iMAGE: Twitter/ @SecPompeo

ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාව  

ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසීඩිඩීස්ගේ ප්‍රවාදයක් දැන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෝලීය බුද්ධි කව තුළ පුනරුච්චාරණය වන්නට පටන්ගෙන තිබේ. තුසීඩිඩීස් යනු ස්පාටාව සහ ඇතැන්සය අතර ඇති වූ සුප්‍රසිද්ධ පෙලොපොනීසියම් යුද්ධය ගැන ලියූ පුරෝගාමී ඉතිහාසඥයා ය. මේ යුද්ධය පුරාතන ග්‍රීසිය සහමුලින්ම පරිවර්තනයට ලක් කරන්නට සමත් විය. යුද්ධය ඇරඹීමට පෙර ග්‍රීසියේ මතුවෙමින් සිටි නව බලවත් රාජ්‍යය වූ ඇතැන්සය යුද්ධයෙන් පසුව දුර්වල යටත් රාජ්‍යයක් බවට පත් විය. ස්පාටාවේ බලය තහවුරු විය. තුසිඩිඩීස්ගේ ප්‍රවාදය වූයේ වත්මන් බලවතා විසින් උසුලනු ලබන තත්ත්වය නව බලවතෙකුගෙන් අභියෝගයට ලක් වන විට දී යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි බවයි. “තුසිඩිඩීස් උගුළ” යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි.

සමකාලීන තුසිඩිඩීස් උගුළ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ දේශපාලන  විද්‍යාඥයෙකු වන ග්‍රැහැම් ඇලිසන් (ඔහු වසර ගණනාවක්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම්ගේ විශේෂ උපදේශකයෙකු ලෙසද සේවය කළේය) සමකාලීන ගෝලීය දේශපාලනයේ තුසීඩිඩීස් උගුළක් ගැන කතා කරයි. නව බලවතෙකුගේ මතු වීම විසින් දැනටමත් සිටින ගෝලීය බලවතාගේ තත්ත්වය අභියෝගයට ලක් වූ අවස්ථාවන් දාසයක් ඔහු පසුගිය සියවස් පහ තුළදී හඳුනා ගනී. ඔහුගේ නිරීක්ෂණය වන්නේ එම අවස්ථා අතුරින් දොළහකදීම නව සහ පැරණි බලවතා අතර ප්‍රචණ්ඩ ගැටුමක් ඇති වීම වැලැක්විය නොහැකි වූ බවයි. ඒ අනුව වත්මන් ලෝකයේ අධිපති රාජ්‍යය වන එක්සත් ජනපදයත් ආසියාවේ අවදි වූ මකරා වන චීනයත් තුසිඩිඩීස් උගුළ මග හැර යාමට සමත් වනු ඇතිද? ඇලිසන් විමසන ප්‍රශ්නය එයයි.

ඉහත ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දිය හැකි කිසිවෙකුත් නැත. මන්ද යත්, දේශපාලනය යනු ඇලිසන් පවසන ආකාරයෙන් යම් යම් ඓතිහාසික රටාවන් අනුකරණය කිරීමක් නොවන නිසාය. දේවල්වල අනිශ්චිත, අස්ථාවර සහ වෙනස් කළ හැකි ස්වභාවය දේශපාලනයේ හෘදයෙහිම පවතී. නමුත්, එක් කාරණයක් නම් නිශ්චිතවම පැවසිය හැකිය. එනම්, වත්මන් ලෝක පර්යාය තුළ ආධිපත්‍යයික රාජ්‍යය වන එක්සත් ජනපදයත් නැගී එන ලෝක බලවතෙකු වන චීනයත් අතර වසර ගණනාවක් තිස්සේ පැවති සීතල ගැටුම දැන් වඩ වඩාත් උග්‍ර වෙමින් පවතින්නේය යන්නයි. දැන් තවදුරටත් ඒ ගැටුම පවතින්නේ රාජ්‍ය තාන්ත්‍රික මෘදු වදනෙහි අලංකාර සළු පිළිවලින් ආවරණය කළ රහස් කතාවක් ලෙස නොවේ. එක්සත් ජනපද ජනාධිපතිවරයා කොරෝනා වෛරසය “වුහාන් වෛරසය” ලෙසින් නම් කරන විට චීන විදේශ අමාත්‍යවරයා “දෙවන ශීත යුද්ධයක්” ගැන ඉඟි කරයි.

ගෝලීය බල අරගලයකට මැදි වීම 

කෙසේ වුවත්, මේ සිදුවෙමින් පවතින්නේ තුසීඩිඩීස් පුරාතන ග්‍රීසිය තුළ නිරීක්ෂණය කළ ආකාරයේ සෘජු යුදමය ගැටුමක් නොවේ. තවමත් ගැටුම සිදුවෙමින් පවතින්නේ වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සීතල යුද්ධයක ස්වරූපයෙනි. එම ගැටුමේ “සංග්‍රාම භූමිය” වන්නේ ආසියා-පැසිෆික් කලාපය යි. අප ජීවත් වන ලංකා දූපත පිහිටා ඇත්තේ එම ආසියා පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය. එබැවින්, 1945 සිට 1991 දක්වා එක්සත් ජනපදයත් සෝවියට් සංගමයත් අතර පැවති පළමු සීතල යුද්ධයේදී මෙන් දැන් ශ්‍රී ලංකාවට මහා බලවතුන්ගේ ගැටුමට මැදි නොවී ෂේප් එකේ සිටීමට අසීරුය.

පසුගියදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝගේ ආසියානු සංචාරයට පෙර වොෂින්ටනය ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නේ බීජිං සමග දක්වන සම්බන්ධය පිළිබඳව ශ්‍රී ලංකාව “අසීරු නමුත් අත්‍යාවශ්‍ය තීන්දු” ගත යුතු බවය. මේ වනාහී රාජ්‍ය තාන්ත්‍රික මෘදු බස ඉක්මවා යාමක් බැව් වටහා ගැනීම අසීරු නොවේ. අගෝස්තු 30 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ගත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සඳහන් කළේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසන්ධානය සහ මානව අයිතීන් පිළිබඳ ප්‍රගතියක් අත්පත් කරගත යුතු බව තමන් අවධාරණය කළ බවයි. ප්‍රතිසංධානය සහ මානව අයිතීන් යනු ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රය තුළ රාජපක්ෂ පාලනාධිකාරයට තරවටු කිරීම සඳහා යොදා ගත හැකි දෘෂ්ටිවාදීමය කෙවිටක් බැව් ඉතාම පැහැදිලි ය.

අනෙක් අතින් චීන පාලනාධිකාරය ද ශ්‍රී ලංකාව වෙත සිදු වූ පොම්පෙයෝගමනය කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ එතරම්ම දැඩි වචනවලිනි. පසුගිය දින කිහිපය තිස්සේම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවත් කොළඹ චීන තානාපති කාර්යාලයත් අතර දිගින් දිගටම සිදු වූ වාග් සංග්‍රාමය පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික විනීත භාවයේ සීමා උල්ලංඝණය කළ ආකාරයේ එකකි. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි කරන බවද චීන-ශ්‍රී ලංකා සබඳතාවලට අනවශ්‍ය මැදිහත්වීමක් කරන බව ද චීන තානාපති කාර්යාලය එළිපිටම පැවසීය. මෙසේ ගෝලීය බලවතුන් දෙදෙනෙකු තෙවන රාජ්‍යයක් අරභයා වාග් සංග්‍රාමයක යෙදීම අතිශය බරපතල තත්ත්වයකි. එය වඩාත් බරපතල වන්නේ එකී තෙවන රාජ්‍යය වන ශ්‍රී ලංකාවට ය.

ආසියා පැසිෆික් පරිධි බිම

සැබවින්ම මෙසේ එක්සත් ජනපදය සහ චීනය ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දුර්වල දූපතක් අරභයා මෙසේ සීතල ගැටුමකට අවතීර්ණ වී ඇත්තේ මන්ද? මෙය වටහා ගැනීමට නම් අප භූ-දේශපාලනය නමැති විෂය ක්ෂේත්‍රය දෙසට හැරිය යුතුය. භූ-දේශපාලනය පිළිබඳ පුරෝගාමී බුද්ධිමතෙකු වන නිකොලස් ස්පයික්මන් විසින් ඉදිරිපත් කරන ලද “පරිධි බිම” (rimland) පිළිබඳ සංකල්පය මෙහිදී අපට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. විසි වන සියවසේ මුල් භාගයේදී ඔහු පෙන්වා දුන්නේ එකල ලෝක බලවතුන්ට ස්වකීය භූ-දේශපාලනික බලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක වූයේ යුරේෂියානු කලාපයේ භූමි ප්‍රදේශය නොහොත් ඊනියා “හද බිම” (heartland) නොවන බවයි. ඒ වෙනුවට, එම කේන්ද්‍රීය භූමි ප්‍රදේශය වටා පිහිටි සාගර කලාපය උපාය මාර්ගිකව වඩාත් වැදගත් වන බැව් ඔහුගේ තර්කය විය. ඒ අනුව, භූ-දේශපාලනික උපාය මාර්ග ගැන සිතීමේදී වඩා තීරණාත්මක වන්නේ භෞමික සම්පත් පිහිටි හද බිම තුළ බලය ස්ථාපිත කර ගැනීම නොව සමුද්‍රීය පරිධි බිම තුළ බලය පවත්වාගෙන යාමයි.

වත්මන් චීන-එක්සත් ජනපද ගැටුමේ පරිධි බිම වන්නේ ඉන්දු-පැසිෆික් කලාපය යි. ශී ජින්පින්ගේ පාලනය යටතේ චීනය දකුණු චීන මුහුදේ තම ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ ආක්‍රමණශීලී ප්‍රයත්නයක් ආරම්භ කරන විට ජනාධිපති බරක් ඔබාමාගේ පාලනය යටතේ එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපයේ නිදහස් නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමේ නාමයෙන් එම ප්‍රදේශයේ තම හමුදා බල ඇණි ශක්තිමත් කිරීම ඇරඹීය. අද වන විට ලොව වඩාත්ම උග්‍ර යුද ආතතියක් පවතින ප්‍රදේශය බවට දකුණු චීන මුහුදු කලාපය පත්ව තිබේ. චීනය අත්තනෝමතික ලෙස හිමිකම් කියා පාන මුහුදු කලාපය මැලේසියාව, පිලිපීනය, බෘනායි සහ වියට්නාමය ඇතුළු සෙසු අසල්වැසි රටවල මුහුදු සීමා සියල්ල උල්ලංඝණය කරයි. ඉනුත් නොනැවතුණු ශී ජින්පින් පාලනය 2013 වසරේ සිට දකුණු චීන මුහුදේ කෘතීම දූපත් ඉදි කිරීමත් එම දූපත් මිලිටරිකරණය කිරීමත් ඇරඹීය. එපමණක් නොවේ. මෑතකදී ජාතික ආරක්ෂක පණත සම්මත කිරීමෙන් එතෙක් කලක් සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව පැවති හොං කොං විශේෂ ආර්ථික කලාපය දැන් සෘජු චීන පාලනයට නතු කෙරෙමින් පවතී. එක්සත් ජනපද හිතවාදී වත්මන් තායිවාන් ආණ්ඩුව චීනය සමග එක් වීම ප්‍රතික්ෂේප කරන අතර හොං කොංහි මහජන උද්ඝෝෂණවලට සහාය පළ කරයි. දකුණු චීන මුහුදේ තායිවාන් දූපත දැන් මහා බලවතුන් දෙදෙනෙකුගේ ගැටුමට මැදිව ඇත.

ශ්‍රී ලංකාවේ ඉරණම 

එතරම්ම ප්‍රබල ලෙස නොවූවද ඉන්දීය සාගරයේ ලංකා දූපත ද දැන් මැදිවෙමින් ඇත්තේ එකී ගැටුමට ය. එයට හේතු වී ඇත්තේ චීන-එක්සත් ජනපද ගැටුමකදී උපාය මාර්ගිකව ඉතාම වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම පමණක් නොවේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය තුළදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටි බරපතල ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස චීනය වෙතට හැරීම මෙම ක්‍රියාවලියේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය. චීන ණය සහ ශී ජින්පින්ගේ “තීරු සහ මාර්ග සමාරම්භකත්වයේ” (Belt and Road Initiative – BRI) ආයෝජන ලබා ගැනීම එකල රාජපක්ෂ පාලනයට ආකර්ෂණීය විසඳුමක් විය. 2018 වර්ෂය වන විට BRI ව්‍යාපෘතිය යටතේ ඩොලර් බිලියන අටක් පමණ ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණි. කෙසේ වුවත්, මේ සමස්ත ව්‍යාපෘතිය ශී ජින්පින් පාලනයේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග ගැට ගැසී නොතිබෙන්නට හේතුවක් නැත. නිදසුනක් ලෙස, හම්බන්තොට වරාය යනු චීනයේ BRI ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන සමුද්‍රීය සේද මාවතේ වැදගත් තොටුපලකි. පාකිස්තානයේ ග්වදාර් වරාය සේම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ද දැන් පාලනය කරනු ලබන්නේ චීනය විසිනි.

දිගු කතාවක් කෙටියෙන් කිව හොත්, රාජපක්ෂ පාලනයේ චීන නැඹුරුව කෙරෙහි එක්සත් ජනපදය සහ ඉන්දියාව දැක්වූ ප්‍රතිචාරය වූයේ 2015 “ජනවාරි විප්ලවයයි.” (2015 ආණ්ඩු මාරුව මෙරට අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලිය නොතකා හැර තේරුම් කළ නොහැකි බැව් සැබෑය; ඒ සමගම සිහි තබා ගත යුත්තේ කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑම නොතකා හැර එය ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමට ද නොහැකි බවයි). යහපාලනයේ නාමයෙන් බලයට පත් නව-ලිබරල් ආණ්ඩුවට චීනය සමග වූ ආර්ථිකමය බැම්මෙන් නිදහස් විය නොහැකි වුවද, ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයේදී එය එක්සත් ජනපද-ඉන්දීය අක්ෂයට වඩාත් සමීප වූ බව රහසක් නොවේ. එක්සත් ජනපදය සමග MCC ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රයත්නයත් සමගම යුද මූලෝපායික වැදගත්කමක් සහිත තවත් ගිවිසුම් දෙකක් (එනම් ACSA සහ SOFA ගිවිසුම්) පිළිබඳ එකඟතාවද බැඳී ඇති බව මෙහිදී අමතක නොකළ යුතුය. ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳවත් දක්වන උනන්දුව සලකා බැලිය යුත්තේද ඉහත විශ්ලේෂණය කළ සමස්ත භූ-දේශපාලනික ගැටුම පසුබිම් කොටගෙන ය.

බලහත්කාරී තෝරා ගැනීම් සහ වමේ ස්ථාවරය  

මයික් පොම්පෙයෝගේ සංචාරය සමග සලකුණු වන වැදගත්ම පරිවර්තනයක් වන්නේ දැන් එක්සත් ජනපදයත් එරට සමග මූලික හුවමාරු සහ සහයෝගීතා ගිවිසුම (BECA) ඇතුළු උපාය මාර්ගික ගිවිසුම් කිහිපයක් අත්සන් කොට තිබෙන කලාපීය බලවතා වන ඉන්දියාවත් තම තෙරපීම යොදන්නේ දෙවන රාජපක්ෂ පාලනාධිකාරය වෙතට වීමයි. පොම්පෙයෝ සමග සාමූහික පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පැවසූ කාරණයක් නම් තමන් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවාය යනුවෙනි. මේ ඉන්දු-පැසිෆික් කලාපයට අදාළව එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශිත ප්‍රතිපත්තියම මිස අන් කිසිවක් නොවේ. (රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙවන් භාෂාමය අලංකාරෝක්තීන් ඉතාම වැදගත් වේ). වත්මන් පාලනාධිකාරය හමුවේ දැන් ඇති අසීරුතම අභියෝගය වන්නේ එක්කෝ තම ජන්ද පදනම කෙරෙහි ප්‍රබලතම බලපෑමක් කළ හැකි ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන්ගේ උදහසට ලක් වීමේ අවධානමට මුහුණ දෙමින් එක්සත් ජනපදය ඉල්ලා සිටින අසීරු නමුත් අත්‍යවශ්‍ය තීන්දුව ගැනීමයි (මෙය 1987 ජූලි මසදී ජනාධිපති ජයවර්ධන මුහුණ දුන් අභියෝගය සමග සැසඳිය හැකිය); නැතහොත්, එම බලහත්කාරී තෝරා ගැනීම (forced choice) තෝරා නොගෙන එයින් ජනිත විය හැකි ප්‍රති විපාකවලට මුහුණ දීමයි.

මෙවන් වාතාවරණයක් තුළ වාම ජනතාවාදී නායකත්වයක් විසින් ගත යුතු ස්ථාවරය වන්නේ එක් හෝ තවත් ගෝලීය බලවතෙකුගේ පාර්ශවය තෝරා ගැනීම නොවේ. ජාත්‍යන්තර වාමාංශික දේශපාලන ඉතිහාසය සාක්ෂි දරන පරිදි එවන් තෝරා ගැනීම් වෙනුවෙන් වමේ ව්‍යාපාරවලට ගෙවන්නට සිදුව ඇති මිළ අති මහත්ය. ඒ වෙනුවට, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ බල පොරයට ශ්‍රී ලංකාව බිලි නොදිය යුතුය යන සටන් පාඨය ජාතිකවාදීන්ට පෙර වාම ජනතාවාදීන් විසින් අත්පත් කර ගත යුතුව ඇත.

සුමිත් චාමින්ද | Sumith Chaminda

 

 

සංස්කාරක සටහන : මෙම ලිපි මාලාවේ 10 වන කොටස දක්වා මිට පෙර පළ කොට තිබේ. එම ලිපි කියවීම සඳහා පහත සබැඳි වෙත යන්න.වාම ජනතාවාදයක් කරා