Main iMage:Army.lk

ලෝකයේ ඩ්‍රෝන් තාක්ෂණය අතිශය දියුණු තාක්ෂණයක් අමුතුවෙන් ලිවිය යුතු නොවේ. විශේෂයෙන් පහසුවෙන් ළගා විය නොහැකි ප්‍රදේශවලට සහන සැළසීම වෙනුවෙන් එක්සත් ජාතීන් වැනි සංවිධානත් මේවා භාවිතා කරයි. විශේෂයෙන් සහන කණ්ඩායම්වලට සෘජුවම ළගා විය නොහැකි ස්ථාන සදහා ආහාර, බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍,ය පිඩාවට පත් මිනිසුන් වෙත ළගා කිරීමට මේ තාක්ෂණය උපයෝගී කර ගන්නා බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. https://www.youtube.com/watch?feature=share&v=jEbRVNxL44c&app=desktop එසේම යුදමය කටයුතුවලදීත් ලෝකයේ රටවල් මෙය භාවිතා කර තිබෙනවා. ඇතැම් රටවල වෙළද කටයුතු සදහා භාණ්ඩ ප්‍රවාහණය සදහාත් මෙය භාවිතා කරන තත්ත්වයක් දක්නට ඇත. https://www.youtube.com/watch?v=MR9PoBAssw0 ඡායාරූපකරණය, වීඩියෝ වැනි දේ සදහා මෙන්ම විශේෂයෙන් ලංකාවේ මංගල උත්සව, දේශපාලන රැළි සහ වෙනත් විශේෂ ක්‍රියාකාරකම් ආවරණය කිරීම සදහාත් ඩ්‍රෝන් භාවිතා කරන බව කවුරත් දන්නා කරුණක්. එසේම Drone Journalism කියලා විෂයකුත් ලෝකයේ සාකච්ඡා කරනවා. විශේෂයෙන් ඩ්‍රෝන් යානාවලින් ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ පදනම් කරගනිමින් සිය අන්තර්ගතයන් ඉතාමත් තීව්‍ර ලෙස ඉදිරිපත් කිරීමත් මෙහි වැදගත් කොටසක්. නමුත් කිසියම් රෙගුලාසි හෝ නීතිමය රාමුවක් යටතේ වගේම, ආචාරධර්ම පිළිබද ගැඹුරු අදහසකින් යුතුව එම දේවල් සිදුකිරීමට වර්තමානයේ ශිෂ්ට සමාජයන් උත්සහ ගන්නා තත්වයක් තිබෙනවා. අවම වශයෙන් ඒ පිළිබද විදිමත් සාකච්ඡාවන් ලෝකයේ විවිද ස්ථනයන් හී සිදුවීමත් අතිශයින් වැදගත් ලක්ෂණයක්.(ලංකාවේ එසේ නොමැති අවස්ථා අප දැක තිබේ. උදාහරණයකට ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත ශරීරය ගොඩගැනීමේ අවස්ථාව ආවරණය කිරීම අධිකරණය විසින් වලක්වා ඇති විටක එක් රූපවාහිණි නාලිකාවක් විසින් ඩ්‍රෝනයක් යොදා එය රූපගත කිරිම සිදුකිරීම එහි එක් අවස්ථාවක්.)

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් විසින් විවිද ආපදා අවස්ථාවලදී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආදී කටයුතුවලදීත්, ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කරන්නේත්, DRONE JOURNALISM වලදී එය භාවිතා කිරීමේදීත් වඩාත් අචාරධාර්මිකව සිදුකිරීමටත් වගබලා ගන්නේත් ‘පෞද්ගලිකත්වයට ඇති අයිතිය’ ඉතා වැදගත් කොට සලකන නිසාය. තාක්ෂණය සහ අන්තර්ජාල පිළිබද ගෝලීය සාකච්ඡාවන්වලදීත් දැන් මෙය ප්‍රභල මාතෘකාවක් වී ඇත්තේත් එහි ඇති සංවේදී බව නිසාය. එම තාක්ෂණය අවභාවිතා කළහොත් මිනිසාගේ පුද්ගලිකත්වය සහ නිදහස ඒ මගින් තර්ජනයට ලක්විය හැකි නිසා බව අප අමතක කල යුතු නොවේ. එය ගැටුම්, ආපදා තත්ත්වයන් ආදී සංවේදී අවස්ථාවල දී ද ගැඹුරින්ම සලකා බැලිය යුතු වන්නේද ඒ නිසාය.

ඩ්‍රෝනයක් ගුවන් ගත කිරිමේ සිමාවන්, ඇති අවශ්‍යතාවයන්, නියමුවා කවුද? ඒ සදහා ඇති රීතීන්, නීතින්, රෙගුලාසි අනුගමනය කිරීම ඉතාමත් වැදගත් කොට සලකන්නේ කිසියම් හෝ පුද්ගලයෙක්ගේ නිදහසට සහ පෞද්ගලිකත්වයට එයින් වන හානි වීම වැලැක්වීම සදහායි. ඒ කිසිවක් පිළිබද කිසිදු සදහනක් නැතිව ඩ්‍රෝන් භාවිතා කරමින් සිවිල් අවකාශයන් නිරීක්ෂණයට ලක් කිරීම කොරෝනා වෛරසයට වඩා බියකරු තත්ත්වයක් බවට පත් විය හැකිය.

ලංකාව තුළ ඩ්‍රෝන සම්බන්ධයෙන් විදිමත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ ආරම්භක කර්තෘ සංජන හත්තොටුව 2017 ජනවාරියේ මෙසේ ලීවේය.

‘මම ශ්‍රී ලංකාව තුළ දී හා ඉන් පිටත දී වසර ගණනාවක් තිස්සේ ඩ්‍රෝන් යානා පියාසර කරවා ඇත්තෙමි, ඒවා භාවිත කරන ආකාරය උගන්වා ඇත්තෙමි, ඒවා භාවිතයෙන් උපදවා ගැනෙන අන්තර්ගතය ආශ්‍රිත ආචාරධර්ම කවරේ දැයි ගවේෂණය කර ඇත්තෙමි. මම යුද්ධයෙන් ඔබ්බෙහි දී සහ ආක්‍රමණකාරීව හා ආයුධයක් ලෙස යොදා ගැනෙන අවස්ථාවල දී ඒවායේ භාවිතය විමසා බලා ඇත්තෙමි. පසු ගිය වසර කිහිපය තුළ දී පාරිභෝගික ඩ්‍රෝන් යානා අලෙවිය වේගයෙන් වැඩි වී එය ඩොලර් බිලියන සංඛ්‍යාත ගෝලීය කර්මාන්තයක් බවට පත්ව ඇති අතර එහි වර්ධන වක්‍රයේ තියුණු නැගීමේ අඩුවක් වන කිසිදු ලකුණක් නො පෙනේ. සමාගම් දෙකක් – Parrot හා DGI – මෙම වෙළඳ පොළ තුළ ආධිපත්‍යය දරන නමුත් ශ්‍රී ලංකාව තුළ දී අප විසින් ම ද ඩ්‍රෝන් යානා තනා ගැනේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුව 2014 දී රාවන්(Ravan) නමැති මධ්‍ය පරිමාණයේ ඩ්‍රෝන් යානාව අත්හදා බැලූ අතර ඒ වසරේ දී ම විවෘත කෙරුණු එහි UAV පර්යේෂණාගාරය වඩාත් වැඩි දරා ගැනීමේ ශක්තියක් හා ස්වයංක්‍රියතාවක් සහිත, වඩාත් දියුණු මට්ටමේ පවතින සීහෝක් (Ceyhawk) නමැති ඩ්‍රෝන් යානාව නිපදවා ඇත.

ඩ්‍රෝන් යානා පිළිබඳ උනන්දුව මේ තරම් වැඩි වූයේ ඒවා විනෝදායන පරමාර්ථ – විවේක හා සංචාරක ගමනාන්ත, විවාහ මංගල උත්සව හෝ වෙනත් උත්සවාකාර අවස්ථා රූගත කිරීම – සහ මාධ්‍යවේදය – දේශපාලන පක්ෂවල රැලි, මහා පරිමාණ ස්වාභාවික ආපදා, මිනිසා විසින් නිර්මිත ආපදා හා පාරිසරික ගැටලු ආවරණය කිරීම – සඳහා යොදා ගැනීම නිසයි. ආචාරධර්මික නොවන හා නීති විරෝධී අන්දමින් ඩ්‍රෝන් යානා යොදා ගත් අවස්ථා – මිනී ගොඩ ගැනීම් රූගත කිරීම, ස්ථූප මතට කඩා වැටීම හෝ මහජන සුරක්ෂිතතාව තඹයකට නො තකා ජනයා රැස් කකා සිටින ස්ථාන උඩින් පියාසර කරවීම – පසු ගිය දා මාධ්‍ය සිරස්තල බවට පත් වීම පුදුමයට කරුණක් නො වේ.’’

නමුත් ඒ වන විට ලංකාව තුළ ඩ්‍රෝන් යොදා ගනිමින් සිවිල් අවකාශයන් නිරීක්ෂනය කිරීම සදහා විශේෂ හමුදා රෙජිමේන්තුවක් පිළිබද කිසිදු සාකච්ඡාවක් පිටතට පැමිණ තිබුණේ නැත.

එසේ වුවද, ඩ්‍රෝන් භාවිතයෙන් සමාජයකට උපයාගත හැකි වාසිදායක තත්ත්වයන් පිළිබද යම් සාකච්ඡාවක් ඇති වෙමින් තිබිණි. ඒත් සමගම විශේෂයෙන් කිසිදු ආචාරධර්මයකට යටත් නොවී ඩ්‍රෝන් භාවිතා කිරීමෙන් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට සහ නිදහසට එල්ල විය හැකි තර්ජනයන් පිළිබද විශේෂ අවධානයක් සමාජය තුළ ඇති කිරීමට ගත් උත්සහයක් ද දක්නට විය. ඒ ඇසුරින් සංජන හත්තොටුවගේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන් පිරිසක් සදහා ඩ්‍රෝන් හැසිරවීම සහ එහි ආචාරධාර්මික භාවිතය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දෙමින් පුහුණු කිහිපයක් කොළඹ ආශ්‍රිතව සිදු කෙරණි. මෙහිදී ද වඩා අවධාරණය කෙරුණේ ඩ්‍රෝන් භාවිතා කරන්නන් විසින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ප්‍රමුඛ යුතුකමක් සහ වගකීමක් බව අවධාරණය කිරීමයි.

දැන් ශ්‍රී ලංකා යුද හමුදාවාට අයත් කාලතුවක්කු රෙජිමේන්තුව යටතේ ‘ඩ්‍රෝන් රෙජිමේන්තුව’ නමින් පිහිටු ඇති ඒකකයේ ක්‍රියාකාරීත්වය පිලිබද පැති ගනනාවකින් ප්‍රශ්න ගණනාවක මතු වෙයි. ඒ ඉහතින් සදහන් කළ කරුණු පදනම් කර ගනිමිනි.

පෞද්ගලිකත්වය, ආචාරධර්ම සහ නීති?

ඩ්‍රෝන් රෙජිමේන්තුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබද සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වන සංජන හත්තොටුව සදහන් කරන්නේ Zenmuse H20 වැන් තාක්ෂණයන්ගෙන් සමන්විත මෙම ඒකකයට, අධික තාපය ඇති ස්ථානයන් මෙන්ම රාත්‍රී දර්ශන ලබා ගැනීමට සුවිශේෂ හැකියාවක් පවතින බවත්, පියාසර තත්ත්වය ඉතාමත් ඉහළ අගයකින් තබා ගත හැකි බවත්ය. එවිට ‘….මෙය විහිළුවක් නොවේ, පෞද්ගලිකත්වය, ආචාරධර්ම, දත්ත රදවා තබා ගැනීම සහ ඒවා සියලු සිදු කරන්නේ කුමන නීති රාමුවක් යටතේද?’ ඔහු වැඩිදුරටත් ප්‍රශ්ණ කරනු ලබයි.

හමුදාව විසින් පාරිභෝගික ශ්‍රේණියේ සිට කාර්මික ශ්‍රේණිය දක්වා වූ ඩ්‍රෝන මෙහිදී භාවිතා කරයි. ‘පියාසර කරන විට වැදගත් වන්නේ ඒවා පියාසර කරවන්නේ කවුරුන්ද යන්නයි’ සංජන හත්තොටුව තවදුරටත් අවධාරණය කරයි.

එසේම දැනට අවම ලෙස හෝ පවතින https://www.caa.lk/images/drone_operation_information/SLCA_IS053_1st_Edition_Rev02_10JAN2017.pdf කිසිදු රෙගුලාසියකටද මෙම හමුදා ඛණ්ඩය බැදී නැත. එවැනි තත්ත්වයක් තුළ එම ඩ්‍රෝන් ව්‍යාපෘතිය සාධාරණය කල හැක්කේ කුමන පදනමකින්ද?

‘හමුදා ඩ්‍රෝන්’

2009 මැයි මස අවසන් වූ ‘යුද ගැටුම’ තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශ නිරීක්ෂනය කිරීම සදහා නියමුවන් රහිත යානා හමුදාව විසින් භාවිතා කල බවට වාර්තා විය. එහිදී ඒවා භාවිතා කල අකාරය නිසා එම ජනයා තුළ මානසික කම්පනයක් ඇති කිරීමට එම යානා භාවිතය ඉවහල් වූ අයුරුත් අපට අමතක කළ නොහැකිය. එවැනි ඉතිහාසයක් ඇති තත්වයක් තුළ සහ එම ඉතිහාසය නිර්මාණය කළ අය රටක් පාලනය කරන විට, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින්, ආචාරධර්මිකව, එය භාවිතා කරනු ඇතැයි සහතික කළ හැකිද? සීමාව කුමක්ද? යොදාගන්නේ කුමන අරමුණකින්ද? යොදාගනු ලබන්නේ කවුරුන් විසින් කා සදහාද? නියමුවා කවුද? ගුවන්ගත කිරිමේදී පිළිපැදිය යුතු අචාරධර්ම මොනවාද? නීතිරිතින්වලට එකගවද? ආදී ප්‍රශ්ණවලට පිළිතුරු නැතිව ‘කොරෝනා පාලනය කිරීමට’ යන්න පෙරට දමා, ආරම්භ කර ඇති #drone ව්‍යාපෘතිය නිසා ලංකාවේ මිනිස් ජීවිතවල පුද්ගලිකත්වය සහ නිදහස තර්ජනයට ලක්වීම වැලැක්විය හැකි වන්නේද?

මෙම ඩ්‍රෝන් රෙජිමේන්තුව ආරම්භ කිරීම පිළිබද වාර්තා වූ පසු ලියුම්කරු විසින් පළ කල ට්විටයකට අදහසක් පළ කල අයෙක් මෙසේ සටහන් කර තිබිණි. ‘අපරාදකරුවන් අල්ලා ගැනීමට මෙය හොද ක්‍රමයක්, නමුත් ගැටලුව වන්නේ සාමාන්‍ය පුරවැසියන් සහ ඔවුන්ගේ සිවිල් / මානව හිමිකම් ගැන කුමක් කිව හැකිද?’ යන්නයි. මෙය ඉතා වැදගත් සටහනකි. ඒ එය සමාජයේ යම් කොටසක් නියෝජනය කරන බැවිනි. නමුත් එය පරිස්සමින් විමසා බැලිය යුතුය. සිවිල් නීතිය ක්‍රියාත්මක කරන ඕනෑම රටක්, අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත්කිරීම සදහා යොදාගනු ලබන්නේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරනු ලබන පොලීසියයි. එයට බලය ඇත්තේද පොලීසියටයි. ලංකාවේ තත්ත්වයත් එසේය. ඩ්‍රෝන් යානා යොදාගනිමින් අපරාධකරුවන් අල්ලා ගන්නට උත්සහා කරනවා නම් එය කළ යුත්තේ පොලීසියයි.(ඒ අර්ථයෙන් මදකට සිතමු) එයද ඩ්‍රෝන් සදහා අවම වශයෙන් CAASL හී දැනට ඇති රෙගුලාසීන්ට යටත්වය. නමුත් එයට හමුදාව යොදා ගන්නේ ඇයි? ඒ හමුදාවත් අදාල කිසිදු රෙගුලාසියකට, නීතියකට හෝ රීතියකට බැදී නැත්තේ ඇයි? අප විසින් ප්‍රශ්ණ කළ යුත්තේ එයයි. හමුදා රාජ්‍යකට නම් එවැන්නක් කළ ‘හැකිව ඇති,’ එහෙත් ලංකාව හමුදා රාජ්‍යක්ද? නැතිනම් එවැන්නකට සූදානම් වන රාජ්‍යක්ද? පොලීසියේ සහ සෞඛ්‍ය අංශ විසින් වසංගත තත්වය තුළ සිදුකල යුතු ඇතැම් දේවල් හමුදාව විසින් තුවක්කුත් සමග පැමිණ සිදුකරමින් සිටින තත්ත්වයක් තුළ යම් අයෙක් ට එසේ සිතීමට සාධාරණ හේතු තිබිය හැකිය. දැන් මේ ඩ්‍රෝන් රෙජිමේන්තුව විසින් සිවිල් ජනයාගේ අවකාශයන් නිරීක්ෂනය කිරීම තුළින් පියනගන්නේ එවැනි තත්ත්වයකටද?

යුද හමුදාව සිය ඩ්‍රෝන් රෙජිමේන්තුව ගැන මෙසේ ද කියයි ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනවයෙන් ස්ථාපිත නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ඉතා උසස් තාක්‍ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර හමුදා සහ හමුදා නොවන අවස්ථාවන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකිය.’ (https://www.army.lk/si/node/72567) වැල්වටාරං නැතිව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නම් මේ ප්‍රශ්ණය ඇසිය යුතුය.

‘හමුදා නොවන අවස්ථා’ යන්න තීරණය කරන්නේ කවුද? ‘සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සිටියදී සහ ඩ්‍රොන්වලට අදාල(අවම ලෙස හෝ) පවතින කිසිදු නීතියකට හෝ රෙගුලාසියකට යටත් නොකර හමුදාවට මෙය සිදු කිරීමට ඇති නීත්‍යානුකුල පදනම කුමක්ද?

එසේම අනෙක් වැදගත් කරුණ නම්, සිවිල් ජනයාගේ සමාජ අවකාශයන් නිරීක්ෂණය කිරීමත්, ඒවායේ දත්ත ගබඩා කිරීමත් සිදුකිරිම ට රටක සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට අයිතියක් නැති හමුදාව විසින් සිදුකිරීම, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට එල්ල කරනු ලබන බලපෑම සුලුපටු නොවේ. එපමණක් ද නොවේ, දැන් පවතින වසංගත තත්ත්වය දඩමීමීමා කර ගනිමින්, ඩ්‍රෝන් යානා යොදා ගනිමින් මිනිසුන්ගේ පුද්ගලික අවකාශයන් නිරීක්ෂනයත්, ඒවයේ රූප රාමු සහ දත්තයන් ලබා ගැනීමත්, ගබඩා කරගැනීමත් සිදුවන්නේ නම් එය අතිශයින් බරපතල අවධානම් තත්ත්වයන් උදාකල හැකිය. නමුත් එම අවධානම හි බරපතලකම තවමත් අප සමාජය විසින් තේරුම් ගෙන නැත. තේරුම් ගැනිමට කිසිදු උත්සහයක්වත් ගන්නා බවක් පෙනෙන්නට නැත. එසේම හමුදාව විසින් කිසිදු නීතියකට, ආචාරධර්මයකට යටත් නොකර සිවිල් ජන ජීවිතයේ අවකාශයන් නිරීක්ෂණය කිරීම, රටේ තිබෙන අවම හෝ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් තවත් හකුලා දැමීමේ තවත් එක් ප්‍රයත්නයක් බවත් තේරුම් ගත යුතුය. එසේම මේ සටහනේ කීහිප තැනකම ලිව් පරිදි කිසිදු ආචාරධර්මයකට හෝ රෙගුලාසියකට යටත් නොවී, ‘මිලිටරිය’ විසින් ඉතා දියුණු ඩ්‍රෝන් භාවිතා කරමින් ඔබේත්, මගේත් පුද්ගලික ජීවිතය නිරීක්ෂණය කළහොත් ඔබට විරුද්ධවීමට අයිතියක් ඇත. එහෙත් ඒ අයිතිය රදා පවතින්නේ දරුණු වසංගත තත්ත්වයක වුවද ‘පෞද්ගලිකත්වයට ඇති අයිතිය’ පිළිබද අප දරණ මතය අනුවය. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මානව හිමිකමක් ලෙස අප බාරගන්නවාද යන පදනම මතය. පෞද්ගලිකත්වය ඇති අයිතිය මානව නිදහසේ ප්‍රමුඛ අංගයක් බව අප විසින් පිළිගන්නා තත්ත්වයකදීය. එසේ නොමැති වුවහොත් ‘හමුදා ඩ්‍රෝන්’ විසින් ඔබේ පෞද්ගලිකත්වය සහ නිදහස ඉතා ඉක්මනින් බිලිගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇති.

‘රටක් මිලිටරිකරණයට ලක්වීම යන්න තේරුම්ගැනීමට තුවක්කු, කාලතුවක්කු, ආමට්කාර් සමග සොල්දාදුවන් මාර්ගවල සිටිය යුතුම නැත.’