iMAGE: Vikalpa/Ishara Danasekara

“ප්‍රගීත් නොමැතිව ගෙවීගිය දින 3873 ක වඩාත් තෘප්තිමත් දිනය ඊයේ විය.මන්දයත් ඔහු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලංකා ජනරජය විසින් ගොනු කරන ලද නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස මා කැඳවනු ලැබූ බැවිනි. පැරණි සත්‍යයන් පිළිබඳ නව ආලෝකයක් හෙළි කිරීමට මට අවස්ථාව ලබා දුන් සැමට ස්තූතියි”

ඒ අද උදෑසන සන්ධ්‍යා විසින් තම ටුවිටර් ගිණුමේ පණිවිඩයක් පළ කොට තිබු පණිවිඩයකි. 2010 ජනවාරි 24 වන දා සිට මේ සටහන ලියවෙන මොහොත දක්වාම තම ජිවන ගමන් සගයා වූ ප්‍රගීත් වෙනුවෙන් වසර 10 ක් පුරා මැකි නොගිය ආදර අරගලයක් කළ ඇය අවසානයේ යුක්තිය ඉටු කරගැනීම සඳහා වන තම පළමු පියවරට අඩිය තැබුවා පමණි. ඇය සඳහන් කොට තැබූ පරිදිම ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ආරම්භ වන්නේ දින 3873 කට පසුවය. ඒ නිකම් නම් නොවේ. ඇගේ ජිවිතයේ හොඳම කාලය ඒ වෙනුවෙන් ඈ මහපාරේත්, උසාවි ගානෙත් අතොරක් නැතුව ගෙවා දමා තිබේ.

ඊයේ නඩු විභාගය වාර්තා කරන්නටවත් උසාවි භූමියේ පැත්ත පළාතේ මාධ්‍යවේදීන් සිටියේ නැතැයි කිව්වද, ඒ බිඳකුදු හෝ ධෛර්ය සිඳගෙන නොවන බව මට ඇගේ කටහඬින්ම වැටහුණි. “තව යන්න දුර ගොඩයි, අපි බලමු” ඒ ඇයයි.

නඩුව විභාගයට ගැනීමට තීරණය කිරීමත්, ඇය සාක්ෂි සඳහා කැඳවීමත් ජයග්‍රහණයකි. එහෙත් ඈ කිවා සේම මෙතැනින් එහාට හමුවීමට නියමිතව ඇත්තේ තීරණාත්මක සන්ධිස්ථානයන් ය. තවමත් අපිට කිසිවක් තීරණය කිරීමට මේ කාලය නොවේ. ඒ ගැන මා මෙහි ලිවිම අවශ්‍ය නොවේ. කෙසේවෙතත් අධිකරණයේ ස්වාධිනත්වය රැකෙන වින්දීත පාර්ශවය වෙත ලැබෙන අපක්ෂපාති , සාධාරණ විනිශ්චයක් ලැබෙන තෙක් අපි සියල්ලෝම දෑස් දල්වා බලා සිටිමු.

එහෙත් අතීතය අපට උගන්වා ඇති පාඩම් සුන්දර පිළිතුරු දී නැත. ඒ නිසාම තිගැස්මක් අපිට තිබේ. ඒ ගැන කල්පනාවෙන් සිටිය යුතුය. ඒත් අනෙක් අතට සිත් තුළ තවමත් දළු ලන එකම එක බලාපොරොත්තුවක් හෝ කියන්නේ යුක්තිය වෙනුවෙන් වන අවසන් බලාපොරොත්තුවත් අත්නොහරින ලෙසය. ඒ නිසාම කෙසේ කීවත් තනි ගැහැනියක මේ රටට තම සටන අත්නොහැර තනිව අත්කරදුන් ඒ යුක්තියේ බලාපොරොත්තුව සැමරිය යුත්තකි. මේ රාජ්‍යට එරෙහි අපරාධය විමසීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වී තිබිමම සුළු පටු නොවේ. එය ඇගේ හිතේ හයිය නොවන්නට වෙන කුමක්ද ?

මා මෙය කලින් ලියා තිබේ, අදද මෙහි ලියා තබමි.

මිනිසෙකු මම ආදරය කරන පිරිමියා හෙට දවසේ අතුරුදහන් කර දැමීම තරම් මට කළ හැකි වෙනත් නපුරක් නැත. මිනිසෙකු මගේ ලෙයින් උපන් දරුවා මට ආගිය අතක් නැති කිරීම තරම් මවක ලෙස මට දිය හැකි දරු දුකක් නැත. මට ලෙය දුන් පියා උදුරාගෙන යන්නට තරම් මිනිසෙකුට දුවක ලෙස මට දිය හැකි වෙනත් දුකක් නැත.

එහෙත් මගේ රටේ දහස් ගණන් බිරින්දෑවරුන්ට, ආදර කතා වලට, ජිවිත කතා වලට, දු වරුන්ට ඒ දුක උරුමව තිබේ.ඒ නිසා මගේ එකා නොමැරූ පළියට කෙනෙකු මට හොඳ හෝ විනීත විය හැකිද? නැත; එසේ වන්නේ නැත. මේ අතුරුදන් ව ගිය මිනිසුන්ගෙන් සාතිශය බහුතරය අතුරුදන් වුයේ අවි ගැනීම නිසා නොවන බව අප මතක තබා ගත යුතුය. ඒ සියල්ලන්ගේ සමාජ කාර්ය භාරය නිමා කිරීමත්, සමස්ත සමාජය බය ගැන්වීමත් එහි මුඛ්‍ය අදහස විය.

එවන් අපරාධයන්ට ජීවිතය පුරා යුක්තිය සොයා යන්නන්ට සිනාවෙන් පිළිතුරු දෙන සමාජයකට ඈ දැන් නියම පිළිතුරක් සපයා තිබේ. එහෙයින් මා තරම් ම ලොකු පුතෙක් සිටින සන්ධ්‍යා මට මගේ සහෝදරියක වන්නේ ඒ යුක්ති සහගත අරගලේ මා දකින ශක්තිවන්තම ස්ත්‍රීය ඇය නිසාය. මම අදද හෙටද කියමි. “යුක්තිය” යනු අකුරු 4 ක් පමණක්ම නොවේ.මම නැවත ද ලියමි. දැන් යුක්තිය අප සොයා නොයෙන අතර අප යුක්තිය කරා යා යුතුව තිබේ.

එය මට කියාදුන්නේ සන්ධ්‍යාගේ මා ආදරය කරන ගැහැනුකමය.

 

ඉෂාරා ධනසේකර | Ishara Danasekara