iMAGE: via DialyMirror.LK

ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් 

ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන මොහොත ග්‍රහණය කර ගන්නට නම්, ප්‍රජාතාන්ත්‍රික අරගලය පිළිබඳ නව ප්‍රවේශයක් ඉදිරිපත් කිරීමට වම සමත් විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වමේ ප්‍රධාන සටන් පාඨයක් විය යුතුය. නමුත් ඒ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වුණු සීමිත සහ පටු ආකාරයෙන් නොවේ. මා මින් පෙරද පැහැදිලි කොට ඇති පරිදි 2014 අග භාගයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින්ද ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින්ද ප්‍රජාතන්ත්‍රවාදය යන්න අර්ථ දක්වනු ලැබ තිබුණේ සීමිත ආයතනික සහ නෛතික ප්‍රතිසංස්කරණවලට අදාළ වූවක් ලෙසය. පොදු ජනයාගේ ආර්ථිකමය සහ සමාජමය අයිතීන් කෙරෙහි එම ව්‍යාපෘතිය එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. එය පුදුමයට කරුණක් නොවේ. මන්දයත්, 2015 යහපාලන ව්‍යාපෘතියේ දේශපාලන නායකත්වය වනාහී ශ්‍රී ලංකාව තුළ නව-ලිබරල් ආර්ථික දැක්ම ක්‍රියාවට දැමීම සඳහා වැඩිම දේශපාලන අධිෂ්ඨානයක් ප්‍රකට කළ නායකත්වය වූ බැවිනි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නව-ලිබරල්වාදය  

නව-ලිබරල්වාදය තුළ සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් දෙකක් වන ජනතා නියෝජනය සහ සමාජ සමානත්වය පිළිබඳ මූලධර්ම නොතකා හැරේ. පළමුව ජනතා නියෝජනය සලකා බලමු. යානීස් වරූෆකීස් එය කදිමට පහදයි. ඔහු පෙන්වා දෙන්නේ දැන් යුරෝපයේ බොහෝ රටවල පොදු ජනයා විසින් දේශපාලකයින්ව හෙළා දකිනු ලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි. දේශපාලකයින් යනු ජනතාවගේ ධනය කොල්ල කන පරපෝෂිත පිරිසක්ය යන ආකල්පය වේගයෙන් පැතිර යමින් පවතී. කුතුහලය දනවන කාරණය නම් ඒ අතරම 1950, 60, 70 දශකවල සිටි දේශපාලකයින්ගේ ගුණ වර්ණනා කිරීමක්ද සිදු වීමයි. ගෝලීය ධනවාදයේ පරිවාරයේ වෙසෙන ශ්‍රී ලංකාවේ අපද දේශපාලකයින් ගැන කතා කරන්නේ මේ අයුරින්ම නොවේද? නමුත්, ඒ කුමක් නිසාද? 1970 දශකයට පෙර ලොව පුරාම දේශපාලන නායකත්වය දැරූ පිරිස් ප්‍රාතිහාර්යජනක ලෙස හොඳ පුද්ගලයින් වූයේ මන්ද? වත්මනෙහි දේශපාලකයින් පොදුවේ නරක අයවලුන් බවට පරිවර්තනය වී ඇත්තේ කෙසේද?

මේ ප්‍රශ්නවලට වරූෆකීස් දෙන සරල පිළිතුර මෙයයි. අඩු තරමින් 1970 දශකයේ අග භාගය දක්වා ධනවාදී ලෝකය අනුදත් (කේන්සියානු) ආර්ථික උපාය මාර්ගය තුළ ජනතා නියෝජිතයින් හට ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි කිසියම් බලපෑමක් සිදු කළ හැකි විය. නමුත්, විශේෂයෙන්ම 1970 දශකයේ අග භාගයේදී සහ ’80 දශකයේ මුල් භාගයේදී රාජ්‍ය සුභසාධනය පසෙකට තල්ලු කොට නිදහස් වෙළඳපල තරඟයේ මන්ත්‍රය ජප කළ “නව-ලිබරල් හැරවුම” ආරම්භ වූ බැව් අපි දනිමු. ඒ එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන්ගේ සහ එක්සත් රාජධානියේ මාගරට් තැචර්ගේ නායකත්වයෙනි (ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන සහ චීනයේ ඩෙන්ශියාවෝ පින් බලයට පත් වූයේද හරියටම ඒ වසරවලදීමය!). ඉන්පසුව, සැබවින්ම දේශපාලකයින් නොහොත් ජනතා නියෝජිතයින් හට ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීම සම්බන්ධයෙන් කළ හැක්කක් නොමැත. දැන් ඒ සියල්ල හසුරුවනු ලබන්නේ ගෝලීය මූල්‍ය ආයතන සහ ස්වදේශික තාක්ෂණික-කළමනාකරණ පන්තියක් විසිනි. ශ්‍රී ලංකාවේ අපට මෙය අමුතුවෙන් තේරුම් කර දිය යුතු නොවේ. අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ දේශපාලකයින් විසින් වුවද, ඒවා සකසනු ලබන්නේ ජනතා නියෝජනය සමග කිසිදු සම්බන්ධයක් නොමැති විදේශික සහ ස්වදේශික නිලධාරී තන්ත්‍රයක් විසිනි. ලොව පුරා අඩු වැඩි වශයෙන් දේශපාලකයින් නරක අයවලුන් ලෙස දකිනු ලැබීමේ දේශපාලන ආර්ථික පසුබිම මෙයයි. අප රටේ පාලන බලය දරන දේශපාලකයින්ගේ අසමසම කොල්ලකාරී චර්යාවද නව-ලිබරල්වාදයේ අංගයක් වන කොන්ත්‍රාත්කාර ප්‍රාග්ධනයේ හැසිරීම සමග සම්බන්ධය. මේ අනුව, නව-ලිබරල් සංස්ථාපිතය ක්‍රියාත්මක වන්නේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන ජනතා නියෝජනය පිළිබඳ මූලධර්මයට එරෙහිවය.

ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙක් කුළුණ වන සමානත්වය පිළිබඳ මූලධර්මයට පසුගිය දශක කිහිපය තුළදී සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගැනීමද අසීරු නැත. නව-ලිබරල් හැරවුමෙන් පසුව ඇති-නැති පරතරය අන් කවරදාකවත් නොවූ විරූ තරමින් වර්ධනය වී තිබේ. ලෝකයේ සමාජ විසමතා ගවේෂණය කරන ඔක්ස්ෆෑම් සංවිධානය 2020 ජනවාරි මසදී වාර්තා කළ පරිදි, දැන් මහා ධන කුවේරයන් 2153 දෙනෙකු විසින් හිමි කරගෙන සිටින ධනය ලෝක ජනගහණයෙන් සියයට හැටක් නොහොත් බිලියන 4.6 ක ජනකායක් සතු ධනයට සමාන වේ. පසුගිය සැප්තැම්බර් මසදී එම සංවිධානය පෙන්වා දුන්නේ කොවිඩ්-19 වසංගතය පසුබිමෙහි ලොව විශාලතම සමාගම් 32 හි ලාභය එක්සත් ජනපද ඩොලර් බිලියන 109 කින් ඉහළ ගොස් ඇති බවයි. ඩේවිඩ් හාවී තර්ක කරන පරිදි වත්මන් ලෝක ආර්ථික මොඩලය සැකසී ඇත්තේ ඉහළ සිට පහළට ධනය ගලා යන්නට සලස්වන සමාජ සුභසාධන යාන්ත්‍රණයන් සෑම ආකාරයකින්ම දුර්වල කෙරෙන අයුරිනි. නව-ලිබරල් හැරවුමට පසුව සිදුවෙමින් පවතින්නේ වඩ වඩාත් දුගී දුප්පත් ජනයා සතු සොච්චමද ධන කුවේරයන් වෙත ඇදී යාමයි. මෙයින් කියැවෙන්නේ වත්මනෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කවර වාමාංශික වැඩ පිළිවෙලක් තුළ වුවද ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන්න මූලික අවධාරණයක් විය යුතුය යන්නයි. අද අවශ්‍යව ඇත්තේ වසංගතය හමුවේ පැතිර යනු ඇති සාගතය, මන්ද පෝෂණය, දරිද්‍රතාව සහ විරැකියාව පිළිබඳ අර්බුදවලට ප්‍රතිචාර දක්වන්නට සමත් ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික වැඩ පිළිවෙලකි. ඒ සඳහා 2015 ජනවාරියේදී රැඩිකල්හරණයට ලක්වූ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ මගක් තෝරා ගත යුතුව තිබේ. “ජනවාරි විප්ලව විහිළුව” දැන් නවත්වා දැමිය යුතුව ඇත.

බහු-විධ විමුක්තීන්   

ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් නිදහස පිළිබඳ අරගලයන් වමේ දේශපාලනයට ඇතුළත් කරගන්නේ කෙසේද යන්න අලුත් ගැටළුවක් නොවේ. පසුගිය සියවසේ වාමාංශික දේශපාලනයේ විවිධ ධාරාවන් තුළ මේ ගැටළුව විවිධ ආකාරයෙන් සාකච්ජාවට ලක්ව තිබේ. ඒ අතුරින් වඩාත් න්‍යායික සංගතභාවයකින් යුක්තව මේ ගැටළුව විමසා බලා ඇති අර්නෙස්ටෝ ලැක්ලාවූගේ සහ ශන්තාල් මූෆ්ගේ අදහස් සලකා බැලීම මෙරට වාමාංශයටද ප්‍රයෝජනවත් වනු ඇත. ලැක්ලාවූ-මූෆ් න්‍යායික ප්‍රයානය ආරම්භ වන්නේ 1985 දී යැයි කිව හැකිය. මූෆ් “Podemos: In the Name of the People” (2016) කෘතියේදී තම බුද්ධිමය ව්‍යාපෘතිය දෙස අවලෝකනයක යෙදෙමින් පවසන්නේ එය මූලික දේශපාලන ගැටළුවක් මුල් කොටගෙන ගොඩ නැගුණක් බවයි. එම ගැටළුව නම්, යුරෝපයේ 1968 සිට පැන නැගුණු නව සමාජ ව්‍යාපාරවල සුවිශේෂකත්වය වටහා ගැනීමට සමාජ-ප්‍රජාතාන්ත්‍රික වාමාංශය සේම සාම්ප්‍රදායික මාක්ස්වාදයද අසමත් වූයේ මන්ද යන්නයි.

එකල වඩා විවෘත වාමාංශිකයෙකු වුවත් ස්ත්‍රීවාදී, පරිසරවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හෝ ජනවාර්ගික සමානාත්මතාවාදී ව්‍යාපාර කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය වූයේ “ඔව්, ඒ අරගල වැදගත්, නමුත් ඒවා ප්‍රමුඛ නැහැ, අපි මුලින්ම සමාජවාදය ස්ථාපිත කළ යුතුයි, ස්ත්‍රී පීඩනයට එරෙහි අරගලය එන්නේ පසුවටයි” වැන්නකි. අඩුවෙන්ම විවෘත වාමාංශිකයෙකු පවසනු ඇත්තේ “එම අරගල සුළු ධනේශ්වර ඒවායි, ඔවුනගේ ඉල්ලීම් මගින් අපව ප්‍රධාන අරගලයෙන් ඉවතට හරවනවා” යනුවෙනි (මූෆ්, ඉහත කෘතිය, පි.15-16).

මෙයින් ගම්‍ය වන්නේ නව සමාජ ව්‍යාපාර සමග සාධනීය සම්බන්ධයක් ගොඩ නගා ගන්නට යුරෝපීය වාමාංශය අසමත් වීම කෙරෙහි බලපෑ කිසියම් න්‍යායික බාධාවක්ද තිබූ බවය. එම න්‍යායික බාධාව නම්, සාම්ප්‍රදායික මාක්ස්වාදී කතිකාව තුළ පැවති පන්ති ඌනිතවාදයයි; එනම් සෙසු සියලු සමාජ ප්‍රතිවිරෝධතා පන්තිමය ප්‍රතිවිරෝධයට ලඝු කොට වටහා ගැනීමේ ප්‍රවේශයයි. ලැක්ලාවූ සහ මූෆ්ගේ විවේචනයට ලක් වූයේ මෙසේ පන්තිමය ප්‍රතිවිරෝධය පන්තිමය-නොවන ප්‍රතිවිරෝධයන්ට වඩා ප්‍රමුඛ කොට සැලකීමේ ගතානුගතික වාමාංශික ප්‍රවේශයයි. ඔවුන් පෙන්වා දුන්නේ පන්තිමය නොවන විමුක්තීන්ද (ස්ත්‍රී විමුක්තිය, ජාතික විමුක්තිය, වාර්ගික පීඩනයෙන් නිදහස් වීම, පාරිසරික යුක්තිය යනාදී යනාදී වශයෙන්..,) වමේ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු බවය; එම බහු-විධ අරගලයන් අතර සාම්‍යතා දාමයක් ගොඩ නැගිය යුතු බවය. එසේ කිරීමට නම්, මේ සියලු අරගලයන්ට බෙදා ගත හැකි කිසියම් පොදු දැක්මක් තිබිය යුතුය. ඒ කුමක්ද?

රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ සමාජවාදයට   

ඉහත ප්‍රශ්නයට ලැක්ලාවූ දෙන පිළිතුර ඔහුගේ එක් ප්‍රකාශයක් මගින් සාරාංශ කෙරෙන බව මගේ අදහසයි. ලැක්ලාවූ මෙසේ පැවසීය: “සියලු මනුෂ්‍යයින් සමානයි සහ නිදහස් යන්නට වඩා රැඩිකල් සටන් පාඨයක් මට සොයා ගත නොහැකියි.” යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය තුළ ගොඩ නැගුණු ලිබරල් නිදහස සහ ප්‍රජාතාන්ත්‍රික සමානත්වය පිළිබඳ සංකල්පය අප අත් නොහළ යුතු උරුමයක් වන්නේ එබැවිනි. නමුත්, ඒ සමගම ධනවාදී හෙජමොනිය තුළ මෙම මිනිස් නිදහස සහ සමානත්වය පිළිබඳ පරමාදර්ශය කොතරම් සම්මුතිගත කොට තිබේදැයි අපි දනිමු. ලැක්ලාවියානු අරුතින් ඒවා හීලෑ කරනු ලැබ තිබේ. නිර්-දේශපාලනීකරණයට ලක් කොට තිබේ.

එසේනම්, කළ යුතුව ඇත්තේ ධනවාදය අභියෝගයට ලක් කෙරෙන පරිදි මෙම මිනිස් නිදහස සහ සමානත්වය පිළිබඳ ඉල්ලීම් රැඩිකල්කරණය කිරීමයි. හුදෙක් සිවිල් හා දේශපාලන අයිතීන්වලට සීමා නොවී මිනිසුන්ගේ ආර්ථිකමය සහ සමාජමය අයිතීන් වෙනුවෙන් අරගල කිරීමයි. අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම, ජීවන සුරක්ෂිතභාවය ලබා ගැනීම යනාදී අයිතීන් වෙනුවෙන් කරන අරගලයන් වමේ අරගලයන්ය. එසේම සංස්කෘතික බහුවිධත්වය, ලිංගික නිදහස සහ කලාත්මක නිදහස වෙනුවෙන් කරන අරගලයන්ද වමේ අරගලයන්ය. රැඩිකල් සහ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදය එහි හරයෙන්ම සමාජවාදී ය.

වසංගතය හමුවේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය  

රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පන්ති අරගලය ප්‍රතික්ෂේප වී නොයයි. 1980 දශකයේ මැද භාගයේදී තමන් සහ ලැක්ලාවූ අවධාරණය කළේ වාමාංශය කම්කරු ඉල්ලීම් සමග නව-සමාජ ව්‍යාපාරවල ඉල්ලීම්ද සැලකිල්ලට ගත යුතු බවයි යනුවෙන් ශන්තාල් මූෆ් මෑතකදී අවධාරණය කළාය (Mouffe, 2018, “For a Left Populism” p.43). ඒ සමගම ඇය පෙන්වා දෙන්නේ වත්මනෙහි යුරෝපීය වාමාංශය සිටින්නේ එය දැනට දශක තුනකට පෙර සිටි දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙහි බවය. දැන් වම ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් තම න්‍යාය පත්‍රයට ඇතුළත් කරගෙන තිබේ; නමුත්, දැන් එයට ගිලිහී ගොස් තිබෙන්නේ කම්කරු පන්තික ඉල්ලීම්ය. එසේම දැන් ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමට පෙර එය දිනාගැනීමේ අරගලය පෙරට ගන්නට සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් වමේ දේශපාලන අභියෝග වටහා ගැනීමට යුරෝපීය වමට අදාළව මූෆ් විසින් ඉදිරිපත් කරන ඉහත නිරීක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනාගැනීමේ අභියෝගය දැනටමත් මතුවෙමින් තිබේ. එහිදී සීමිත ආයතනික සහ නෛතික ප්‍රතිසංස්කරණවල සීමාව තුළ අරගලය රඳවා ගන්නට දක්ෂිණාංශික කණ්ඩායම් ප්‍රයත්න දරනු ඇත. එයින් ඔබ්බට ගොස් පුළුල් සමාජමය සහ ආර්ථිකමය ප්‍රජාතන්ත්‍රවාදයක් කරා අරගලය රැගෙන යා හැක්කේ වාමාංශයටය. නමුත්, අනාගතය එතරම් සුබවාදීද නැත. මූෆ් මෑතකදී ලියූ “After Covid-19, What Next?” නමැති පත්‍රිකාවේදී පෙන්වා දී තිබූ පරිදි ගෝලීය වසංගතය හමුවේ කොමියුනිස්ට් විසඳුම් දෙසට හෝ ප්‍රජාතාන්ත්‍රික රැල්ලක නැග ඒමක් දෙසට ලෝකය ගමන් කරනු ඇතැයි නිශ්චිතවම කිව නොහැකිය. නව-දක්ෂිණාංශික ජනතාවාදයේ රැල්ල පහසුවෙන් බැස නොයනු ඇත. ස්ලේවෝයී ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත්, “අඳුරු බිම් ගෙයෙහි අන්තයෙන් පෙනෙන ආලෝකය අනෙක් පසින් එන දුම්රියක විදුලි ආලෝකය විය හැකිය.” සියල්ල තීරණය වනු ඇත්තේ ඉදිරි දේශපාලන අරගලය මගිනි. එහිදී වාමාංශයට අවශ්‍ය වනු ඇත්තේ අපේක්ෂා විරහිතභාවයේ ධෛර්යයකි.

සුමිත් චාමින්ද | Sumith Chaminda

 

 

සංස්කාරක සටහන : මෙම ලිපි මාලාවේ 15 වන කොටස දක්වා මිට පෙර පළ කොට තිබේ. එම ලිපි කියවීම සඳහා පහත සබැඳි වෙත යන්න.