Colombo, end of the War, Featured Articles, Features

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: පෙරට යනවා ද නැත් නම් මෙය ම වර්ධනය වන්නට හරිනවා ද?


සාමය නැති තැන සංවර්ධනයක් ද සංවර්ධනය නැති තැන සාමයක් ද නැතැයි ජනාධිපති රාජපක්ෂ පවසා ඇත. එහෙත් ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණය කිරීමේ බර වැඩි වන තතු තුළ ඔහුගේ ජනාධිපතිත්වය යටතේ සිටින අතිමහත් බහුතරයකගේ ජීවිත මුළුමනින්ම කටුක වී ඇත. බලය බෙදා හැරීම පිළිබඳ වාගාලංකාර තිබිය දී ම 50,000ක පමණ දෙමළ ජනයා කටු කම්බිවලින් වට වුණු කඳවුරු තුළ තව මත් රඳවා සිටිති. එවන් ආර්ථික සහ දේශපාලන තතු තුළ සමගි සන්ධානය සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීම පිළිබඳ බලාපොරොත්තු කඩ වන සැටියක් පෙනේ. මෙය මෙසේ වන්නේ ඇයි ද ඊට පවත්නා විසඳුම් කවරේ ද යන්න අවබෝධ කර ගන්නට නම් නිදහසින් පසුව ශ්‍රී ලංකාව හැඩ ගැසුණු ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගත යුතු ය.

ශ්‍රී ලාංකික සමාජය වර්ධනය වුණු ආකාරය වැඩවසම් සමාජ-ආර්ථික සහ සංස්කෘතික කොන්දේසි පැතිර පැවති සමාජයක් මත විජිතවාදය ධනවාදය පැටවීමේ ප්‍රතිඵලයක් විය. එවන් ආර්ථිකයක් ගොඩ නගන්නට නම් ධනවාදී සමුච්චිත වීම, වැටුප් ශ්‍රමය, දැවැන්ත ඉඩම් යායවල් සහ යටිතල පහසුකම්, කිහිප දෙනෙකු අත බලය කේන්ද්‍රගත වීම, සහ ස්වදේශිකයන්ගෙන් පරිපාලන සහාය ලබා ගැනීම සඳහා පදනමක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය විය. ඔවුන් මෙය මුදුන් පමුණුවා ගත්තේ සේවා භුක්ති ක්‍රමය අහෝසි කිරීමෙන්, මුළු දිවයිනටම ඒකීය පරිපාලනයක් පැනවීමෙන් සහ ඉගැන්වීමේ මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය හඳුන්වා දීමෙනි.

වඩ වඩා ධනවත් වුණු ඇත්තන් ද වඩ වඩා දිළින්දන් වුණු නැත්තන් ද අතර ආර්ථිකමය බෙදීමක් පහළ වීමෙන් මෙම විෂම ධනවාදී වර්ධනයේ දිගු කාලීන බලපෑම් පිළිබිඹු විය. ඉඩම් නැතිකම, ඉඩම් කැබලි වීම සහ වාරිමාර්ගවලට ජලය නැතිකම පිළිබඳ ප්‍රශ්න නිර්මාණය කරමින් වතු ආර්ථිකය ඊනියා නාගරික ග්‍රාමීය බෙදීම ඇති කළේ ය.

කෘෂිකර්මයට ජලය සහ ඉඩම් වඩා හිඟ වෙද්දී වැඩි වන විරැකියාව අඩු කිරීමේ වැඩ පිළිවෙළක් ලෙස නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමත් ඉගැන්වීමේ මාධ්‍යය ලෙස ඉංග්‍රීසියෙන් සිංහලය කරා මාරු වීමත් ගම්බද තරුණයෝ සාදරයෙන් පිළිගත්හ. විජිත පාලනයේ ප්‍රතිචාර ගම්බද තරුණයන්ට උසස් අධ්‍යාපනයට පැවති අවස්ථා පුළුල් කළේ ය. ප්‍රමාණවත් තරම් රැකියා සම්පාදනය කිරීමට ආර්ථික ව්‍යුහය අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ තෘතියික අධ්‍යාපනය ලද තරුණයන් විශාල සංඛ්‍යාවකට රැකියා ලැබීම යි.

ඕනෑම සමාජ-ආර්ථික ඉල්ලීමකට රාජ්‍යය බොහෝ විට දැක්වූ ප්‍රතිචාරය වූයේ නිදහස සීමා කිරීම, දේශපාලන ආයතන දුර්වල කිරීම සහ ඒකාධිපති පාලන රූප කරා ගමන් කිරීම යි. මේ අනුව දකුණෙහි පන්තිමය බළමුළු ගැන්වීම මුළුමනින්ම පදනම් වූයේ සාමාජීය බැහැර කිරීමට සහ ආර්ථික අහිමි කිරීමට පෑ විරුද්ධත්වය මත ය. දකුණෙහි සටන්කාමිත්වයෙන් ප්‍රධාන වශයෙන්ම නියෝජනය වූයේ ග්‍රාමීය තරුණ පහළ මැද පන්තික සිංහල බෞද්ධ ඡන්ද දායකයාගේ ප්‍රාර්ථනාවන් ය.

1956න් පසුව ස්වදේශීය දෙමළ ජනයාගේ සාමකාමී උද්ඝෝෂණ මැඩලීම සඳහා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වැඩි වැඩියෙන් යොදා ගැනිණ. මෙම උපායන් නිසා දෙමළ ප්‍රජාවේ ඡන්දයෙන් පත් වුණු නියෝජිතයන් කොන් වීමේ ප්‍රතිඵලය වූයේ දෙමළ තරුණයන් නිජබිමක් සඳහා කළ ඉල්ලීම ය.

යුද්ධය ආර්ථිකයට විනාශකාරී බලපෑමක් කර ඇත. රාජ්‍යයත් විදේශවලට පිටුවාහල් වුණු දෙමළ ප්‍රජාව ඇතුළු රාජ්‍ය නොවන ක්‍රියාකාරකයෝත් යුද්ධය සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් වැය කළහ. මහා පරිමාණ මිලිටරි වියදම් නිසා ආර්ථිකය බරපතළ ලෙස ණයගැති විය. දිගින් දිගට ම මෙම වියදම් සිදු වන බව රුසියාව සහ චීනය සමග මෑත අත්සන් කළ මිලිටරිමය මිල දී ගැනීමේ ගිවිසුම්වලින් පැහැදිලි ය.

ආණ්ඩුවේ මූලාශ්‍ර සඳහන් කරන පරිදි අන්ත දරිද්‍රතාව නිසා 2008 දී පුද්ගලයෝ 1,672,159 දෙනෙක් සහන ලබා ගත්හ. සීඅයිඒ තොරතුරු පොතට අනුව විරැකියා අනුපාතිකය සියයට 5.5 සිට 5.9 දක්වා ඉහළ ගොස් ඇත. සැබෑ විරැකියා තත්ත්වය සංඛ්‍යාවෙන් දැක්වෙනවාට වඩා දරුණු විය හැකි ය. විදේශ විනිමය ඉපයීම්වලින් සියයට 36ක් ලැබෙන්නේ ග්‍රාමීය ජනයාගෙන් වැඩි දෙනෙක් ගෘහ සේවක සේවිකාවන් ලෙස මැද පෙරදිග සහ වෙනත් විදේශීය රටවල වහල් මෙහෙයෙහි යෙදීමෙනි. ඒ ග්‍රාමීය ජනයාගේ ම සියයට 37ක් දරිද්‍රතාවෙහි දිවි ගෙවති.

යුද්ධය අතරතුර දී සහ යුද්ධයෙන් පසුව කාරණය බවට පත් වී ඇත්තේ බියකරු යථාර්ථය හෙවත් ජීවන වියදම ඉහළ යමින් පැවතීම කවර සංඛ්‍යා ලේඛන වහන්තරාවකින් වත් තව දුරටත් වසා තැබිය නොහැකි වීම යි. 2008 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 77ක් පමණ වුණු රජයේ ණය සමග සසඳන විට 2009 දී ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 83 දක්වා ළඟා වී ඇත. මුළු අපනයනය 2008 දී පැවති එ.ජ.ඩො. බිලියන 8 සිට 2009 දී එ.ජ.ඩො. බිලියන 7 දක්වා පහත වැටී ඇතැයි ගණන් බැලේ. මුළු ආනයනය 2008 දී පැවති එ.ජ.ඩො. බිලියන 14 සිට 2009 දී එ.ජ.ඩො. බිලියන 10 දක්වා පහත වැටී ඇතැයි ගණන් බැලේ. ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එ.ජ.ඩො. බිලියන 2.6ක ණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේ ය.
තව දුරටත් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කෙරෙන බවට, රාජ්‍ය ව්‍යවාසයන් පෞද්ගලීකරණය කෙරෙන බවට සහ රජයේ වියදම් තව තවත් බරපතළ ලෙස කපා හැරෙන බවට සෑම ඇඟවුමක් ම පවතී. එවන් වැඩ පිළිවෙළවලට එරෙහිව මතු වන විරුද්ධත්වය තළා දැමීමට රාජ්‍ය මර්දනය යොදනු ඇත.

චීනය සහ රුසියාව මත රැඳීම තම මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වසං කර ගන්නට ශ්‍රී ලංකාවට උදව් වී ඇත. එවැනි උල්ලංඝනය කිරීම්වල ස්වභාවය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර ආයතන දැරූ සියලු ප්‍රයත්න සාර්ථකව වළකන්නට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ස්වාධීන පරීක්ෂණ මග හැරීම දිවයින වැඩි වැඩියෙන් ප්‍රධාන බලවතුන්ගේ බල ක්‍රීඩාවෙහි පටලැවී ය. මානව අයිතිවාසිකම් නොවැදගත් තත්ත්වයට පත් කළේ ය.

පුවත්පත් කලාවේදීන් පැහැර ගෙන යාම්, ඔවුන්ට පහර දීම්, ඔවුන් අත් අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ ඝාතනය කිරීම් නිසා පසු ගිය පස් වසර තුළ දී ප්‍රජාතන්ත්‍රවාදයට ක්‍රමානුකූලව වළ කැපිණ. එසේම ඒවා අඛණ්ඩව පැවතී ගෙන යයි. රාජ්‍යයේ පෙලඹවීම මත සිදු වන අපරාධ වසං කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ හදිසි නීති රෙගුලාසි නීතියේ පාලනයට ප්‍රබල ලෙස වළ කැපී ය. යුද්ධය අවසන් වීමෙන් පසුව මේ එක ද ගැටලුවකට වත් අවධානය යොමු නො වී ය. එවැනි අවධානය යොමු කිරීමක් වත්මන් ආණ්ඩුවේ දේශපාලනයෙහි අංගයක් වන්නට යන බවක් ද නොපෙනේ.

ශ්‍රී ලංකාව තුළ අනුපිළිවෙළින් බලයට පත් ආණ්ඩු තම අයිතිවාසිකම් ඉල්ලා සිටි දෙමළ ජනයා වැනි ඕනෑම කණ්ඩායමකට දැක්වූ මර්දනකාරී ප්‍රතිචාරයෙහි අඩංගු වුණේ මේවා ය: එනම්, දිගු කාල පරිච්ඡේදයක් තිස්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම, හිංසා කිරීම, වෙනස්කම් කිරීම, අත් අඩංගුවේ සිටිය දී වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම, සිවිල් ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීම, දිගු කාලයක් තිස්සේ හුදෙකලාව සිර කර තැබීම සහ නීතිය හෝ පවුල ප්‍රවේශවීම වළකා අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ නොදී පුද්ගලයන් රඳවා තබා ගැනීම, බලාත්කාරී අතුරුදන් කිරීම්, සිවිල් වැසියන් ත්‍රස්ත කිරීම සඳහා දහ දෙනෙකුට එක් අයෙකු හෝ ඊට වැඩි අනුපාතයකින් ඔවුන් (සාමාන්‍යයෙන් තරුණ ජනයා) ඝාතනය කිරීම, ගම්මානවලට ගුවනින් බෝම්බ හෙළීම සහ භූමිය ගිනි තැබීම යි.

යුද ප්‍රයත්නයට බාධා කොට එල්ටීටීඊයට උදව් වන්නේ යැයි පවසමින් සාධාරණ වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳ මූලික ඉල්ලීම් ඉදිරිපත් කළ පුද්ගලයන් යළි යළිත් මැඩ ලා ඇත. කාර්මික ක්‍රියාවන් කඩාකප්පල් කිරීම හෝ තහනම් කිරීම සඳහා ආරක්ෂක හමුදා, අධිකරණය සහ ඇතැම් විට ජනාධිපති බලතල ඇතුළු රාජ්‍ය තන්ත්‍රය යොදා ගනු ලැබිණ. එසේම බලයෙහි එල්ලී සිටීම සඳහා වත්මන් පාලන තන්ත්‍රය මෙය දිගින් දිගටම කරගෙන යනු ද ඇත.

දේශපාලනික ප්‍රචණ්ඩත්වය නිසා පසු ගිය දශක හතර තුළ දී මානව අයිතිවාසිකම් සෝදාපාළු වී යාමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් – බොහෝ දෙනා සිවිල් වැසියන් ය – ඝාතනයට ලක් වීම සහ තමන්ගේම රට තුළ සරණාගතයන් බවට පත් වෙමින් දසලක්ෂ ගණනක් අවතැන් වීම යි. යුද වැන්දඹුවන්, අනාථ ළමයින්, ආබාධිතයන් දහස් ගණනකි. මානසික තුවාල සහිතව ඉබාගාතේ යන්නන් දසලක්ෂ ගණනකි.

අභ්‍යන්තරව අවතැන් වූවන් පුනරුත්ථාපනය කොට ඉක්මන්, ප්‍රජාතන්ත්‍රවාදී සහ විනිවිද පෙනෙන වැඩ පිළිවෙළක් හරහා යළි පදිංචි කළ යුතු ය. පුනරුත්ථාපනය සහ යළි පදිංචි කිරීම හා සම්බන්ධ මූල්‍ය ගනුදෙනු ද විනිවිද පෙනෙනසුලු විය යුතු ය. අවශේෂ මහජනයාට මෙන් අභ්‍යන්තරව අවතැන් වූවන්ට ද තම නිදහසවල් සහ අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ ලැබිය යුතු ය.

රට පෙරට යාමට නම් එහි දේශපාලන ප්‍රභූ පෙළැන්තිය මෙම හානිකර පිළිවෙත් ඉවත ලිය යුතු ය. සමාජය මිලිටරීකරණය කිරීම සහ රාජ්‍ය සේවය සහ ආරක්ෂක හමුදා දේශපාලනීකරණය කිරීම අවසන් කිරීමෙන් එවැනි ප්‍රවේශයක් කරා මාරු වීම ආරම්භ කළ හැකි ය. අනිසි දේශපාලන බලපෑම්වලින් තොරව ආරක්ෂක හමුදා නීතිය සහ සාමය පවත්වා ගෙන යා යුතු ය. පොලීසියට සහ රාජ්‍ය අංශයේ අනෙක් ආයතනවලට ස්වාධීනව සහ වග වීමෙන් යුතුව තම වගකීම් ඉටු කළ හැකි වන පරිදි 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු ය.

සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සමාන අයුරින් බෙදී යාම ප්‍රගතිය කරා යාම සඳහා කවර සමාජයකට වුව අත්‍යවශ්‍ය ය. එනිසා ධනවාදී ගෝලීයකරණයෙන් ඇති වුණු ගැටලු ඒත්තු ගෙන ඒවා විසඳිය යුතු ය. මෙම ගැටලුවලට විසඳුම් අභ්‍යන්තරව සොයාගත නොහැකි වුවහොත් තම වාසිය තකා බාහිර බලවේග මැදිහත් විය හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ විමුක්තිය අගේ කොට සලකන්නන් තමන් ශ්‍රී ලංකාව තුළ පවතින මර්දනකාරී දේශපාලන සංස්කෘතියට විරුද්ධ බව ක්‍රියාකාරීව පෙන්නුම් කළ යුතු ය. අර්ථවත් සහ සාධාරණ බලය බෙදා හැරීමේ සැලැස්මක් කතිකා කර ගැනීමට ඔවුන් රාජ්‍යයට පීඩනය යෙදිය යුතු ය. ඇතුළත සිටිමින් යටත් වීමට පක්ෂ සහ බෙදී වෙන් වී යාමට පක්ෂ යන සමාජ බලවේග දෙකම බලය බෙදා හැරීමෙන් දුර්වල වනු ඇත. එය මුදුන් පමුණුවා ගත හැකි වන්නේ ශක්තිමත් නායකයෙකු යටතේ පමණකි. එවන් වාතාවරණයක් ගොඩ නගන්නට නම් අනෙකාට උසස් ලෙස, ගෞරවයෙන් යුතුව සහ සාධාරණව සලකන සංස්කෘතියක් ගොඩ නැගිය යුතු ය.
මෙම ගැටුම චිරස්ථායී කිරීමට උදව් කළ රටින් පිටුවාහල් වුණු සිංහල සහ දෙමළ ජනයා තම ප්‍රජාව තුළ සහ අනෙක් ප්‍රජාවන් සමග සාකච්ඡාවෙහි යෙදෙමින් එය විසඳීම සඳහා ඵලදායී දායකත්වයක් ලබා දිය යුතු ය. එකිනෙකා සමග අන්තර් ක්‍රියාවෙහි යෙදීම හරහා නව යථාර්ථයක් නිර්මාණය කරමින් ඔවුන් මෙම නිදර්ශනාත්මක වෙනස් වීමට මග පෙන්වන්නන් බවට පත් විය යුතු ය.

බලය බෙදා හැරීම හරහා සාමකාමී සහජීවනය මුදුන් පමුණුවා ගත නොහැකි නම් තවත් ගැටුමක් ඇති වන්නට තිබෙන ඉඩකඩ බැහැර කළ නොහැකි ය. එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කරන්නට සහ එහි නායකත්වය කායික වශයෙන් මුලිනුපුටා දමන්නට ශ්‍රී ලාංකික රාජ්‍යය සමත් වුව ද සාධාරණ දේශපාලන විසඳුමක් නැතිකමෙන් බෙදුම්වාදී බලවේග යළි මතු වී ආ හැකි ය. මින් ගැළවිය හැකි මගක් නම් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කරන සහ දෙමළ සහ මුස්ලිම් ජනයාට ප්‍රාදේශීය ස්වාධිපත්‍යය සපයන ව්‍යවස්ථා ආකෘතියක් ක්‍රියාත්මක කිරීම යි. එවන් පෙරළිකාරී දේශපාලන ප්‍රතිසංස්කරණ, දිගු කාලයේ දී, අන්‍යෝන්‍ය අවිශ්වාසය අඩු කර ඉදිරියට යාම කොපමණ හොඳ දෙයක් දැයි සිතා බලන්නට මහජනයාට වැඩි විවේකයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම් මෙය අත්‍යවශ්‍ය ය, නැත හොත් දූෂණය, සිවිල් සමාජය ඛාදනය වීම, රාජ්‍ය ආයතන පිරිහෙළීම, ආර්ථික අසමානතාව සහ බහුතර පාලනය තවත් වර්ධනය වනු ඇත.

ලයනල් බෝපගේ

(2010 මැයි 23 ලයනල් බෝපගේ විසින් www.groundsviews.org හී පලකරන ලද Post-War Sri Lanka: Way Forward or More of the Same?
ලිපියේ සිංහල පරිවර්තනයයි.)