iMAGE: via SriLanka Brief 

ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ඝාතනයට, පැහැර ගැනීමට හෝ අතුරුදහන් වීමට ලක් වී ඇති අතර, 2005-2010 කාලය වඩාත්ම භයානක විය. ශ්‍රී ලංකාවේ ප්ජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් (JDS) ට අනුව මෙම කාලය තුළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව සඳහන් වේ. එසේම ඔවුන් රඳවා තබාගැනීම, පහර දීම, තර්ජනය කිරීම හා හිරිහැරකිරීම ද සිදු වී ඇත. යුද්ධයෙන් විනාශ වූ උතුරේ එක් දෙමළ පුවත්පතක් සහ කොළඹ පදනම් කරගත් ඉංග්‍රීසි සති අන්ත පුවත්පතක් යුද සමයේදී හා ඊට පසුවත් නැවත නැවතත් ඉලක්ක කර ගනිමින් මාධ්‍ය ආයතන ගිනි තැබීමට ලක්ව තිබේ. මෙවැනි සිදුවීම් මෑත කාලයේදී තිබුනු සියලුම රජයන් යටතේ සිදුවිය, 1980 දශකයේ අග භාගයේ ජයවර්ධන / ප්‍රේමදාස නායකත්වය දුන් එක්සත් ජාතික පක්‍ශ ආණ්ඩු යටතේ ද, 2006-2014 කාලයේ දි රාජපක්‍ෂ පවුලේ නායකත්වයෙන් යුත් රජය යටතේ ද මාධ්‍යට ගෙවීමට සිදුවූයේ ලේ වැකුණු කාලයන් ය.

මෙම මර්දනයේ පසුබිමට එරෙහිව, මාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ සහ ඔවුන්ගේ ජාත්‍යන්තර ආධාරකරුවන් යුක්තිය උදෙසා දිගින් දිගටම උද්ඝෝශනයේ නිරත විය. එසේම, අනුස්මරණයන් පැවැත්වීම, ප්‍රකාශ නිකුත් කිරීම සහ විරෝධතා පවත්වනු ලබන අතරම වඩාත් මෑතකදී අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණ කටයුතු ද සංවිධානය කර ඇත.

මීට වසර 20 කට පෙර ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියෙකු සිහි කිරීම සඳහා ඔක්තෝබර් මස සැමරුමක් පැවැත්වූ අතර එම සිද්ධිය පිළිබඳව කිසිදු වගවීමක් මේ වනතෙක් සිදුවී නොමැත. මාධ්‍යවේදීන් ට සිදුවන හිංසා සඳහා දඬුවම් නොලැබීම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේදී, ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් වන ‘විකල්ප’ හී සඳහන් වූයේ මාධ්‍යවේදීන් අට දෙනෙකු ඝාතනය කිරීම, අතුරුදහන් වීම සහ පහරදීම සම්බන්ධයෙන් දින 3995 සිට 7319 දක්වා කිසිදු වගවීමක් සිදුවී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට (FMM) අනුව කිසිදු මාධ්‍යවේදියෙකුට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක් අයෙකු හෝ වරදකරුවෙකු වී නොමැත. එමෙන්ම FMM පවසන්නේ, නඩුවක් විභාග කරන පියවර දක්වා පැමින තිබුනේ ද නඩු දෙකක් පමණක් වන බවයි. ඉන් එක් නඩුවක් පසෙකට දමා ඇති අතර අනෙක අඛණ්ඩව නඩු විභාගයකට යොමු වී තිබුන ද නව රජය තේරී පත්වීමෙන් පසු බරපතල බාධකවලට මුහුණ දෙමින් පවතී. බොහෝ මාධ්‍යවේදීන් මා හට පවසා ඇත්තේ බොහෝ සිද්ධීන් විමර්ශනය පවා නොකරන බවයි, නැතහොත් මූලික පොලිස් පරීක්‍ෂණ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වාර්තා, කාලයත් සමඟ ස්වාභාවිකව මරණයට පත්වන බවයි.

දඬුවම් නොලැබීම, මාධ්‍යයට එරෙහි අඛණ්ඩ අපරාධ සහ ප්‍රචණ්ඩත්වයන් සිදුකිරීම සඳහා බලපත්‍රයක් ලෙස කටයුතු කරයි. පසුගිය ඔක්තෝබර් මස දිවයින පුරා දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පස් දෙනෙකුට පහර දුන් අතර ඔවුන් සියල්ලන්ම රෝහල් ගත කරනු ලැබීය. කෙනෙකුගේ කැමරාවට හානි සිදුවී ඇති අතර තවත් කෙනෙකුට ඔහුගේ කැමරාව අහිමි විය. එමෙන්ම සමහරු තවමත් ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන බිය වෙති. මෙලෙස සිදුවන හිංසා සඳහා දන්ඩුවම් නොලැබීම මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ස්වයං වාරණයකට ද හේතු වේ. පළිගැනීම් වලට ලක්වේ යැයි බියෙන් ගෝලීය වසංගත තත්වය තුල පනවා ඇති සංචාරක බැමි ඉක්මවා අවම වශයෙක් එක් මාධ්‍යවේදියෙකු විදෙස්ගත වීම දක්වා පසුබැස ඇත.

2010 වසරේ ජනවාරියේදී මාධ්‍යවේදියෙකු හා කාටූන් ශිල්පියෙකු වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකුට එරෙහි බරපතල අපරාධයකට වගවීම සෙවීමේදී වඩාත්ම ප්‍රගතියක් පෙන්නුම් කරයි. අවුරුදු පහක් පමන කාලයක් පුරාවට මෙහි කිසිදු ප්‍රගතියක් පෙන්නුම් නොකලේය. පසුව, ආණ්ඩු වෙනස්වීමෙන් පසුව හමුධාවෙන් ලැබුනු මද සහයෝගය හා බාධක හමුවේ වුවද පොලිසියේ රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද විමර්ශන වල වාර්ථාවන් මහේස්ත්‍රාත් අධිකරණවල වාර්තාගත කරන ලදී. පසුගිය වසරේ අගභාගයේදී රටේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ ඓතිහාසික හා දුර්ලභ පියවරක් ලෙස නීතිපතිවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ හමුදා භටයින් 9 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. කෙසේ වෙතත්, මෙම හුදකලා නඩුවේ යුක්තිය පිළිබඳ අපේක්‍ෂාවන් ද දැන් අඳුරු ය. මෙම අතුරුදහන් වීම සිදුවූ කාලයේදී සිටි පාලක පවුල නැවත බලයට පැමිණීමත් සමග මෙම අධිචෝදනා සමපාත වූයේ රණවිරුවන්ට නඩු පවරන්නේ නැති බවට වන ඔවුන් ගේ පොරොඳුව නිසාය. ප්‍රධාන සාක්‍ෂිකරුවෙකු අධිකරණ නියෝගයක් නොතකා ජනාධිපති කොමිෂන් සභාවක් හමුවට ගියෙ ඔහුගේ පෙර සාක්‍ෂිය අවුල් සහගත බව පවසමින් ය. එසේම, ප්‍රධාන විමර්ශකයකු රටින් පිටුවහල් වී ඇති අතර පරීක්ෂණ අධීක්ෂණය කළ ඔහුගේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත.

මෙම නඩුව ඉදිරියට ගෙන යාමේ බලවේගය වන්නේ ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩය. වසර 11 කට ආසන්න කාලයක් ඇය අසාමාන්‍ය අධිෂ්ඨානයකින් හා සුවිශේෂී ධෛර්‍යයකින් යුතුව මරණීය තර්ජන, අපහාස හා හිරිහැර කිරීම් සියල්ලම නිර්භීතව විඳගත්තාය. ඇය සිය ගණනක් උසාවි විභාගවලට සහභාගී වී ඇති අතර, අසංඛ්‍යාත විරෝධතා, පෙළපාලි වලට සහභාගී වී දේශපාලාඥයින් හමුවී, නීතිපති සහ යුද හමුදාපති, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයින් සමඟ සාකච්ඡා කර ඇත. ඇයට තර්ජනය කළ විට සමත වීමට හිස නමන්නේ නැතුව, අධිකරණය හරහා යුක්තිය සෙවූ අතර තමාට තර්ජනය කළ බවට වරදකරු වූ භික්‍ෂුවට ජනාධිපති සමාවක් ලබා දුන් විට ශ්‍රේෂ්ඨ අධිකරණය ට අභියාචනයක් ඉදිරිපත් කළාය. මාධ්‍යවේදියෙකු ඇස්තමේන්තු කර ඇත්තේ ඇය යුක්තිය පසිඳලීම සඳහා අවම වශයෙන් කිලෝමීටර 411,220 ක් ගමන් කර ඇති බවයි.

ප්‍රගීත්ගේ නඩුව නඩු විභාගයකට එළඹීම සහතික කිරීම සඳහා සන්ධ්‍යා විසින් දශකයකට දීර්ග කාලයක් තිස්සේ කල අරගලය, මාධ්‍යවේදීන් හට හිරිහැර කර ඊට දඬුවම් නොලැබීම අභියෝග කරමින් අප දරන උත්සහ දෙස ආපසු හැරී බැලීමට ඇති උදාහරනයකි. වැඩි අවධානයක් හිමිවිය යුතු ක්‍ෂේත්‍ර අතරට ඇතුලත් විය යුතු අංශ නම්: එක් එක් සිද්ධීන් වල ප්‍රගතිය හෝ ඌනතාවය මෙන්ම සමස්ත ප්‍රවණතා ලේඛනගත කිරීම, උසාවි තුළ නීතිමය ක්‍රියාදාමයන් ක්‍රමානුකූලව හා පුළුල්ව අධීක්‍ෂණය කිරීම, අගතියට පත් පාර්ශ්වයන් සඳහා ගුණාත්මකභාවය සහ ස්ථාවර නෛතික නියෝජනයක් සහතික කිරීම; වෙනත් ඍජු නෛතික මැදිහත්වීම් හා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තු වැනි අදාළ ආයතන සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා කිරීම, සමාජ, සංස්කෘතික හා දේශපාලන ප්‍රවණතා අධීක්‍ෂණය හා ලේඛනගත කිරීමයි. එමෙන් ම වගවීම වැඩිදුරටත් සිදුකිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගත යුතු අතර, දිවි ගලවා ගත් අයට සහ වින්දිතයන්ගේ පවුල්වලට උපකාර කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එරෙහි බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමට මෙතෙක් පැවති සියලු රජයන් අපොහොසත් වී ඇති අතර මෙය වෙනස් වන බවට කිසිදු සලකුණක් නොමැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් නීතිපතිවරයා සහ විනිසුරුවන් ඉහළ උසාවිවලට පත්කිරීමේ දී ජනාධිපතිවරයාගේ පූර්ණ අභිමතය පරිදි ක්‍රියාකිරීමට ලබා දීමෙන් වගවීම තවදුරටත් අඩාල වේ. වෙන කවරදාකටත් වඩා, මාධ්‍යවේදීන්, මාධ්‍ය නිදහස සඳහාවූ සංවිධාන, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, කතෘවරුන්ගේ සංසදය සහ විකාශකයින්ගේ සංසදය වැනි ආයතන, මෙම හිංසා කරන්නන්ට දඬුවම් නොකිරීමේ ක්‍රියාවන් අභියෝගයට ලක් කරමින් වඩාත් නිර්මාණශීලී, ස්ථාවර හා පුළුල් ප්‍රවේශයන්හි නියැලිය යුතු අතර දුෂ්කරතා හමුවේ වුව ද මෙම කාර්‍යය සිදුකල යුතු වේ.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando

 

 

සංස්කාරක සටහන : ලියුම් කරුගේ මෙම  ලිපිය ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන්  Challenging impunity for crimes against media in Sri Lanka නමින්  2020 නොවැම්බර් 10 වන දින International Ferderation of journalists සංවිධානයේ වෙබ් පිටුවේ පළ කොට තිබේ.