල් හී මුලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු. එකල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වීරත්වයෙන් සළකන අදහස් බොහොම නිර්මාණාත්මකව හුවමාරු විය. ෆේස් බුක් හි පළ වූ ඇතැම් පොස්ස්ටු වල දක්වා තිබුණේ “මිලිටරි පාලනයක් කියන්නේ මේකටනම් මම නම් මේකට කැමති” යනුවෙනි. මිලිටරි පාලනය යන්න ඇසේද්දීම අපට සිහිවන්නේ මිලිටරි ඒකාධිපති පාලනය නිසා කලක් ව්‍යසනයට ලක් වුණු , දහස් ගණන් දුගී ජනතාව අන්ත අසරණ බවට පත් කළ, ජීවිත අහිමි කළ ලිබියාව, චිලීය හෝ ඉතියෝපියාව වැනි රටවල් වල නම්ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් බහුතර ඡන්දය මඟින් පාලකයන් පත් කර ගන්නා ක්‍රමයක් පමණක් යැයි යන පටු අදහසින් එය ප්‍රතික්ෂේප කිරීමට ඇතැමුන් පෙළඹෙමින් තිබේ. ඒ අතරම ” හිට්ලර් කෙනෙක් වෙලා හරි කමක් නෑ රට හදනවා නම්” යනුවෙන් තවත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් විසින් කියා තිබුණි. මේ සියල්ල මැද සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා (ගැටළු සහගත වූ ) ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර තිබෙන පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එහි වටිනාකම කුමක්ද? යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව, එකී තේරුම් ගැනීමට උපකාරී වනු පිණිස 1999 දී පළවූ Journal of Democracy වෙත අමර්ත්‍යා සෙන් විසින් ලියන ලද Democracy as a universal value (ප්‍රජාතන්ත්‍රවාදය විශ්වීය අගයක් ලෙස) යන ලිපියෙහි අදහස් පදනම් කොට ගෙන මෙම ලිපිය ලියවේ.
සෙන් ට අනුව, “අප විසින් ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර පාලනය වශයෙන් හඳුනා නොගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සංකීර්ණ ඉල්ලීම් අන්තර්ගතය. ඒවා අතරට සැබැවින්ම, ඡන්දය දීම සහ ඡන්ද ප්‍රතිඵල වලට ගරු කිරීම ඇතුළු වන අතර එයට ස්වාධීනත්වය සහ නිදහස ආරක්ෂා කිරීම, නීතිමය හිමිකම්වලට ගරු කිරීම, නිදහස් සාකච්ජා වාරණයට ලක් නොවීම, පුවත් බෙදාහැරීම සහ සාධාරණ අදහස් දැක්වීම යනාදිය ඇතුලත්ව තිබේ . විවිධ පාර්ශව වලට තම තමන්ගේ මතයන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබේ නම් හෝ තරග වදින පක්ෂ ධරයන්ගේ මතිමතාන්තර සළකා බැලීමට පුවත් ලබාගැනීමට ඇති නිදහස භුක්ති විදීමට ඡන්ද දායකයාට නොහැකි නම් ඡන්ද වුවද ගැඹුරු ලෙසට සාවද්‍ය විය හැකියි” යැයි කියවේ. කණගාටුවට කාරණය නම් ලංකාව තුළ ඡන්ද ක්‍රමය තුළින් දේශපාලකයින් පත් කරන විට ප්‍රජාතන්ත්‍රවාදය “පාවිච්චි” කළත් එය බාධාවක් හෝ කරදරයක් ලෙස බොහෝ විට දකින්නේ මානව අයිතිවාසිකම්, සුළු ජන කොටස් වල අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් වැනි මාතෘකා පිළිබඳ මිනිසුන් හඬ නගන විට හා මර්ධනයට එරෙහිව උද්ඝෝෂණ කරන විට හා දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට දූෂණ වංචා කිරීමට ප්‍රජාතන්තවාදය නිසා මඟ ඇහිරෙන විට වීමයි.
ඉහත ලිපියෙන් සෙන් අවධානය යොමු කරන තවත් වැදගත් කාරණයක් නම් ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් වැදගත් ද යන කාරණයයි . ඔහුට අනුව බොහෝ විට සංවර්ධිත රටවල් වලට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් ගැළපෙනවා දැයි ප්‍රශ්න නොකරන නමුත් “ලෝකයේ වඩා දුගී රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය තවමත් වාදවිවාද වලට තුඩු දෙන කාරණාවක්” බව කියවේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත් කරදරකාරී, රට ඉදිරියට යන ගමන වළක්වන එකක් යැයි මැසිවිලිනගන්නේ ඒකාධිපති පාලනයකට එය යම්තාක් දුරකට හෝ මග අහුරන නිසාත්, ස්වාධීන කොමිෂන් සභා වැනි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ක්‍රමවේදයන් ශක්තිමත් වන නිසාත්ය. පොදුවේ ගත් කළ ප්‍රජාතන්තවාදය ආර්ථික සංවර්ධනයට අකුල් හෙළනවා යන අදහස පසුපස ඇති එක කාරණයක් විය හැක්කේ රටක දුගී භාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් දැකීමයි. මේ නිසා සත්‍ය වශයෙන්ම රටක් දියුණු කිරීමට නම් ඒකාධිපති පාලකයෙක් අවශ්‍ය වන බවට මතය බොහෝ විට කරළියට එන්නකි.
“ඒකාධිපති පාලනයක් සහ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් මර්දනය කිරීම ආර්ථික සංවර්ධනය උදෙසා වාසි සහගත අයුරින් බලපාන බවට ඒත්තු ගැන්විය හැකි ආකාරයේ සාක්ෂියක් නැත. සැබැවින්ම, සාමාන්‍ය සංඛ්‍යාලේඛන වලින් නිරූපිත පින්තූරය එවැනි ගම්‍ය කිරීමකට ඉඩ සළසන්නේ නැත. ක්‍රමානුකුල අනුභූතික අධ්‍යයන (උදාහරණයක් වශයෙන් Robert Barro හෝ Adam Przeworski විසින්) දේශපාලන අයිතීන් සහ ආර්ථික කාර්ය සාධනය යන දෙක අතර සාමාන්‍ය ඝට්ටනයක් ඇතැයි යන්න ඔප්පු කිරීමට සහය දක්වන්නේ නැත… ප්‍රජාතන්ත්‍රවාදයෙහි සහ දේශපාලන ස්වාධිනත්වයෙහි එ තුළම අන්තර්ගතවන වැදගත්කමක් ඇති නිසා [ආර්ථික සංවර්ධනයට] මෙමඟින් හානියක් වන්නේ නැත…සැබැවින්ම, වේගවත් ආර්ථික වර්ධනයක් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ වඩා මිත්‍රශීලි ආර්ථික වාතාවරණයක් මිස, කුරිරු දේශපාලන ක්‍රමයක් නොවන බව පෙන්වීමට ඉතා ප්‍රභල සාක්ෂි ඇත.” යනුවෙන් සෙන් දක්වා තිබේ .
කොවිඩ්-19 වසංගතය තුළ ලංකාවේ දැනට පවතින ප්‍රජාතන්තවාදය විමසුමකට ලක් කිරීමේ අවශ්‍යතාවය ඉතාමත් තදින් දැනෙන්නකි. නිරෝධායන නීති කිසිත් නොතකමින් පැවැත්වූ හිටපු අමාත්‍ය තොන්ඩමන්ගේ අවමංගල පෙළපාලිවලට ආරක්ෂාව සැලසු පොලිසියම, ඇමෙරිකාවේ කළු ජාතීන්ට එරෙහිව සිදුවන පොලිස් හිංසනය පිටු දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සිදු කළ නිහඬ විරෝධතාවයට පහර දී ඔවුන් අත්අඩංගුවට ගැනීම, ඇති හැකි දරුවන්ට පමණක් දොරටු විවෘත වන online ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීම, විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේදී රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත යනාදී කාරණා එසේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් සමඟ විමසීමට ලක් කළ යුතු කාරණා වලින් කිහිපයකි.
මේ තත්වය තුළ “අපෝ දේශපාලනය ගැන නම් කතා කරන්න එපා, මට නම් දේශපාලනයෙන් වැඩක් නෑ” යැයි තවදුරටත් යමෙක් පවසයි නම් එය ඉතාම කණගාටුදායක තත්වයකි. මිනිස් සමාජයේ කිසිදු දෙයක් අදේශපාලනික නොවන අතර යමෙක් එසේ කියයි නම් එයින් කියවෙන්නේ පවතින දේශපාලන වාතාවරණය හෝ ක්‍රමවේදය මගේ සුගතිය සළසන නිසා මට එයින් ප්‍රශ්නයක් නොවන නිසා එය තවකෙකුගේ ජීවිතයට ගෙනෙන පීඩාවන්, නිදහස උල්ලංඝණය කිරීම් මට අදාළ නොවේ යන පණිවිඩයයි. එවන් පණිවිඩයක් හරහා අනෙකාට ඒත්තු ගැන්වෙන්නේ යමෙක් ඉස්මතු කිරීමට යන සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න, මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, නිතිය නැවීම්, නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යය පහසුකම් වලට ඇති අයිතිවාසිකම් අහිමි වීම ආදී දේවල් මායාවන් බවත්, එසේත් නැතිනම් එවැනි දේවල් නොපවතින බවත්ය.
සෙන් කියනා අන්දමට “මහජනතාවගේ උග්‍ර ගැටලු පිළිබඳව රජයක් දක්වන ප්‍රතිචාර නිතරම පාහේ රඳා පවතින්නේ ඒ මත මහජනතාව විසින් එල්ල කරන පීඩනය මතය. එබැවින් ඡන්දය ප්‍රකාශ කිරීම, විවේචනය කිරීම, උද්ඝෝෂණය කිරීම වැනි දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීම මඟින් රජයක ක්‍රියාත්මක වන දේශපාලන න්‍යායපත්‍රයේ සැබෑ වෙනසක් කළ හැකිය.