iMAGE: Gérard Julien/AFP via Getty Images

මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන අමුතුම ජාතියේ මාස්ක් එකක් නේ ඒක. මේ මාස්ක් කියන එක මේ අද ඊයේ ආපු එකක් නෙවෙයි ඉතිං. ලොව පුරා තිබූ ශිෂ්ටාචාර විසින් මාස්ක් නැත්නම් වෙස් මුහුණු භාවිතා කරලා තියෙනවා. බොහෝ විට මේ වෙස් මුහුණු භාවිතා කරලා තියෙන්නේ සහ කරන්නේ ආගමික උත්සව, අවමගුල් චාරිත්‍ර, සශ්‍රීකත්ව චාරිත්‍ර වලදී නැත්නම් ලෙඩ සුව කරන්න වගේම නැටුම් සහ නාට්‍ය වල යුද පිටියේ නැත්නම් තමාගේ ආරක්ෂාවට වෙන්න පුළුවන්.

ඒත් මම කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. සමාවෙන්න වටයක් ගෙනියනවට (මේ දවස්වල ඇහෙන කතා ගොඩක් ඉතිං අපිව වටේ යවනාවානේ, ඒ පුරුද්ද). අද මම ලියන්නේ චිත්‍රපටි සහ TV කතා මාලාවක දකින්න පුළුවන් වෙස් මුහුණු ටිකක් අපි අතර පාවිච්චි වෙන සුවිශේෂී විදිය ගැන යි.

ස්පාඤ්ඤ TV කතා මාලාවක් වන “La Casa de Papel” (The House of Paper/Money Heist) හි හමුවෙන සැල්වඩෝර් ඩාලිගේ වෙස් මුහුණ ලොව පුරා විරෝධතා දැක්වීමේදී සංකේතයක් ලෙස ලෝක ප්‍රසිද්ධියකට පත් වී තිබෙනවා. මේ කතා මාලාව තුළදීත් මෙය භාවිතා වූයේ විරෝධයේ හා ජාතික අභිමානයේ සංකේතයක් විදිහටයි.

“La Casa de Papel” (The House of Paper/Money Heist)

ඇයි ඩාලි? ඇයි වැන්ගෝ, වාර්හෝල්ව නැත්නම් පිකාසෝව ඒ සඳහා යොදා ගත්තේ නැත්තේ? මේ ප්‍රශ්නය කතා මාලාවේ දීත් හොරු අතරත් පොලීසිය අතරත් කතා බහට ලක් වෙනවා. ඩාලි කියන්නේ අධියථාර්ථවාදී කලා සම්ප්‍රදායේ ප්‍රධාන තැනක් ගත් චිත්‍ර ශිල්පියෙක්. මෙම සම්ප්‍රදාය ප්‍රංශයේ මූලික තැනක් ගත්තත්, ඩාලි ස්පාඤ්ඤ ජාතිකයෙක්. අධියථාර්ථවාදී චිත්‍ර සම්ප්‍රදාය, සම්මත මතය බිඳ දමන්න උත්සාහ කලා, ඒ වගේම තමයි ඩාලි ගේ කලාවත්, සහජයෙන්ම කැරලිකාර ගතියක් ඔහු පෙන්නුම් කළා. නූතන ධනවාදී සමාජයට එරෙහි වුණා. මේ කතා මාලාවේ එන හොරු කණ්ඩායමත් මෙම මතය දරන නිසා, ඩාලිව ඔවුන්ට පෙනෙන්නේ විප්ලවයේ සංකේතයක් විදිහට.

This slideshow requires JavaScript.

 

ඒත් එක්කම ලොව පුරා උද්ඝෝෂණ වල දී මේ මුහුණ දැක ගන්න පුළුවන් වුණා …

 

ගයි ෆෝක්ස් වෙස් මුහුණ/Guy Fawkes Mask

ගයි ෆෝක්ස්

මෙය අපට හමුවන්නේ V for Vendetta (2005) චිත්‍රපටියේ V නම් අරාජික චරිතය විසින් පළදින වෙස් මුහුණ ලෙසයි. මෙම චිත්‍රපටිය පදනම් වූ ග්‍රැෆික් නවකතාවේ එන චරිතය ගයි ෆෝක්ස් නම් පුද්ගලයාව ආදර්ශ චරිතයක් විදිහට යොදා ගන්නවා. ෆෝක්ස් කියන්නේ 1605 දී වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයට (Gunpowder plot) සම්බන්ධ වූ ඉංග්‍රීසි ජාතිකයෙක්. මේ කතාව කෙටියෙන් කිව්වොත්, එවකට එංගලන්තය රෙපරමාදු රටක් වූ නිසා මෙයට එරෙහිව කතෝලික කැරලිකරුවෝ සටන් කළා. ඉතිං මෙයාලාට ඕන කරලා තියෙන්නේ පළමුවන ජේම්ස් රජතුමා සහ ඔහුගේ රජය නෙරපා දාලා කතෝලික ආගම එංගලන්තයේ පතුරුවන්න. ඒත් පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩල ශාලාව (House of Lords) පුපුරවන්න දැරූ උත්සාහය සාර්ථක වුණේ නෑ. මීට සමාන සිද්ධියක් තමයි චිත්‍රපටියෙත් සිදුවන්නේ. ඒත් V ට පුළුවන් වුණා ද පාර්ලිමේන්තුව පුපුරවන්න?

මෙයත් ඩාලිගේ වෙස් මුහුණ සේම ඒකාධිපතිවාදයට එරෙහි සහ තවත් විවිධ සමාජ අරගල වලදී විරෝධකරුවන් භාවිතා කරනවා. විකිලීක්ස් හි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ද මෙය එක් විරෝධතාවයක් අතර කළ කතාවක දී පැළද සිටියා. තවද මෙය ප්‍රසිද්ධියක් උසුලන්නේ Anonymous නම් හැකර්-ක්‍රියාකාරී කණ්ඩායම (hacker-activist group) විසින් මෙය ලොව පුරා ඔවුන් කරන විරෝධතා සඳහා මෙම මුහුණ භාවිතා කිරීම හේතුවෙන්.

 

ජෝකර් වෙස් මුහුණ/Joker Mask

ජෝකර්ගේ මුහුණත් තවත් මාස්ක් එකක් විදිහට දැන් පාවිච්චියට ගැනෙනවා . Joker (2019) චිත්‍රපටිය තිරගත වීමට පෙර ද මේ ජෝකර් ප්‍රසිද්ධියට පත්වෙන්නේ DC comics වලින්. නමුත් මේ චිත්‍රපටියේ එන කතා වස්තුව, ජෝකර් චරිතය දෙස වෙනස් ඇසකින් දකින්න අපිව යොමු කළා. ගෝතම් නගරය අපරාධ සහ දූෂණ වලින් පිරිලා. සමාජ සේවා නැත්තටම නැති වී ගෙන ගිහිං. ඒත් ප්‍රභූ ජනතාවට මේ කියන ප්‍රශ්න වලින් වැඩක් වෙන්නේ නෑ. ආර්තර් දවසින් දවස එක එක ප්‍රශ්න වලට මූණ දෙනවා. ඒත් මේවට උත්තරත් නෑ කවුරුත් අහන් ඉන්නෙත් නෑ. මේක බොහෝ දෙනා මුහුණ පාන සිද්ධියක්, කොහේ හිටියත්. කොහොම හරි ආර්තර්, ජෝකර් බවට පත්වෙන්නේ මේ සමාජ සංස්ථාව ඇතුළේ. පසුව ලොව පුරා මේ සුදු, රතු, කොළ පාට තීන්ත වලින් නිරූපිත ජෝකර් මුහුණ පීඩිත පන්තියේ සංකේතයක් බවට පත්වෙනවා.

ඉතින් මේ වෙනකොට ඩාලි, ෆෝක්ස් වගේම ජෝකර්ලාත් දැන් පාරට බැහැලා ඉවරයි !!!!

 

මුදිතා ධර්මසිරි | Muditha Dharmasiri