“නින්ද” මිනිසුන්ගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයකි. විවිධ පුද්ගලයන්ගේ දින චර්යාවේ කාර්ය බහුලත්වය මත නිදාගන්නා පැය ගණන තීරණය වේ. වෛද්‍යවරන්ගේ මතය වන්නේ සාමන්‍ය මිනිසෙකු දිනකට පැය හයක් නිදියෑම හොඳටම ප්‍රමාණවත් බවයි.
නමුත් නිතරම නින්ද යෑම රෝග තත්ත්වයකි. එය බොහෝ රෝගවල මූලික රෝග ලක්‍ෂණයක් වේ. මිනිසුන් නිදාගන්නා ආකාරය පිළිබද සමාජ ව්‍යවාහරයේ දී වර්ග කීපයකට වෙන්කර දක්වයි. හොරට නිදියෑම, බාගෙට නිදියෑම, මැරණාවගේ නිදියෑම ආදී වශයෙන් ව්‍යවහාරයේදී බෙදා වෙන්කරයි. එය කිසිදු විද්‍යාත්මක හෝ අන්කිසි කාරණාවක සිට බෙදනු ලැබූ ඒවා නොව යම් යම් ව්‍යංගාර්ථ ඒ ඒ නින්ද සමඟ යෙදේ. සමහරු නින්ද නොයෑම නිසා නිදිපෙති ගෙන නිදති. සමහරුන්නම් අවදියෙන් සිටියත් නිදිවගේය. අවට සිදුවන දෑ සම්බන්ධව කිසිඳු තැකීමක් නැත. නින්ද ගියපසු මිනිසුන් විවිධ අය විවිධ දෑ කරති. සමහරෙක් නින්දෙන් ඇවිදිති. තවත් සමහරු කියවති. තවත් අය හඬති. සමහරෙක් දර පලනවා මෙන් ගොරවමින් නිදියති. ඔය අතරින් සමහරෙක් කිසිදු ශබ්දයක් නැතිව සැපට නිදියති. සැපට නින්ද යන්නත් පින් කරන්න ඔනේ බව ගමේ ගොඩේ අය කියති.
ඔය අතර නිදා සිටිනා නින්දෙන් අවදි කළ විට දක්වන ප්‍රතිචාර විවිධාකරය, විශ්මය දනවන සුඑය. අයෙක්ට නින්දෙන් අවදි කළ විට උරු ජුවල් යති. සමහරු ආයේ නිදති. තවත් අය ඇහැරී ඔහේ බලා හිදිති. කලාතුරකින් අයෙක් පමණක් “ඇයි” කියා අවදි කිරීමට හේතුව විමසති. එවැනි විටෙක නිදි සිටිනා, අය කෑගහන්නේ නැතිව ඉන්න කියා ඇහැරුණු අයට බනිති.
මේ ආකරයට නින්දේ බොහෝ ක්‍රමවේද සහ උපසංස්කෘතීන් ඇත. මිනිසුන් දවස පුරාම නිදාගන්නවාට ආසා කරන පිරිස්ද අප අතරම සිටිති. ඒ සොර සතුරන් වැනි අයවේ. මිනිසුන් හැකිතරම් නිදා ගන්නනේනම් ඔවුන් කැමතිය. එසේ නිදා ගත්තොත් ඇහැරෙන විට ඇඳ සිටි ඇඳුමත් නැති වනු ඇති බවටනම් කිසිම සැකයක් නැත.
“නින්ද” දේශපාලනික කාරණාවක් වනුයේ රටක ජනතාව නිද්‍රාශීලීව සිටිනවාට බොහෝවිට පාලකයන් කැමතිය. ඒ ඔවුන්ට රිසි සේ පාලනය ගෙනයාමට හැකි බැවිනි. අද වන විට මෙම නිද්‍රාශීලී බව ශ්‍රී ලංකේය සමාජය අරක්ගෙන ඇත. එම නිසාම නිදා සිටින ජාතියකට ජ්‍රජාත්‍රන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, තමන්ගේ මතයක් දැරීමේ නිදහස ආදිය අවශ්‍ය නැතැයි පාලක පන්තිය සිතනවා වෙන්නට බැරි නැත. ඒ නිසා ඔවුන් තමන්ට රිසි පාලන ක්‍රමයක්, ඔවුන්ගේ මාධ්‍ය සංස්කෘතියක්, ආදිය පවත්වාගෙන යන්නේ ඒ නිසා වන්නට පුළුවන.
සමාජයේ සියලු ස්ථර නිද්‍රාශීලී තත්ත්වයකට වැටුණුකළ ඇහැරී සිටන අයට සහ නින්ද නොයන අයට දෙයියන්ගේම පිහිටය. මේ මොහොතේ අවදියෙන් සිටිය හැක්කේ රාජපක්‍ෂ රෙජීමයේ අනුදැනුම මත, කැමැත්ත පරිදි තම නිදාගැනීම තීරණය කළ අයට පමණි.
මෙහි බරපතල කාරණාව වනුයේ සියලු සමාජ ස්ථර නිද්‍රාශීලී වීම හරහා සිවිල් යාන්ත්‍රණ බිඳවැටීමයි. මාධ්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන, සිවිල් ක්‍රියාකරී සංවිධාන, මෙම පොදු ජන නින්ද හරහා පසුබැසීමට සිදුවී ඇති අතර එයට හේතුව එවන් සංවිධාන සහ එවායේ ක්‍රියාකාරීන්ගේ බලය රඳා පවතන්නේ පොදු ජනතාව මත බැවින්, පොදු ජනයා නින්දට වැටීම හරහා ඔවුන්ගේ ඒ සිවිල් බලය අහෝසි වී ඔවුන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව වේ. පොදු ජනී ජනයා නොදන්නා කාරණාව, එම සිවිල් බලවේග අනාරක්‍ෂිත වීම හරහා එහි සෘජු බලපෑම තමන් වෙතට එල්ල වන බවය.
අද වන විට මේ පොදුජන නිද්‍රාශීලීත්වය කෙතරම්දයත් ඛේදනීය තත්ත්වයක් කියතෙත්, සිදුවන මානව විරෝධී කටයුතු, ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී කටයුතු හමුවේ කිසිඳු මහජන මැදිහත් වීමක් නොමැති වීමයි. තමන් මානවයන් නොවේ යන හැඟීමෙන් මෙන් මිනිසුන් ඉවත බලා සිටිති. එය තමන්ගේ අතින්ම විලංගුලා යතුර අනුන්ට බාරදීමක් වැනිය.
ඔවුහු 2/3 ඉල්ලූහ. ජනතාව නිදිමතේම ගොස් 2/3 දුන්හ. පසුවිපරම්, පෙර සසදා බැලීම් කිසිත් නැත. ඔවුහු උතුරේ ප්‍රශ්ණය විසඳූ ඔවුන් බව කීහ. ජනතාව නිදිමර ගාතේ ගොස් රතිඤ්දා පත්තුකර කිරීබත් කෑහ. ඉන්පසු අනෙක් පැත්ත හැරී යළිත් නිදන්නට වූහ. පාලකයේ තමන් මේ නීතිය අලුතෙන් ගෙනාවායැයි කියති. ජනතාව තවත් ගුළිවෙවී නිදාගනී. පාලකයෝ නිදි අයටත් විලංගු දමනා නීති ගෙන එති. ජනතාව විලංගු දැමීමට පහසු වෙන්න නින්දෙන්ම අත් පය උස්සා දෙති. කාලයක් තිස්සේ ලාංකිකයා පෙළෙන මේ රෝග තත්ත්වය දැන් උග්‍ර අතට හැරී ඇත. ඒ නිසා සියල්ල හමුවේ නිහඬව උදාසීනව, නිදිබරව සිටිති. එහි උපරිම වාසිය තමන් වෙත නතු කරගනිමින් රාජපක්‍ෂ රෙජීමය දිනේන් දින බලවත් වෙති. ඔවුන්ගේ මේ බලවත් වීමට ප්‍රධානම හේතුව ජනතාවගේ නිදිබර උදාසීනත්වයයි.
දකුණේ ජනයාගේ නින්ද (නිදි ආතල්) කැඩීමට යාම හිරේ විලංගුවේ වැටී පමණක් නොව ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන කරණා වේ. මෑත සමාජයේම උදාහරණ ඕනෑ තරම් ඇත. ලසන්ත තීරය පිටුපස සිදුවන අකටයුතුකම් සමාජය ඉදිරියගෙන මිනිසුන්ගේ නින්ද කඩමින් මිනිසුන් සබුද්ධික තත්ත්වයට ගෙන ඒමට උත්සහ දැරීය. ජනතාව අවදිවුවහොත් තමන්ට සිදුවන දේ ගැන දන්නා ඇත්තෝ සඳහටම ලසන්ත නිහඬ කෙරූහ. ඉන්පසු ප්‍රගීත් එක්නැළිගොඩ මේ මිනිසුන්ගේ මර නින්ද කැඩීමට උත්සහ දැරීය. ඔහුගේ හඬට මිනිසුන් අවදි වියහැකි යැයි සිතු ඔවුහු ඔහුවද අතුරුදහන් කරනු ලැබීය. එසේ කිරීමෙන් පාලකයෝ ජනතාව මර නින්දේ දකින සුභ අනාගත සිහිනය සුරකීය. ජනයා මේ කිසිවක් නොදන්නාක් මෙන් තවත් නිදති. රාජපක්‍ෂ රෙජීමයද ජනතාවට අවදි වීමට ඉඩක් තබන්නේම නැත. එසේ අවදිවන එවුන් එක්කේ දේශදෝහීන් ලෙස නම් කරති. අවදි කිරීමට දරන උත්සාහයන් විදෙස් කුමන්ත්‍රණ ලෙස දකිති. ලෝකය එක් යායක් වී ගමනක් යද්දී සිංහබාහු හැරි ගල්දොර නැවත වසාගනිමින් හුදකලාව නිදති.
තවත් වරකදී සරත් ෆොන්සේකා මෙරට ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව මේ මරනින්දට වතුර ගැසූහ. නිදා සිටින ජනතාවට වතුර ගැසීමේ වරදට සරත් ෆොන්සේකාට සිදුවූයේ සිරගත වීමටය. අද ක්‍රියාත්මක වන්නේ නඩුත් හාමුදුරවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ නම් වූ කැකිල්ලේ නීති පොතය.
රාජපක්‍ෂවරු දැන් රට කරවනු ලියවිල්ල තමන්ගේ නමින් ලියාගැනීමට ලහිලහියේ සූදානම් වෙති. රට කරවන්නේ කවුරුන්ද වෙනුවෙන් යන වගක් ඔවුන්ට මතක නැත. ඒ ඈයෝ නෑයෝ එකතු වී ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වෙති. ඒ ලොව වැඩිම කළක් රටක් පාලනය කළ පවුල බවට පත් වීමයි. ජනතාවට මේවා වැඩක් නැත. ඔවුහු තවමත් ගල්තාර පොළව මත දාඩිය වඟුරවමින් සිහින දකිමින් නිදති. විටෙක උතුරු වසන්ත සිහිනය දකිති. තවත් වරෙක නැගෙනහිර නවෝදය සිහිනය දකිති. දැන් අලුත්ම හීනය ජල පිරවීමේ සිහිනයයි. සිහිනයෙන් සිහිනය මාරූ වී නිදති.
මෙවන් රටක් යන්නේ කෙතනකටද කියා සිතාගැනීමට අපහසුය. මෙම නින්දෙන් අවදි නොවන තාක් සැවොම ඔහේ හිදිනු ඇත. පාලකයෝ යහමින සිටිනු ඇත. ආයේ මැතිවරණයක් ආ පසු නිදිමරගාතේම ගොස් කතිරය ගසනු ඇත. මෙසේ නිදා ඉන්නාතුරම නිදහසනම් සිහිනයක්ම පමණකම වනු ඇත. තවදුරටත් නිදාගත හොත් මේ අඳුරු සෙවණැළිවලින් ගැලවීම ශ්‍රී ලංකේය සමාජයට පහසු නොවනු ඇත.
ක්‍රිශාන් රාජපක්‍ෂ