iMAGE:Pradeep Pathirana
2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට COVID-19 වෛරසය ආසාධනය වී ඇති බව (පොසිටිව්) බව පළමු වරට තහවුරු විය. කෙසේ වෙතත්, අද වන විට එම පොකුර 1500+ පිරිසක් දක්වා වර්ධනය වී තිබේ. (එම පොකුර එම සේවකයින්ගේ පවුලේ සාමාජිකයන්, ළඟ ඥාතීන්, මිතුරන් සහ සමීප ඇසුරුකම් පැවැත්වූ පිරිස දක්වා වර්ධනය වී තිබේ ). එය එකී ආයතනයෙන් එපිටට වෙළද කලාපය ආශ්‍රිතව බොහෝ දෙනෙකු වෙත මේ වන විට ව්‍යාප්ත වී තිබෙන වටපිටාවක තවමත් ඒ සම්බන්ධව රජය පාර්ශවයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ කම්කරු දෙපාර්තමේන්තුව පැහැදිලි නිසි ස්ථාවර පියවරක් ගෙන නැත. මෙම පෞද්ගලික ආයතන හෝ වාණිජ මණ්ඩලයද අනුගමනය කරන්නේ බළල් වතකි. ගම්පහ දිස්ත්‍රික්කය පුරා විවිධ පොලිස් බල ප්‍රදේශ වෙත ඇඳිරි නීතිය පසු ගිය දින කීපය පුරා පනවා තිබියදී සහ අද දින කටුනායක ප්‍රදේශයට බලපැවැත්වෙන ලෙස ඇඳිරි නිතිය පනවා තිබියදීත් තවමත් මෙම කර්මාන්ත ශාලා ව්වෘතව පවතින අතර සේවකයින් සේවයට වාර්තා කරමින් තිබේ.
ඒ අනුව මෙවන් අවධානම් තත්වයක් හමුවේ තවදුරටත් දැනට ක්‍රියාත්මක අවිධිමත් නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඇඟළුම් කේෂ්ත්‍රයේ සේවික සේවිකාවන් පත්ව ඇති දැඩි පීඩනය පිළිබඳව හා ඇඟළුම් කේෂ්ත්‍රයේ සේවික සේවිකාවන් නිරෝධායනය කරන ක්‍රියාවලිය සම්බන්ධව එහිදී ක්‍රියාකාරීන් පිරිසක් විසින් අභියාචනාධිකරණයේ ගොනු කොට ඇති රිට් පෙත්සම පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද සවස් වරුවේ කොළඹදී පැවැත්විණි.
පවතින තත්වය හේතු කොටගෙන ඇඟලුම් කර්මාන්ත සේවික සේවිකාවන් බලහත්කාරයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගාල් කර ඇති බවට මාධ්‍ය හමුවේදී චෝදනා නැගුණි. ඒ හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද, විශේෂයෙන්ම පාන්තික විෂමතාවය මත වෙනස් කොට සැලකීමට ඔවුන් දිගින් දිගටම ලක්ව ඇති බවද මෙහිලා අවධාරණය කළ කරුණකි.
එහිදී අදහස් දැක්වූ ක්‍රියාකාරිනියක වන Stand up Movement Lanka හි අශිලා දන්දෙණිය කියා සිටියේ
“මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය මුලික කරගෙන පටන් ගත්ත කොවිඩ් ව්‍යාප්ත වීම මේ වෙනකොට නිදහස් වෙළඳ කලාපයේ කටුනායක ආක්‍රමණය කරලා ඉවරයි. අපට මේක සම්බන්ධව තියෙන බරපතලම ගැටලුව තමයි මේ සම්බන්ධයෙන් සිද්ධ වෙන PCR පරික්ෂණ පටන්ගෙන කෙරෙන නිරෝධායන ක්‍රියාවලිය. චෝදනාවක් තියෙනවා නිදහස් වෙළඳ කලාප සේවකයින් මේ ක්‍රමවේදයට අනුගත නොවී මග හරිනවා, එයාලා හැංගෙනවා , එයාලා නියමිත සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියට අනුගත වෙන්නේ නෑ කියලා. එතකොට ඇයි එහෙම මැලි කමක් දක්වන්නේ කියලා බැලුවොත් අපිට පේන්න තියෙන දෙයක් තමයි දිගින් දිගටම මේ සේවකයින්ට සලකන ආකාරය, ඒ සේවකයින්ට දැනෙන්න ඉඩ හැරලා තියෙනවා මේ ක්‍රියාවලිය පන්ති පරතරය ඉස්මතු වෙන ආකාරයෙන් එයාලට වෙනස් කම් සිදුවෙන ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා”
පවතින නිරෝධායන ක්‍රියාවලියේ අක්‍රමවත්භාවය හේතුවෙන් සේවකයන් තුළ ඒ කෙරේ වන විශ්වාසය බිදී ඇති බව ඇය එහිදී අවධාරණය කොට කියා සිටියාය.
“පළවෙනියෙන්ම මේ සේවකයින් PCR පරීක්ෂණ වලට යොමු කරන අවස්ථාවේ ඒ සේවකයින් අනවශ්‍ය විදියට රස්තියාදු කරමින්, ඔවුන්ව බස් වලට පටවා ගැනීමේදී, නංවා ගැනීමේදී ඔවුන්ට බැන වදිමින්, ඔවුන් වරදකරුවන් විදියට, කොවිඩ් ආසාධනයට පත්වීම සේවකයින්ගේ වරදක් ආකාරයට තමයි සලකන්නේ, ඒ වගේම නිරෝධායන ක්‍රියාවලිය ඒකට දෙන දඬුවමක් ආකාරයට තමා ක්‍රියාත්මක වෙන්නේ.ඔවුන් උදේ පාන්දර බස් වල නංවගෙන හවස් වෙනකන් බෝඩින් ගානේ ගිහින්, පොසිටිව් අය වගේම සියලු දෙනාම එක පොදියට බස් වලට පටවාගෙන දවසම කිසිම ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව මේ සේවකයින් අරගෙන යන්නේ”
“ඒ වගේම PCR පරීක්ෂණ සඳහා සියලු දෙනාට එන්න කියලා announcement එකක් දුන්නා, එක්තරා විද්‍යාලයකට එන්න කියලා, මේ විද්‍යාලයට ගියාට පස්සේ, මේ සේවකයින් හරවලා එවනවා, යම් කිසි ආයතන දෙකක නම් කියලා, ඒ ආයතන දෙකේ සේවකයින් පමණක් ඉදලා අනිත් අය යන්න කියලා ඒ වෙනකන් ඒ අය එතන රැදිලා ඉන්නවා, එතකොට මේ කිසිම දෙයක් ගැන වගකීමක් නැතුව තමයි මේ නිලධාරින් කටයුතු කරන්නේ, එතකොට ඔවුන් නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් නිසාම ඔවුන්ව නොසලකා හැරීමක් කරනවා”
“යම් කිසි ආරක්ෂණයක් රැකවරණයක් බලාපොරොත්තු වන නිරෝධායන මධ්‍යස්ඨාන තුළින් තවදුරටත් මේක ව්‍යාප්ත වෙන තත්වයක් තමයි දැන් තියෙන්නේ”
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ දා බ්ඳු සාමුහිකයේ චමිලා තුෂාරි මහත්මිය; මෙම කොරෝන පොකුරේ ආරම්භය සම්බන්ධව විධිමත් ස්වාධින පර්යේෂණයක අවශ්‍යතාවය තදින්ම අවධාරණය කරන ලදී. විශේෂයන්ම රජය, මෙම හාමුපුතුන්ගේ සංගම් මෙම සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් සුරැකීමට බැඳී යුතු වගකීම සම්බන්ධයෙන් දිර්ඝව කරුණු පැහැදිලි කරන ලදී.
“ඇගලුම් කේෂ්ත්‍රය තමයි රටට විදේශ විනිමය උපයන දෙවෙනි තැන, ඒවා මහා බැංකු වාර්තා වල එහෙම හැඳින්වුවාට මේ වෙලාව වෙද්දී මිනිස් බෝම්බ බවට පත්වෙලා තියෙනවා,මේකේ මුලාශ්‍ර හොයාගන්නේ නැතුව මාධ්‍ය විසින් ඉතාමත් අසික්කීත විදියට ඔවුන්ව හඳුන්වලා දුන්නා. දෙවැනි පුරවැසියෝ විදියට ඔවුන්ව සළකලා තියෙනවා, ඔවුන්ව නොසළකා හැරලා තියෙනවා,ඔවුන්ව වෙනස් කොට සැලකීමක් කරලා තියෙනවා මේ වෙනකොට, බෝඩිම් වලට පැනලා අපරාධකාරයෝ අරගෙන යනවා වගේ, බෝඩිම් වටකරලා, තත්පර 5 කින්, පැය කාලකින් ලැස්ති වෙන්න කියලා දවස් 15 කට යන්නේ කොහෙද කියලා දන්නේ නෑ. PHI කෙනෙක්, සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් නෑ. මන් දැන් 2.05 ට (ඔක්තෝම්බර් 15) කෝල් කරා දවල් ආහාරේ වත් තාම දීලා නෑ මේ මොහොත වෙන කාටවත් දඹදෙණියේ. එතකොට මාස්ක් එක දීලා නෑ. සනීපාරක්ෂක පහසුකම් නෑ. මාස 4 ක දරුවෙක් ඉන්නවා. අවුරුදු 3, 4 දරුවෝ ඉන්නවා. එතකොට 500 විතර දෙනා ගිහිල්ලා දාලා ටෙලිෆෝන් නම්බරයක් දීලා ගිහිල්ල තියෙනවා මොනවා හරි හදිසියක් උනොත් කතා කරන්ඩ කියලා, එතකොට PHI රැකවරණයක්, මේ කුඩා දරුවන්ට රැකවරණයක්, ඊයේ වෙද්දී පොසිටිව් වෙච්ච එක්කෙනෙක් ගෙනිහින් තියෙනවා. අද තමයි එයාල PCR පරීක්ෂණ කරන්නේ, පෙරේදා රෑ 2.30 ඉදන්, තැන් තැන් වල නවත්ත නවත්ත ඒ බස් එකෙන් තව බස් එකකට දාගෙන මේ පොදිය එකට ඉන්නකොට එතනම පොසිටිව් වෙන තත්වයක් තමයි තියෙන්නේ. මේ පිලිබඳ කිසිම ඇහැක් ඇරලා බලන් නෑ”
“මේ මොහොතේ බ්‍රැන්ඩික්ස් ආයතනයට අපි චෝදනා කරනවා,බ්‍රැන්ඩික්ස් ප්‍රධානියා කියලා තියෙනවා අපි ස්වාධින පරීක්ෂණයක් පවත්වනවා කියලා, මේ ස්වාධින පරික්ෂණය අපිට පිළිගන්න බෑ, එකේ කිසිම විනිවිද භාවයක් නෑ, මොකද ඒ ආයතනය තුළ කිසිම වෘත්තීය සමිතියක් නෑ, එතකොට මේ කම්කරුවනට සැප්තැම්බර් මාසේ 20 ගණන් වල ඉදලා ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා, නිවාඩුවක් දුන්නේ නෑ, ඔවුන් උපයා ගත්තා නිවාඩු තිබ්බා ඒවා වත් දුන්නේ නෑ. අපි කැමතියි දැනගන්න මේවායේ මුලාශ්‍ර පිළිබඳව, ඉන්දියාවේ කතාවේ ඇත්ත මොකක්ද කියලා පැහැදිලි කරගන්න, අපිට තොරතුරු දැනගන්න අයිතිය තියෙනවා, ඒ නිසා මේ ඉදිරියේදී පවත්වන්න හදන ස්වාධින පරීක්ෂණයට අපි කියනවා කම්කරු දෙපාර්තමේන්තුව මේ තුළ ඉන්න ඕනි, සෞඛ්‍ය අමාත්‍යංශය ඉන්න ඕනි, ආයතනය තුළ ඉන්න කම්කරුවෝ, විශේෂයෙන්ම කම්කරු කාන්තාවෝ මේ තුළ නියෝජනය විය යුතුයි කියලා. මොකද මේ සඳහා තියෙන එකම ආයතනය කාරය සාධක බලකාය, ඒ කාර්ය සාධක බලකාය තුළ කාන්තාවන් නියෝජනය වෙන්නේ නෑ, ඒ නිසා අපි කියනවා හාම්පුතුන්ගේ සංගමය විදියට එයාලට කාන්තාවන්ගේ දායකත්වය ලැබෙන විදියට මේක යාවත්කාලින කරන්න, ඇඳිරි නීති සමයක තමා මේ කාර්ය සාධක බලකාය හදාගත්තේ, එතන නියෝජනය වෙන්නේ වෘත්තීය සමිති 4 ක් විතරයි වෘත්තීය සමිති 14කින්ම,ඒ තැන කිසිම කාන්තා නියෝජනයක් නෑ, කාන්තාවන් පිලිබඳ කිසිදු කතාවක් එතන ඇතිවෙන්නේ නෑ.
“අපි කියනව පොලිස්පති තුමාට, හමුදාපතිතුමාට, සෞඛ්‍ය ඇමැතිනියට අපි කියනවා ගිහින් බලන්ඩ කියනවා. ඔවුන් කොහොමද ජිවත් වෙන්නේ කියල, ඔවුන්ගේ ජීවන රටාව කොහොමද කියලා ඔවුන්ට බලන්ඩ කියනවා, ආයතනය තුළ ඉන්න ඉහළ පෙළේ නිලධාරින් තරු පහේ හෝටල් වල නිරෝධනය වෙද්දී, මේ කම්කරුවන්ව දුවිල්ලෙන් නැවුණු සනීපාරක්ෂක පහසුකම් කිසිදෙයක් නැති තැන්වලට ගිහින් ගාල් කරලා තියෙනවා, මෙහෙම වෙනස් කොට සලකන්න එපා, මේ රටේ කොදු නාරට්ය, මේ රටේ කාන්තාවන්ගෙන් තමා විදේශ විනිමය උපයාගෙන තියෙන්නේ , ඒ වගේ ශ්‍රම බලකායකට මේ වගේ වෙනස් කොට සලකන්න එපා,මේ ක්‍රමවේදයට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තියෙනවා කොවිඩ් ක්‍රමවේදයන්, ILO යටතේ තියෙනවා, සෞඛ්‍ය කමිටු ඒවා නියාමනය වෙන්නේ නෑ, ඒවා අධීක්ෂණය වෙන්නේ නෑ, අපේ රටට GSP බදු සහන අරගෙන තියෙනවා, ඒවායේ කම්කරුවන්ට ප්‍රතිලාභ ගලාගෙන ගිහිල්ලා නෑ “
“මෙයාලා මේක තාම සමාජ ගත නෑ කියලා එයාලා කියන්නේ, මේ කටුනායක ප්‍රදේශය ගත්තොත් කම්කරුවෝ 50,000 විතර ඉන්නවා, ගමක් ජිවත් වෙනවා. අධික ජන ඝනත්වයක් තියෙන තැනක්. අවධානම වැඩියි, ආයතන මට්ටමින් මේ වගකීම ගන්න, BOI එක මේ වගකීම ගන්න, කම්කරු දෙපාර්තමේන්තුව මේ වගකිම ගන්ඩ”
විශේෂයන්ම පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවයක් ලබා නොදීම, අනාරක්ෂිත ප්‍රවාහනය, නිරෝධායනයේදී ලබා දී ඇති අපිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සහ සේවිකාවන් බස් රථ වෙත නැංවීමට පෙර සහ එම මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම , පිළිපැදිය යුතු බවට රජය විසින්ම පනවා ඇති COVID-19 රෙගුලාසි ඔවුන් විසින්ම උල්ලංඝණය කිරීම ආදිය මෙම ක්‍රියාවලිය තුළ දිගින් දිගටම සිදුකරමින් පවතින බව මානව විමුක්තිය සංවර්ධනය Revolutionary Existence for human Development (RED) ක්‍රියාකාරිනියක වන චන්ද්‍රා දේවනාරායන මහත්මිය ද මාධ්‍ය හමුවේ අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තමන් වෙත සාක්ෂි ලැබෙන බව දක්වමිනි.
” අපේ රටේ කොදු නාරටිය වගේ ඉන්න මේ තරුණ පරපුර, නිරෝධායන මධ්‍යස්ථාන වල ඉන්නේ බෝහෝ දුකට පත්වෙලා ඉන්නවා, එයාල ගෙනිච්චට පස්සේ කන්ඩ නැහැ, ටෝයිලට් පහසුකම් නැහැ, වතුර නැහැ, එක සිද්ධියක් කියන්ඩ පුළුවන්, ගිය ඉරිදා රෑ 12.30 ට එක බෝඩිමකට ඇවිල්ලා , නිදාගෙන හිටපු අයට දොරට තට්ටු කරලා තත්පරෙන් ලෑස්ති වෙලා එන්ඩ කියලා කියලා තියෙනවා, ඉතින් රෑ නිදාගෙන හිටපු, රාත්‍රී ඇදුම පිටින් ඉන්න අයට බස් එකට නගින්න කිව්වම මොකක්ද ඇතිවෙන තත්වය කිවොත් මන් හිතනවා හැමෝටම දන්නවා ඇති කියලා, එයාල කිසිම දෙයක් නැතුව නිරෝධායන මධ්‍යස්ථානයට යන්ඩ පිටත් වුනා, ඊට පස්සේ යන තැනක් දන්නේ නෑ, වේයන්ගොඩට අරන් යනවා කියලා කළුතරට අරන් යනවා, කුරුණෑගලයට අරන් යනවා කියලා මාතරට අරන් යනවා, ඒ වගේ යන තැනක් කියන්නෑ, එක දැනගන්ඩ එයාලට අයිතිවාසිකමක් තියෙනවා. නමුත් එයාලා ඒවා කියන්නේ නැහැ”
“කළුතර මධ්‍යස්ථානයේ 30 දෙනකුට ටොයිලට් තුනයි තියෙන්නේ, එකෙන් දෙකයි පාවිච්ච් කරන්ඩ පුළුවන්, ටොයිලට් උතුරනවා, කෑම වේල් තුනක් දෙනවා, කෑම වෙල් තුන කොහොමටවත් කන්ඩ බැරි කෑම වේල් තුනක්, එයාල ඒවගේ සාධක ඉදිරිපත් කරලා තියෙනවා, අද උදේ දැනගන්න ලැබුණා එයාලට අද උදේ 7 ඉදන් දවල් 1 වෙනකණුත් වතුර නෑ, ටෝලියට් යන්ඩ පිරිසක් ඉන්නවා, ඇඟ හොද ගන්න පිරිසක් ඉන්නවා, එතන ගර්භනී කාන්තාවන් ඉන්නවා, ළමයි ඉන්නවා , අද දවල් 1 වෙනකනුත් එයාලා ඊයේ රෑ හිටපු විදියටම තමා හිටියේ, ඇත්තටම මේවා ඛේදවාචක, නිරෝධායන නීති රීති කඩ කරපු තැන් කියලා කියන්න තියෙන්නේ”
“දැන් ගිහින් දවස් තුනක් වෙනවා කිසිදු සෞඛ්‍ය නිලධාරියෙක් එතන්ට ඇවිත් නැහැ. PHI කෙනෙක් ඇවිත් නෑ , බුරුතු පිටින් බෝඩිම් වලට ඇවිත් අරන් යනවා, කිසිම මානුෂිකත්වයක් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ, මිට වඩා මානුෂිකත්වයෙන් මේ තරුණ කාන්තාවන් දිහා බලන්ඩ ඕනි”
“කටුනායක වෙළඳ කලාපය් ඇතුළේ අත්හැර දාපු සහ වසා දමා තිබෙන ආයතන බොහොමයක් තිබෙනවා, මේ ආයතන නිරෝධායන මධ්‍යස්තාන විදියට සකස් කරන්ඩ පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් බලන් නැතුව කොහෙවත් තියෙන හුගාක් පරණ බිල්ඩිමකට ගිහින් දාලා තියෙනවා”
මේ සියලු කාරණා පෙරදැරි කරගනිමින් පවතින තත්වය තුළ ඇගලුම් සේවක සේවිකාවගේ සේම පොදු මහජනතාවගේ අයතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් හා කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා නිවැරදි නිරෝධායන නිර්ණායක සකස් කර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කර ඇති බව නීතිඥ ප්‍රියලාල් සිරිසේන මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
“අපි දන්නවා පහුගිය කාලය පුරාම රෝගී පුද්ගලයින් නිරෝධානයට රැගෙන ගිහින් තියෙන්නේ අපරාධ සැක කරුවන් අත්අඩංගුවට ගන්නවා වගේ , අපි දන්නවා අපරාධ සැකකරුවෙකුට උනත් අයිතියක් තියෙනවා තමුන්ට විරුද්ධව තියෙන චෝදනාව දැනගන්න,නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන්න ඕනේ,එතකොට පහුගිය දිනවල වෙළඳ කලාපය ආශ්‍රිතව මේ රැගෙන ගිය සේවක සේවිකාවන්ගේ තත්වය බැලුවොත් අපරාධ සැක කරුවෙකුටවත් තියෙන තරම් අයිතිවාසිකම් ඔවුන්ට තියෙනවද යන ප්‍රශ්නය පැන නගිනවා”
“මේ අවුරුදු 30- 40 ක් වැඩ කරපු ආයතන සමාජ සේවය කෙරුවද, ලාභ හම්බ කෙරුවද, මහා බැංකු වාර්තා අරගෙන බැලුව නම් GSP එකෙන් ලැබිච්ච ලාබ, ඒකට අමතරව ආයතන වලට ලැබිච්ච් ආයෝජන ප්‍රමාණය ඒ මුදල් ලාභ කොහෙද ගියේ, තුට්ටු දෙකේ ලාබෙට සහෝදරියන්ගෙන් වැඩ අරහෙන, මේ වසංගතය ඇතිවෙලා සුමාන දෙකට පඩි ගෙවන්න බෑ, ආයතන වල සාමාජිකයින්ගේ සුබ සාධනය සඳහා BOI ආයතනය මැදිහත් විය යුතුයි,වෙනත් රටවල අපි දැනගෙන තියෙනවා ඒ ආයතන වල සේවකයින්ට නොයෙකුත් සහන දීලා තියෙනවා ඉදිරි කාලයේදී ඒවා කොටස් වශයෙන් පියවා ගන්න යම් විදිමත් වැඩපිළිවෙලකට, ශිෂ්ට සම්පන්න විදියකට”සේවකයින්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා තම අදහස් දක්වා සිටියේය.
“මිනිසුන්ට මිනිසුන් ලෙස ජිවත් වීමට ඇති අයිතිය අහිමි වීම හේතුවෙන් ඒ සඳහා නීතියෙන් අපිට ලැබිලා තියෙන ඉඩකඩ නීතියෙන් අපිට පැහැදිලි කරගන්න අවශ්‍යයි, එතකොට මේ සෞඛ්‍ය ප්‍රශ්නයට අද පිළිතුරු හොයන්න හදන්නේ යුධමය පසුබිමකින්. මේකට ප්‍රධාන මැදිහත්කරු වෙලා ඉන්නේ හමුදාව, යුද්ධයක් කරන විදියට නෙවෙයි මේකට මැදිහත් වෙන්න වෙන්නේ, ඔවුන්ගේ කාර්යක්ෂමතවය, කැපවීම අවශ්‍යයි. නමුත් මෙහිදී නායකත්වය ගත යුත්තේ, මෙහෙය විය යුත්තේ සෞඛ්‍ය නිලධාරින්” බව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය නියෝජනය කරමින් හර්මන් කුමාර මහතා කියාසිටියේය.
ඒ හා සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක් වූ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ච්න්තක රාජපක්ෂ මහතා
“මේ මොහොතේ බරපතල ලෙස හමුදාව මැදිහත් වූනු නිරෝධායන ක්‍රමවේදයක් ශක්තිමත් කරමින් සිටිනවා, අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි,හේතුව තමයි එකෙන් වෙන්නේ මේ රෝගය යටපත් කිරීමට හෝ විසඳා ගැනීමට තියෙන අවස්ථාවට වඩා මෙය සංකීර්ණ තව ප්‍රශ්න ගණනාවකට තල්ලු වෙනවා, මේක ඉස්සරහට සියලුම මහජන ක්‍රියාකාරම් වලදී බලාපොරොත්තු වෙන්න වෙන දෙයක් වෙනවා. මෙහෙම කරන්න බෑ, මේක අපි දෘෂ්ටිවාදීමය වශයෙනුත් අපි පරාජය කළ යුතු වෙනවා” යැයි කියා සිටියේය.
විශේෂයන්ම මේ හා සමගාමීව දැඩි අර්බුධයකට මුහුණ දී සිටින ඇගලුම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදෙන මිනිස් බල( Man Power) සේවකයින්ගේ තත්වය පැහැදිලි කරමින් නීතිඥ විදුර මුණසිංහ කියාසිටියේ දැනට ආන්තික වී වෙනස් කොට සැලකීමට භාජනය වී සිටින පිරිසෙන් තවත් සුවිශේෂී ආන්තික කොටසක් බවට මෑන් පවර් සේවකයින් පත්ව ඇති බවය.
“ඒ අය දෛනික වැටුපට දෛනික වැඩ පදනම මත තුන්වන පාර්ශවයක් හරහා විවිධ ආයතන වලට යොදවන අය. ඒ අය එක දවසක එක ආයතනයක, තවත් දවසක තව ආයතනයක විදියට ආයතන ගණනනාවක තමයි වැඩ කරන්නේ, ඒ නිසා නිශ්ච්ත සේවා යෝජකයෙක් නැහැ, ඒ නිසා මේ අයට කවුරුත් වග කියන්නේ නෑ, ඔවුන් කොතැනක වත් සඳහන් වෙන්නේ නෑ, කොතැනක වත් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහන් වෙන්නේ නෑ , මේ කොවිඩි තත්වය යටතේ එතකොට මේ අයට වගකියන්නේ කවුද කියන ගැටලුව මුලිකව පැන නගිනවා “ හෙතෙම කියා සිටියේය.
කෙසේවෙතත් දැන් මේ සියලු කාරණා හමුවේ පොදු මහජනතාව ලෙස අප නිහඬව සිටිය යුතුද යන ප්‍රශ්නය අප අපගෙන්ම අසා ගත යුතුව තිබේ. මේ ගැටලු සඳහා විධිමත් විසදුම් රජයෙන් ලබා ගැනීමට වන බලපෑම කිරීමද දැන් අප සතු වන පුරවැසි වගකීමක් බවද අපි අමතක නොකළ යුතු වෙමු.
වැඩිදුර කියවීමට
“මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි”