iMAGE: Tashiya de Mel

මෙය, අපගේ වනාන්තරවල සුන්දරත්වය විඳ ඇති ශ්‍රී ලාංකිකයන්ට කෙරෙන හදිසි කැඳවීමකි. කිනම් හෝ දිනක වනාන්තර සහිත නිම්න හරහා තුරුපෙළ සහිත තීරය දිගේ දඟර ගැසෙමින් ගලා යන ගංගා අසළත්, විසිරී ඇති වැව්වල තාවුල්ලෙහි ඇති සුන්දරත්වය නිරීක්ෂණය කළ හැකි ස්ථානයක සිටත්, අපගේ හරිත දිවයින පිළිබඳ විස්මය දනවන හැඟීමක් සමඟ ඔබ ඔබේ දිවා ආහාරය විනෝද චාරිකාවකදී ලබාගෙන ඇත්නම්, අපගේ වන වැස්ම මෙරට සශ්‍රීකත්වයෙන් ආසිරි ගන්වන ආකාරය ඔබ නිසැකවම අත්විඳ ඇත. අද වන විට එලෙස ඔබ වින්දනයට පත් කරමින් සෙවණ දෙන එම වනාන්තර, දිදුලන ගංගා සහ විල් මෙන්ම එම අසිරිමත් දසුන් පවා තර්ජනයට ලක් වී ඇත.

අප ඉදිරියෙහි රැඳී ඇති ප්‍රතිඥාවක් තිබේ. මෙය, විශේෂඥයන් (Technocrats) විසින් නායකත්වය දෙන   උසස් සංවර්ධන පද්ධති ඇති කරන බවට කරන ලද ප්‍රතිඥාවකි. කේම්බ්‍රිජ් ශබ්දකෝෂය දක්වා ඇති නිර්වචනයට අනුව, විශේෂඥයකු යනු “රජය හෝ කර්මාන්ත මත බලපෑමක් සිදු කළ හැකි හෝ විසල් බලයක් සහිත වූ ද විද්‍යාව හා තාක්ෂණවේදය සම්බන්ධව නිපුණ වූ ද පුද්ගලයෙකි”. විශාල සම්පත් වලින් අනූන වූ අප රටට, එම සංවර්ධන දිශානතිය පරමාදර්ශයක් ලෙස සැලකිය හැක. තාක්ෂණික වශයෙන් කුසලතාවලින් පරිපූර්ණ වූ සමූහයක සාමාජිකයන් වන නිසා ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ අනුමාන කරන ලද ජාත්‍යාලය මඟින් අපගේ සම්පත්, තිරසාරත්වයෙන් යුතුව භාවිතා කරනු ඇති අතර, එය සමස්ත ජාතියටම ප්‍රතිලාභ රැගෙන එනු ඇත.

මෙම විශේෂඥයන්ගේ නැග්මක් බලාපොරොත්තු වෙමින් අප බලා සිටින අතර, අපට සැබැවින් පෙනෙන කරුණක් වන්නේ ඉතා වේගයෙන් සිදුවන පරිසර විනාශයයි. අපට පෙනෙන ආකාරයට සිදු විය හැකි ළඟම පාරිසරික විනාශය වන්නේ, අක්කර 500, 000 ක පමණ වනාන්තර ඉඩම්වල පාලන අයිතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතක දී ලබා දෙන ලද තීරණයයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් අපරික්ෂාකාරී ලෙස වනාන්තර ඉඩම් බෙදා හැරීම නිසා, 2001 වර්ෂයේ දී (5/2001) ගැසට් පත්‍රය මඟින් මෙම ඉඩම්වල භාරකාරත්වය  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. මෙම ගැසට් පත්‍රයට පෙර විවිධ වනාන්තර; ක්‍රීඩා පිට්ටනි හෝ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන් සඳහා, ගරාජ්, කුකුළු ගොවිපොළවල් මෙන්ම පතල් සඳහා ගොඩකල බිම් ලබා දීමට පහසුවෙන් මුදා හරින ලදී. මෙම වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා ගැසට් පත්‍රය කඩිනමෙන් නිකුත් කෙරුණි. මෙම ගැසට් පත්‍රය සංශෝධනය කර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වංක වූ දෑත්වලට භූමි ප්‍රදේශ නැවතත් ලබාදීම මඟින්, අපගේ වනාන්තර, වගකීම් රහිතව භාවිත කිරීමට නැවතත් ඉඩ ලබා දීම සිදු විය හැකිය.

මෙම තීරණය සාධාරණීයකරණය කිරීමට ගෙනෙන අඥාන තර්කයක් වන්නේ මෙම අවශේෂ වනාන්තර (Residual) ඉතිරිවූ හෝ ප්‍රයෝජන රහිත වනාන්තර වර්ගයක් ලෙස හැදින්වීමයි. ඝන වනාන්තර සිට විවෘත ලඳු කැලෑ සහ තණබිම් දක්වා සියලූ වනාන්තර, පාරිසරික තුලිත බව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ. මෙහිදී ඉලක්ක කරගත් වනාන්තර, ජාතික උද්‍යාන, අභය භූමි හා රක්ෂිත වනාන්තර යනාදී රක්ෂිත ප්‍රදේශ (PAs) ලෙස නොව, රජයේ වෙනත් වනාන්තර (Other State Forests) ලෙස පරිපාලනිකව හඳුන්වනු ලැබේ. මෙම වෙනස් හැඳැන්වීම කැ ඇත්තේ පරිපාලනමය පහසුව වෙනුවෙන් පමණි. බුද්ධිමත් සතුන් සහ සුළඟ, වර්ෂාව වැනි බලවත් ස්වභාවික බලවේගයන්, මිනිසා විසින් සීමා කරන ලද සලකුණු සහ හිමිකම් ගණනකට නොගනී. වනාන්තර, තනි පද්ධතියක්  ලෙස ක්‍රියා කරයි. ඒවා සියල්ල එක් වූ විට, ගංවතුර සහ නියං තත්ත්ව අවම කරන බහුවිධ පරිසර පද්ධති ලෙස ක්‍රියා කරයි. තවද, වනාන්තර විසින් කාබන් උරාගනු ලබන අතර මෙම පුළුල් ස්වභාවික ආවරණය මඟින්, ශ්‍රී ලංකාවේ නවතම සතුරා වන වායු දූෂණය විනාශයට ලක් කෙරේ. ස්වභාවික වනාන්තරවල මෙම කාර්යයන් සාමූහික වශයෙන් “පරිසර පද්ධති සේවා” (Ecosystem Services) ලෙස හඳුන්වනු ලැබේ. මේවායෙන් වන සේවය අතිශය පුළුල් වන නිසාම, මෙම සේවාවල සත්‍ය ආර්ථිකමය වටිනාකම ගණනය කල හැක්කේ ඇස්තමේන්තුගත කිරීමෙන් පමණි. දිවයින පුරාම එක හා සමාන ආකාරයට ගංවතුර හෝ නියං තත්ත්ව අවම කිරීමටත්, වාතය පිරිසිදු කිරීමටත් කෘත්‍රිම ක්‍රම යොදාගැනීම, සිදු කල නොහැකි අතර ඒ සඳහා යන වියදම් උපකල්පනය කිරීමටත් නොහැක. මෙම වනාන්තර පිද්ධති විනාශ වුවහොත් අපට සිදුවන්නේ, රජයට පමණක් දරාගත හැකි,  කෘත්‍රිමව සපයනු ලබන මෙම සේවාවල වල සහය බලාපොරොත්තු වීමටය.

අක්කර 500,000ක පමණ මෙම වනාන්තර අපට අහිමි වුවහොත් පළමුව උද්ගතවන්නේ නියං තත්ත්වවලට මුහුණදෙන ප්‍රදේශවලට ජලය සැපයීමේ ගැටලුවයි. එම ප්‍රදේශ ශීඝ්‍රයෙන් පුළුල් ලෙස ව්‍යාප්ත විය හැක්කේ; වනාන්තර වැස්ම ඉවත් වී, එම ප්‍රදේශවල භූගත ජල ප්‍රමාණය අඩු වූ විට, එම ප්‍රදේශ ශුෂ්ක ප්‍රදේශ බවට පත්ව සහ හැකි නිසාය. සියල්ලන්ටම නල  ජලය ලබා දීමද තවත්  පොරොන්දුවකි. ඒ, මිලියන 22ක් වූ මුළුමහත් ජාතියක ජනතාවට දෛනිකව පානය සහ ස්නානය සඳහා අත්‍යවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමයි. මෙය, ළිඳක් හිමි , සෑම විටම ස්වයංපෝෂිත වූ ග්‍රාමීය  ප්‍රදේශවල ජීවත්වන්නන්ට පවා ලබාදුන් පොරොන්දුවකි. පුදුමයට කරුණක් වන්නේ, මෙය ස්වයංපෝෂිත බව සඳහා ඇති වර්ථමාන ගමනට භාධාවක් වීමයි. මීට අමතරව, මහජනයාගේ වුවමනාවන්ට වඩා, කර්මාන්ත ( නිෂ්පාදනයේ සිට ඉදිකිරීම දක්වා වූ බලවත් ආයතන) සඳහා ජල සඳහා විශාල ඉල්ලුමක් කරනු ඇත.

ජාතියෙහි දෛනික අවශ්‍යතා හැරුණු විට, යෝජිත විශාල පාරිභෝගික කෘෂිකර්මාන්තය සඳහා ද ඉහළ ජල අවශ්‍යතාවයක් පැනනඟිනු ඇත. මේවන විට හේන් වගාව සඳහා අක්කර 500, 000ක පමණ වනාන්තරවල භූමි ලබා දීමට විශාල උනන්දුවක් ඇති බව පෙනේ! හේන් ගොවිතැන පළමුවෙන් දුටු විට යුරෝපීයයන් විසින් එය විස්තර කරන ලද්දේ වනය කපා සහ පුළුස්සා දැමීමෙන් සිදුකරන කෘෂිකර්මාන්තයක් ලෙසය. මෙය ඇත්තටම නිවැරදි විග්‍රහ කිරීමකි. හේන් ගොවිතැනේදී ඍතුමය භෝග වැපිරීම සඳහා ලඳුකැලෑ කපා දමා පුළුස්සන ලදී. භූමියට නැවත ප්‍රකෘතිමත් වීමට, වසර ගණනාවක් පුරන් වීමටත් ඉඩ ලබා දීම සඳහා අවශ්‍ය අක්කර ප්‍රමාණය තිබින්නේ නම් සහ හේන් ගොවිතැන නිරන්තරයෙන් සිදු නොකරයි නම් මෙම පද්ධතිය මනාව ක්‍රියාත්මක වනු ඇත. ජනගහනය ඉහළ ගොස්, භූමිය වටිනා දෙයක් ලෙස සලකනු ලබන අද වැනි කාලයක, විශාල ලෙස හේන් ගොවිතැන් කිරීම අපට සැසදිය හැක්කේ ගුවන් යානයක සිට සිගරට්ටුවක් පානය කිරීම වැනි දැන් කිසිවෙකුත් නොකරන දෙයකටය.

මහා පරිමාණ පාරිහෝගික කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. ලාභය සඳහාම මෙම භූමිය යෙදවීමේ හැකියාව පමණක් දුටු මෙම ආක්‍රමණිකයන්ගේ එකම අරමුණ වූයේ, අපනයන ඉහළ දැමීම සඳහා වැඩි අස්වැන්නක් සහිත වගා පද්ධතියක් ඇතිකිරීමයි. කෙටිකාලීන වශයෙන් මහා පරිමාණ තනි භෝග වගාව ඉහළ අස්වැන්නක් ලබා දෙන ලදී. විශාල තනි භෝග වගාව, තිරසාරත්වය විනාශ කරමින් පරිසරයට සිදු කරන සදාකාලික හානිය පිළිබඳව සැලකීමට බ්‍රිතාන්‍යන්ට කිසිම අවශ්‍යතාවයක් නොතිබිණ. මහා පරිමාණ පාරිභෝගික කෘෂිකර්මාන්තය  මඟින්; භූමියේ ශක්‍යතාව ක්‍රමයෙන් අඩු වන බවටත්,  කෘෂි යෝග්‍ය පස නිස්සාර කරන බව සහ මෙය දීර්ඝකාලීනව මුළ්‍යමය වශයෙන් පවා පාඩු ලබන ක්‍රමයක් බවටත්    (යටත් විජිතවාදී වගාවන් හිමිකරගත් තේ වැවිලිකරුවන්ට වර්තමානයේ දී පෙනී ගොස් ඇති  ආකාරයට) මීට සියවස් දෙකකට පෙර සිටි අය නොදැන සිටින්නට ඇත. 1820 වන විට දිවයින විජයග්‍රහණය කර, කැරලි මැඩපවත්වා, මහා පරිමාණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලන්ඩනයේ දී වෙන්දේසි කරන ලදී. අපගේ වටිනා වනාන්තර විනාශ කර කඳු සහ නිම්න මුඩු හා ශූන්‍ය කර දැමීම සඳහා නව වැවිලිකරුවෝ රැසක් මෙහි ළඟාවූහ. ළඟාවිය නොහැකි බෑවුම්වල පිහිටි කඳුකර වනාන්තර පමණක් ඉන් ඉතිරිවිය. මහා පරිමාණ වගාව සඳහා ඉඩම් ලබා ගැනීමට තව තවත් ගිජු වූ යටත් විජිත ආණ්ඩුව විසින්, ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික ඉඩම් ලබාගැනීම සඳහා යොදන ලද උපක්‍රමය වූයේ 1840 ගණන්වල හඳුන්වා දුන් මුඩුබිම් පණතයි. පූර්ව යටත් විජිත සමයේ දී, කුඹුරු හැරුණු විට, බොහෝ ශ්‍රී ලාංකික ගොවියෝ තිරසාරත්වයෙන් යුතු කෘෂිවන වගාව සහ වගා මාරු හේන් ගොවිතැන සිදුකළහ. මෙම ඉඩම් බ්‍රිතාන්‍යයන් නම් කලේ මුඩුබිම් ලෙසය. මෙසේ කලේ මෙම මහා විශාල ඉඩම් ඩැහැගැන්මක් සාධාරණීකරණය කිරීමටය.

ශ්‍රී ලාංකිකයන්ට වන හානිය නොසලකමින්, ඒ විදෙස් යටත් විජිතවාදීහු අපගේ ඉඩම් ඩැහැගෙන වනාන්තර විනාශ කළහ. මීට අමතරව මෙම වන විනාශය නිසා; බොහෝ නොදන්නා වන ජීවී විශේෂ, ඖෂධ ශාක ආදිය අහිමි වූ අතර ඇළ දොළ සිදී ගොස් අතීත ජලාශ පද්ධති වියැකී ගිය නිසා අපගේ භූමිය වියළි විය. වර්තමානයේ දී, ඊට සමාන ආකාරයෙන්, අප විසින්ම පත්කරන ලද නායකයෝ කෙටිකාලීන ලාභයක් ලබා ගැනීම උදෙසා “අවශේෂ”යන නාමය ලබා දී, වනාන්තර විනාශ කිරීමට අත්සහ දරයි. යටත් විජිතවාදීන්ට වඩා මොවුන් වෙනස් වන්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම, ගෝලීය දේශගුණය විපර්යාසවල භයානක කම අපට පෙනෙන මෙවන් කාල සීමාවක් තුළ, අපට කෙලෙසක වත් වන විනාශය සාධාරණීකරණය කල නොහැකිය. මුළු මහත් ලෝකයම වියළී ගොස් ජල අර්බුදයේ කෙල පැමිණි මෙවන් අවස්තාවක වුවද, තවමත් ගොවිතැන් සහ නාගරික සමාජ සඳහා ශ්‍රී ලංකාව තුළ ජල සම්පත පවතියි. නමුත් අක්කර 500, 000ක වනාන්තර විනාශ කිරීම මඟින්, ජල ගැටලුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගැටලුව බවට පත්වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කල හැකිය. මෙම වනාන්තර කපා දමන්නේ නම්, සිය ඡන්ද දායකයන්ගේ සියලු ජල අවශ්‍යතාවල දී අසීමිත වූ ජල බවුසර සැපයීම සඳහා සැලසුම් සැකසීමට රජයට හැකිද?

එසේම, බවුසර සැපයීම සඳහා ජලය පැමිණෙන්නේ කෙසේද? කැබිනට් තීරණය ක්‍රීයාත්මක කරන්නේ නම්, පත් කරන ලද මෙහෙයුම් කමිටුව වනාන්තර කැබලි කරන්නේ නම්, වනාන්තරවල අඛණ්ඩ  බව  විනාශ වී ඒවා කොටස් වී යනු ඇත. මෙම කොටස් වීම අප හොඳින් දන්නා ගැටලු රාශියක් ඇති කරයි. දැනටමත් පවතින වන ජීවී සහ මිනිස් ගැටුම උග්‍ර තත්ත්වය පත් කිරීමට අමතරව, පෘෂ්ඨීය සහ භූගත ජල මාර්ග භේදනය සහ ඛාදනය නොවැළැක්විය හැකි වනු ඇත. ශේෂව පවතින කඳුකර වනාන්තර විනශ කිරීමත් සමඟ, නිරාවරණ ජල පහරවල් සිඳී යනු ඇත. එවිට, ගංගා පෝෂණය වන මාර්ගය අහිමි වනු ඇත. ගංගා වියළී යනු ඇත. රාජස්තානය, අන්ද්‍රාහි, සහ උතුරු අප්‍රිකාවේ වැලි යට ගංගා සැඟවුණු පරිද්දෙන් ගංගා සිඳී යනු ඇත. උස් වූ පැරණි මී ගස් සහ තිඹිරි ගස් හා කුඹුක් ගස්වලට පහළින් වෙළී සෙමෙන් සෙමෙන් වනාන්තර හරහා ගලා යන සුන්දර මහවැලිය, මල්වතු ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ ආදී තවත් බොහෝ ගංගා මළ ගංගා වනු ඇත. හිරුගේ ආලෝකයෙන් පෙරී ආ සෙවණේ වැතිර සීතල ජලයෙන් ගත දොවාගෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ජලයෙහි ක්‍රීඩා කර සිනාසෙන්නට ඇත. දෙවියන් නැමදීමට පෙර කතරගම මැණික් ගඟේ ශුද්ධ වූ ජලයෙන් අප ගත දොවාගෙන ඇත. කුඹුක්කන් ඔයේ ජලයේ සිට බලවත් පත්තිනි දේවීන්ට පූජා සිදු කර ඇත. උත්තම වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පෙර සීත ගඟුලේ සීත ජලයෙන් ගත දොවාගෙන ඇත. අදූරදර්ශී සහ ගිජු අයවලුන්  මෙම වනාන්තර විනාශකර දැමුවහොත් දශකයක් තුළ දී ජල සම්පතට සමුදීමට අපට සිදුවනු ඇත. දෙවිවරුන් ඊට සමාවක් ලබාදේ ද?

ප්‍රඥාව වෙත එළඹීමට අප තවත් ප්‍රමාද නැත. ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර පෝෂණය කර ව්‍යාප්ත කලහොත්, අහිමි වූ දේට වඩා දිනාගත හැකි දෑ රාශියක් මෙරටෙහි පවතින බව ප්‍රඥාවන්තයන් පසක් කරගනු ඇත. අපගේ අනාගතය රැඳී පවතින්නේ කෘෂිවන වගා උරුමය වෙත නැවත යාම සහ වන සම්පත නැවත ඇති කිරීම මත ය. වර්තමානයේ දී ගෝලීය ප්‍රවීණ‍යන් වඩාත් සුදුසු භූමි පරිභෝග ක්‍රමය ලෙස අනුමත කල අපගේ පැරණි කෘෂිවන වගාව (පොදුවේ උඩරට ගෙවතු වගා ක්‍රමය ලෙස හැඳින්වුව ද පූර්ව යටත් විජිත සමයේ මෙය ශ්‍රී ලංකාව පුරා සිදු කරන ලදී) පිළිබදව මූලික දැනුමක් සෑම පාසලකම ලබා දිය යුතුය. අසාරවත්ව ඇති වතු වගා බිම්වල, අපට ආවේණික ශාක වර්ග ආදිය නැවත වගාකල යුතුය. ඒ, මෙරටට ආගන්තුක වූ පයින්, යුකැලිප්ටස් සහ මැහෝගනී වැනි පැරණි ඒක විශේෂ වන වගාවෙන් ඔබ්බට ගොස් නැවත පස සරුසාර ලෙස සැකසීම සඳහා ය. වෙළඳපොළේ සුවිශේෂී ලාභදායී අවස්ථා සහිත වූ ද, ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය පුහුණුවන්නන් පමණක් වර්තමානයේ දී දන්නා වූ ද වටිනා ඖෂධද මෙම වනයන් තුල වගා කල යුතුය. නිල්ගල බෑවුමේ සිට ඌව සහ සබරගමුව බෑවුම් දක්වා විහිදෙමින්, සෞඛ්‍යමය වශයෙන් පිරිහුණු මනුෂ්‍ය වර්ගයාට දුර්ලබ ඖෂධ සපයන ඔසු වනාන්තර රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය යුතුය. මින් පහසුවෙන් ආදායම් ලැබිය හැකි අතර (වෙනත් වචනවලින් කිවහොත්, විවෘත ලඳුකැලෑවලින් ප්‍රධාන වශයෙන් සමන්විත යාල 1 කොටස) මෙමඟින් මනාකොට සැලසුම් කල අධ්‍යාපනික සංචාරක ව්‍යාපාරයක් මඟින් දේශීය ප්‍රජාවට ලාභ ලැබිය හැකිය. එසේම, ජල පෝෂක ප්‍රදේශ පුළුල් කිරීමෙන් අපගේ ජල මූලාශ්‍ර වර්ධනය කරගත හැකි අතර, අසල්වැසි ජාතීන්ට ජලය මිලට දීමේ හැකියාව අපට ඇති වනු ඇත. ශ්‍රී ලංකාවේ සිටි පැරණි රජුන්ගේ දූරදර්ශී දැක්මට අනුව, මෙය සංවර්ධනය යි.

සුනෙලා ජයවර්ධන | Sunela Jayewardene

 

සංස්කාරක සටහන : මෙම ලිපිය මුල්වරට අප සහෝදර  Groundviews වෙබ් අඩවියේ The Value of Forests නමින් පළවූ අතර විකල්ප විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව මෙසේ පළ වේ.