iMAGE: srilankamirror.com

සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් ලබා ගැනීමට බව මේ වන විට තහවුරු වී ඇත. එම ව්‍යාපෘතියට අවශ්‍ය යටිතලයන් සංවර්ධනය කිරීම සඳහා මෙම මාර්ග සංවර්ධනය කෙරේ. පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව හා නිවැරදි අනුමැතීන් ලබා ගැනීමකින් තොර ව ක්‍රියාත්මක වන බව මේ වන විට තහවුරු කර ඇති නමුත් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් මාර්ග සංවර්ධනය කඩිනමින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය පදනම් කර ගෙන ය.

ගිං – නිල්වලා ව්‍යාපෘතියේ අවශ්‍යතාව

චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද ඉන් බලාපොරොත්තු වූ ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් ජල ව්‍යාපෘති මගින් වැඩි ජල ප්‍රමාණයක් හම්බන්තොට සංවර්ධන කලාපයට ලබා ගැනීමට තීරණය කර ඇත. ඒ සඳහා ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර හම්බන්තොට ට ජලය ලබා ගැනීමට යෝජනා වී තිබේ. හම්බන්තොට සංවර්ධන කලාපයේ ජල අවශ්‍යතාව සපුරාලීම ප්‍රධාන ඉලක්කය කර ගෙන සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතීන් උල්ලංඝනය වීම හා ඔවුන් ජල අර්බුද වලට ගොදුරු වීම පිළිබඳ ව කිසිඳු සලකා බැලීමකින් තොර ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම නිසා ගැටලු ගණනාවක් මතුවෙමින් තිබේ.

හම්බන්තොට ප්‍රදේශයේ ඇති ස්වාභාවික සම්පත්වලට දරාගත නොහැකි අයුරින් ප්‍රදේශයේ ජීවත්වන සුළු පරිමාණ ගොවි ජනතාවට හා සත්ව පාලනයේ නිරත ජනතාවට සෘජු ප්‍රතිලාභ හිමි නොවන අයුරින් මෙන්ම එම ජනතාව බලපෑමට ලක් කරමින් ජනතාවගෙන් ව්‍යුක්ත වූ සංවර්ධන ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීම නිසා බොහෝ හානිකර තත්ත්වයන් මතු වෙමින් තිබේ. ඊට අමතර ව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ චීන සමාගම්වලට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දෙමින් තිබේ. එසේ ලබා දෙන සියලු ව්‍යාපෘතිවලට ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට රජය බැඳී සිටී. ඒ සඳහා සැලසුම් සකස් කිරීමේ දී ජනතාව අනාථයින් බවට පත් වීම පිළිබඳ ව සිතා බැලීමට සියළු රජයන් අපොහොසත් වී ඇත.

ජලය ලබාගන්නා හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති

මේ වනවිට හම්බන්තොට, මාගම්පුර වරාය China Merchants Port Holdings සමාගමට රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ දීර්ඝකාලීන බදු පදනම මත 2017 ජුලි මස 29 වන දින ගිවිසුම් අත්සන් කර ලබා දී තිබේ. මෙම වරාය සඳහා දිනකට විශාල ජල ධාරිතාවක් ගිං – නිල්වලා ගංඟා වලින් ලබා ගැනීමට අවශ්‍ය ව ඇත. හම්බන්තොට, මාගම්පුර වරායට සමාන්තරව අක්කර 15,000 ක භූමි ප්‍රදේශයක චීන කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය 2018 ජුනි මස 05 වන දින එවකට ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලබා දී තිබේ. ඒ අනුව චීන රජයේ සහයෝගය ඇති ව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට හා මොනරාගල ස්ථාපිත කිරීමටත් ඒ සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම නම් කිරීම ද සිදු කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා – චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය අදියර තුනකින් ස්ථාපිත කිරීමට නියමිත ය. ඊට අවශ්‍ය ඉඩම් මේ වන විට හඳුනාගෙන තිබේ. හම්බන්තොට, ගොන්නෝරුව පාර හා බුරුතංකන්ද අතර වනාන්තර සහ අඩි සියය පාර ආශ්‍රිත ව වලව වම් ඉවුර යටත් සංවර්ධනය කළ කලාපයේ ඉඩම් අක්කර 5000 ක් පමණ ලබා ගැනීමට නියමිත ය. මීට අමතර ව මොනරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රහතන්ගම හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩා ඔය ග්‍රාම නිලධාරි වසම් දෙකට අයත් රණවරුනාව වැව හා දෙමලිය වැව ඇතුළු ව මෙම වැව්වල ජල පෝෂක ප්‍රදේශ ආවරණය වන පරිදි වනාන්තර අක්කර 5000 ක් චීන සමාගම් වලට ලබා දීමට නියමිත ය. මෙම සියලු වනාන්තර කිරිදි ඔය, ලුණුගම්වෙහෙර ජලාශය හා වෙහෙරගල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වේ. මීට අමතර ව සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් වලව ගඟේ ජල පෝෂක වනාන්තර අක්කර 5000 ක් පමණ චීන සමාගම්වලට ලබා දීමට මේ වන විට මැනීම් කර ඇත.

මේ සියලු ප්‍රදේශවල ඉදි කෙරෙන කර්මාන්ත කලාප සඳහා ගිං – නිල්වලා ගංඟාවල ජලය ලබා දීමට සූදානම් වේ. ඊට අමතර ව කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වන දින තීරණය කර ඇත්තේ වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින අංක 05/2001 දරණ චක්‍රලේඛය මඟින් රජයේ වෙනත් කැලෑ ලෙස හඳුන්වන වනාන්තර වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට යටත් කළ චක්‍රලේඛය සංශෝධනය කර රජයට අයත් රක්ෂිත නොවන සියළු වනාන්තර ජනතාවට හේන් වගාවන් සඳහා ලබා දෙන මුවාවෙන් රජයේ වනාන්තර තත්ත්වයෙන් ඉවත් කර මෙම සමාගම් වල භාවිතාවන් සඳහා ලබා දීමට ය. එපමණක් නොව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වන දින අංක 2192/36 දරණ ගැසට් නිවේදනයට හා 2020 සැප්තැම්බර් 9 වන දින අංක 2020/16 දරණ චක්‍රලේඛයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම ප්‍රමුඛ පරමාර්ථය ලෙස ගෙන රජයේ ඉඩම් අවිධිමත් ව භුක්ති විදින පුද්ගලයන් ක්‍රමවත් ව හඳුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛණ ලබා දීමට රජය සූදානම් වන්නේ ද ජනතාවාදී ස්වභාවයෙන් මෙම චීන ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට ය. ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් ප්‍රකාශිත ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවට තහවුරු වීම නිසා 2020 සැප්තැම්බර් 22 දින අංක 2194/28 දරණ ගැසට් නිවේදනය මඟින් අවලංගු කර ඇති නමුත් නැවත වරක් එය නීත්‍යනුකූල පදනමක් යටතේ ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ ප්‍රධාන පරමාර්ථය මත ගෙන ඒමට සූදානම් වේ.

හම්බන්තොට ඉදි කෙරෙන කර්මාන්ත කලාපයට විදුලිය සැපයීම සඳහා මෙගාවොට් 400 ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඉදි කිරීමට, පසුගිය ආණ්ඩුව පැවති සමයේ දී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව 2017 නොවැම්බර් 07 වන දින අනුමත කර තිබේ. ඒ සඳහා චීන රජය විසින් China Machinery Engineering පුද්ගලික සමාගම නම් කර තිබේ. නමුත් 2018 ඔක්තෝම්බර් මස 2 වන දින තවත් කැබිනට් අනුමැතියක් ලබා ගෙන ඇත්තේ මෙම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති Hambanthota Power Privet Limited නම් සමාගමක් නමින් ක්‍රියාත්මක කිරීමට ය. මේ ව්‍යාපෘතිය සඳහා ද දිනකට විශාල ජල ප්‍රමාණයක් ගිං – නිල්වලා ගංඟා වලින් ලබා දීමට යෝජිත ව තිබේ.

හම්බන්තොට, මත්තල ගුවන්තොටුපොළ රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉන්දියානු සමාගමකට ලබා දීමට නියමිත ය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය සමයේ දී ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 2017 අගෝස්තු මස 09 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ගුවන්තොටුපොළට සමාන්තර ව ගුවන්යානා නඩත්තු කිරීමේ හා පියාසර පාසල් ඇති කිරීමට ද නියමිත ය. ඒ සඳහා ද යටිතල පහසුකම් වශයෙන් විශාල ජල ප්‍රමාණයක් ලබා දීමට සිදු වේ. ඒ සඳහා ද ගිං – නිල්වලා ගංඟාවල ජලය ලබා ගැනීමට නියමිත ව ඇත.

කේන්ද්‍රගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා දීමට ප්‍රදේශ ගණනාවක ජලය ඇතුළු ස්වාභාවික සම්පත් ඒ සඳහා ගොදුරු කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් ජනතාවට ජලය, කෘෂිකාර්මික බිම් හා ජන දිවිය අහිමි වන අතර බොහෝ පරිසර පද්ධති ප්‍රමාණයක් අවතැන් කිරීම ද සිදු වේ. එපමණක් නොව කේන්ද්‍රගත සංවර්ධන ව්‍යාපෘති වලට යටිතල පහසුකම් සැපයීම සඳහා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් බොහෝ ජනතාවක් අවතැන් වේ.

ව්‍යාපෘතියේ අරමුණු

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ මුලික ශක්‍යතා ඇගයිම් වාර්තා හා කැබිනට් මණ්ඩල තීරණවලට අදාළ කැබිනට් පත්‍රිකා අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ ගණනාවකට පානීය ජලය සැපයීම, හම්බන්තොට, වරාය, ගුවන්තොටුපොළ හා වාණිජ කර්මාන්ත කලාපයට ජලය සැපයීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 8500 ක නව වගා බිම් සඳහා යල හා මහ දෙකන්නයේ වගා කිරීමට වාරි ජලය සැපයීම ප්‍රධාන අරමුණු වී ඇත. මීට අමතර ව හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ද තවත් එක් අරමුණුක් ලෙස මුලික ශක්‍යතා ඇගයීම් වාර්තාවේ දක්වා තිබේ.

නමුත් ගිං – නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවබෝධ කර දී ඇත්තේ නිරිත දිග මෝසම් සුළං මගින් අධික වර්ෂාව හිමි වන කාලයට සිදු වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා එම ගංඟාවල ජලය හම්බන්තොට ප්‍රදේශයට හරවා යවන බව කි. ඒ මගින් එම ප්‍රදේශවල ජනතාවට අවබෝධ කර දී ඇත්තේ වර්ෂා කාලයේ දී පමණක් අතිරික්ත ජලය හම්බන්තොට ට හරවා යවන බව ය. නමුත් මෙම ජලය හරවා යැවීමේ ව්‍යාපෘතියේ ස්වභාවය හා අරමුණු අනුව පැහැදිලි වන්නේ වසර මුළුල්ලේ ම ගිං හා නිල්වලා ගංඟාවල ජලය හම්බන්තොට ප්‍රදේශයට හරවා යවන බව යි. ඒ නිසා වර්තමානයේ දී ද පායන කාලයේ දී දැඩි ජල හිඟයකට පත්වන ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට මෙම ව්‍යාපෘතියත් සමග ම සිදු වනු ඇත.

ව්‍යාපෘතියේ ඉතිහාසය

නිල්වලා ගඟේ ජලය හම්බන්තොට ට හරවා යැවීම පළමු ව සිදුකර ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේ 1887 වසරේ දී ය. ඉන්පසුව මේ පිළිබඳ යෝජනා ගණනාවක් සිදු කර තිබේ. මොරවක ආසනය නියෝජනය කරමින් 1930 දශකයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ විසින් 1936 දී නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදිකර එම ජලය හම්බන්තොට ට හරවා යවා එමඟින් බහුකාර්ය සංවර්ධනයක් ඇති කිරීමට යෝජනා කෙරින. 1968 වසරේ දී ඇමෙරිකානු සමාගමක් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක් ව කළු, නිල්වලා හා ගිං ගංඟා ද්‍රෝණිවල ජලය වියළි කලාපයට හරවා යැවීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. 1980 වසරේ දී ප්‍රංශ ආධාර යටතේ නිල්වලා ගඟේ ගංවතුර පාලනය කිරීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. නමුත් අද වනවිට නිල්වලා ගඟේ ගංවතුර පාලනය කිරීම හෝ හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ ජල හිඟයට විසඳුම් ලබා දීම සඳහා හෝ මෙම ව්‍යාපෘතිය සැලසුම් නොවේ. අද වනවිට ගිං හා නිල්වලා ගංඟාවල ජලය හම්බන්තොට ප්‍රදේශයට හරවා යැවීමේ ප්‍රමුඛ පරමාර්ථය වී ඇත්තේ චීන සමාගම් වලට අවශ්‍ය ජලය සැපයීමට ය.

යෝජිත ව්‍යාපෘතිය වර්තමානයට යෝග්‍ය වේ ද?

පැරණි සංකල්ප වලට අනුව ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය අද දින ඒ ආකාරයට ම හම්බන්තොට සංවර්ධන ප්‍රදේශයට ජලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජනතාවක් අවතැන් වනු ඇත. සිංහරාජයේ දකුණු ප්‍රදේශයෙන් ආරම්භ වන ගිං ගඟ තවලම, නෙළුව හා අගලිය ප්‍රදේශ හරහා ගලා ගොස් ගිං තොටින් මුහුදට එක් වේ. ගිං ගඟෙහි සමස්ත ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 922 ක් පමණ වන අතර දිගින් කිලෝමීටර 113 ක් වන ගංඟාවකි. මෙම ගංඟාවෙන් වාර්ෂික ව මුහුදට ගෙන යන ජල ධාරිතාව ඝන මීටර මිලියන 1268 ක් පමණි. නමුත් යෝජිත ව්‍යාපෘතියට අදාළ වාර්තා වලට අනුව එම ජල ධාරිතාවය ඝනමීටර් මිලියන 2000 ක් ලෙස සඳහන් වේ. ගිං ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට වාර්ෂිකව මිලිමීටර 3290 ක පමණ වර්ෂාපතනයක් හිමි වේ. නමුත් ව්‍යාපෘති වාර්තා වලට අනුව මෙම අගය මිලිමීටර 2887 ක් ලෙස දැක්වේ.

නිල්වලා ගඟ දෙනියාය කඳුවැටියකින් ආරම්භ වන අතර දිගින් කිලෝමීටර 72 ක් පමණ වෙයි. මෙහි ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 960 ක් පමණ වන අතර වාර්ෂික ව මෙම ප්‍රදේශයට මිලිමීටර 2890 ක පමණ වර්ෂාපතනයක් හිමි වේ. ව්‍යාපෘති වාර්තා අනුව මිලිමීටර 2435 වශයෙන් දැක්වේ. විශේෂයෙන් නිල්වලා ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට වාර්ෂික ව මිලිමීටර 4500 පමණ වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම ගංඟාවෙන් මුහුදට ගෙන යන ජල ධාරිතාව ඝන මීටර මිලියන 1152 ක් පමණ වේ. ව්‍යාපෘති වාර්තාවේ එම අගය ඝනමීටර මිලියන 1200 ක් ලෙස සඳහන් කර තිබේ.
අද වන විට ගිං හා නිල්වලා ගංඟාවල ජල පෝෂක තෙත් වනාන්තර ප්‍රදේශ බොහෝමයක් එළිපෙහෙළි කර පහතරට තේ වගා කර ඇති නිසා මේ වන විට ඉතිරි ව ඇත්තේ හුදෙකලා වූ ජල පෝෂක වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ නිසා මෙම ගංඟා ද්‍රෝණිවල ජලය වර්ෂා කාලයේ දී භූගත වීමේ යාන්ත්‍රණය ඉතා ම හොඳින් ක්‍රියාත්මක නොවේ. වර්ෂා කාලයේ දී මතුපිටින් ගලා යන ජලය ශීඝ්‍රයෙන් ගංඟා වලට එක් වන අතර කෙටිකාලීන ව ගංවතුර තත්ත්වයන් ඇති කර නියං කාල වල දී නිරාවරණය වූ පසෙහි හා ජල මූලාශ්‍ර වලින් ශීඝ්‍රයෙන් ජලය වාෂ්පීකරණය වීම නිසා ජල උල්පත් ශීඝ්‍රයෙන් සිඳී යයි. මේ නිසා පායන කාලවල දී මේ ප්‍රදේශය උග්‍ර ජල හිඟයකට මුහුණ දේ. මීට අමතර ව අද වන විට වර්ෂාව පැතිරුම් කාලය අඩු වී ඇති නිසා නියං සමය වර්ධනය වී තිබේ. මේ නිසා ජල හිඟයක් ඇති වන කාල සීමාව දීර්ඝ වී ඇත. මේ නිසා ම පායන කාලයේ දී මේ ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ප්‍රශ්නය හා තේ වගාවන්ට ජලය ප්‍රමාණවක් නොවීම නිසා වගා බිම් විනාශ වීම හා තේ දළු අස්වැන්න අඩු වීම ඇතුළු ගැටලු ගණනක් මතු ව තිබේ. එසේ තිබිය දී ගිං හා නිල්වලා ගංඟාවල ජලය හම්බන්තොට ට වසර මුළුල්ලේ ම හරවා යැවීම හේතුවෙන් ගැටලු බොහෝමයකට ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වේ. ඒ හේතුවෙන් ඒ ප්‍රදේශයේ තේ ආර්ථිකය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත. මෙවන් තත්ත්වයන් ඇති කරමින් හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනතාව හා පරිසරය අවතැන් කරමින් ජලය ලබා ගැනීම යුක්ති සාධාරණ නොමැත.

යෝජිත ව්‍යාපෘතිය චීන සමාගමකට

වර්ෂ 2009 සිට 2014 වසර අවසානය දක්වා කාලය තුළ ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ භූ විමර්ශන හා මිනුම් කටයුතු සිදු කළ අතර එය චීන සමාගමක් මගින් සිදු කෙරින. නමුත් පසුගිය රජය බලයට පත් වූ පසුව සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට China
CAMC Engineering  සමාගමට ලබා දී තිබේ. මෙය ලැදියාවන් අතර ගැටුම් (Conflict of interest) ඇති කරන තත්ත්වයකි. ඊට හේතුව චීන සමාගම් ගණනාවක් මගින් හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකමක් වන ජලය ලබා ගැනීමට අවශ්‍ය ශක්‍යතා ඇගයීම චීන සමාගමක් මගින් ම සිදු කිරීම හා ඉදි කිරීම් සඳහා වන ණය ලබා දීම ද චීන බැංකුවක් මගින් ම සිදු කිරීම ය. මෙම සමාගම් වලට මෙරට ජනතාවගේ ජල අයිතිය හෝ මෙරට ජනතාවගේ ජල ප්‍රශ්නය පිළිබඳ ව ගැටලුවක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර හා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා උපරිම ව ජල මූලාශ්‍ර භාවිතා කිරීමට ය. ණය ලබා දෙන බැංකු වලට අවශ්‍ය වන්නේ ණය ලබා දී පොළිය හා ණය මුදල නැවත අය කර ගැනීමට ය. මෙහි දී කිසිඳු ආයතනයකට ජනතාවගේ අයිතීන් පිළිබඳ සොයා බැලීමට කිසිඳු වුවමනාවක් නොමැත. එය තවදුරටත් තහවුරු වන්නේ අදාළ චීන සමාගමට ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමට ලබා දී ඇත්තේ භූ විමර්ශන, මිනුම් හා සැලසුම් ඇතුළත් ව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ය. ඒ තුළ කිසිඳු ආකාරයක සමාජ, ආර්ථික, පාරිසරික ශක්‍යතාවන් අධ්‍යයනය කරන බවක් පෙනෙන්නට නොමැත. මෙය ප්‍රධාන ගැටලුවකි. උමා ඔය ව්‍යාපෘතියේ ද සිදු වුයේ මේ තත්ත්වයයි. ඒ නිසා ම එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම බිඳ වැටීම සිදු විය. මේ ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට ද උමා ඔය ව්‍යාපෘතියට අත් වූ ඛේදනීය ඉරණම ම අත්වීමට ඉඩ ඇත.

විශේෂයෙන් අප චීනය සමග ගණු දෙණු කිරීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නොමැති, මානව හා පාරිසරික අයිතීන් පිළිබඳ තැකීමක් නොකරන චීනය වැනි රටක ණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ජනතාවාදී ප්‍රකාශනයක් හෝ සමාජ, ආර්ථික හා පාරිසරික අයිතීන් පිළිබඳ සලකා බැලීමක් හෝ බලාපොරොත්තුවක් විය නොහැකි වන බව ය.

මීට අමතර ව චීන සමාගම් හා ණය ලබා දෙන ආයතනවල හැසිරීම හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණය රාජාංගනය ජල ව්‍යාපෘතියයි. රාජාංගනය වැව යටතේ ගොවි පවුල් 35000 ක් පමණ අක්කර 22500 ක ගොවි බිම් වගා කරන අතර එම වැවෙන් ජලය ලබා ගෙන සිදු කරන ව්‍යාපෘතියක් සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබා දෙන අතර එහි කොන්ත්‍රාත්කරු ලෙස China National Aero-technology international corporation, China geo engineering corporation  යන සමාගම් ක්‍රියා කරයි. මෙම ඉදි කිරීම් සිදු කරන චීන සමාගම් හා ණය ලබා දෙන චීන සංවර්ධන බැංකුව රාජාංගනය වැව යටතේ වගා කරන ගොවීන්ගේ ජල අයිතිය පිළිබඳ ව හෝ ඔවුන් පරම්පරා ගණනාවක් මෙම වැව යටතේ ජීවත්වෙමින් ගොඩනඟාගත් ජන දිවිය පිළිබඳ ව හෝ අවධානයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරති. යම් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් මෙරට ජනතාවගේ අයිතීන් අහිමි වීම පිළිබඳ ව හෝ සමාජ-ආර්ථික තත්ත්වයන් හි බිඳවැටීම පිළිබඳ ව හෝ චීන සමාගම්වලට ගැටලුවක් නොමැත.

එලෙස පූර්වාදර්ශ බොහෝමයක් තිබිය දී ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය චීන සමාගමකට අධ්‍යයන කටයුතු සඳහා භාර දීම හා ඒ මත පදනම් ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් විශාල ජනතාවක් ඍජු ව හා වක්‍ර ව සංවර්ධන අනාථයින් බවට පත් වනු ඇත.

ව්‍යාපෘතියේ අක්‍රමිකතා

2014 වසරේ දී ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 696 ක පිරිවැයක් යටතේ සිදු කිරීමට ඉංජිනේරු, ප්‍රසම්පදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමක් වෙත ලබා දී තිබේ. 2014 නොවැම්බර් මාසයේ දී China CAMCE  සමාගම සමග EPC  කොන්ත්‍රාත්තුව (Engineering Procurement Construction) අත්සන් තබා ඇත. මෙම කොන්ත්‍රාත්තුව අත්සන් තබා ඇත්තේ තාක්ෂණික යෝජනා ඉදිරිපත් කිරීම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ය. නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුම අවසන් කර නොතිබුණි. එසේ තිබිය දී පසුගිය රජය බලයට පත්වීමට ප්‍රථම 2015 ජනවාරි 01 වන දා සිට 2015 ජනවාරි 07 වන දින දක්වා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3549 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා නිදහස් කර ඇත. මූල්‍ය වර්ෂයක් ආරම්භයේ දී මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නිසා මේ පිළිබඳ සොයා බැලීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත බාරදීමට 2017 ජනවාරි 24 වන දින පැවති රජයේ අමාත්‍ය මණ්ඩල නිර්දේශය ලබා දී තිබේ. නමුත් තව ම මේ පිළිබඳ පරීක්‍ෂා කර කිසිඳු වර්තාවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියේ නාමයෙන් සිදු කර ඇති මූල්‍ය වංචාවන් පිළිබඳ ව කිසිඳු පරීක්‍ෂණයක් මේ වනතුරුත් සිදු කර නොමැත.

එසේ තිබිය දී පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරු කිහිපදෙනෙකු මෙම ව්‍යාපෘතිය තවත් ආකාරයකින් දඩමීමා කර ගෙන මුදල් ඉපයීමට ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය ලබා දීමට ඩොලර් මිලියන තිහක මුදලක් ඇමතිවරු දෙදෙනෙකු විසින් විදේශීය සමාගමකින් ඉල්ලා ඇති බව ද වාර්තා විය. මේ අනුව පෙනී යන්නේ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මෙරට තුළ විවිධ ව්‍යාපෘති ජනතාව මුලා කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ සැබෑ සංවර්ධනය සඳහා ද එසේ නොමැතිනම් ඇමතිවරුන්ගේ යැපීම සඳහා ද යන්න ජනතාව ඉතා ම හොඳින් අවබෝධ කර ගත යුතු ය.

2016 ඔක්තෝබර් මාසයේ දී පසුගිය රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් සමාලෝචනය කර ආර්ථික කළමනාකරණ නිල කමිටුව සමග සාකච්ඡා පවත්වා එම නිර්දේශ වලට අනුව ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව පළමු අදියර යටතේ භූ විමර්ශන, මිණුම් කටයුතු සිදුකර තවදුරටත් අධ්‍යයනය කර ගිං සහ නිල්වලා ද්‍රෝණිවල සියලු ජල අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරු ව අතිරික්ත ජලය හැරවීම සඳහා අදාළ යෝජනා යාවත්කාලීන කර පාරිසරික බලපෑම් අධ්‍යයනය සිදු කිරීමට නියමිතය. දෙවන අදියර යටතේ විස්තරාත්මක නිර්මාණ හා සැලසුම් කර ඉදිකිරීම් කටයුතු නිම කිරීමට යෝජිත ය.

2017 ජනවාරි මාසයේ දී ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා China CAMCE සමාගම සමග එකඟතා ගිවිසුමක් අත්සන් තබා ඇත. ඒ අනුව මේ වනවිට අදාළ සමාගම විසින් ක්‍ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කර අවසන් ව ඇත. ඒ යටතේ නොගැඹුරු භූ විදුම් 52 ක් හා ගැඹුරු භූ විදුම් 40 ක් සිදුකර භූ විද්‍යාත්මක සමීක්‍ෂණ සිදු කර තිබේ.

ව්‍යාපෘතියේ පළමු සැලසුම

යෝජිත ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ ව පසුගිය රජයන් දෙක යටතේ සැලසුම් දෙකක් සකස් කර තිබේ. පළමු සැලසුමට අනුව මූලික ව සිදු කෙරෙන්නේ පිටදෙණිය, කොටපොළ හා අම්පනාගල ඉදි කෙරෙන වේලි තුනක් මගින් කුඩා ජලාශ තුනක් ඉදි කර උමං කිහිපයක් ඔස්සේ මුරුතවෙළ ජලාශය දක්වා ජලය ගෙන යාම ය. ඉන් පසුව ඇළ මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යන අතර එමගින් උඩවලව ජලාශයට ජලය ගෙන යාම සිදු වේ. එහි දී කිරි ඉබ්බන් වැව හා මවු ආර පෝෂිත ඇළ දක්වා ජලය පොම්පකර යැවීමට නියමිත ව ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ගිං ගඟේ, සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ව ඉදි කෙරෙන පිටදෙණිය ජලාශයේ ජල පැතිරුම් ප්‍රදේශය අක්කර 14 කි. ගිං ගඟ හරහා මීටර 93 ක් දිග හා මීටර 4.5 ක් උස වේල්ලක් ඉදි කර පිටදෙණිය ජලාශය ඉදි කරනු ලැබේ. මෙම ජලාශයේ සිට කිලෝමීටර 12.5 ක් දිග හා විෂ්කම්භය මීටර 4.3 ක් වන උමඟකින් දියදාව වන රක්ෂිතය හරහා නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කොටපොළ ඔය හරස්කර ඉදි කරන වේල්ලක් මගින් තනන කොටපොළ ජලාශය දක්වා ජලය ගෙන එයි. කොටපොළ ජලාශයේ ජලය පැතිරුම් ප්‍රදේශය අක්කර 11 ක් පමණ වේ. මෙම ජලාශයේ වේල්ල මීටර 75 ක් පමණ දිග වන අතර උස මීටරයකි.

කොටපොළ ජලාශය සිට කිලෝමීටර 5.5 ක් පමණ දිග හා විෂ්කම්භය මීටර 4.3 ක් වන උමඟකින් නිල්වලා ගඟේ අම්පනාගල ප්‍රදේශයේ ඉදි කරන ජලාශය දක්වා ජලය ගෙන යනු ලැබේ. අම්පනාගල ජලාශය ඉදි කිරීමට මීටර 143 ක් දිග හා මීටර 3 ක් උස වේල්ලක් සකස් කරන අතර ඒ මගින් ගොඩනඟන ජලාශයේ මතුපිට පැතිරුම් ධාරිතාවය අක්කර 5 ක් පමණ වේ. අම්පනාගල ජලාශයේ සිට දැනට ක්‍රියාත්මක මුරුතවෙල ජලාශය දක්වා ජලය ගෙන යාම සිදු කරනු ලබන්නේ කිලෝමීටර 12.5 ක් දිග විෂ්කම්භය 4.3 ක් වන උමඟක් මගිනි. මුරුතවෙල ජලාශයේ සිට කිලෝමීටර 17 ක් දිග නව ඇළ මාර්ගයක් මගින් චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යනු ලැබේ. චන්ද්‍රිකා වැවේ සිට ජල පොම්පාගාරයක් හා නල පද්ධතියක් මගින් කිරි ඉබ්බන් වැවේ සිට මවු ආර පෝෂිත ඇළ දක්වා ජලය ගෙන යයි.

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් ජලය ලබා ගෙන මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 25 කට පානීය ජලය සැපයීමට නියමිත ව ඇත. ඒ අනුව වාර්ෂික ව පානීය ජලය ඝන මීටර මිලියන 124 ක් ලබා දීමට නියමිත ය. මීට අමතර ව වාණිජ කෘෂිකාර්මික බෝග ඇතුළු ව වගා බිම් හෙක්ටයාර 10500 කට වාරි ජලය සැපයීමට නියමිත ය. ඒ සඳහා වාර්ෂික ව ජලය ඝන මීටර් මිලියන 117 ක් සැපයීමට යෝජිත අතර ඉන් ඝන මීටර් මිලියන 34 ක ජල ප්‍රමාණයක් ලබා දීමට සූදානම් වන්නේ අලුතින් ඇති කරන වාණිජ වගා බිම් සඳහා ය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වන්නේ කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා ජලය සැපයීම ය. ඒ සඳහා වාර්ෂික ව ජලය ඝන මීටර මිලියන 157 ක් සැපයීමට නියමිත බව දැනට සකස් කර ඇති මුලික ශක්‍යතා ඇගයීම් වාර්තාවේ සඳහන් වුව ද වැඩි ජල ධාරිතාවක් මේ සඳහා යොදා ගැනීමට නියමිත ව ඇති බව පළමු සංවර්ධන සැලසුමට අනුව පෙනී යයි.

ව්‍යාපෘතියේ වර්තමාන සැලසුම

ගිං හා නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියේ අවස්ථා කිහිපයක දී සුළු සංශෝධන කිහිපයක් සිදු කර තිබූ අතර අද වනවිට එම සැලසුම සැලකිය යුතු මට්ටමකින් සංශෝධනය කර ඇත. ඒ අනුව ජලාශ ඉදිකිරීම, වේලීවල උස, උමං පද්ධතිය ඉදිකරන ආකාරය සංශෝධන කිහිපයකට ලක් කර තිබේ. වත්මන් සැලසුමට අනුව ප්‍රධාන ජල විදුලි බලාගාරය ඉවත් කර කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් එක් කර ඇත.

වර්තමාන ව්‍යාපෘති සැලසුමට අනුව ගිං ගඟ හරස් කර සිංහරාජ ජාතික උරුම වන භූමිය ආශ්‍රිත ව මාදුගැටේ ජලාශය ඉදිකෙරේ. මෙම ජලාශයේ ජල ධාරිතාවය ඝනමීටර මිලියන 18.5 කි. ඒ සඳහා මීටර 70 ක් උස, මීටර 324 ක් දිග වේල්ලක් ඉදිකරනු ලැබේ. අක්කර 197 ක් පුරා පැතිරුණු ජලාශයක් ලෙස මෙය ඉදිකිරීමට යෝජිත ය. ඒ හේතුවෙන් පවුල් 30 ක් පමණ ඉවත් කිරීමට යෝජිත ව ඇත. ඒ සඳහා වන පිවිසුම් මාර්ගය ලෙස ලංකාගම මාර්ගය මේ වන විට සංවර්ධනය කරමින් තිබේ.

මෙම ජලාශයේ සිට කිලෝමීටර 18.2 ක් දිග හා විශ්කම්භය මීටර 4.2 ක් වන මාදුගැටේ උමග මගින් නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කොටපොළ ඔයේ ඉදිකෙරෙන කොටපොළ ජලාශය වෙත ජලය රැගෙන යයි. කොටපොළ ජලාශයේ ජල ධාරිතාව ඝනමීටර මිලියන 0.16 කි. එය අක්කර 10.6 ක් පුරා පැතිරුණු කුඩා ජලාශයකි. මෙම ජලාශයේ වේල්ල මීටර 12.8 ක් උස වන අතර දිග මීටර 95 කි. මෙම ජලාශයේ ජලය කිලෝමීටර 5.6 ක් දිග හා විෂ්කම්භය මීටර 4.2 ක් වන කොටපොළ උමග තුළින් නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන සියඹලාගොඩ ඔයේ මුලටියන වන රක්ෂිතය ආශ්‍රිත ව ඉදිකෙරෙන අම්පනාගල ජලාශය වෙත ගෙන යයි.

අම්පනාගල ජලාශය ඝනමීටර මිලියන 11 ක ජල ධාරිතාවයකින් යුක්ත වන අතර ඒ සඳහා ඉදිකෙරෙන වේල්ලේ උස මීටර 55 ක් හා දිග මීටර 444 ක් වේ. ජලාශයේ මුළු පැතිරුම අක්කර 166 කි. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන විශාලත ම ජලාශය මෙයයි. මෙම ජලාශයේ සිට කිලෝමීටර 13.5 ක් දිග හා විශ්කම්භය මීටර 4.2 ක් වන අම්පනාගල උමග තුළින් ඌරුබොක්ක ඔය හරස් කර ඉදිකර ඇති මුරුතවෙල ජලාශයට ජලය ගෙන යයි. මෙම ව්‍යාපෘතිය යටතේ මුරුතවෙල ජලාශයේ වේල්ල මීටර 1.4 කින් උස්කිරීමට නියමිත අතර වර්තමානයේ එහි ජල ධාරිතාවය වන ඝනමීටර මිලියන 48 (අක්කර අඩි 38914) ක ප්‍රමාණය ඝනමීටර මිලියන 55 ක් (අක්කර අඩි 44589) දක්වා වැඩිකිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියට අනුව වර්තමානයේ පවතින මුරුතවෙල ජලාශයේ කිලෝමීටර 13.8 ක් දිග වම් ඉවුරු ඇළ සංවර්ධනය කිරීමට නියමිත ය. මුරුතවෙල ජලාශයේ අලුතින් ඉදිකරන කිලෝමීටර 17 ක් දිග නව ඇළ මාර්ගයක් මගින් චන්ද්‍රිකා වැව දක්වා ජලය රැගෙන යාමට නියමිත ව ඇත. එම ජලය රිදියගම වැව හා කිරිඉබ්බන්ආර වැවට යොමුකර හම්බන්තොට බොහෝ ප්‍රදේශයකට ජලය සැපයීමට නියමිත ය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ පසුව ගිං ගඟේ ගිං තොටින් මුහුදට ගලා යන ජල පරිමාව 9% කින් හා නිල්වලා ගඟේ මාතරින් මුහුද ට ගලා යන ජල ප්‍රමාණය 6% කින් අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

නව ව්‍යාපෘති සැලසුමට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජලය හා කර්මාන්ත සඳහා ජලය ඝනමීටර මිලියන 122 ක් සැපයීමට නියමිත ය. රිදියගම ජලාශයෙන් මාගම්පුර වරායට වාර්ෂිකව ඝනමීටර මිලියන 10ක ජල ධාරිතාවක් සැපයීමට යෝජිත ව ඇත. එම ජල ධාරිතාව අලුතින් ඉදිකෙරෙන අම්පනාගල ජලාශයේ ජල ධාරිතාවට ආසන්න වශයෙන් සමාන වේ. කිරිඉබ්බන්ආර වැවේ ජලය මත්තල ගුවන් තොටුපොළට හා හම්බන්තොට කර්මාන්ත පුරයට ලබාදීමට නියමිත ය. ඒ සඳහා වාර්ෂික ව ඝනමීටර මිලියන 67 ක ජල ධාරිතාවක් ලබාදීමට යෝජිත ව ඇත. එම අගය මෙම ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකෙරෙන මාදුගැටේ ජලාශය, කොටපොළ ජලාශය හා අම්පනාගල ජලාශයේ යන ජලාශ තුනෙහි ම ජල ධාරිතාවය මෙන් දෙගුණයකට තරමක් වැඩි ප්‍රමාණයකි. මීට අමතර ව මෙම ව්‍යාපෘතියෙන් වාරිමාර්ග කටයුතු සඳහා වාර්ෂික ව ජලය ඝනමීටර මිලියන 160 ක් ද ලබාදීමට නියමිත ව තිබේ.

ගිං – නිල්වලා ව්‍යාපෘතියට මාර්ග සංවර්ධනය කිරීම

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය යටතේ මාර්ග පද්ධති 4 ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එනම් කිලෝමීටර 15 ක් වන නෙළුව – ලංකාගම මාර්ගය, කිලෝමීටර 14 ක් වන ලංකාගම – දෙනියාය මාර්ගය, කිලෝමීටර 20 ක් වන පස්ගොඩ – පිටබැද්දර මාර්ගය හා මාදුගැට, කොටපොල හා අම්පනාගල කුඩා මාර්ග වශයෙනි. ලංකාගම දක්වා මේ වන විට නීති විරෝධීව ඉදි කරමින් පවතින්නේ ගිං – නිල්වලා ව්‍යාපෘතියට අදාළ මාර්ගයන් ය.

ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් සිදු වන බලපෑම් විශාල පරාසයක් පුරා විහි දී තිබේ. මෙහි දී පළමු ව අවධානය යොමු කළ යුතු වන්නේ මෙම ගංඟාවල ජලය හම්බන්තොට ට හරවා යැවීමෙන් ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවගේ ජල අයිතිය අහිමි කිරීම හා දශක ගණනාවක් තුළ ගොඩනඟාගත් නිදහස් ජීවන පැවැත්මට බලපෑම් එල්ල කිරීම ය. සංවර්ධනය අයිතියක් වුව ද සංවර්ධනය ඇති කිරීම සඳහා ජනතාව අවතැන් කිරීම හෝ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට කිසිඳු අයිතියක් රජයකට නැත. සංවර්ධනයේ නාමයෙන් සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට හෝ සංවර්ධනයේ නාමයෙන් සමාගම් කිහිපයකට ප්‍රතිලාභ හිමිවන හා ඒ හේතුවෙන් ජනතාව අවතැන් කරන සැලසුම් සකස් කිරීමට ජනතාව විසින් පත් කළ ආණ්ඩුවකට හෝ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන කිසිඳු රාජ්‍ය ආයතනයකට හැකියාව නොමැත. මෙම ව්‍යාපෘති මගින් සිදු කෙරෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමකි. එය මෙම ව්‍යාපෘතිය මගින් රටේ ජනතාවට එල්ල කරන ප්‍රධාන බලපෑමකි.

මෙම ව්‍යාපෘතිය මගින් ගිං හා නිල්වලා ගංඟා හරස් කර වේලි ඉදි කිරීම හේතුවෙන් වැසි සමයේ දී ඉහළ ප්‍රදේශ උග්‍ර ගංවතුර තර්ජනයකටත් පායන කාලයේ දී පහළ ප්‍රදේශ උග්‍ර ජල හිඟයකටත් ලක් වනු ඇත. ගිං ගඟේ පිටදෙනිය ප්‍රදේශයේ හා නිල්වලා ගඟේ කොටපොල සහ අම්පනාගල ප්‍රදේශවල ඉදි කෙරෙන වේලි හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ ගංවතුර හා ජල හිඟයේ ගොදුරු බවට පත් වනු ඇත. මේ නිසා තේ වගා බිම් ඇතුළු ව ජනාවාස ප්‍රදේශ බලපෑමට ලක් වේ. වර්තමානයේ පායන කාලයේ දී ජල හිඟය හේතුවෙන් මෙම ගංඟා ආශ්‍රිත ජනතාව පීඩා විඳින අතර තේ වගා බිම්වල ඵලදායීතාවය ද පහළ යෑම සිදු වේ. එසේ තිබිය දී එම ගංඟාවල ජලය හම්බන්තොට සංවර්ධන කලාපයට ජලය ලබා දීමට භාවිතා කිරීමෙන් මේ ජනතාව උග්‍ර බලපෑමකට ලක් වනු ඇත.

යෝජිත ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ අවසන් සැලසුමට අනුව විශ්කම්භය මීටර 4.2 ක් වන සම්පූර්ණ දිග කිලෝමීටර 37 ක් පමණ වන ප්‍රධාන භූ ගත උමං තුනක් ඉදි කරන අතර එම උමං සම්බන්ධ කිරීම හා සැපයුම් මාර්ග සැකසීම සඳහා තවත් අතිරේක ව උමං පද්ධතියක් සකස් කිරීමට යෝජිත ය. මෙම උමං සැකසීම සිදු කරන කලාපයේ බහුල ව දැක ගත හැකි වන්නේ අවසාධිත හා විපරීත පාෂාණ තැන්පතු සහිත ප්‍රදේශයන් ය. එපමණක් නොව නිම්න ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් හරහා මෙම උමං කැණීමට නියමිත ය. අවසාධිත පාෂාණ තැන්පතු හා විපරිත පාෂාණ තැන්පතු සහිත කලාපවල උමං කැණීම හේතුවෙන් උමං තුළ ට පාෂාණ ස්ථරවල භූ පැලුම් ඇති වීම හේතුවෙන් ජල කාන්දුවීම සිදු වන අතර භූ ගත ජලය මෙසේ කාන්දු වීම නිසා ජල මූලාශ්‍ර සම්පූර්ණ ම සිඳීයාම, ළිං ජලය අහිමි වීම හා වගා බිම් විනාශ වීම වැනි හානි කර තත්ත්වයන් බොහෝමයක් මේ නිසා උද්ගත වනු ඇත.

මේ සඳහා හොඳම පූර්වාදර්ශය සපයන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙනි. එවන් පූර්වාදර්ශ තිබිය දී තවදුරටත් මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් විශාල ජනතාවක් සංවර්ධන අනාථයින් බවට පත් වනු ඇත. නමුත් එහි වගකීම භාර ගැනීමට කිසිඳු පාර්ශවයක් ඉදිරිපත් නොවේ. අද වන විට උමා ඔය ව්‍යාපෘතිය යටතේ උමං කැණීම් කළ ප්‍රදේශයේ පවුල් 17100 ක් පමණ ඍජු ව අවතැන් ව සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය ජලය සැපයීමට හෝ වගා බිම් වලට වන්දි ගෙවීමට හෝ විනාශ වූ දේපොළ වලට වන්දි ගෙවීම පමණක් නොව විකල්ප ජීවනෝපායන මාර්ග වලට යොමු කිරීමට පවා රජය අපොහොසත් ව ඇත. ඔවුන් සියල්ලන් ම සංවර්ධන අනාථයින් ලෙස කිසිඳු පිළිසරණක් නොමැතිව අවතැන්ව සිටී. ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් ද මෙවන් සංවර්ධන අනාථයින් තවදුරටත් බිහි කිරීමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා වැඩි වශයෙන් අනාථ වන්නේ සුළු පරිමාණ ගොවි ජනතාව ය. උමා ඔය ව්‍යාපෘතිය යටතේ සුළු පරිමාණ ගොවීන් අනාථ වීම හේතුවෙන් රටට අවශ්‍ය සහල් හා එළවලු විශාල ප්‍රමාණයක් වාර්ෂික ව අහිමි වී ඇති අතර ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් රටට වීදේශ විනිමය ගෙන එන සුළු පරිමාණ තේ ගොවීන් විශාල ප්‍රමාණයක් අවතැන් වීම සිදු වනු ඇත.

යෝජිත ජල හැරවුම් ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ම සිදු කරන්නේ පහතරට තෙත් කලාපයට හා උප කඳුකර තෙත් කලාපයට අයත් ප්‍රදේශ තුළ ය. සිංහරාජ ජාතික උරුම වන රක්‍ෂිත, දියදාව වන රක්‍ෂිතය හා මුලටියන වන රක්‍ෂිතය ආශ්‍රිත ව ප්‍රධාන වශයෙන් ම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මෙම වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයේ ජල මුලාශ්‍ර හරස් කර ජලය ලබා ගැනීම හේතුවෙන් ලංකාවට ආවේණික මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන්, ඉස්සන් හා ගොළුබෙල්ලන් පමණක් නොව ලංකාවට ආවේණික ජලජ ශාකවල පැවැත්මට ද දැඩි බලපෑම් එල්ල වනු ඇත. මෙම ප්‍රදේශ ආශ්‍රිත ව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ පා ඇති ශාක හා සත්ත්ව විශේෂ බහුල ව වාර්තා වන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සමහර ජීවි විශේෂ වඳ වීම ද සිදු විය හැකි ය. දියදාව වන රක්‍ෂිතය යටින් මාදුගැටේ ජලාශයේ සිට කොටපොළ ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 18.2 ක් දිග භූ ගත උමග ඉදි වන අතර ඒ මගින් මෙම වනාන්තර හා වනාන්තර තුළ ජල මූලාශ්‍ර වලට දැඩි අහිතකර බලපෑම් එල්ල වනු ඇත.

යෝජිත ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන ජලාශ ත්‍රිත්වය සඳහා ඍජු ව වගා බිම් හා ජනාවාස භාවිත කිරීමට සිදු වේ. ඒ අනුව ඍජු ව අවතැන් වන පවුල් ගණන 135 ක් පමණ වේ. එම ජනතාව නැවත පදිංචි කළ යුතු ය. නමුත් අප රටේ මෑත කාලයේ දී ක්‍රියාත්මක කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක නැවත පදිංචි කිරීම් නිවැරදි ලෙස සිදු නොවුනි. මොරගහකන්ද, කළු ගඟ වාරි ව්‍යාපෘති, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය, යාන් ඔය වාරි ව්‍යාපෘති යටතේ අවතැන් වූ ජනතාවට සුදුසු ජනාවාස හෝ වගා බිම් ලබා දී අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙමින් නිවැරදි ලෙස නැවත පදිංචි කර නොමැත. මේ සියලු ව්‍යාපෘති යටතේ අවතැන් වූ ජනතාවගේ අහිමි වූ දේපොළ නිවැරදි ව තක්සේරු කර වන්දි ලබා දීම මෙතෙක් සිදු කර නොමැත. සමහර ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අවසන් වීමට ආසන්න මට්ටමේ පැවතිය ද අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ප්‍රදේශවල අවතැන්ව සිටී. චීන සමාගමක් වන CAMC Engineering පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන යාන් ඔය වාරි ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ පවුල් 380 ක් පමණ තවම නිසි පරිදි නැවත පදිංචි කර නොමැත. ඔවුන් බොහෝමයක් අලි – ඇතුන් ජීවත් වන ප්‍රදේශවල පදිංචි කිරීම නිසා අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් කර ඇත. මෙවන් පූර්වාදර්ශ පවතිද්දී ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නිසි පරිදි නැවත පදිංචි කරනු ඇතැයි කිසිඳු අවස්ථාවක විශ්වාස කළ නොහැකි ය. එබැවින් ලංකාගම මාර්ග සංවර්ධනය හේතුවෙන් උද්දාම ව සිටින ජනතාව මේ පිළිබඳ ව නිවැරදි ව සිතා බැලිය යුතු ව ඇත.

ඕනෑ ම සංවර්ධන ව්‍යාපෘතියකින් අවතැන් වන ජනතාව නැවත පදිංචි කළ යුතු වන්නේ ස්වේච්ඡාවෙන් නොවන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියට අනුව ය. එම ප්‍රතිපත්තියේ අඩංගු කරණු 1950 අංක 9 දරන ඉඩම් අත්පත්ගැනීමේ පනතේ 63 (2) (ඊ) උප වගන්තිය අනුව 2009 අප්‍රේල් 07 වන දින අංක 1596/12 දරන ගැසට් නිවේදනය මගින් පළ කර ඇත. එම ගැසට් නිවේදනය අනුව වෙළෙඳපොළ වටිනාකම මත අවතැන් වන ජනතාවගේ සියලු දේපලවලට අදාළ වන්දි තක්සේරු කිරීම, නැවත පදිංචිය ස්ථාපිත වන තුරු අදාළ සියලු ම වියදම් දැරීම දක්වා සියලු කරුණු කාරණා ඇතුළත් වේ. නමුත් කිසිඳු ව්‍යාපෘතියක දී මේ කරුණු පිළිබඳ ව අවධානයට ලක් කිරීමක් සිදු නොකෙරේ. මේ නිසා ම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වන ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වේ.

මේ සියලු කරුණු විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් පෝෂණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් පාරිසරික, සමාජයීය හා ජෛව විද්‍යාත්මක අහිතකර බලපෑම් බොහෝමයක් උද්ගත වනු ඇති බව ය. රජය මේ පිළිබඳ අවධානය යොමු නොකර චීන සමාගම් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළහොත් විශාල ජනතාවක් සංවර්ධන අනාථයින් බවට පත් වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

යෝජිත ව්‍යාපෘතිය ආවරණය වන නීති

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය චීන සමාගම්වල බලපෑම මත කඩිනමින් ක්‍රියාත්මක කරවීමට පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් බලපෑම් ඇති කරමින් තිබුණි. ඉන් ප්‍රධාන වන්නේ හිටපු වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය. පසුගිය කාලයේ ජනතාවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සාගල රත්නායක මහතා විසින් මෙම ව්‍යාපෘතිය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින අතරතුර පසුගිය 2018 වසරේ සැප්තැම්බර් මුල් සතියේ හිටපු ජනාධිපතිතුමත් ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව ය. නමුත් එතුමන්ට අමතක වී තිබුණේ 2015 ජනාධිපතිවරණයේ දී ජනතාව සමඟ සම්මුතිගත වූ මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසේ සඳහන් කර ඇති පරිදි සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේ දී ම පාරිසරික බලපෑම් පිළිබඳ මුලික ඇගයීම සිදු කර එම ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකිවේ ද යන්න පිළිබඳ ව පළමු ව අවබෝධ කර ගත යුතු ය යන කරුණ ය. බලයට පත් වූ පසු ව ප්‍රතිපත්ති ප්‍රකාශන අමතක වීම හා අමතක කර දැමීම වර්තමානයේ ද ඒ අයුරින් සිදු වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තව ම කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර ජනතාවගෙන් අදහස් විමසා නිසි පරිදි අනුමැතිය ලබා ගෙන නොමැත. එසේ තිබිය දී මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරණ බවක් පෙනී යයි. මෙය වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. පසු ගිය ඉතිහාසය පුරා ම දක්නට ලැබුණේ දේශපාලන වුවමනාවන් මත බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඒවා බිඳ වැටුණු අවස්ථාවන් ය. උමා ඔය, මත්තල ගුවන්තොටුපොළ, මාගම්පුර වරාය යන මේ සියල්ල ම දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක කර අසාර්ථක වූ ව්‍යාපෘතිය. මේ නිසා මාගම්පුර වරාය, චීන සමාගමකට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇති අතර මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට පිඹුරුපත් සැකසෙයි. උමා ඔය ව්‍යාපෘතියේ තත්ත්වය ඉතා ම ඛේදජනකය. එසේ තිබිය දී නිවැරදි ශක්‍යතා ඇගයිම් මගින් හා පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියක් මගින් මෙම ව්‍යාපෘතිය යථාර්ථවාදී තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි ද, නැද්ද යන්න පිළිබඳ ව තීරණය කරනු වෙනුවට දේශපාලන වුවමනාවන් හා බලපෑම් මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යාම නොකළ යුතු ය.

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය දැනට ලංකාවේ ක්‍රියාත්මක අණ පනත් කිහිපයක් යටතට ඇතුළත් වේ. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ගංඟා ද්‍රෝණි සංවර්ධන හා වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වෙනත් සංවර්ධන ක්‍රියාවලීන් සඳහා යොදා ගැනීම, සියලුම උමං කැණීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සංරක්‍ෂණ ආඥා පනත හා ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශිත රක්‍ෂිතයක මායිම් හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ පාංශු සංරක්‍ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එපමණක් නොව 2005 අංක 12 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය අනුව ඉඩම් හා තෙත්බිම් ජලයෙන් යට කිරීම පිණිස හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප්‍රදේශ එළිකිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය.

මේ අයුරින් අණ පනත් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියක් දේශපාලන හෝ සමාගම්වල බලපෑම මත මෙම පියවරයන් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කළ නොහැකි ය. මෙම අණ පනත් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමට කිසිඳු දේශපාලකයකුට අයිතියක් නැත. එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතිය රැකවරණය ද සර්ව සාධාරණ ව සිදු විය යුතු ය යන්න උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් සම්මත කරගත් මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ 7 වන වගන්තිය අනුව නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන වෙතී යන්න උල්ලංඝනය කිරීමකි. දේශපාලන බලය මත හෝ චීන සමාගම්වල බලපෑම් මත පාරිසරික නීති උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නොමැත.

මෙම ව්‍යාපෘතිය නිවැරදි ක්‍රියාවලියක් මත සිදු නොවුනහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බොහෝමයක් ජනයාට අහිමි වන බව පෙනීයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යනුකූල වෘත්තීයක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට අහිමි විය හැකි ය. තේ හා කුඹුරු වගා කරමින් ජීවත් වූ ජනතාවට තම රැකියා හා වෘත්තිය පමණක් නොව අභිමත ස්ථානයක ජීවත් වීමේ අයිතිය ද මෙමගින් අහිමි වීමේ හැකියාව ඇත.

මේ නිසා මෙම හානිකර ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ යුතුකමක් සියලුම පුරවැසියන්ට ඇත. ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතිය අහිමි කිරීමට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය අප සියලු දෙනාට ම ලබා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික යුතුකම් කොටසේ 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ඇත. එම නිදහස හා අයිතීන් සංවර්ධනයේ නාමයෙන් චීන සමාගම් පෝෂණය කිරීම වෙනුවෙන් ජනයාට අහිමි කිරීමට රජයට හෝ ආණ්ඩුවට කිසිඳු බලයක් නොමැත. ජනතාව මේ පිළිබඳ අවබෝධ කර ගැනීම ඉතා ම වැදගත් ය.

එපමණක් නොව මෙම විනාශකාරී හා මෙරට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් ආයෝජනයේ නාමයෙන් සමාගම් සතු කරන විනාශකාරී සංවර්ධන මාවත වෙනුවට සියලු ම ජනතාවගේ ස්වාභාවික සම්පත්වලට ඇති අයිතිය තහවුරු කරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ගොඩ නංවන තිරසර සංවර්ධන මාවතක් රට තුළ ඇති කළ යුතු ය. ඒ තුළින් විදේශ ආයෝජන නාමයෙන් අපේ රටේ ස්වාභාවික සම්පත් ජනතාවට අහිමි කරන ක්‍රියාවලිය නතර කළ යුතු ය.

ඉඩම, ශ්‍රමය, ජලය ඇතුළු අප රටට හිමි සම්පත් විවෘත වෙළෙඳපොළේ කොන්දේසි විරහිතව විදේශීය සමාගම්වල ආයෝජන ක්‍රියාවලිය සඳහා ගොදුරු කිරීම වෙනුවට භෞතික, පාරිසරික, ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කරන සංවර්ධන ක්‍රමවේදයකට රට ගෙන යා යුතු ය. ඒ සඳහා ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක් ජනතාවගේ අවශ්‍යතාවන් මුලික කර ගෙන ගොඩනැංවීම අවශ්‍ය ය. එසේ නොමැතිව චීන හෝ ඉන්දියානු හෝ සිංගප්පූරු සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් මත මෙරට සංවර්ධන ව්‍යුහය ගොඩනැඟීමට යාමෙන් අප රටේ ජනතාව අයිතිවාසිකම් අහිමි සංවර්ධන අනාථයින් බවට පත්වීම වළක්වා ගත නොහැකිවනු ඇත. මෙම හානිකර ව්‍යාපෘතිය පරාජය කළ හැකි වන්නේ පීඩාවට පත්වන ජනතාව පමණක් නොව මේ ව්‍යාපෘතියෙන් සිදුවන හානි කර බලපෑම් අවබෝධ කර ගත් සියලු ජනතාව ඒකරාශී වී ඊට එරෙහි ව රජයට හා ආණ්ඩුවට බලපෑම් කළහොත් පමණි. එම බලපෑම් ක්‍රියාවලිය ලංකාගම මාර්ගයෙන් උද්දාමයට පත් වී අමතක කර දැමුවහොත් අනාගතයේ දී පසුතැවිලි වීමට සිදු වනු ඇත.

 

සජීව චාමිකර | Sajeewa Chamikara  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR)