iMage:foreignpolicy

මෙම ලිපිය ලියනුවේ 27/10/2020 දින සිරස නාලිකාවේ විකාශනය වූ සටන වැඩසටහන වෙත දක්වන ප්‍රතිචාරයක් ලෙසය. එම වැඩසටහන නම් කර තිබුනේ, “ගෝලීය දේශපාලනය හමුවේ ශ්‍රී ලංකාවේ භූමිකාව” ලෙසිනි. උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මෙයට සහභාගී විය. මාතෘකාවම දේශපාලනිකව වැදගත් වීම හේතුවෙන් මම මෙය පරීක්ෂාවෙන් බලා සිටියෙමි
.
(https://www.newsfirst.lk/programs/satana/). එහිදී ආචාර්ය සුරේන් රාඝවන් ගේ ප්‍රකාශන, මා මෙම ලිපිය ලිවීමට පෙළඹවීමක් ඇති කරන ලදී. ආචාර්ය රාඝවන් ගේ ප්‍රධාන තර්කයක් වුයේ, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලුව විසිදීම උදෙසා රාජ්‍ය ප්‍රතිසංස්කරණ වෙත පිවිසිය යුතු බවය. එහිදී හෙතෙම නව රාජ්‍ය කළමනාකරණයේ දී හමුවන මුලධර්මයක් වන, සීමිත රාජ්‍යයේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. නිරන්තරයෙන් විරැකියාව වර්ධනය වන පසුබිමක, ශ්‍රමය කළමනාකාරිත්වය උදෙසා නව දේශීය ආර්ථිකයක අවශ්‍යතාවත්, ඒ වෙනුවෙන් සුදුසුම ක්‍රමවේදය සෞභාගයේ දැක්ම බවත් ප්‍රකාශ කරන ලදී.

එහිදී ඔහු වෙත යොමු වූ ප්‍රශ්ණයක් වුයේ, ’20 ව්‍යවස්ථා සංශෝදනය හරහා සම්මත වූ ද්විත්ව පුරවැසි භාවයයි.’ ප්‍රශ්නයේ සාරාංශය නම්, දේශීයත්වය කේන්ද්‍රීයව ගොඩ නැගෙන රාජ්‍යයක්, ද්විත්ව පුර්වසිභාවය වෙත මෙතරම් අවධානය ලබා දිය යුත්තේ ඇයි යන්නය. ආචාර්ය රාඝවන් තමාගේ අඛ්යානය ද උදහරණයට ගනිමින් පවසන්නේ , මේ රටේ සිටිය හැක්කේ රටට ආදරය කරන සහ ද්‍රෝහිකම් කරන ලෙස වන පුරවැසි විබේදනය පමණයි ලෙසය. එම බරපතල ප්‍රකාශනයේ වන එක් ගැටලුවක් නම්, රටට ආදරය කිරීම සහ ද්‍රෝහී වීම තීරණය කරන්නේ කෙසේද සහ එම බලය ඇත්තේ කුමන ආයතනයට ද යන්නය. අනෙක් පසින් ආදරය සහ ද්‍රෝහී වීමේ නිර්ණායක මොනවාද? නිදසුන් ලෙස ආචාර්ය රාඝවන් පෙන්වා දෙන්නේ උතුරේ සිට දකුණට, ද්විත්ව පුරවැසිභාවය රහිතවද මාතෘ භූමියට ද්‍රෝහිකම් කළ පාර්ශ්වය සිට ඇති බවය. මෙය දේශපාලනිකව ඉතාම කල්පනාවෙන් තේරුම් ගත යුතුය.

මෙම මාතෘ භුමියේ ආදරවන්තයන්/ වන්තියන් හෝ ද්‍රෝහීන් තීරණය වන්නේ ආචාර්ය රාඝවන්ට අනුව පුද්ගල විශ්වාසය මතය. උදාහරණ ලෙස, මෙරට විධායක ජනාධිපතිවරයා රට ආදරය කරන රාඝවන් මහතා විශ්වාස කරන හෙයින් කිසිදු මුල්‍ය අපහරනයක් එතුමා නොකරන බවය. එහෙත් විගණනය වීම එම විශ්වාසයට එහා යන කරුණක් බව පෙන්වා දෙමින්, රාඝවන් මහතා නැවත පවසන්නේ විගණනය 20 සංශෝදනයට දැන් අන්තර්ගත හෙයින් එය පොඩි ජයග්‍රහණයක් බවය. රාඝවන් එකම මුවින් පරස්පර විරෝධී කරුණක් පවසයි.

එනම් විධායක ජනාධිපති රටට ආදර කරන පුද්ගලයකු වුවත්, ඔහුගේම යෝජනාවක් වූ විධායක ජනාධිපති ආයතනයේ විගණනය ඉවත් කිරීම, හරහා එම ආදරය ප්‍රශ්න වන අතර, නැවත මාතෘභූමියේ ආදරවන්තයෙක් වීම වෙනුවෙන් විගණනය අන්තර්ගත කිරීම වැදගත් බවය. එනම්, රාඝවන් මුලින් පැවසූ පුද්ගල විශ්වාසයන් තව දුරටත් වලංගු නොවන බව සහ ආයතනික ගත වූ නිතිය වැදගත් බවය.

එසේනම් නීතිය මගින් තීරණය කරන පුද්ගලයා මිස ආදරවන්ත හෝ ද්‍රෝහී කතාවන් කිසිදු වැදගත් කමක් නොමැත. නමුත් ජනප්‍රිය දේශපාලන ධාරාව නිතිය බවට පත්කරන පසුබිමක, නෛතිකව පුරවැසියකු වූ ඕනෑම අයෙකු, පාලකයාගේ ආශාව අනුව ආදරවන්ත/වන්තියක හෝ ද්‍රෝහියකු විය හැකිය. එය පුරවැසියා අනාරක්ෂිත කරන අතර මුල්‍ය මෙන්ම වෙනත් දේශපාලන අපචාර ඉවසා සිටීමේ දුබලයකු ද කරවනු ඇත.

එසේම රාඝවන් බලවත් ආයාසයක් දරමින් පෙන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව ජාතිකවාදීබවත්, එය ග්‍රාමීය ජනතා සම්මුතියෙන් බිහිවූ බවත්ය. මගේ විවේචනය නම්, මේ මොහොතේ පවතින්නේ ජනවාර්ගික ආණ්ඩුවක් බවය. ස්වර්ණමාලි ස්ථුපය ඉදිරියේ විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින්, රාජපක්ෂ මහතා පැවසුවේ, තමා මෙම ජයග්‍රහණය ලැබුවේ සිංහල ජනතා ජන්දයෙන් බවය. (https://www.aljazeera.com/news/2019/11/18/gotabaya-rajapaksa-sworn-in-as-sri-lankas-new-president).

එසේනම් රාජපක්ෂ මහතා නියෝජනය කරන රාඝවන් ගේ ප්‍රකාශනය හරහා පෙනී යන්නේ ජාතිකවාදී ආණ්ඩුවක් නොව ජනවාර්ගික ආණ්ඩුවක් බලයට පැමිණ තිබෙන බවය.
Thomas Hylland Eriksen ගේ Ethnicity and Nationalism: Anthropological Perspectives (1993) හි ජනවාර්ගිකත්වය අර්ථවිවරණය කරන්නේ මෙසේය;

“ජනවාර්ගිකත්වය යන සංකල්පය, තමන් සුවිශේෂී යැයි හැගෙන කණ්ඩායම් අතර වන සම්බන්දතාවය වෙත යොමුව පැහැදිලි කරගත යුතු අතර මෙම කණ්ඩායම් සමාජ ධුරාවලියේ ඉහලින් සිටින බවද පෙනී යයී ” (පිටුව 07).

ඉතාම පරණ නමුත් වර්තමානයේ දී ද වැදගත් වන දෘෂ්ටිවාදී කියවුමක් වන, භුමියේ උරුමය මත යම් ජනවර්ගයක් සුවිශේෂ වී, ඔවුන් සමාජ ධුරාවලියේ ඉහලින් සිටීම සහ එය උපයෝගිකරගෙන නිර්මාණය වන පාලන යාන්ත්‍රණයක්ට උදාහරණයක් ලෙස මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුව පෙන්වා දිය හැකිය. එම හේතුවෙන් එය ජාතිකවාදී ආණ්ඩුවක් ලෙස නොව ජනවාර්ගික ආණ්ඩුවක ලෙස මම අර්ථකථනය කරමි. මේ අනුව එවැනි ජනවාර්ගික ආණ්ඩුවක් ගෝලීය වසංගත covid 19 පාලනයට ස්ථාපිත නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ මගේ ලිපියේ දෙවැනි කොටසේ අවධානය යොමු වේ.

ගෝලීය වසංගත covid 19 පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්, covid 19 මර්ධන ඒකකය, යුධ හමුදා ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා යටතේ ස්ථාපිත කර ඇත. එසේම covid 19 පාලනය වෙනුවෙන් නව නීති සම්පාදනය කර තිබෙන අතර, එම නීති උල්ලංඝනය කරන පිරිස් දඩුවමට යටත් කිරීමටද මේ අවස්ථාවේ දී ක්‍රියාකර තිබේ. එවැනි පසු බිමක, වෛද්‍ය තුෂාර වික්‍රමනායක සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුනේ, covid 19 නිරෝධායන ක්‍රියාවලිය මගින් පුරවැසියා ව පිඩාවට පත් කිරීමය. පිටරට සිට මෙරට පැමිණි ඇය මුදල් ගෙවා නිරෝධයනට ලක් වූ අතර, ඇයගේ PCR පරික්ෂා වෙනුවෙන් ද ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් මුදල් ලබාගෙන තිබේ. ඇයගේ වෘත්තියට සාපේක්ෂව ගෙවන ලද මුදල ඇයට දරාගැනීමේ දුෂ්කරතාවක් වූ බව පැවසුනි.(https://www.facebook.com/tushara.wickramanayaka/videos/10157775506302149).

එසේ ඇය පවසන විට මෙරටට ප්‍රධාන ආදායම් උත්පාදන මුලශ්‍රයක් වන මැදපෙරදිග සංක්‍රමණ සේවක/ සේවිකාවන් ගේ නිරෝධායන ක්‍රියාවලියෙහි පහසුකම් සැලසීම සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. මහමැතිවරණයට ප්‍රථම තුති කවි කියා, දෑත හිස මුදුනේ තබා වන්දනා මාන කරමින් නික්ම ගිය නිරෝධායන මධ්‍යස්ථාන සහ ඒවායෙහි වූ මිලිටරි පිරිස් වෙත, 2/3 බලය ලබා ගත් ආණ්ඩුවක් පවතින පසුබිමක ජන අප්‍රසාදය ඇතිවුයේ කෙසේ ද? විරැකියාව හේතුවෙන් විදේශ ගත වූ ශ්‍රමිකයන් මෙරටට පැමිණ නිරෝධායනය අවසන්ව ස්ත්‍රෝත, ගයමින් පුජනිය කරවන ලද නිරෝධායන ප්‍රතිපත්ති සහිත වූ ආණ්ඩුවක්, මාතෘභූමියට ආදරේ පුරවැසියාගේ රෝග නිවරණයෙන් මුදල් ඉපයීමට පෙලබුනේ කෙසේද?

එම නිරෝධායන ප්‍රතිපත්ති හි මර්ධනය, පීඩනය සහ සුරාකෑම පෙන්වාදෙන පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සැලකීමට පෙලබුනේ කෙසේද? එසේම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කම්කරු නිතිය ඉක්මවා යමින්, ක්‍රියාත්මක නිදහස් වෙළඳ කලාප හි සේවයේ නිරත ශ්‍රමික/ ශ්‍රමිකාවන්, තව තවත් වසංගතය තුළ පිඩාවට පත් කිරීම නොපෙනිගියේ කෙසේද? එසේම කිසිදු පෞද්ගලිකත්වයක් වෙත ඉඩ නොතබා, පුරවැසියන්ගේ Instagram වැනි සමාජ අවකාශයන්ගේ තොරතුරු හමුදාව සහ පොලිසිය ඒකරාශී කිරීමට විරුද්ධ වීම දේශද්‍රෝහී වීමක් වුයේ කෙසේද? මෙම ගෝලීය වසංගතය ආරම්භයේ සිටම, රාජ්‍ය බුද්ධි අංශ යොදා පුරවැසියන් ගේ තොරතුරු ඒකරාශී කිරීම හෙළා දැකීම මාතෘ භූමියට එදිරි කටයුත්තක් වේද?

නිරෝධායන නීති යනු සුපිරි බලයකින් පැමිණි කරුණක් නොවේ. ඕනෑම නිතියක පරමාර්ථය විය යුත්තේ ජන සම්මතය මත වන සුභසාධනය සහ ආරක්ෂාව වේ. නිරෝධායනය යනු යම් මාරාන්තික වසංගත රෝගයක් පැතිරීම වලක්වා පුරවැසියාගේ සුභසාධන ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය වූ නීතියක් වේ. එය ක්‍රියාත්මක වන්නේ පුරවැසියා වෙනුවෙනි. එම පුරවැසියා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන් අර්ථගැන්වූ අයෙක් මිස, පුද්ගල විශ්වාසයන් වූ මාතෘ භුමියේ ආදරවන්ත/වන්තියන් හෝ ද්‍රෝහීන් යන කරුණ මත තීරණය නොවිය යුතුය.

ලිපිය අවසාන කරමින් පැවසිය හැක්කේ, නිරෝධායන යනු රෝග විනිශ්චයක් වෙත සිදු කරන ප්‍රතිකර්මයක් මිස, හිස් වූ භාණ්ඩාගාරයක් පිරවීම වෙනුවෙන් වන මුලාශ්‍රයක් නොවේ. රාඝවන් පවසන විරැකියාව සහ ආර්ථික අර්බුධය හුදෙක්ම ගෝලීය වසංගතය හේතුවෙන් තීව්‍ර නොවිය. වසංගතයේ බලපෑම තිබෙන නමුත්, මෙරට පුරවැසියාගේ ශ්‍රමය මගින් උත්පාදනය වන ධනය නිසි ලෙස සෞඛ්‍ය සහ අනෙකුත් සුභසාධන ක්ෂේත්‍රවල ආයෝජනය මගින් මෙම අර්බුධයෙන් නැගී සිටිය හැකිය. එයට ජනවාර්ගික මාවතක් නොව, ශික්ෂණය, විගණනය සහ ශිෂ්ටත්වයෙන් ක්‍රියාත්මක වීම වැදගත් වේ.

අරුණි සමරකෝන් | Aruni Samarakoon