iMAGE: Vikalpa/ Sampath Samarakoon

එල්.ටි.ටී ය වෙනුවෙන් සටන් කර සිය දිවි පිදුවන් සිහිකරමින්, මාවීරර් නාල් නොහොත් වීරයන්ගේ දිනය නොවැම්බර් 27 වනදා සමරනු ලැබේ. අතිශයින් දේශපාලනීකරණය වූ මෙම දිනය පිලිබඳ අවසානයේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සිහිතබා  යුතු එකම කරුණ වන්නේ එය යුද්ධය නිසා ජිවිත අහිමි වුවන් සිහි කරන දිනයක් බවයි.

අනුස්මරණය සහ  ප්‍රතිසන්ධානය

 අනුස්මරණය සහ ප්‍රතිසන්ධානය යන වචන බොහෝ අවස්ථා වල බර වචන මෙන් දිස් වන අතර ලාංකීය සන්දර්භය තුල මෙම වචන බොහෝ විට ‘දේශ ද්‍රෝහී’ යන්නට සමාන අරුත් දේ. ඒ අනුව යට ගියාව, සංහිඳියාව,සංක්‍රාන්ති යුක්තිය සහ රුචි අරුචිකම් ගැන කතා කිරීම ජාතික විරෝධී බටහිර කුමන්ත්‍රණ වලට සහය වීම වැනිය.

දැන් එය මෙසේ දක්වමු. ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වේදනාව මොහොතකට ස්මරණය කරමු. එවිට අනෙකා සංවේදනය කිරීමට එකිනෙකාට සමාව දීමට සහ සාමය ඇති කරගැනීමට හැකිවනු ඇත.’ එය බොහෝ සේ ‘ශ්‍රී ලංකා විරෝධී’ යැයි හැඟෙන්නේ නැද්ද?

අනුස්මරණය කිරීම යනු සැබවින්ම ජාතියක පුරවැසියන්ට අතීත මතකයන්  ආවර්ජනය කිරීමට, සිහිපත් කිරීමට සහ සමාදානය ඇති කරගැනීමට හැකියාව සැලසීමයි.  (http://historicaldialogue.lk/glossary/). කෙසේවෙතත් වර්තමාන ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා ප්‍රතිසන්දානය සහ සබැඳියාව වෙනුවෙන් අනුස්මරණය කිරීම ජාතික විරෝධී ඒක පාර්ශවිය කටයුත්තක් ලෙස නොසැලකෙන්නේ නම්, බොහෝ විට  එය පාලනය කරන්නේ  ජයග්‍රාහකයා නොහොත් බලවතා ය.

ශ්‍රී ලංකාව තුල, ජාතික මට්ටමින් – රජයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී අපට අහිමි වුවන්ගේ ස්මරණයන් සංරක්ෂණය කර ඇත්තාක් සේම ,’අරන්තලාවේ සමුල ඝාතනය’ වැනි එල්ටීටීඊය විසින් සිදු කරන ලද සමූල ඝාතන ස්මරණය කරන විශේෂ දින නියම කර ඇත්තාක් සේම යුද ස්මාරකයන්  මගින් යුද ජයග්‍රහණයන්ද උත්කර්ෂයට නංවා ඇත. මෙම යුද ස්මාරක ශ්‍රී ලාංකිකයන් අතර සිදු  වූ ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන්වම ඝාතනය කල යුද්ධයක් සිහිපත් කිරීමේ දුර්වල කාර්යයක් සිදු කරයි. ඇතැමුන් සැබවින්ම ඇස් වල තුවාල පාරන්නට බොහෝ සේ කැමතිය.

ත්‍රස්තවාදයේපසුබිම

මේ වසරේ සැප්තැම්බරයේ දී විවිධ ශ්‍රී ලාංකිකයන් අතර  මහත් ආන්දෝලනයට තුඩු දෙමින්, ලුතිනන් කර්නල් තිලීපන් සමරු උත්සවය තහනම් කරන ලදී. නැත- දමිල ජාතිකයන් නිසාවත් උතුරේ පමණක්වත් නොව. තිලීපන් හෝ ඔහුගේ ජීවිතය සහ සත්‍ය පිලිබඳ හෝ ඔහු පෙනී සිටි දේ වෙනුවෙන් මට සහතික කළ නොහැකි අතර, අප සැමට එකසේ එකඟ විය හැකි කරුණ නම්, එල්.ටී.ටීය යනු 70 දශකයේ ශ්‍රී ලංකාව තුල බිහිවූ බොහෝ ආයුද සන්නද්ධ කණ්ඩායම් වලින් එකකි. කුමක් අරඹයාද? මන්දයත්, ඒ වන විටත් දමිල ජාතිකයින්ගේ අයිතිවාසිකම් උදුරාගෙන තිබූ හෙයිනි.

දමිල ජාතිකයින්ට ඔවුන්ගේ භාෂාව පමණක් නොව, ඔවුන්ගේ රැකියා, සේවා නියුක්තිය සහ අධ්‍යාපන අයිතිය ද අහිමි වීමට පටන් ගත් අතර, 80 දශකය වන විට ඔවුන්ගේ අනන්‍යතාවයද අහිමි වීම ඇරඹිණි. දමිල කාන්තාවන්ට සිය පළඳනා (විශේෂයෙන් පොට්ටු නිසා)නිසා චෝදනා සහ පීඩාවිඳින්නට සිදු වූ අතර සියල්ල වෙනස් වීමට ආසන්න විය. 1983 දී සාමාජිකයින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ එල්ටීටීඊය පලාලි හි සැඟවී සිට සිදු කල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් දහතුන් දෙනෙකුගේ ජීවිත බිලිගත්හ. ඔවුන්ගේ මළ සිරුරු තැන්පත් කළ යුත්තේ කොතැනද යන්න පිළිබඳව පවුල් සහ රජය අතර අවිනිශ්චිතයන් උත්සන්න වූ අතර, මේ දෙස බලා හුන් ශ්‍රී ලාංකිකයින්ගේ හැඟීම් උතුරා යන්නට විය.  එමගින් ජාතියට විඳින්නට වූ වේදනාව කිසිවෙකුට සිතාගත නොහැකි තරම් විය. මැරයන් වීදි බැස ප්‍රචණ්ඩත්වය පතුරවන්නට වූ අතර යුක්තිය සහ සබැඳියාව සඳහා මාවතක් නිර්මාණය කරනවා වෙනුවට, ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය එල්ටීටීඊය ගැන අසාවත් නැති අහිංසක දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමට අවසර දුන්නේය.  රජය දිගින් දිගටම අන්ධ නිහඬ පිළිවෙතක් අනුගමනය කල අතර බොහෝ අහිංසක තරුණ දමිල පිරිමි සේම ගැහැණු දරුවන්ට පහර දී, ඔවුන්ව සිය  නිවෙස්වලින් පලවා හරින ලද අතර,  ඔවුන් පවසන අන්දමින් ඔවුන්ගේ එකම ආරක්ෂාව “එල්ටීටීඊ ය අතේ”  විය. (සාමයේ හඬ, 2018)  ශ්‍රී ලංකා ආන්ඩුව යටතේ රජයේ සේවකයෙකු වීමට  සිහින දුටු ඔවුන්ගෙන් බොහොමයකට දශක තුනකට ආසන්න කාලයක් එල්ටීටීඊයට සේවය කරන්නට සිදුවිය.

1983 සිට එල්ටීටීඊය සාමාජිකයින් 10,000කින් පමණ සමන්විත බලවේගයක් ලෙස සීග්‍රයෙන් වර්ධනය වූ අතර ඔවුන්ගෙන් බහුතරයකට එහි සේවය කරනවා විනා වෙන විකල්පයක් නොමැති විය. (VOP, 2018)  ඔවුන්ගෙන් බහුතරයක් එල්ටීටීඊ නායකයින්ගේ කුරිරු බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවලට යටත් වූ අතර තවත් බොහෝ දෙනෙක්  ඔවුන්ගේම රජය සහ සෙසු රටවැසියන්ගේ තල්ලුවෙන් ඒ හා සම්බන්ද විය. සිය ගම්බිම් වලින් පිටුවහල් කළ, හිංසා පිඩා විඳි මිල මුදල් නැති බොහෝ අය උතුරට පලා ගියහ.

“අපට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ… මට සල්ලි තිබුන නම් මට ලන්ඩනයට යන්න තිබුණා. ධනවත් අයට එහෙම පිටව යන්න පුළුවන් උනා. ඔවුන්ට පැන යන්න පුළුවන් වුනා. ධනවතුන්ට තේරීමක්, විකල්පයක් තිබුනට දුප්පතුන්ට තිබුන එකම ක්‍රමය සන්නද්ධ කණ්ඩායම්වලට බැඳීම පමණයි. අවසානයේ දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කළේ දුප්පතුන් විතරයි. මමත් ඒ අයගෙන් කෙනෙක්… ඔයා මොනවද  කරලා තියෙන්නේ? ” (සාමයේ හඬ, 2018)

එල්ටීටීඊයේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ මිනිස් ජීවිත සහ අයිතිවාසිකම් නොසලකා හැරීම කිසිවෙකුට පහත් කොට සැලකීමට නොහැක. බොහෝ දෙමළ ජනයා එල්ටීටීඊයට අනුකම්පා කරන බවට වන ඒකාබද්ධ විශ්වාසය බොහෝ වැරදි සහිතය. එල්ටීටීඊය වෙනුවෙන් සටන් කළ ඇතැමුන් පවා එහි පද්ධතියේ ගොදුරු බවට පත්විය. එල්ටීටීඊය නිසා දුක් විඳ ඇති දමිල ජාතිකයන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් සිටිති. එල්ටීටීඊය ත්‍රස්තවාදී කණ්ඩායමක් වන්නේ එබැවිනි. කෙසේ වෙතත් රජයක් සහ එහි හමුදාවක් ඒ මිනුම් දණ්ඩෙන්ම මැනිය නොහැක; එය නොකළ යුතුය. ඔවුන් අපට යමක් කල නිසා අප ද එසේම පලිගැනීම සුදුසු නැත. ත‍්‍රස්තවාදී කණ්ඩායමක් කරන්නේ හෝ එසේ කර ඇති නිසා රජයක් විසින් ඔවුන්ගේම  රටේ අහිංසක පුරවැසියන්ට එරෙහිව සිදු කරන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්  හෝ අක්‍රියතාවයන් සාධාරණීකරණය නොකළ යුතු බව අප, බුද්ධිමත් පුරවැසියන් වශයෙන් වටහා ගැනීම ඉතා වැදගත් ය.

අනුස්මරණ දින

අනුස්මරණය බොහෝ ආකාරයෙන් සිදු කල හැක. එය පෞද්ගලික හෝ පොදු විය හැක. ඒ සඳහා භෞතික අවකාශයක් හෝ චිත්තවේගීය අවකාශයක්  අවශ්‍ය විය හැක. ලේඛන ගත කිරීම, කතන්දර කීම, යුද ස්මාරක, සිහිවටන, කෞතුකාගාර, ආගමික වත්පිළිවෙත් සහ අනුස්මරණ දිනයක් වැනි සැමරුම් උත්සව ද ඊට ඇතුළත් විය හැක.

අහිමි වූ ජීවිත – සහෝදරයන්, සහෝදරියන්, මව්වරුන්, පියවරුන්, දරුවන් සිහිපත් කරන එල්ටීටීඊයට සම්බන්ධ සැමරුම් දින, බොහෝ විට එල්ටීටීඊය සහ ඔවුන් විසින් සිදු කල කුරිරුකම් සාධාරණීකරණය කිරීම, වීරත්වයෙන් විදහා දැක්වීම  සහ සැමරීම හා සම්බන්ද වේ. මෙය පාර්ශව දෙකකින් සිදු වේ. එල්ටීටීඊයේ ජිවිත අහිමි වුවන් සිහිපත් කිරීමට විරුද්ධ වන අය සහ වැරදි හේතු පදනම් කරගනිමින් මෙකි ස්මරණයන්ට අනුග්‍රහය දක්වන්නන් මෙකි පිරිස වේ. ‘වීරයන්’ පිළිබඳ අදහස ප්‍රතිෂ්ඨාපනය කරන දෙවැන්නන්ගේ උත්සාහය අවසානයේ ප්‍රතිඵල රහිතය. එමගින් එල්ටීටීඊයට ශ්‍රී ලාංකේය මතකයේ කිසිදු ඉඩක් ලබා නොදිය යුතු  යැයි විශ්වාස කරන විරුද්ධවාදීන් විසින් ඉදිරිපත් කරන ලද ආඛ්‍යානය තවදුරටත් ශක්තිමත් කරයි, සැබවින්ම එය සරලවම සිය අහිමි වූ ආදරණීයයා සිහිපත් කිරීමට උත්සහ කරන මවට, පියාට, දියණියට හෝ පුතාට තවත් දුෂ්කර කරවයි. හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුගේ වචන වලින්ම කිවහොත්, “ජේවීපීයට වෙන්වුණු දවසක් තියෙනවා වගේ විශාල දෙයක් කරගන්නේ නැතුව අපිටත් අපේ ආදරණියයන් සමරන්නට ඉඩ දිය යුතුයි. අවසානයේදී, තව වසර කිහිපයකින් මිනිස්සුන්ට ගානක් නැති වෙයි. එය කරන්න එපා යයි ඔබ අපට පැවසුවහොත් අපට එය කිරීමට තවත් අවශ්‍ය වෙයි. එය හරියට යමක් ස්පර්ශ නොකරන ලෙස දරුවෙකුට පැවසීම වගේ. එතකොට ඔවුන්ට තවත් ඒක කිරීමට උත්සහ කරනවා. ඒක තහනම් නිසා එය ගැටළුවක් බවට පත්වෙනවා. ඊටත් වඩා භයානක දේ තමයි දෙමළ හා සිංහල දේශපාලඥයින් මෙම ප්‍රශ්නය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සඳහා පාවිච්චි කිරීමයි’. (ස්ටෝරි ටේලර්, සාමයේ හඬ, 2018) පාර්ශව දෙකෙන්ම මුලින්ම සිහි තබා ගත යුතු කරුණ වන්නේ මෙසේ සිහිපත් කෙරෙන්නේ ශ්‍රී ලාංකික ජීවිත බවයි. උතුරේ පහනක් දල්වන අය එසේ කරන්නේ  එල් ටී ටී ය විසින් සිදු කල අමානුෂික ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම නිසා නොව, තම ආදරණීයයා මග හැරෙන නිසාය. ඔවුන්ව ආදරයෙන් ස්මරණය කිරීමටය. ඔවුන්ට ගෞරව කිරීමටය.

රජයට එරෙහිව ආයුධ අතට ගත් ජේවීපීයට ඔවුන්ගේ මිය ගිය අය ප්‍රසිද්ධියේ  සිහිපත් කිරීමට සහ ශෝක වීමට බොහෝ  පෙර සිට අවකාශය සලසා දී ඇති අතර ඔවුන්ගේ මියගිය අයව කිසිදා ‘ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගසන්නේ නැත. කෙසේ වෙතත්, 1983 – 2009 අතර උතුරේ මියගිය අය ‘ත්‍රස්තවාදීන්’ ලෙස ලේබල් කරනු ලැබේ.  කිසි විටෙකත් ආයුධයක් අතට ගෙන නැති නමුත් කාලතුවක්කු වෙඩි පහරින් මිය ගිය වයෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින් පවා මෙසේ ලේබල් කෙරේ. 2009 මැයි මාසයේදී මුල්ලිවයිකල්හිදී අහිමි වූ ජීවිත සිහිපත් කිරීමේ උත්සාහයන්  පවා මේ නිසා ව්‍යකුලත්වයට පත්ව තිබේ. එසේ සිහිපත් කරන්නන් එල්ටීටීඊ සාමාජිකයින් යයි වරදවා වටහා ගැනීම නිසා  2017 වසරේදී පැවැත්වීමට නියමිතව තිබු ස්මරණ උත්සාහයන් පොලිසිය විසින් අවහිර කරන ලදී. (https://rukiiiii.wordpress.com/category/memory/) යථාර්ථය නම් බොහෝ දෙනෙක් පර්වතයක් හා දුෂ්කර ස්ථානයක් අතර සිරවී සිටීමයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පහර දීම එක් දෙයක් වන අතර ඔබේම රජය සහ එහි හමුදාව විසින් පහර දීම තවත්  දෙයකි.

ඔව්, මාවීරර් නාල් හි කේන්ද්‍රය එල්ටීටීඊය වෙනුවෙන් සටන් කළ පුද්ගලයින් ය; එබැවින් එවැනි දිනයක් සඳහා ඉඩදීමට ඇති පැකිලීම තේරුම් ගත හැකිය. නමුත් තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් අපේ සොල්දාදුවන් අහිමි වූ බව අපට මතක ය. ඔවුන් ආයුධ සන්නද්දව සිටින්නට ඇත, අන් අයට වෙඩි තබා ඇත, තවකෙකුගේ වෙඩි පහරට ලක්වන්නට ඇත, නමුත් සියල්ලට පෙර ඔවුන් සියල්ලන්ම මනුෂ්‍යයන් විය. සංහිඳියාව පිළිබඳව අප අවංක නම්,  ‘නැවත කිසිදිනෙක නොකරමු’ යනුවෙන් අප පවසන  වචනය සත්‍ය නම්, අප තේරුම් ගත යුත්තේ  දෙපාර්ශ්වයක් ලෙස යුද්ධයක යෙදී සිටියද අවසානයේදී ඔවුන් සියල්ලෝම එක් මව්බිමකට අයත් බවය.  ඔවුන් සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ වූහ. බොහෝ විට ‘එක් මිනිසෙකුගේ සතුරා තවත් මිනිසෙකුගේ වීරයෙකු විය හැකි’ නිසා යුද්ධයට ගොදුරු වුවන් සහ අපරාධකාරයන් සිහිපත් කරමින් ‘සතුරා’ යන්න නිර්වචනය කිරීම පහසු කාර්යයක්  නොවන බව අප වටහා ගත යුතුය. අප දුපතේ වසර 30ක් පුරා සිදු කෙරුණු ලේ වැගිරීම් හේතුවෙන් පීඩාවට පත් සියලු පාර්ශවයන් සිහිපත් කිරීමට සහ ඔවුන් වෙනුවෙන් ශෝක වීමට අවස්ථාවක් ලබා දීම වැදගත් ය. සමරු දින යනු යුද්ධය නිසා සිදුවූ වලක්වා ගත හැකි ජීවිත හානි පිළිබඳ පැහැදිලි  සිහිපත් කිරීමක් වන අතර එමගින් නැවත කිසි දිනෙක එවැන්නක් සිදු නොවන බවට සහතික කිරීමට අපට බල කරයි. දශක තුනක යුද්ධය සහ ස්වභාෂා පනත, පුරවැසි පනත, යාපනය පුස්තකාලය ගිනි තැබීම, අරන්තලාව සංහාරය, මහ බැංකු බෝම්බ ප්‍රහාරය, අලිමංකඩ, කළු ජූලිය වැනි යුද්ධය ආරම්භ වීමට පෙර දශක තුනක සිදු වූ සිදුවීම් අප මතකයේ රැඳී තිබීම අත්‍යවශ්‍යය. එමගින්, සෑම විටම හේතු සහ ප්‍රතිවිපාක ඇති බව අපි තේරුම් ගනු ඇත, එබැවින් එකම වැරදි නැවත නැවත නොකිරීමට අපි වග බලා ගන්නෙමු.

“අපි අතීතයේ සිදුවූ සිදුවීම් කෙරෙහි ඇස් වසාගෙන  සිටීම  යනු වර්තමානය පිළිබඳව අන්ධව සිටීමයි”. (ජනාධිපති රිචඩ් වොන් වයිස්කර්, 1985). 

එල්ටීටීඊය වෙනුවෙන් සටන් කළ , අපට නොසලකා හැර දැමිය හැකි වනු ඇතැයි මේ දූපතේ මතකයෙන් මකා දැමිය හැකි වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන ඔවුන් අපේම පුරවැසියන් ය. එසේ මියගිය සහ සිහිපත් කරන අය එසේ එල්ටීටීඊයට සම්බන්ධ වූයේ ලේ පිපාසයෙන් හෝ ශ්‍රී ලංකාවේ අහිංසක ජිවිත තුරන් කිරීමේ බිහිසුණු ආරුඪයකින් නොව; සම්බන්ධ වූ බොහෝ දෙනෙක් එසේ කලේ ඔවුන්ට වෙන විකල්පයක් හෝ  තේරීමක් නොතිබුණු නිසාය. ඔවුන් එසේ සම්බන්ධ වූයේ ඔවුන්ගේ අයිතිවාසිකම්  උල්ලංගනය වූ නිසාය ඔවුන්ගේ ජිවිත අවධානමට ලක් වූ නිසාය.

ඔවුන් සම්බන්ධ වුයේ දුප්පත්කම නිසාය, ඔවුන්ව සිය නිවෙස් වලින් බලහත්කාරයෙන් එලවා දැමුණු නිසාය. ඔවුන් සම්බන්ධ වූයේ ඔවුන්ගේම රජය ඔවුන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ නිසාය. අපි මිනීමරුවන් වීරයින් නොකළ යුතු සේම එල්ටීටීඊ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් යක්ෂයින් සේ සැලකීම නොකළ යුතුය. පහන දැල්වූ විට, අප මෙන්ම ඔවුන්ටද පවුලක් සිටින බව අප සිහි තබා ගත යුතුය- නැවත නිවෙසට ඒ යයි ඔවුන් බලාපොරොත්තු වන ආදරණියන්ය. ඔවුන් මනුෂ්‍යයන් බව මතක තබා ගැනීමට  එමගින් අපව පොළඹවයි. අප ඔවුන්ගේ කතාව මතක තබා ගත යුතුය. අප එසේ වුයේ ‘ඇයි?’ යයි සිහි තබා ගත යුතුය. ජිවිත අහිමි වීම පිළිබඳව අප මතක තබා ගත යුතුය. ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් වූ බව අප මතක තබා ගත යුතුය. එමඟින් කිසි විටෙකත් වෙනත් ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේම අයෙකුට එරෙහිව ආයුධ අතට ගැනීමට අප බල නොකරන බව සහතික කළ හැකිය.

අපි එකට එක්ව  එකම ජාතියක් ලෙස ස්මරණය කරමු. එසේ ස්මරණය කරමින් අප සමාදානයෙන් සුවපත් වෙමු. 

 

සංස්කාරක සටහන : සාරා කබීර් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ලිපිය විකල්ප වෙබ් අඩවිය විසින් සිංහලට පරිවර්තනය කරන ලදී.