iMage: nytimes
අතීතයේ මතකයන් තුළින් මට ගැලවීමක් නැත. මා මෙම ලිපිය ලියන්නේ එබැවිනි. මට සුනිලා අබේසේකරයන් හමු වන්නේ 89 අගභාගයෙදීය. භීෂණය පිරුණු සමයකය. ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතින නිසාත්, ඇයගේ නික්මයාමත් සමඟ නැවත ඒ අතීත ආවර්ජනය මා මනස තුළ පොරබදන නිසාත්, ඇය ගැන ලියා තැබිය යුතු යැයි සිතුවෙමි.
මම ඇයව ඇමතුවේ සුනිලා ආන්ටී කියා ය. 88-89 කාලය තුළ අතුරුදහන් වූවන්, මරා දැමූවන් පිළිබඳ කථා කරන වේදිකා තුළ ඇය පෙරමුණ ගත්තාය. 1988 නොවැම්බරය මට ද පෞද්ගලිකව එකී භීෂණය තදින් දැනුනු සමයකි. මා හැදී වැඩුනේ භීෂණය පිරුණු සමාජයකය. ඒ සමාජය තුළ හමු වූ සුන්දර මිනිසුන් අතලොස්සක් අතරින් ඇය සුවිශේෂී තැනැත්තියකි.
1988 නොවැම්බරයේදී මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ පසු, සියලූ දේ අහිමිව අනාථ දරුවන් වී සිටිනා අවදියේදී ඇයගේ ප‍්‍රථම හමුවීම මට දැනුදු මතකය. ඒ ප‍්‍රථම හමුවීම සිදු වන්නේ ඉබ්බාගමුව දේවසරණ කේන්ද්‍රයේ පැවැති මරාදැමූවන් හා අතුරුදහන් වූවන් පිළිබඳ සමරු උත්සවයකදීය. මගේ මතකය නිවැරදි නම් 1990 දීය.
1988 දී ඝාතනය කරන ලද මගේ පියා මට වීරයෙක් විය. ඔහු ඝාතනය කර ඇති බව ඇසූ මගේ සොයුරිය විලාප නගා හැඩුවේය. මම නොහැඬුවෙමි. මගේ විශ්වාසය වූයේ ඔහු කොහේ හෝ සැඟවී නැවත එන බවය. එදා මරාදැමූවන් හා අතුරුදහන් වූවන් සැමරුමේදී, ‘සුනිලා ආන්ටි ඔබ මිය ගොස් නැත’ ගීතය මහ හඬින් ලයාන්විතව ගැයූවාය. ඒ හඬ මා දෙසවන් තුළ තවමත් රැව් පිළිරැව් දෙන්නාක් මෙනි. ඇයගේ ආදරණීය මනුෂ්‍යත්වය මා දැක්කේ එදාය. ඒ දවස් පිළිබඳ මගේ මතකය සහ ඇයගේ පහන් රුව තවමත් එලෙසින්ම මතකයේ තිබේ.
ඇගේ සිගිති දියණිය සුභාවත් වඩාගෙන ‘වැටී දිවුරමු ඔබේ සොහොනේ – රතු ලොවක් අප ගොඩ නඟන්නෙමු’ යන ගීතය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ ගිටාර් වාදනයට ඇය ගායනා කළ ආකාරය මගේ ළමා ලෝකයේ විසිතුරු මතකයන් අතර නොනැසී තිබේ. එම සැමරුමේ ඡායාරූප ප‍්‍රදර්ශනයේ මම පළමු වරට මගේ තාත්තාගේ කඳින් වෙන් කළ හිස සහිත ඡායාරූපය හඳුනා ගත්තෙමි. ඒ තාත්තාගේ සුන්දර සිනහව ඒ සේයාරුව තුළත් රැදී තිබුණු නිසාය. වේදනාව දරාගත නොහැකිව පළමුවරට තාත්තා වෙනුවෙන් නැගුණු මගේ හැඬුමත් සමඟ ඇය සිය සිගිති දියණිය සුනිල් විජේසිරිවර්ධනයන්ට දී මා වඩා ගත්තාය. ඒ මොහොතේ ඇයගේ ඒ උණුසුම මට කිසිකලක අමතක නොවේ. ඒ උණුසුම පසුකාලයක මගේ ජීවිතය ගොඩනගා ගන්නට හයියක් විය. ඇගේ දයාබරත්වයද මට සදාතනික හයියක් විය. සුන්දර ළමා කාලයක් අහිමි මම ජීවත් කරවන්නට ඒ සුවිශේෂි උණුසුම, හා දයාබරත්වය මහත් සේ ඉවහල් විය.
පසු කාලීනව නැවත වතාවක් ඇය මට හමුවන්නේ ‘ඉන්ෆෝම්’ ආයතනයේදී ය. ඒ මා යොවුන් වියට එළඹුණු පසු ය. ඇය ස්ත‍්‍රී අයිතිවාසිකම් සහ පොදුවේ මිනිස් අයිතීන් වෙනුවෙන් නැගී සිටියා පමණක් නොව මා වැනි බොහෝ දරුවන්ට මවක් බඳු වූවාය.
ආදරණීය සුනිලා නැන්දේ…..මගේ ජීවිතයේ අඳුරුතම කාලයේදී, ඔබගෙන් ඒ ලැබුණු දයාබරත්වයේ හයිය මා ජීවත් කළ බව ඔබ කිසි කලක දැන නොගනු ඇත. ඒ ඔබ ඒ වැනි බොහෝ දේ මිනිසුන් වෙනුවෙන් කළ නිසාමය.
ස්ත‍්‍රීන් වූ අපිට ඇය බොහෝ දේ කියා දුන්නාය. ස්ත‍්‍රී අයිතීන් පිළිබඳ මා මුල් අකුරු තබන්නේ ඇයගේ ඇසුර නිසාමය. ඇයගේ ආදර්ශයෙන් ගොඩනැගුණු බොහෝ ස්ත‍්‍රීන් අද ලංකාව තුළ ස්ත‍්‍රී අයිතීන් හා පොදුවේ මිනිස් අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් වෙහෙසෙති. ඔවුන් සියල්ලන් ගැන මට ඇත්තේ අසීමිත ගෞරවයකි.
නමුත් සුනිලා අබේසේකර යන සුවිශේෂී ගැහැණිය අපට අහිමි වීම කිසිදාක පියවිය නොහැක්කකි. නමුත් ඇය පිළිබඳ යථා ඇගයීමක් ලංකා සමාජය තුළ නොවීය. ලංකාව තව තවත් දුප්පත් වන්නේ ඇය වැනි මානව හිතවාදී මනුෂ්‍යයින් නැතිකමිනි.
ලාංකීය සමාජයේ හෘද සාක්ෂිය අහිමි වී බොහෝ කල් ය. අද ඇය අප දමා යන්නේ හෘද සාක්ෂිය අහිමි වූ සමාජයක හෘද සාක්ෂියක් ඉතිරිව තිබූ උත්තරිතර ගැහැණියක් ලෙසිනි.
ආදරණීය සුනිලා නැන්දේ, ඔබ යුක්තිය වෙනුවෙන් බොහෝ දේ කළ බව මම දනිමි. අද වෙද්දී ඒ යුක්තිය හුදෙක්ම බලාපොරොත්තුවක් පමණක්ම බවට පත්ව තිබියදීත් ඔබ එය අත් නොහැර සටන් කළාය. අදට වඩා යහපත් දිනයක ඒ දුලබ ගුණය කළගුණ දත් මිනිසුන් යළි යළිත් සමරනු ඇත.
මගේ තාත්තා පිටව ගිය දා මෙන්ම අද පිටව යන ඔබගේද මුහුණ සිඹ සමුදෙන්න මට ඉඩක් නැත. ඔබේ ආදරය විඳි මව්වරුන්ගේ, පියවරුන්ගේ දරුවන් ඔබගේ නික්ම යාම දරා ගත නොහැකිව සොවින් වැලපේ. ඔබ මගේ හද තුළ සදා ජීවමානය.
‘ඔබ මිය ගොස් නැත, මිය ගොස් නැත….
නිදහස අගයන හැම හදවත් තුළ…..’
මම නැන්දාගේ දුව රුවන්දි.