මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 20ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටිය හ. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.
කෙසේ නමුත් නිමලරාජන් මාධ්‍යවේදියා ඝාතනය කොට හමාරය. පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් වල පරීක්ෂණයන් මෙන්, මෙම ඝාතනය පිළිබදව ද වසර 20ක් ගත වුව ද, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය පුරාවට ම සිදුවූ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් නිළ වශයෙන් අනාවරණය කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත.
මේ කෙටි සටහන නිමලරාජන් ඝාතනයේ පරීක්ෂණ පිළිබදව සොයා බැලිමක්වත් එහි ගවේෂණයක්වත් නොවේ. නමුත්, පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්‍යට එල්ලකරන ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට, 2015 ජනවාරි 8වෙනිදා පත් වූ ‘යහපාලන’ ආණ්ඩුව සතු වූ වගකීම ඔවුන් ඉටු කලේ නැත. එසේ වුවා පමණක් නොව යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ එම ‘අපරාධ’ පිළිබද ප්‍රශ්ණය ඉදිරියට දමා ගෙන බව ද අමතක කරනු ලැබූවේ නින්දිත ලෙසය. කෙසේ නමුත් දැන් එම ‘යහපාලන’ ආණ්ඩුව නැවතත් පරාජයට පත්වී, රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පත්විය. තත්ත්වය එසේ වූ විට සිදුකල අපරාධවලට දැන් ‘යුක්තිය’ ඉල්ලා සිටීම යනු ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය. එවැනි පාලන ඉතිහාසයකට උරුමකම් කියන රාජපක්ෂලාගෙන් යුක්තිය ඉල්ලා සීටම එවැන්නක් වන්නේ එබැවිනි. 20වන සංශෝධනය හරහා උත්සහා කරන ‘මමයි රාජ්‍ය’ යන අධිපතිවාදී මතය එය තවත් මනාවට සනාථ කරමින් සීටි. නමුත්, යුක්තිය කිවූ විට පවා ගිණි පිටවෙන ශරිරයන් සිටියා වුවුද, යුක්තිය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් ‘යුක්තිය පිළිබද සිය බලාපොරොත්තූන්’ සහ ක්‍රියාකාරීත්වයන් කුමන හෝ තත්ත්වයන් යටතේ වුවද අත්හල යුතු නොවන්නේය. නිමළරාජන්ගේ ඝාතනයෙන් වසර 20කට පසු වුවද එය නැවත නැවතත් සිහිකරවන්නේ ඒ යුක්තිගරුක සමාජය සදහා අපෙක්ෂාවෙන් ය.
නිමලරාජන් මාධ්‍යවේදීයා පිළිබදව ඔහුගේ සමීපතම මිතුරෙකු වූ යාපනයේ මාධ්‍යවේදියෙකු වන තයාබරන්, පසුගිය 2012වසරේ අගෝස්තු 11දා අපට මුණ ගැසුණේ බන්ධනාගාරයක් තුලදී මරා දැමුණූ යාපනයේ මරියදාස් ඩෙල්රුක්ෂාන්ගේ අවසන් කටයුතු සිදු කරමින් තිබූ යාපනයේ සුසාන භූමියක දීය.
නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත්, දැන් එම සුසාන භූමියේ ඇති(එවකට) නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ ‘මර්ධනය‘ එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි. එදින අප තයාබරන්ගෙන්, නිමලරාජන් පිළිබදව විමසූවෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළ කරුණු පසුගිය වසරේදීත් මාධ්‍යවේදී නිමලරාජන් සිහිකරමින්, ඔහුට යුක්තිය ඉෂ්ඨ කිරීමට බලකරමින් එම සටහන තැබු අතර අද ද එම සටහන ඒ පරිද්දෙන්ම නැවතත් තබන්නේ එහි ඇති සියුම් වැදගත්කම නිසාවෙනි.
මේ මාධ්‍යවේදී නිමලරාජන් සහ නිමලරාජන් ඝාතනය පිළිබදව, මාධ්‍යවේදී තයාබරන් සමග පැවත්වූ සාකච්ඡාවේ සටහන නැවත මෙසේ පළකරමු.
‘‘මගේ මිත්‍රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නෙ. නිමලරාජන් සමග මම අවුරුදු 4ක් 5ක් විතර වැඩ කරලා තියෙනවා. එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක්. එයාගෙ ආරක්ෂාවට තිබුණු තර්ජන ගැන අන්තිම කාලෙදි මට කියලා තියෙනවා. රජය සමග සිටින ඊ.පී.ඞී.පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්. නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා. ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් (දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා) නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා. සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා. නීතිපතිගේ නියෝගය තවම ලැබිලා නැහැ කියලා අවුරුදු 8ට වැඩි කාලයක් තවමත් ෆයිල් එක ඔහේ දාලා තියෙනවා.
නිමලරාජන් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ආදර්ශයක්. නිමලරාජන් කියන්නෙ ප්‍රවීණ ජනමාධ්‍යවේදී සිවරාම්ගේ පරපුරේ කෙනෙක්. එයාට දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන්. රාවය, බීබීසී සංදේශය වැනි ප්‍රධාන මාධ්‍ය වල එයා වැඩ කරලා තියෙනවා. යාපනයට නිමලරාජන්ගෙ අඩුව පුරවන්න වෙන කෙනෙක් නැහැ. නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා.
අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා. එම සංවිධානය ජනමාධ්‍යවේදීන්, ඒ අයගෙ පවුලෙ අය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා. ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්‍යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා, ජනමාධ්‍යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා. මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා. ඒ වගේම මේ කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා.
නිමලරාජන්, සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ. ජනමාධ්‍ය නිදහස නැහැ. මෙහි මාධ්‍ය නිදහසක් කියලා දෙයක් නැහැ. දැනුත් අපි සාමාන්‍ය කැමරාවක්, සාමාන්‍ය රෙකෝඩරයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ කාටවත් නොපෙනෙන විදිහට. අපිට සිදුවීමක් වෙන තැනකට වෘත්තීමය කැමරාවක් රැගෙන යන්න බැහැ. අපිව ලූහුබඳිනවා. අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකා රජය දෙමළ ප්‍රදේශය වල තිබෙන ජනමාධ්‍ය මර්ධනය කිරීමෙන් ජනතාවට ඇත්ත තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථාව වලක්වනවා.‘‘ – මාධ්‍යවේදී දයාබරන් (සාකච්ඡාවක් ඇසුරෙනි) [Re-Post]
සම්පත් සමරකෝන් | Sampath Samarakoon