iMAGE: Un.org

මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර 2020 දෙසැම්බර් 10 වන දිනට අවුරුදු 72ක් සපිරෙන විට මුලු ලොවම කොවිඞ් 19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටී. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනයේ මෙවර තේමාව “Recover Better – Stand Up for Human Rights ” (වඩාත් හොඳට සුවපත්වන්න – මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න) ලෙස නම්කර තිබේ.

විශ්වීය සහ අඛණ්ඩ බව මත මානව අයිතිවාසිකම් පදනම් වුවද හදිසි තත්ත්වයකදී සීමාකම්වලට ලක්කළ හැකිබව මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික නීතිය තුළ පිළිගනී. ආසියාතික සමාජයේද ආගමික ඉගැන්වීම්වලින් යුතුකම්වලට මූලිකත්වය ලබාදෙනවා මිසක අයිතිවාසිකම් සඳහා දිරිමත් නොකරයි. පෙරදිග රටවල් මානව අයිතිවාසිකම් බටහිර සංකල්පයක් සේ දැකීමට පුරුදුව සිටී. එහෙත් මා මෙහි අවධාරණය කරන ප්‍රවේශය ඊට හාත් පසින්ම වෙනස්ය. ගෝලීය හදිසි තත්ත්වයක් තුළ සම්ප්‍රදායික පිළිගැනීම් මදකට පසෙකින් තබා නව මානයකින් අප ලබාගත යුතු ප්‍රවේශයක් තිබේ. එය ඉතා අවධානම්සහගත තත්ත්වයකදී මානව අයිතිවාසිකම් වඩාත් අදාළකර ගැනීමයි. වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී මානව අයිතිවාසිකම් නොසලකා හැරීම හැම අතින්ම අනතුරුදායක වේ. එබැවින් ප්‍රජා සෞඛ්‍යයේ හදිසි තත්ත්වයන් හා අවශ්‍යතා මානව හිමිකම් සමඟ එකාබද්ධ කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙම ලිපියෙන් අවධාරණය කරයි.

දැඩි කොන්දේසි සහ අවහිරතා වසංගතය තවත් ව්‍යාප්ත කරවයි

සෑම රටක්ම පාහේ සෞඛ්‍ය හා රෝගියාගේ අයිතිවාසිකම් පිළිබඳ අවම වශයෙන් එක් මානව හිමිකම් ගිවිසුමකට හෝ පක්ෂව සිටී. දෛනික පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරන වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රජා සෞඛ්‍යයට මූලිකත්වය දීමත් එයට කොටු නොවීමත් යන දෙකම වැදගත්ය. සෞඛ්‍ය සේවාවට ප්‍රවේශවීම සම්බන්ධයෙන් පැවති කොන්දේසි ලිහිල් කිරීම වඩාත් වැදගත්ය. එදිනෙදා පුවත් වාර්තාවලින් පැහැදිළි වන්නේ බොහෝ රාජ්‍යන් වසංගතය තුළ හානිකර නීති හා ප්‍රතිපත්ති නිසා සෞඛ්‍ය සේවාවට ප්‍රවේශ වීමට තවමත් බාදා පවතින බවයි. සෞඛ්‍ය අයිතිවාසිකමක් උල්ලංඝණය වීම මරණයෙන් කෙළවර විය හැකි නිසා වසංගතය තුළ ප්‍රජා සෞඛ්‍ය අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය දීම වැදගත්ය.

COVID-19 and Human Rights එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් පරිදි  අවම සනීපාරක්ෂණ පහසුකමවත් නොමැතිව ලෝක ජනගහණයෙන් බිලියන 2.2ට වැඩි පිරිසකගේ ජීවිත අනාරක්ෂිතවී තිබේ. බිලියන 2.2ක ජනතාවකට නිතිපතා අත්සේදීම විකල්පයක් නොවන්නේ ජල පහසුකම් ප්‍රමාණවත් නොවන නිසාය. එක්කෝ නිවාස, නොමැතිනම් ප්‍රමාණවත් නැති ජනාකීර්ණ නිවාසවල ජීවත් වන බිලියන 1.8ක ප්‍රජාවකට මීටරයේ සමාජ දුරස්ථභාවය හුදු සිහිනයකි. නිවාස පහසුකම නොමැති ප්‍රජාව ඉතා ඉක්මනින් වෛරසයට ගොදුරු වේ. පිරිසිදු ජලය සහ මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති පැල්පත්වාසී ප්‍රජාවට අත්සේදීමට සහ ස්වයං නිරෝධායනයට ලක්වීම කළ නොහැකි බැවින් ඔවුන්ගේ ජීවිත අනතුරට පත්ව තිබේ.

තර්ජනය වෛරසය මිසක් ජනතාව නොවේ

වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී නීතිය සහ දේශපාලන ක්‍රියාදාමය මානව හිමිකම් කෙරෙහි තර්ජනයක් නොවිය යුතුය. එහෙත් ආසාධිතයන් පිළිබඳ වාර්ථාකරණයේදී බලධාරීන්ගේ ප්‍රකාශ මානව ගරුත්වයට හාත් පසින්ම පටහැනිය. “ආසාදිතයින් කොටුකර ගැනීම” යන වාර්තාකරණය රෝගියාගේ ගරුත්වයට හානිකරයි. ආසාධිතයෙක් යනු රෝගයෙන් පීඩා විදින හඳිසි සෞඛ්‍ය ප්‍රතිකාර සහ උපකාර අවශ්‍ය පුද්ගලයකු මිස අපරාදකරුවකු නොවේ. මානව පැවැත්ම සහ ගරුත්වය නොසලකා හරිමින් ආසාධිතයින් සතුරන් හෝ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් ලෙස සැලකීම වෛරස පාලනයේදී අවාසිදායක වේ. වෛරය උපදවන සුලු කථනයන් රෝගය සැගවීමට මූලිකම හේතුවයි. එය වෛරසය තව තවත් ව්‍යාප්ත කරවන සුලුයි. වසංගත පාලනය කළ හැක්කේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් හා පලපුරුද්දක් ඇති වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලටය. දේශපාලන අධිකාරිය කළ යුත්තේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා කටයුතු කරයි. විශේෂඥ වෛද්‍යවරුන් සිටියදී වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයෙකු පත්කර ඇත. වෛද්‍යවරුන්ට යුද්ධ කළ නොහැකිය. වැදගත්ම දෙය නම් ඔවුන්ට රෝගීන් සුවපත් කළ හැකිය. හමුදාවට යුද්ධ කළ හැකි බැවින් ඔවුන් වෛද්‍යවරුන්ට ආදේශ කළ නොහැකිය.

වසංගතය කොතරම් අවධානම් වුවත් බලය යෙදවීම, අත්තඩංගුවට ගැනීම, රදවාතබා ගැනීම, සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහතික කළ යුතුය. සත්‍යය නම් එය පමණක් නොවේ. බොහෝ රටවල හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කළේ අවම අධීක්ෂණ කාල සීමාවක් නොමැතිවයි. එබැවින් වෛරසයට දැමූ අගුලු ප්‍රජාතන්ත්‍රවාදයටද වැටී තිබේ. සමාජ සංචරණය සීමාකිරීමේදී අධික ලෙස බලය යෙදවූ සිදුවීම් වැඩියෙන්ම වාර්තා වන්නේ පිලිපීනයෙනි. අගුලු දැමීමේදී ප්‍රජාවට ඔවුන්ගේ මුලික අවශ්‍යතා ලබා ගැනීමට උපකාර අවශ්‍ය වන අතර ඔවුන්ට අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැදවියන් ඝාතනයට ලක් වීමෙන් පැහැඳිලි වන්නේ කුමක්ද? වසංගත පාලනය ප්‍රජා සෞඛ්‍යයේ ආරක්ෂාව යටපත් කරගෙන අධිකාරිය අන්තරාවක් සේ නැගී සිටින බවයි.

අදහස් ඉතා වැදගත්

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරමින් හානිකර කථනයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න නැවත සිතා බැලිය යුතුය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය වසංගත පාලනය සඳහා අත්‍යවශ්‍ය වේ. තොරතුරු ගලායාම නැවතුනහොත් වෛරසයට නිදහසේ ව්‍යාප්තවිය හැකිය. එය වඩාත් භයානක බැවින් අප සතුරුකම් කළ යුත්තේ වෛරසයට මිස වසංගතයෙන් අගුලු වැටෙන සමාජ ඇගයුම් හා වටිනාකම්වලට නොවේ. ඕනෑම තත්ත්වයක් යටතේ කෙනෙකුට සිය මතය ප්‍රකාශ කළ හැකිය. නිදහස් මතය හැම විටම නිවැරදිම මතය විය යුතු නැත. එහෙත් ව්‍යාජ පුවත් පතුරවා හැරීමේ චෝදනාව මත අත්තඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම හා නඩු පැවරීම ගෝලීයව ඉහළ ගොස් තිබේ. ඩ්‍රෝන කැමරා, සයිබර් ආක්‍රමණ හා මාර්ගගත පොලිස් නිරීක්ෂණ වැඩි කිරීමෙන් පෙනී යන්නේ තර්ජනය සේ සලකා ඇත්තේ ජනතාව මිස වෛරසය නොවන බවයි.

අර්බුදයේ ව්‍යාප්තිය ජීවනෝපායන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. එය විසින් මානව හිමිකම් අර්බුදයේ බලපෑමද තවත් තීව්‍රර කර තිබේ. යුරෝපයේ පවා විරැකියාව සහ ආහාර අනාරක්ෂිතභාවය ඉතා කෙටි කාලයක් තුළ ඉහළ ගොස් තිබේ. පාසල් වසා දැමීමෙන් ළමුන් බිලියනයකට වඩා වැඩි පිරිසකගේ අධ්‍යාපනයට අගුලු වැටී ඇත. ළමා සත්කාර සහ ආරක්ෂණ සේවාවලට හදිසියේම අගුලු වැටීම නිසා ළමා හිංසනය සහ අපයෝජන ඉහළ ගොස් තිබේ. හානිය අවම කිරීමේ සේවා හා හදිසි සේවා නොමැතිව ගෘහයට කොටුවී සිටින කාන්තාවන් හිංසනයට සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමද ඉහළ ගොස් තිබේ.

වෛරසය මිනිසාට වෙනස්කම් නොකරයි. නමුත් එහි බලපෑම වෙන් කොට සළකයි

මිනිස් පවුලටම වසංගතය තර්ජනයක්ව පවතී. එබැවින් එක් ප්‍රජාවක් තුළ වුවද වෛරසය තිබීම ප්‍රමාණවත්ය. වෛරසයට ජාති භේදය, ආගම් භේදය හෝ පාට, පක්ෂ භේදයක් නොමැත. ප්‍රජාවන්ට වෙනස් කොට දක්වන එක් සැළකීමක් පවා අප සියල්ලන්ම අනතුරට පත්කරයි. ඇතැම් රාජ්‍ය නායකයන් වසංගතය “foreigner’s disease” විදේශිකයින්ගේ රෝගය නම්න් හැදින්වීම රාජ්‍යයන් අතර වෛරය උපදවන සුලුයි. සැබෑ තත්ත්වය නම් දෙස් විදෙස් භේදයකින් තොරව වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවාව තුළ පහසුකම් නොමැතිව ජීවිත අනාරක්ෂිතභාවයට පත්ව ඇත. එමෙන්ම කාන්තාවන් අඩු වැටුප් සහිත අර්ධකාලීන හා man power සේවා තත්ත්වයන් තුළ අපයෝජනයට, විශේෂීකරණයට සහ ස්ත්‍රී-පුරුෂ හෝ වෙනත් සමාජභාවය මත සිදුවන වෙනස්කම් කිරීම වසංගතය තුළ තීවෘර වී තිබේ.

ජීවිත ආරක්ෂාකර ගැනීමටනම් වෛරසයට එරෙහි සටනේ පෙරමුණෙහි මානව අයිතිවාසිකම් ස්ථානගත කළ යුතුය. හදිසි තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ හොඳ මගපෙන්වීමක් ඉන් සපයන අතර වෛරසයට එරෙහිව සටන් කිරීමට ප්‍රජා දායකත්වය සහ හැකියාව ඵලදායිව ලබාගත හැකිය. වඩාත් වැදගත් වන්නේ මනුෂ්‍යත්වය, අන්‍යෝන්‍ය ගරුත්වය හා සාමුහිකත්වය තුළින් වසංගතය ඉදිරියේ එකම ප්‍රජාවක් ලෙස ශක්තිමත්වීමයි. අපි යථා තත්ත්වයට පත්වන විට පෙර සිටියාට වඩා යහපත් විය යුතුයි.

Asanka Abeyrathneඅසංක අබේරත්න

මානව අයිතිවාසිකම් අධ්‍යයන කේන්ද්‍රය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය