iMAGE: Vikalpa
පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වී ඇත. මෙම මැතිවරණය කවුරුන් ජයග්‍රහණය කරාවිද යන්න පිළිබඳ කිසිදු සැකයක් නැත. කිසියම් හෝ සැකයක් ඇත් නම් ඒ පොහොට්ටුවේ කුමන දෘෂ්ඨිවාදී කණ්ඩායම රටේ දේශපාලන ඉරණම තීරණය කිරීමේ සටනින් ජයගනීවිද යන්න පිළිබඳ පමණි. ජනපති සහ ඔහුට සහය දක්වන්නන් ආඥාදායක-රූපි පාලනයක් රුචි කරන අතර, සන්ධානයේ අනෙක් පාර්ශ්ව පරණ පුරුදු අනුග්‍රාහක-සේවාදායක සම්බන්ධතා ජාලය මත පදනම් වූ මැතිවරණ රටාවක් ප්‍රිය කරන බව පෙනෙන්නට තිබේ. දශක ගණනාවක් තිස්සේ රටේ දේශපාලන වංශ කථාව දිග හැරුණු අයුරු පිළිබඳව ඇති කළකිරීම නිසා මේ අවස්ථාවේ ආඥාදායක-රූපි පාලනයක් වඩා සුදුසු බව සිතෙන්නට සාධාරණ හේතු තිබිය හැකි වුවත් ඔත්පල වූ ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයට ආඥාදායකත්වය කිසිසේත් ආදේශකයක් නොවන බව අප තේරුම් ගතයුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ඇති සමාජ කළ කිරීම
පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ සිදුුකරන ලද බොහෝ සමීක්ෂණ වලින් හෙළි වූයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය පිළිබඳ ඇති මහජන කළකිරීම එන්න එන්නටම වැඩිවන බවයි. නිදසුනක් ලෙස සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් 2012 දී සිදුකරන ලද The State of Democracy in South Asia සමීක්ෂණයෙන් හෙළි වූ පරිදි ලංකාවේ සිංහල ප්‍රජාවෙන් 24.4 % ක් ශක්තිමත් පාලකයකු යටතේ පාලනය වීමට ප්‍රිය කරන අතර ඉන් 91.1% ක් එම පාලකයා නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් පත්විය යුතු බව විශ්වාස කරන ලදී. ශක්තිමත් පාලකයකුට ඇති මෙම කැමැත්ත යහපාලන ආණ්ඩුවේ ව්‍යාකූලත්වයෙන් පිරි අවසන් වසර දෙක තුළ වැඩි වී ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ ආයතනය වන Social Indicator මඟින් 2018 දී සිදුුකරන ලද සමීක්ෂණයකට අනුව සිංහල ප්‍රජාවෙන් 52.1 % ක් ශක්තිමත් පාලකයකුටද 52.7 % ක් විශේෂඥයින් විසින් ගෙනයන පාලනයකට ද 80.9 % ක් ඡන්දයෙන් තෝරා පත් කරගත් පාලකයකුගේ පාලනයටද කැමැත්ත පළකර තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ සිංහල ප්‍රජාවෙන් බහුතරය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ශක්තිමත් නායකයකු හෝ විශේෂඥයකු ප්‍රිය කරන බවයි. මෙම සමීක්ෂණ දත්ත වලට අනුව ‘සිංගප්පූරු මාදිලියේ ’ පාලන ක්‍රමයකට ඇති මෙම කැමැත්ත, පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ වැනි ආයතන කෙරෙහි ඇති මහජන විශ්වාසය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති බව පෙනී යයි. Social Indicator විසින් 2011-2018 අතර සිදුකර ඇති සමීක්ෂණ වාර්තා වලට අනුව පාර්ලිමේන්තුව සහ දේශපාලනඥයින් කෙරෙහි සිංහල ප්‍රජාවගේ ඇති විශ්වාසය එන්න එන්නටම අඩු වී ඇති අතර හමුදාව කෙරෙහි ඇති විශ්වාසය දිගින් දිගටම ඉහළ අගයක නොවෙනස්ව පැවතී ඇත.
වර්තමාන ආඥාදායක පාලනයට ඇති කැමැත්ත පිටුපස ඇති දේශපාලන-ආර්ථිකය
ආඥාදායක පාලනයකට ඇති කැමැත්ත පිටුපස එයටම ආවේණික වූ දේශපාලන-ආර්ථිකයක් ඇත. මෙවැනි පාලන ක්‍රමයකින් ප්‍රතිලාබ ලබන්නා වූ නව ප්‍රභූ කණ්ඩායම් කිහිපයක් මෙරට සිටී. එක් අතකින් තිස් අවුරුදුු යුද්ධය නිසා ඉහළට නැඟ ආ මිලිටරි පන්තියද, අනෙක් අතින් විවෘත ආර්ථිකය විසින් නිෂ්පාදනය කරන ලද වෘත්තීයවේදීන්ගෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරු, කළමණාකරුවන් වැනි අයගෙන් සැදුුම්ලත් පන්තියද ඒ අතර ප්‍රධාන වේ. යුද්ධය ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය තුල උඩු දුවා ඇති ජාතිකවාදී චින්තනය තුළ මෙම සමාජ පන්ති සඳහා ඉහල සමාජ තත්වයක් ලැබිණි . මෙම පන්ති දෙකේම පිරිස් වැඩි කොටම කොළඹින් පිටත සිංහල-බෞද්ධ පසුබිම් වලින් පැවතෙන්නන් වේ. එමෙන්ම මෙම සමාජ කණ්ඩායම් තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදයට සහ නව ලිබරල්වාදී වටිනාකම් වලට දැඩි පක්ෂපාතීත්වයක් ඇත. 2010 න් පසු යුගය තුළ මෙම කණ්ඩායම පිළිබඳ පැහැදිලි වූ එක් කරුණක් නම් ඔවුන් තව දුුරටත් ධනය හා සමාජ තත්වයෙන් සෑහීමට පත් නොවන බවත්ය. දේශපාලන බලය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කරගෙන සිටින බවත්ය. නමුත් සාම්ප්‍රදායික දේශපාලනඥයින්ට මෙන් තමුන්ගේම මැතිවරණ කොට්ඨාශයක්, පවුල් පසුබිමක් හෝ අනුග්‍රාහක-සේවාදායක සම්බන්ධතා ජාලයක් මෙම කණ්ඩායමට නැත. මේ නිසා වත්මන් ජනපති ප්‍රිය කරන්නාවු ආඥාදායක-රූපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් ඔවුන්ට කදිමට ගැලපෙන්නේය. එතුළ වෘත්තීයවේදීන්ට හා විශේෂඥයන්ට ලැබෙන්නා වූ වැදගත්කම නිසා තරඟකාරී දේශපාලනයට දැඩි අපහසුවකින් තොරව ප්‍රවේශ වියහැකි හෙයිනි.
වත්මන් දේශපාලනික තත්වය ආඥාදායක ප්‍රජාතන්ත්‍රවාදයකට ඉනිමං බඳී
වත්මනේ අනෙක් දේශපානඥයන් මෙන් නොව ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර සිටම තමා කෙබඳු ආණ්ඩු ක්‍රමයකට කැමතිද යන්න පිළිබඳ ඉතා විනිවිද භාවයෙන් යුක්තව කතා කළේය. ඇත්තෙන්ම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ඔහු ගොඩනැඟුවේම මේ පදනම මතය. එහිදී ඔහු මූලිකවම ආමන්ත්‍රණය කළේ සංවර්ධනය සහ ආරක්ෂාව තහවුරු කළ හැකි, ඒ සඳහා නීති රෙගුලාසි අවශ්‍ය ලෙස නැමීමට හෝ කඩා දැමීමට වුවද පසුබට නොවන ආකාරයේ දැඩි පාලනයක් ගෙන යන නායකයෙකු අවශ්‍යව සිටි ඡන්දදායකයින්ටයට සාම්ප්‍රදායික දේශපාලන ජාලයෙන් පිටත පසුබිමක් සහිත, රටට අවශ්‍ය දැඩි පාලනයක් බව අවංකවම විශ්වාස කරන පාලකයකු මෙම සමාජ පන්තියට හරියටම අවශ්‍ය වූ ආකාරයේ කෙනෙකි. එම නිසා ජනපතිගේ විශ්වාසයන් සහ මෙම සමාජ පන්තියේ දේශපාලන දැක්ම අතර සෑහෙන තරමේ සමානකමක් තිබේ. විශේෂයෙන්ම මින් පෙර තිබූ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගත් ආණ්ඩු වල අසාර්ථක භාවය දෙස බැලීමේදී රටට අවශ්‍ය සංවර්ධනය සහ ආරක්ෂාව ලබාදිය හැකි ආකාරයේ හැකියාවන් පවතින්නේ මිලිටරි සහ වෘත්තීයවේදී පුහුණුවක් ලැබූවන්ට පමණක් බවට වන ජනපතිගේ විශ්වාසයට යම් ආකාර සුජාත භාවයක් ලැබෙන බවද පිළිගත යුතුය.
එසේම ජාත්‍යන්තර වශයෙන් ගත්තද ආඥාදායක ස්වරූපයේ පාලන ක්‍රමයකට දරුණු ප්‍රතිරෝධයක් බලාපොරොත්තු විය නොහැක. අප දැනටමත් දන්නා පරිදි මෙතෙක් කාලයක් නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ තිබූ බටහිර බොහෝ රටවල දැන් එළිපිටම වර්ගවාදය වපුරන නායකයන් පත් කරගෙන තිබේ. කොරෝනා වසංගතය නිසාද ඇත්තෙන්ම ආඥාදායක පාලනයක් පවත්වාගෙන යාම පහසු වී ඇත්තේ හදිසි තත්වයට මුවා වී බොහෝ තීරණ ගතහැකි නිසාවෙනි. මෙවැනි තත්වයක් තුළ පාලන තන්ත්‍රය තව තවත් ආඥාදායක අතට තල්ලු වීම නැවැත්විය හැක්කේ සියලු ආකාරයේ ජනතාව එකට එකතු වී ප්‍රතිරෝධය දැක්වුවහොත් පමණි. 70 වසරක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙන් රටට වූ සෙතක් නැතිවීම පිළිබඳ කළකිරීමක් දැනීම ස්වභාවිකය. නමුත් එනිසා ආඥාදායක ස්වරූපයේ පාලනයකට සහය දැක්වීම ‘ මූණත් එක්ක තරහට නහය කපාගත්තා’ වාගේ වැඩකි. ඒ මන්දැයි දැන් විමසා බැලීම වටියි.
ආඥාදායක පාලනය පිළිබඳ ඇති මිථ්‍යා ප්‍රබන්ධ
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මිථ්‍යා විශ්වාස ඇත්තාක් මෙන්ම ආඥාදායකත්වය පිළිබඳවද මිථ්‍යා විශ්වාස ඇත. ජාතිකවාදයට මෙන්ම ආඥාදායකත්වය ද පවතින්නේ භීතිය සහ එනිසාම උපදින ආරක්ෂාවේ අවශ්‍යතාවය මත පදනම්වය. පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ රටේ සිදුුවූයේ ද මෙයයි. සිංහල ජාතිකවාදීන් විසින් එම ප්‍රහාරයේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදය මත පැටවූ අතර ඊට පිළියම දැඩි පාලනයක් බව සමාජගත කරන ලදී. කෙසේ වුවත් වත්මන් ලෝකය තුළ ආඥාදායක පාලන ක්‍රම වුවද ත්‍රස්ත ප්‍රහාර වලට ගොදුරු වන බවට මෙන්මල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම එවැනි තර්ජන සාර්ථක ලෙස කළමණාකාරණය කරගත් බවටද ඕනෑ තරම් උදාහරණ තිබේ. එහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ අතීතයට වඩා අද බොහෝ රාජ්‍යයන්ට තර්ජන එල්ල වන්නේ අභ්‍යන්තරයෙන් මිස බාහිරින් නොවන බවයි. මෙසේ වන්නේ රට තුළ වෙනස් කොට සැළකීම් සහ බහිෂ්කරණයට ලක්වන කණ්ඩායම් රාජ්‍යයට එරෙහිව කැරළි ගැසීම නිසාය. එවැනි තත්වයක් තුළ සංවාදයට ඉඩක් නොතබන විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන පද්ධතියක් ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වඩා අස්ථායී සමාජයක් ඇතිකිරීමට ඇති ඉඩකඩ වැඩිය.
ආඥාදායකරූපී පාලන ක්‍රමයන් හි සාර්ථකත්වය පෙන්වීමට භාවිතා කරන සුප්‍රසිද්ධම උදාහරණ දෙකකි චීනය සහ සිංගප්පූරුව. 1980 දශකයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මහජන සහයෝගය දිනාගැනීම සඳහා භාවිතා කළේදි ‘සිංගප්පූරු සිහිනය’ යන පාඨයයි. වත්මන් ආඥාදායක අභිලාෂ සුජාතකරණය සඳහාද මෙවැනිම සංවර්ධන තේමා භාවිතා කිරීම දැකගත හැකිය. ආඥාදායක පාලනයක් යටතේ සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම වඩා පහසු බව සැබෑය. ඒ බහුතර කැමැත්ත විමසමින් සිටීමට වැය වන කාලය ඉතිරි වන බැවිනි. නමුත් මෙසේ කැමැත්ත විමසීම සිදු නොකෙරෙන නිසාම මහා පරිමාණ දූෂණ වංචා සහ පවුල්වාදය නැඟ ඒමද සිදුුවීමට ඉඩ ප්‍රස්ථාව වැඩි බව අප පිළිගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදි පාලනයේ වැදගත් කම වන්නේ ජනමාධ්‍ය සහ මහජන මතය විමසීම වැනි ක්‍රම භාවිතයෙන් මේවා පිළිබඳ සංවාදයක් හෝ ඇති කළ හැකි වීමයි. නමුත් ආඥාදායක පාලන ක්‍රම වල සාමකාමීව මෙම ප්‍රශ්න විසඳාගත හැකි අවස්ථා අඩුය. එබැවින් ආඥාදායකරූපි පාලන ක්‍රමයක් හරහා රට සංවර්ධනය වන බවට සහතිකයක් දියහැකි නොවේ. ආඥාදායක ක්‍රම පිළිබඳ ඇති තවත් මිථ්‍යාවක් වන්නේ එමඟින් සමාජයට විනය හඳුන්වා දියහැකි බවයි. නමුත් හමුදා නිලධාරීන් ගණනාවකගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධන බලකායක් තිබියදී පවා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ අයට විවිධ සැළකිලි ලැබෙන්නේ නම් බලාපොරොත්තු වන විනය ක්‍රියාත්මක වනවාද යන්න ගැටලුවකි. මෑතකදී පැවැත්වුණු තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යය මීට කදිම නිදසුනකි.
ලංකාවේ ඔත්පල වූ ප්‍රජාතන්ත්‍රවාදයට පිළියමක් ලෙස ආඥාදායකත්වය සුදුුසු යැයි අපට හැඟෙන්නේ අපේ සමාජ බුද්ධියේ ඇති නොමේරූ බව නිසාය. අපේ ඉපැරණි වැඩවසම් ඉතිහාසය පිළිබඳ අප තුළ ඇති සාංකාවත් නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා සර්වසම්පුර්ණ විය නොහැකි බව අපි දනිමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යන් තුළ අදක්ෂ අකාර්යක්ෂම සහ දූෂිත පාලකයන් බිහි වී ඇත්තා මෙන්ම රටවල් යුද්ධයට ඇද දමන පිස්සන් සහ විහිළුකාරයන් බලයට පැමිණ ඇති බවත් රහසක් නොවේ. නමුත් පාලකයා පිළිබඳ නොසතුටක් ඇති විට ඇය/ ඔහු සාමකාමීව බලයෙන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි. එම නිසා ඔත්පල වූ ප්‍රජාතන්ත්‍රවාදයට පිළියම ආඥාදායකත්වය නොවන බවත්, කළ යුත්තේ පුරවැසියා සහ රාජ්‍යය අතර පවතින සම්මුතියෙහි කොන්දේසි පුරවැසියාට වාසි සහගත ලෙස වෙනස් කරගැනීමට මහන්සි වීම බවත් අප සිහිතබා ගත යුතුය.
ආචාර්ය ප්‍රදීප් පීරිස්, සකිනා මොයිනුඩීන්, එම් ක්‍රිෂ්ණමූර්ති | Dr.Pradeep Peiris, Sakina Moinudeen and M.Krishnamoorthy