සිංහල, Colombo, Governance, Peace and reconciliation

88 කරා ආපසු හැරීම – කව්ද හරි?

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුන්නද ෙද්ශප්‍රිය

ප්‍රශ්නය: ජනාධිපති ප්‍රේමදාස ඉන්දු ලංකා ගිවිසුම කඩා කප්පල් කරා? ඔහු ශ්‍රී ලංකික දේශප්‍රේමියෙක් ද?

මහින්ද රාජපක්ෂ: හේතුව ඔහුට ඕනෑ වුනා මෙරට ජනාධිපතිවරයා විමට. ඒ සඳහා සමහර අන්තවාදීන්ගේ වාමංශිකයින්ගේ සහාය අවශ්‍ය වුනා

ප්‍රශ්නය: එකළ ජවිපෙ වගේ? ඔහු එය කළේ ජනාධිපතිවීමට තිබූ ආසාව නිසාම ද?

මහින්ද රාජපක්ෂ: ඔව්

2008 ජනවාරි මුල් සතියෙහි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ෂෙකර් ගුප්තා සමඟ එන්.ඩී රූපවාහිනිය සදහා කළ සාකච්ජාවෙහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ එසේ ය.

එපමණක් නොව 20 වසරකට පෙර රජීව් ගාන්ධි සතුව අද ශ්‍රී ලංකාවට ඔබින දුර දැක්මක් තිබූ බවත් ඔහු කියා සිටියේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ඔබින හොඳම විසඳුම (එලෙස කඩා කප්පල් කරන ලද) ඉන්දු ලංකා ගිවිසුම යටතේ පිහිටුවන ලද පළාත් සභා ක්‍රමය බව ය. ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය පිහිටවූයේ 1988 ඉන්දු ලංකා ගිවිසුම අනුව ලියැවුනු 13වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

නමුත් ඒ අවස්ථාවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට රජීව් ගාන්ධිට තිබූ දුර දැක්ම තිබුණේ නැත. එය ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රට ගිනි තැබීය. කොළඹ කොටුව බෝගහ හන්දියට රැස්වූ ශ්‍රීලනිප නායකයින් සහ ජවිපෙ අනුගාමික පිරිස් 1988 -1990 දක්වා මෙරට ගිනි ගත් සිවිල් යුද්ධය ආරම්භ කළහ. පසුව ජවිපෙ ශ්‍රීලනිපයේ යම්යම් පිරිස්වලට එරෙහිව ද සිය තුවක්කු පත්තු කල බව රටම දනී.

එම අවස්ථාවෙහි පළාත් සභා ක්‍රමයට පක්ෂ වූයේ ජේ. ආර්. සහ ගාමිණි දිසානායක විසින් නායකත්වය දෙන ලද එජාප ය, චන්ද්‍රිකා කුමාරතුංග සහ විජය කුමාරතුංග විසින් නායකත්වය දෙන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ සහ සාමවාදි රාජ්‍ය නොවන සංවිධාන සමූහය යි. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කලේ මර්ජ් නොහොත් ජාතීන් අතර සාමය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරයේ ප්‍රධානියා වූ චාල්ස් අබේසේකර සහ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ ප්‍රධානියා වූ තිස්ස බාලසූරිය පියතුමා ය.


එලෙස ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇති වූ 13වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම නිසා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයින් සිය ගනනාවක් මරා දමන ලදී. මර්ජ වැනි සාම ව්‍යාපාරයන්හි ප්‍රාදේශිය නායක පිරිස් මරා දැමුණි. සාමවාදී රාජ්‍ය නොවන සංවිධාන මහත් භයානක තර්ජනයන්ට මුහුණ දුන්හ. නායක පිරිස් ද ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ දහස් ගණනාවක් මරා දැමුණි. එම ඝාතනය දේශපාලනය මෙහෙය වූයේ ශ්‍රීලනිප සහ එජාප ප්‍රේමදාස පාර්ශවය විසින් සහාය දක්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි.

එම මිනීමරු දේශපාලනයේ ගොදුරු නොවී අපේ දිවි රැකුණේ අහම්බෙනි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මිනී මරුවෝ දිවා රෑ නොබලා අප පසුපස එළවුයේ ඉන්දු ලංකා ගිවිසුම සහ පළාත් සභා ක්‍රමය අප පිළිගත් නිසා ය. එකළ අද මෙන්ම සාමවාදි සිවිල් සමාජය බලය බෙදීමට විරුද්ධ වු අන්තවාදි බලවේග විසින් හංවඩු ගසන ලද්දේ දේශද්‍රෝහින් වශයෙනි.

දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය හැකි බව කියා සිටීම මගින් අප එදා ගත් දේශපාලන ස්ථාවරය සාධාරණියකරණය කෙරෙයි.

1988 දී ශ්‍රීලනිපයට මේ බව තේරුම් ගැනීමට බැරිවිය. එදා ජවිපෙ සහ එහි ශ්‍රීලනිප හවුල්කරුවන් එල්ටීටීඊ ය සළකන ලද්දේ දේශප්‍රේමී බලවේගයක් ලෙස ය. උතුරු නැගෙනහිර පළාත් සභාවට තරඟ කොට ජයගෙන පළාත් සභාව පිහිට වූ ඊලාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල.්එෆ්) දේශද්‍රෝහීන් විය. පළාත් සභා ක්‍රමය රැක ගැනීමට සටන් කළේ පුළුල් ප්‍රගතිශිලි ව්‍යාපාරයේ කොටස්කරුවන් ලෙස අප ය. අන්තිමේදී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය විනාශ කර එල්ටීටීඊ ය බලයට ගෙන ඒමට කටයුතු කලේ එළෙස ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වු පිරිස් ය. එදා අප සිටියේ පළාත් සභා ක්‍රමය පැත්තේ ය.

මහින්ද රාජපක්ෂ මහතාට එදා මේ බව තේරුම් ගැනිමට බැරි වීම කොතරම් අභාග්‍යයක් ද? දැන් පහළවී ඇති ඥාණයෙන් වැඩක් වේ දැයි කියන්නට බැරි තරමට පසුගිය විසි වසර පුරා මෙරට ජනවාර්ගික අරගලයේ පැති මානයන් වෙනස් වි තිබෙි.

13වන ව්‍යවස්ථා සංශෝධනය ආරම්භයක් විය හැකි නමුත් එය අවසාන විසදුම නොවිය යුතු බව අද ආණ්ඩුවේ සිටින දෙමළ දේශපාලන පක්ෂ එදා මෙන්ම තවමත් දරන අදහස ය. අඩුම වශයෙන් බලය බෙදීමේ සමගාමි ලැයිස්තුව ඉවත් කර පළාත්සභා ඉක්මවා යෑමට පාර්ලිමේන්තුවේ සරළ බහුතරයට ඇති අයිතිය වෙනස් කළයුතු බව සෑම දෙමළ දේශපාලන පක්ෂයක්ම යළි යළි කියා සිට තිබේ. ආණ්ඩුවේ අතකොලුවක් වූ කරුණා අම්මාන් සහ උග්‍රතම එල්ටීටීඊ විරෝධී දේශපාලනඥයකු වන ආනන්ද සංගරි පවා ඉල්ලා සිටින්නේ පෙඩරල් ක්‍රමයකි.

දැන් මහින්ද රාජපක්ෂ සැබෑ බලය බෙදීමේ යෝජනාවකින් පැන යාමේ හේතුව ඔහු ජනාධිපති ප්‍රේමදාස සම්බන්ධයෙන් කියු හේතුවම නොවේ ද? බලය බෙදීමේ පෙඩරල්වාදි යෝජනාවක් ඉදිරිපත් කල හොත් ආණ්ඩුව පෙරළන බවට ජවිපෙ කළ තර්ජනයට බිය වීම නිසා සර්ව පාක්ෂික කමිටුව කුණු කූඩයට දැමුයේ කෙසේ හෝ බලය රැක ගැනීම පිනිස නොවේ ද?

බලට ඒම සහ බලයේ සිටීම පිණිස (ජනවාර්ගික ප්‍රශ්නය නොවිසදා) රටෙහි අනාගතය පාවා දීම ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන චෝදනාව අදාළ නොවන ජනාධිපතිවරයකු මෙරට සිටින්නේ ද? 1958 බණ්ඩාරනායක, 1966 ඩඩ්ලි සේනානායක, 1983 ජේ.ආර්. ජයවර්ධන, 1990 ප්‍රේමදාස, 2004 චන්ද්‍රිකා කුමාරතුංග ….
මහින්ද රාජපක්ෂ මහතා කන්ණාඩියක් ඉදිරියට ගොස් අසා ගත යුත්තේ තමා ද අන්තවාදින්ට බය වී සිටින්නේ ද නැත් ද යන්නයි.