iMAGE: AFP

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ (20 A) මඟින් 20 වැනි සංශෝධනය ප‍්‍රකාශයට පත් කර තිබේ. මා එය එක වාක්‍යයකින් විස්තර කරන්නේ නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් 2010-2015 කාල පරිච්ඡේදය දක්වා රට පසුපසට ගෙන යාමට උත්සාහ කරයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දී ඇති නමුත් 20 වන සංශෝධනයෙන් නොනැසී පවතින එකම ලක්ෂණ වනුයේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධුර කාලය, ජනාධිපති ධුර කාලය සහ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම) යන කරුණු ය.

අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් පසුව, දැන් එකී ඇමතිවරුන්, රජයේ මන්ත්‍රීවරුන් සහ රජයට සහාය දක්වන අය විසින් මෙම කෙටුම්පත සම්බන්ධ ගැටලු මතු කරනු ලැබේ. පනත් කෙටුම්පත පිළිබඳ විශ්ලේෂණය කිරීමට අගමැතිවරයා කමිටුවක් ද  පත් කර තිබේ.

දැන් කිසිවෙකු 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පීතෘත්වය ප්‍රකාශ නොකරයි. හෘද සාක්ෂියට එකඟව අදාළ කැබිනට් සංදේශය පවසන දේ පමණක් සිදු කරන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දොස් නොපැවරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. 20 වන ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනත් කෙටුම්පතක් නම් (19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් අහෝසි කරන ලද නමුත් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත අවසර  කරන ලද) එවැනි සාකච්ඡාවක් හා විසම්මුතියක් ඇතිවීමට ඉඩක් හෝ නොතිබෙනු ඇත. 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී මෙන් මෙම පනත් කෙටුම්පත දින කිහිපයකින් සම්මත වීමට ඉඩ තිබුණි. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හදිසි පනත් කෙටුම්පත් වලට එරෙහිව ඉතා හොඳ තර්කයකි. එසේ වුවද, ඒ පිළිබඳව පසුව ඇති වූ සාකච්ඡාව සාදරයෙන් පිලිගත යුතුය.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩු ක්‍රමය විස්තර කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වස්ත්‍රයෙන් සැරසී සිටින ව්‍යවස්ථාමය ජනාධිපති ආඥාදායකත්වයක් ලෙස ය. 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය “ප්‍රජාතන්ත්‍රවාදී” ලෝකයේ ශක්තිමත්ම හා නරකම ජනාධිපති ක්‍රමයක්, නොඑසේ නම් එකම ශක්තිමත් සහ නරකම ජනාධිපති ක්‍රමය  බවට පත්විය. දැන්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්පත් කරගත් වාසි කණපිට හරවා රට පසුපසට ගෙනයාමට තැත් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් ඇත්තේ, ප්‍රධාන වශයෙන් යහපාලන රජය විසින් ජනාධිපති පාලන ක්‍රමය මුළුමනින්ම අහෝසි නොකිරීමට ගත් තීරණය, රජය තුළ සිටින සෙසු පක්ෂවල බලපෑම් මත කැබිනට් මණ්ඩලයට ගිය කෙටුම්පත තනුක කිරීමට ගත් තීරණය සහ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීම සඳහා විපක්ෂය දක්වන සහයෝගය වෙනුවෙන් ඔවුන්ට සහන ලබා දීම නිසාය.

කෙටුම්පත් මුලින්ම  සකස් කළේ මා, තවත් නීති වෘත්තිකයෙකු සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි. වාර්තා වලට පටහැනිව, එම්. ඒ. සුමන්තිරාන් සහ ජේ.සී.වැලිඅමුණ යන අය ඊට සම්බන්ධ නොවූ නමුත් නිසැකවම ඔවුන්ගෙන්  උපදෙස් ලබා ගන්නා ලදී. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයක් විසින් පත් කරන ලද කමිටුවක් විසින් එසේ සකස් කරන ලද කෙටුම්පත් කිහිපයක් පරීක්ෂා කරන ලදී. “ව්‍යවස්ථාවක් සම්පාදනය කළ විට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් සිදු නොකෙරේ” යන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය, මෙම කෙටුම්පත් කමිටුවට ද බෙහෙවින් අදාළ විය. අපට කිසිදු ඉඩක් හෝ ස්වාධිනත්වයක් නොතිබූ බව මින් අදහස් නොකෙරේ. අපට එකී අවස්තාවන් තිබු නමුත් අප යෝජනා කළ සෑම විධිවිධානයක්ම අධි බලැති කමිටුව විසින් නිෂ්කාශනය කරන ලදී. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම, අල්ලස් හෝ දූෂණය පිළිබඳ කොමිෂන් සභාව ව්‍යවස්ථාමය සභාවක් ලෙස උසස් කිරීම සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, එසේ අනුමත වූ කෙටුම්පත් කමිටුවේ යෝජනා අතර විය. ආරම්භක කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය අවසානය කරා ළඟා වෙත්ම, කෙටුම්පත් පිළිබඳ අවසන් අධිකාරිය වූ නීති කෙටුම්පත්කරු සමඟ මෙම කෙටුම්පත් බෙදාගත් අතර ඔහු අවසන් නිමාව සේම වෙනස්කම්ද සිදු කළේය.

2015 මාර්තු 15 වෙනිදා උදේ – මාගේ මතකයට අනුව එය ඉරිදා දවසක් – දින කිහිපයකට පෙර අමාත්‍ය මණ්ඩල කාර්යාලයට යැවුණු අවසන් කෙටුම්පත ජනාධිපති මහලේකම් කාර්යාලයේ, ජනාධිපති සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් පැවති  රැස්වීමකදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. මෙම රැස්වීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එහි එවකට නායකයා ජනාධිපති සිරිසේන වූ නමුත් එහි මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන්ගෙන සිටි අතර එවකට ආණ්ඩුවට සහය දුන් ජාතික හෙළ උරුමය යන පක්ෂ යෝජිත, ජනපතිවරයාගේ බලතල ඛාදනය වීමට දැඩි ලෙස විරුද්ධ විය. අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ රජයේ අනෙකුත් පක්ෂවලින් ඊට සුළු ප්‍රතිරෝධයක් එල්ල විය. දෙමළ ජාතික සන්ධානයේ නොපැමිණීම සහ ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා නොකිරීම ද ඊට සහයෝගය දක්වන කරුණු විය. ලේඛකයාගේ මතය වූයේ ජනාධිපති සිරිසේනගේ නිශ්ශබ්ද අනුමැතිය ඇතිව කෙටුම්පතට එරෙහි විරෝධය කලින් සැලසුම් කළ එකක් බවය. විපක්ෂය සතු විශාලතම වාසිය වුයේ ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා රජයට අවශ්‍ය සරල බහුතරය හෝ විපක්ෂයේ සහය නොමැති වීමය.

කැබිනට් මණ්ඩලය එදිනම රැස්විය. මා සහාය දුන් නීති කෙටුම්පත්කරුට එදින උදේ එකඟ වූ කෙටුම්පත් වෙනස්කම් කිරීමට පැය දෙකක් පමණක් තිබුණි. ඔහු එකී වෙනස්කම් සිදු කළේ වෙනස්කම් අධීක්ෂණය කිරීමේ වගකීම භාරව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ  අමාත්‍ය චම්පික රණවකගේ අනුදැනුම යටතේය. සංශෝධිත කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර පනත් කෙටුම්පත පසු දිනම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

පාර්ලිමේන්තුවේ කාරක සභා අවධියේදී ඊට තවත් වෙනස්කම් සිදු කරන ලදී. එකී වෙනස්කම්ගෙන් සමහරක්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිප්‍රායන්ට  අනුකූල වන පරිදි සිදු  කල අතර හරස් ප්‍රති ප්‍රදාන ඉවත්කිරීම වැනි අනෙක් ඒවා විපක්ෂයේ පීඩනය හමුවේ සිදු කෙරිණි.

කොල්වින්ව නැවත නැවත උපුටා දැක්වීම ගැන මා පාඨකයාගෙන් සමාව භාජනය කල යුතුය. (මට තවත් කුමක් කළ හැකිද? එවැනි කාරණා පිළිබඳව වඩාත්ම නිවැරදි අනාවැකි පළ කර ඇත්තේ කොල්වින් ආර්. ද සිල්වා සහ ආචාර්ය එන්. එම්. පෙරේරා ය.) ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙන ආ යෝජනාවන්ට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ද සිල්වා මහතා,  සෘජුවම තේරී පත්වන ජනාධිපතිවරයෙකුට එරෙහිව ස්වෛරී ජනතාව විසින් තෝරා ගන්නා ලද අග්‍රාමාත්‍යවරයෙකු පෙනී සිටීමේ අනතුරට එරෙහිව අනතුරු ඇඟවීය. එහි ප්‍රතිඵලය වනුයේ එකම ප්‍රභවයකින්, එනම් ස්වෛරී ජනතාවගේ බලයෙන් බලයට පත්වන නමුත් එකිනෙකාගෙන් ස්වාධීනව බලය ලබාගන්නා එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල මුලාශ්‍රයන් දෙකක් රටේ අග්‍රස්ථානයට පත්වීමයි. ‘මේ දෙක අතර සම්බන්ධතාවය ප්‍රමාණවත් හා සතුටුදායක ලෙස අර්ථ දැක්වීමට කිසිදු ව්‍යවස්ථාවකට නොහැකි වනු ඇති අතර ඒ සඳහා ඇති හොඳම උදාහරණය ඇමරිකා එක්සත් ජනපදයයි’ ඔහු පැවසීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අප ලබා ඇති අත්දැකීම් පැහැදිලිවම අවධාරණය කරන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට, පසුපසට නොයා, පාර්ලිමේන්තු ආකෘතියක් කරා ඉදිරියට ගමන් කිරීමේ අවශ්‍යතාවයි. පසුගිය පාර්ලිමේන්තුවේදී මා කිහිප වතාවක්ම මේ බව ප්‍රකාශ කළ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විරුද්ධවාදීන්, මගේ වචන වැරදි ලෙස අර්ථකථනය කළේ මා 19 වන ව්‍යවස්ථා සංශෝධනය වැරැද්දක් බවට පාපොච්චාරණය කළ ලෙස ය. ඉන් බොහෝ දුරට 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි දිශාවට ප්‍රධාන පියවරක් විය.

පාර්ලිමේන්තුවට ඉහළින් ඩැමොක්ලස්ගේ කඩුව

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව යළිත් වරක් ජනාධිපතිවරයාගේ කරුණාවට පාත්‍ර වනු ඇති අතර, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සැප පහසු බහුතරයකට අණ කළත් ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වනු ඇත. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කළේ එයයි.  විසුරුවා හැරීමේ බලය පිළිබඳ එකම විපාකය වනුයේ, පෙර පාර්ලිමේන්තුව වසර පහක් සම්පූර්ණ කිරීමට පෙර විසුරුවා හැර තිබේ නම්, ජනාධිපතිවරයාට නව පාර්ලිමේන්තුව වසරකට පසුව විසුරුවා හැරිය හැකි වීමය . මීට පෙර පාර්ලිමේන්තුව සිය ධුර කාලය සම්පූර්ණ කර ඇත්නම්, යෝජිත 70 (1) ව්‍යවස්ථාව යටතේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පවත්වා දිනකට පසුව පවා ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැක. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මුළු වලංගු ඡන්දවලින් 52.25% ක් ලබා ගත්තේය. ඊට අමතරව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත් වූ මන්ත්‍රීවරුන් 225 දෙනා වලංගු ඡන්දවලින් 96.57% ක් ලබා ගත්හ. ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබේ නම්, ඉන් ඛාදනය වන්නේ, ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ,  ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගත් ජනතාවගේ ස්වෛරීභාවය නොවේ ද?

පාර්ලිමේන්තුව කැඳවීමට හා සේවයෙන් පහ කිරීමට රාජ්‍ය නායකයාට ඇති බලයට රාජාණ්ඩු මූලයක් ඇත. මෙහිදී අයෙකුට චාල්ස් I එංගලන්ත පාර්ලිමේන්තුව වසර එකොළහක කාලයක් පුරා විසුරුවා හැර තිබූ ආකාරය සිහිපත් කළ හැක. කෙටිකාලීන ඉංග්‍රීසි ජනරජය තුළ ක්‍රොම්වෙල්, විසුරවා හැරීම පිලිබඳ  පාර්ලිම්න්තුව ඔහු සමඟ එකඟ නොවන සෑම අවස්ථාවකදීම සහ නව ව්‍යවස්ථාවකට එකඟ වීමට අපොහොසත් වන සෑම අවස්ථාවකදීම,  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ක්‍රොම්වෙල් 1653 අප්‍රේල් 20 වන දින පාර්ලිමේන්තුවට පැමිණ, කථා කිහිපයකට සවන් දී “දෙවියන්ගේ නාමයෙන් පලයන්!” යනුවෙන් කෑ ගැසූ අතර සාමාජිකයන් අමතා “ඔබලා තවදුරටත්පාර්ලිමේන්තුවක් නොවේ” යනුවෙන් ප්‍රකාශ කළේය.

පැරණි ලිඛිත පාර්ලිමේන්තු ව්‍යවස්ථා බොහොමයක, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පරම වූ අධිපතියාට සතු වූ බලය ඔහු කෙරෙහිම රඳවා ගනු ලැබීය. 1814 ප්‍රංශ ව්‍යවස්ථා ප්‍රඥප්තිය, 1831 බෙල්ජියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1866 රුමේනියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1889 ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා සියල්ලම රජතුමාට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවසර ලබා දුන්නේය. කෙසේවෙතත්, අවසානයේදී රාජාණ්ඩු වඩ වඩාත් චාරිත්‍රානුකූල වූ අතර අධිරාජ්‍යයන්, විධායකයේ නාමික ප්‍රධානීන් බවට පත්විය. පසුව විසුරුවා හැරීමේ බලය පසුව රජතුමා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණි.

දැනුදු එක්සත් රාජධානියේදී මහ රැජින අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තුව විසුරුවා හරියි. 2011 ස්ථාවර කාලීන පාර්ලිමේන්තු පනතට පෙර, අග්‍රාමාත්‍යවරයෙකුට, පස් අවුරුදු ධූර කාලය අවසන් වීමට පෙර ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව් විසුරුවා හැරීමට උපදෙස් දිය හැකි විය. ධුර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරවා හැරුණු අවස්ථාවන්ද ඇත. මෙය පාලක පක්ෂය සතු වූ අසාධාරණ වාසියක් ලෙස සලකනු ලැබීය. ස්ථාවර කාලීන පාර්ලිමේන්තු පනත යටතේ, අවස්ථා දෙකකදී ධුර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි විය. මහජන මන්ත්‍රණ මණ්ඩලය පවතින රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඡන්දයකින් සම්මත කර දින 14ක් තුළ නව රජය විශ්වාසභංගය ජයග්‍රහණය නොකරන්නේ නම් පර්ලිම්න්තුව විසුරවා හරිනු ඇත. පුරප්පාඩු වූ ආසන ඇතුලු සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක බහුතරයකගේ සහාය ඇතිව පූර්ව මහ මැතිවරණයක් යෝජනා කරන අවස්ථාවකදීද පාර්ලිමේන්තුව විසුරවා දැමිය හැක.

ජනාධිපති ආණ්ඩුවක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රටවල, මෙසේ අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගත් ආරක්ෂක විධිවිධානයන් දක්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරිය නොහැකි අතර  අඛණ්ඩ ආයතනයක් වන සෙනෙට් සභාවේ සෙනෙට් සභිකයන්ගෙන් තුනෙන් එකක් සෑම වසර දෙකකට වරක්ම තෝරා පත් කර ගනු ලැබේ. ප්‍රංශයේ, ජනාධිපතිවරයාට ජාතික සභාව විසුරුවා හැරිය හැක්කේ අග්‍රාමාත්‍යවරයා සහ රැස්වීම් දෙකේ සභාපතිවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණි. කෙසේ වෙතත්, මාස දොළහක් තුළ තවත් විසුරවා හැරීමක් කළ නොහැකිය.

අගමැතිද? කාර්යාල කාර්ය සහයක ද?

ආර්. ප්‍රේමදාස මහතා, ජනාධිපති වීමට පෙර, එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා (අගමැති) “කාර්යාල කාර්ය සහයක” (KKS) හා සමාන කළේය. වර්තමානයේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පින් සිදු වන්නට, පාර්ලිමේන්තුවේ බහුතරයකට අණ දීමේ බලය ඇති මන්ත්‍රීවරයා වන අගමැතිට ඊට වඩා වැඩි බලයක් ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අගමැතිවරයා යළිත් වරක් පියන් කෙනෙකුගේ තත්වයට පත් වනු  ඇත. ජනාධිපතිවරයාට සිය කැමැත්ත පරිදි අගමැතිවරයාව ඉවත් කළ හැකිය. තවදුරටත් අගමැතිවරයාගේ නිර්දේශය මත අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් නොකෙරෙනු ඇත. ජනාධිපතිවරයාට අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත හැකි නමුත් ඒවා පිළිපැදීමට බැඳී නොසිටිනු ඇත. අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත් කෙරෙනු ඇත. ඇමතිවරුන්ගේ විෂයයන් හා කාර්යයන් තීරණය කොට ඒවා වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවන අතර අගමැතිවරයාට ඒ සම්බන්ද කිසිදු කාර්යභාරයක් නැති වනු ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා අගමැතිවරයා දුර්වල කිරීම සම්බන්ධ යෝජිත විධිවිධානවල ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ආයතනය වන පාර්ලිමේන්තුව දුර්වල වන අතර එය සෘජුව ජනතාවගේ ස්වෛරීභාවයට අහිතකර ලෙස බලපායි.

පත්වීම් ලබා දීමේදී ජනාධිපතිවරයා (සතු බලය)  නොසැලී සිටියේය

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් නැවත හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) අධිකරණය සහ ස්වාධීන කොමිෂන් සභා ඇතුලු වැදගත් සභාවල තනතුරු රැසක සඳහා පත්වීම් පිළිබඳ ජාතික සම්මුතියක් ඇති කරයි. කුඩා පක්ෂවල නියෝජිතයෙකු ද ඇතුලුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයින්ගෙන් මෙම ව්‍යවස්ථා සභාව සමන්විත වන අතර ජනාධිපතිවරයාට ද එහි නියෝජිතයෙකු ද සිටී. පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් විමසීමෙන් පසු සහ අගමැති සහ විපක්ෂ නායක ඒකාබද්ධව නම් කරනු ලබන, දේශපාලනයට සම්බන්ධ නොවන  ප්‍රවීණ පුද්ගලයින් තිදෙනෙකුගෙන්ද මෙම සභාව සමන්විත වේ. මෙම පුද්ගලයින් තිදෙනා සහ තෝරා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කිරීමේදී, වෘත්තීය හා සමාජ විවිධත්වය ඇතුලුව ශ්‍රී ලංකා සමාජයේ බහුවිධ ස්වභාවය ඔවුන් තුළින් පිළිබිඹු වන බවට අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සහතික විය යුතුය.

නමුත් නව 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා  සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කවුන්සිලයක “නිරීක්ෂණය” පමණක්ය. වැදගත් පත්වීම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) සතු වූ බලතල සම්පූර්ණයෙන්ම නැති වී යනු ඇත. අධිකරණය, ඇතැම් උසස් තනතුරු සහ ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්කිරීම් ජනාධිපතිවරයාගේ ස්ව කැමැත්ත පරිදි සිදු කල හැකි වනු ඇති අතර එමගින් මෙම ආයතන හා තනතුරු වල ස්වාධීනත්වයට හානියක් වනු ඇත. ජනතාව තුළ ඔවුන් කෙරෙහි ඔවුන් වූ විශ්වාසය නැති වී යනු ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර, නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට වසර 58 ක් ඉක්මවූ පසු අදාල විධිවිධාන වලට යටත් වෙමින් ජනාධිපතිවරයාගෙන් සේවා දීර්ඝකිරීම් ලබා ගත යුතු විය.  ශ්‍රී ලංකාවේ සිටි හොඳම හා ගෞරවනීය නීතිපතිවරයකු වූ කේ.සී. කමලාසබේසන් මහතා එසේ මාස තුනක සේවා දීර්ඝ කාලයක් ලබා ගැනීමෙන් පසුව බලාපොරොත්තු සුන් වූ පුද්ගලයෙකු ලෙස මිය ගියේය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරුණු අතර එමඟින් ඔවුන් ජනාධිපතිවරයාගේ බලපෑම්වලට ලක් නොවනු ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම ප්‍රතිපාදනය ප්‍රතික්ෂේප කරනු ලැබේ.  19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතැම් කොටස්වල සඳහන් පරිදි නීතිපති සහ පොලිස්පතිවරයා ඉවත් කළ නොහැකි බවට ඇති විශ්වාසය අතිශයින්ම වැරදිය. 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ පනත මඟින් නිසි විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන ලිපියක් මඟින් ඔවුන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇත.

තොරතුරු දැන ගැනීමේ අයිතිය 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොනැසී පැවතියද, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කරනු ලබන අතර එමඟින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ප්‍රයෝජනවත් අරමුණු ඉටුකරන මෙම නව කොමිසමේ ස්වාධීනත්වයට බාධා පැමිණේ. අපගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ලෝකයේ එවැනි ප්‍රබලතම නීතියක් ලෙස පිළිගැනෙන අතර එය  තොරතුරු දැනගැනීමේ කොමිසමේ ස්වාධීනත්වයට එක් ප්‍රධාන හේතුවකි.

පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජාතික පොලිස් කොමිසම නැවත ස්ථාපිත කරන ලදී.අභාවප්‍රාප්ත රංජිත් අබේසූරිය මහතා පොලිස් කොමිෂන් සභාවේ සභාපති ධුරය දැරූ කාලය තුළ ඔහු දේශපාලන මැදිහත්වීම් නොඉවසන්නෙකු වූ නිසා, පොලිස් නිලධාරීන් සම්බන්ධ උසස්වීම්, ස්ථාන මාරුවීම් සහ විනය නියෝගවලට එරෙහිව මූලික අයිතිවාසිකම් අයදුම්පත් සංඛ්‍යාව අඩු වූ ආකාරය මෙහිදී යමෙකුට සිහිපත් කළ හැකිය. පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් සේවයට එරෙහිව ඕනෑම අගතියට පත් පුද්ගලයකු කරනු ලබන මහජන පැමිණිලි භාරගැනීමට, එම පැමිණිලි විභාග කිරීමට සහ නීතියෙන් සපයා ඇති පරිදි ඒවාට විසඳුම් ලබා දීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම කොමිසමට බලය ලැබුණි.

ජාතික පොලිස් කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමඟ ඇතිවූ දේශපාලන මැදිහත්වීම පොලිසියේ ස්වාධීනත්වයට බාධාවක් වූ අතර පොලිසියට එරෙහි මහජන දුක්ගැනවිලි විසඳීම සඳහා ප්‍රයෝජනවත් යාන්ත්‍රණයක් තවදුරටත් නොමැති විය. මින් ඉදිරියට දේශපාලකයින්ට සහ ඔවුන්ගේ සගයන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීමේදී පවා පොලිස් නිලධාරීන් ප්‍රවේශම් වීමට සිදු වනු ඇත.

ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සඳහා ද එය එසේම වේ. කොමිසම තවදුරටත් ස්වාධීන නොවන්නේ නම්, දේවානි ජයතිලක වැනි වනජීවී නිලධාරියෙකු දේශපාලන ද්‍රෝහීන් විසින් සිදු කරන හානිවල පාරිසරික හානිය ගැන කතා කිරීමට පෙර දෙවරක් නොසිතනු ඇත්ද?

ඉහත සඳහන් කරන ලද පත්වීම්වලට අදාළ ආචාර විධිවිධාන ඉවත් කිරීම එකී ආයතනවල සහ උසස් තනතුරුවල ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන නිසාත්  එය ජනතාවගේ ස්වෛරීභාවයට අහිතකර ලෙස බලපාන නිසාත් ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ලේඛකයා තවදුරටත් ඉදිරිපත් කරයි.

හදිසි පණත් කෙටුම්පත්  

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් හදිසි පනත් කෙටුම්පත් සම්බන්ධ විධිවිධාන අහෝසි කරන ලද අතර, ඒවා බලාත්මක කිරීමට පෙර පුරවැසියන්ට අභියෝග කිරීමට හැකි වන පරිදි ගැසට් පත්‍රයේ කල්තියා ප්‍රකාශයට පත් නොකර, පැය 24 සිට 72 දක්වා කාලය තුළ සමාලෝචනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යවන ලදී. නමුත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් හදිසි පනත් කෙටුම්පත් සඳහා නැවත අවසර දීමට රජය උත්සාහ කරයි.

හදිසි පනත් කෙටුම්පත් පිළිබඳ විශාලතම ගැටලුව පැන නගින්නේ ශ්‍රී ලංකාව තුළ පශ්චාත් ප්‍රඥප්ති අධිකරණ සමාලෝචනයක් නොමැති වීම නිසා ය; යම්කිසි නීතියක් කථානායකවරයා විසින් සහතික කිරීමෙන් පසුව, එය ව්‍යවස්ථා විරෝධී යයි අභියෝගයට ලක් කළ නොහැක.  1972 සහ 1978 ව්‍යවස්ථා දෙකෙන්ම  පූර්ව බලාත්මක කිරීමේ අධිකරණ සමාලෝචනයට පමණක් අවකාශය සලසා දේ. නීතියක බලපෑම වඩාත් හොඳින් දැකිය හැක්කේ එම නීතිය ක්‍රියාත්මක වන විටය. කෙටුම්පත් අවධියේදී යම් නීතියකින් සිදුවිය හැකි සෑම බලපෑමක්ම පුරෝකථනය කළ නොහැක. එසේම, පශ්චාත් ප්‍රඥප්ති සමාලෝචනයකට අවකාශය ඇති විට පුරවැසියන්ටද  නීතිය සංවර්ධනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

කොටස් සියයකට වඩා වැඩි ගණනකින් යුත් පනත් කෙටුම්පතක් කෙටි කාලයක් තුළ සලකා බලනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කළ නොහැක. පුරවැසියන් විසින් අභියෝගයට ලක් නොකරන ලද හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක් නොවූ අපගේ නීති, විශේෂයෙන් 1972 න් පසු සම්මත කරන ලද නීති, ව්‍යවස්ථා විරෝධී විධිවිධානවලින් පිරී පවතී.

ජනාධිපතිගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කිරීමේ මුලික අයිතිය අහිමිවීම

ජනතාවගේ පරමාධිපත්‍යයේ දැකිය හැකි පැහැදිලි ඛාදනයක් වන්නේ, පුද්ගලයෙකුට හිමිවන මුලික් අයිතිවාසිකමක් ජනාධිපතිවරයෙකු විසින් උල්ලංඝණය කළ අවස්ථාවක 17 වන  වගන්තිය යටතේ බලාත්මක කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික අයිතිවාසිකම් අධිකරණ බලය ඉල්ලා සිටීම සඳහා පුද්ගලයෙකුට ඇති අයිතිය උදුරා ගැනීමේ යෝජනාවයි. 17 වන වගන්තිය මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ විධිවිධානයක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමේ අයිතිය එහිම මූලික අයිතියකි. ජනාධිපතිවරයාට නීතිමය නඩු වලින් නිදහස් ඉවත්වීමේ පුර්ණ අවස්ථාව සලසා දීමෙන් 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම අයිතියට ව්‍යතිරේකයක් එක් කළේය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් අධිකරණයේ  බලයට යටත් කල අතර එමඟින් විෂමතාවය ඉවත් කර, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කර ජනතාවගේ ස්වෛරීභාවය තහවුරු කළේය. ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ , පුරවැසියන්ට සාර්ථකව ඊට එරෙහිව අභියෝග කිරීමට හැකි වූයේ මෙම වෙනස නිසාවෙනි. දැන්, 17 වන වගන්තිය යටතේ ගෙන එන මූලික අයිතිවාසිකම් සීමා කිරීම මඟින් , 4(e) වගන්තිය, එනම්  “ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ප‍්‍රකාශයට පත් කර ඇති සහ පිළිගත් මූලික අයිතිවාසිකම් වලට රජයේ සියලුම අවයවයන් විසින් ගරු කල යුතු අතර , ඒවා සුරක්‍ෂිත කර දියුණුවට පත් කල යුතුය. ඒවා සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම, විධිමත්ව හා මෙතැන් සිට ලබා දී ඇති ප්‍රමාණයට සිදු කල යුතුය” යන වගන්තිය සහ රජයේ බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ස්වෛරීභාවයට ඇතුළත් බව සඳහන් කරන 3 වන වගන්තිය නොසලකා හරිනු ලබයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක අවශ්‍යතාවය

3 වන වගන්තිය 83 වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති වගන්තීන් වලින් එකකි. සංශෝධනය කිරීම සඳහා හෝ එසේ ලැයිස්තුගත කර ඇති විධිවිධාන අවලංගු කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකට ජනමත විචාරණයක දී අනුමැතිය අවශ්‍ය වේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකදී අනුමත නොකිරීම යන කරුණ මත  පදනම්ව, ජනමත විචාරණයකින් තොරව එහි විධිවිධාන මකා දැමීමට හෝ සංශෝධනය කිරීමට හැකිය යන තර්කය අයෙකුට ගෙන ආ හැකි නමුත්, ස්වෛරීභාවය ඉහළ නැංවීම සඳහා අමුතුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඉදිරිපත් කල හැක. නිදසුනක් වශයෙන්, ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයට ඇතුළත් කිරීමට නම්, ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ. නමුත් පසුකාලීනව ජීවත්වීමේ අයිතිය එකී මුලික අයිතිවාසිකම් පිලිබඳ පරිච්චේදයෙන් ඉවත් කිරීමට නම් අනිවාර්යෙන් ජනමත විචාරණයකදී අනුමැතිය අවශ්‍ය වේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ලබාගත් ජයග්‍රහණ ජනතාවගේ ස්වෛරීභාවය ශක්තිමත් කිරීමට බෙහෙවින් දායක විය. එබැවින්, එසේ ලබාගත් වාසි ඉවත් කිරීම ජනතාවගේ ස්වෛරීභාවයට අගතිගාමී ලෙස බලපාන අතර ඒ සඳහා ජනමත විචාරණයකදී අනුමැතිය අවශ්‍ය වේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වෛරීභාවයට අහිතකර ලෙස බලපා තිබේද යන්න සොයා බැලීම සඳහා එය සැසඳිය යුත්තේ වර්තමාන ව්‍යවස්ථාව සමග මිස, 19 වන සංශෝධනයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ තවදුරටත් නොපවතින 1978 මුල් ව්‍යවස්ථාව සමඟ නොවේ. ඒ සඳහා ඇත්තේ  එකම ව්‍යවස්ථාවක් වන අතර එය වර්තමාන ව්‍යවස්ථාවයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න | Dr. Jayampathi Wikramaratne

 

 

සංස්කාරක සටහන : මෙම ලිපිය අප සහෝදර Groundviews වෙබ් අඩවියේ 20th Amendment, Sovereignty of The People and The Need for Approval at A Referendum නමින් මුල්වරට  පළවිය. විකල්ප විසින් එය සිංහලට පරිවර්තනය කරනු ලදුව මෙසේ  පළවේ.