iMage: alarabiya/Reuters
“මළසිරුරු භූමදාන කිරීම මඟින් මෙම රෝගයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බව දක්වන කිසිදු බලගතු සාක්ෂියක් නොමැත. ගෝලීය මාර්ගෝපදේශ හා අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත දැඩි මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ඔහුගේ/ඇයගේ සහ පවුලේ කැමැත්ත පරිදි ආදාහනය හෝ භූමදානය කිරීම සඳහා අවසරය හිමි විය යුතුය.” ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් පැවසීය.
පවතින ගෝලීය වසංගතය පිළිබඳ බිය ද පරදා, මේ දිනවල ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ සිතෙහි සුවිශාල සහ එකම බිය බවට පත්ව ඇත්තේ බලහත්කාරී ආදාහනයයි. ආගමික විශ්වාස කෙසේ වුවත්, මළසිරුරකට (ජනාසාවකට) ගෞරවාන්විත භූමදානයක් ලැබෙන බවට තහවුරු කිරීම අපේ සංස්කෘතිය සහ උරුමයයි. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු හෝ ක්‍රිස්තියානි වේවා, මළගිය ඇත්තන්ගේ ගෞරවය රැකීම අපේ පරම යුතුකමක් වේ. කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මළසිරුරු ආදාහනය කිරීම බොහෝ ක්‍රිස්තියානි භක්‍තිකයන්ට ද බලපෑවත්, එය මුස්ලිම්වරුන්ට ඉතාම දැඩි බලපෑමක් ඇති කර තිබෙන්නේ මළසිරුරක් භූමදානය කිරීම යනු කිසිදු තත්ත්වයක් යටතේ අත්හැරිය නොහැකි ආගමික වතාවත් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවිනි. මේ කාරණය සම්බන්ධයෙන් හිතාමතාම මුස්ලිම්වරුන්ව ඉලක්ක කරන බවට වූ හැඟීම ප්‍රජාව තුළ ක්‍රමක්‍රමයෙන් වැඩෙමින් පවතින අතර, විශේෂයෙන්ම භූමදානය නුසුදුසු යැයි තහවුරු කිරීම සඳහා කිසිම විද්‍යාත්මක පදනමක් නොවීම, ඒ හැඟීම තවත් තීව්‍ර කරයි. මුළු ලෝකය පුරාම වූ රටවල් සිය කොවිඩ්-19 ආසාදිතයන් මරණයට පත් වූ විට භූමදානය සඳහා ඉඩදෙන්නේ කිසිදු සෘනාත්මක සෞඛ්‍ය බලපෑමකින් තොරවය. 2019 දෙසැම්බර් මාසයේ දී නව කොවිඩ් වයිරසය හඳුනාගැනීමත් සමග, භූමදානය කළ මළසිරුරක් හරහා ආසාදනයක් සිදු වී ඇති බවට එකදු හෝ සිදුවීමක් වාර්තා වී නොමැති අතර, ඒ තත්ත්වය සමූහ මිහිදන් කිරීම් සිදුකළ රටවල් සඳහා ද පොදුවේ අදාළ වේ.
ආදාහනය අනිවාර්ය කිරීම පිළිබඳ තීන්දුවට එරෙහිව එය අභියෝගයට ලක්කරමින්, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ආරක්ෂා කළ යුතුයැ’යි නියම කොට ඇති ආගමික හෝ පුද්ගලික අයිතීන් ප්‍රකාරව කොවිඩ්-19 ආසාදනය වී මරුමුවට පත් වූ පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීම තහවුරු කිරීම පිණිස ගොනු කළ මානව හිමිකම් නඩුකර ඉදිරියට ගෙනයාම සඳහා වූ අවසරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ ප්‍රශ්නය අතිශය දේශපාලනික මුහුණුවරක් ගත්තේය. සහනයක් පතා අධිකරණ මැදිහත්වීමක් ඉල්ලා සිටි අපෙන් සමහරු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නඩුකර 11 ඉදිරියට ගෙනයාම සඳහා වූ අවසරය ලබාදීම බහුතර තීන්දුව අනුව ප්‍රතික්ෂේප කළ බව දෙසැම්බර් 1 වැනි දා ඇසුනු විට එළඹුණු කම්පනයෙන් තවමත් නිසියාකාරව මිදී නැත. නඩුකරයක් ඉදිරියට ගෙනයාම සඳහා වූ අවසරය ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතු ඉදිරිපත් නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇතත්, පුරවැසියන්ගේ අයිතීන් පිළිබඳ අවසන් තීරකයා වශයෙන්, විශේෂයෙන්ම ඉන් එක් විනිසුරුවෙකු අදාළ අවසරය ප්‍රදානය කිරීම සුදුසු බවට සලකා තිබෙන අවස්ථාවක, එවැනි වැදගත්, සංවේදී, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සුරක්ෂා කළ අයිතියක් පිළිබඳ කාරණයකදී, උගත් විනිසුරු මණ්ඩලය සිය බහුතර තීරණය සඳහා හේතු සපයන ලද්දේ නම්, එය ගරුකටයුතු ක්‍රියාවක් වන්නට සහ මහජන අර්ථසාධනය පූරණය කරන්නට අවකාශ තිබිණි. මේ හේතුවෙන්, මේ නඩුකරවලට සහ වින්දිතයන්ගේ අයිතීන් – විශේෂයෙන්ම සුළුතරයේ අයිතිවාසිකම්වලට ඔබ්බෙන් වූ බරපතල ප්‍රතිඵල ගෙනදීමට ඉඩ ඇති බවට සාධාරණ බියක් අප තුළ ජනිත වී තිබෙන අතර, ජාතික මට්ටමින් වින්දිතයන් සඳහා මෙරට ඇති ප්‍රතිකර්ම අවම බව ද පෙන්වයි.
ජාතිවාදය මේ රටේ මළසිරුරු සමග දේශපාලනය කිරීම සුළුතර ජාතිකයන් වන අපට අරුමයක් නොවේ. මරා දමන ලද දමිළයන් සැමරීමේ අවස්ථාව අහිමි කිරීම, දිවි දුන් අයගේ සුසානභූමි සමතලා කිරීම, සහ අතුරුදන් වූවන්ගේ මව්වරුන් යුක්තිය ඉල්ලා කරන හඬගෑම් සුණුවිසුණු කිරීම – මේ සියල්ලෙන්ම, වින්දිතයන්ට ගෞරවයත්, ඒ පවුල් විඳින වේදනාවට නිමාවකුත් ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ. සිය පවුලේ මියගිය ඥාතියාට ඉටු කළ යුතු යුතුකම් නොකර හැරීම මෙන්ම ආගමට හෝ ආගමික විශ්වාසයට පිටුපෑම නිසා ඔවුන්ට ඇති වන වරදකාරිත්වය පිළිබඳ හැඟීම, මෙන්ම රජය විසින් මේ කරන හිත්පිත් නැති ක්‍රියාව හේතුවෙන් දුකට පත්ව සිටින පවුල්වල සාමාජිකයන්ට ඇති වන වේදනාව සහ ආතතිය, සාමූහිකව ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත්ව එක්සිත්ව ජීවත් වීමටත්, පැරණි තුවාලවල වේදනාව සමනය වීමටත් අහිතකර අයුරින් බලපායි.
සමහර දේශපාලකයන් සහ සමහර භික්ෂූන් විසින් මේ බලහත්කාරී ආදාහන ක්‍රියාව හුවාදක්වන්නේ යෝජිත ‘එක රටක් – එක නීතියක්’ සංකල්පය පදනම් කරගෙන වුවත්, සුළුතර ආගමික ප්‍රජාවන් එය දකින්නේ රජය සහ එහි නියෝජිතයන් විසින් තමන්ට එරෙහිව නැවත-නැවතත් අඛණ්ඩව කරගෙන ආ වෙනත් වෙනස්කොට සැලකීමේ ක්‍රියාවන්හි දිගුවක් හැටියටය. නැගෙනහිර බෞද්ධ උරුමයන් ලෙස ඔවුන් හඳුන්වන ස්ථාන ආරක්ෂා කිරීමේ මුවාවෙන් හින්දු කෝවිල් සහ වන්දනීය ස්ථානවලට පහර දීම සඳහා බෞද්ධ භික්ෂූන් සහ ඔවුන් සමග සන්ධානගතව ඇති අන්තවාදී පාර්ශ්ව පෙරමුණ ගෙන ඇති අතර, ඉවැන්ජලික හා ඇන්ග්ලිකන් දේවස්ථාන හා පාදිලිවරයන් ද ශාරීරික පහරදීම්වලට ලක්ව ඇත. ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑමෙන් මුදවාගන්නා මුවාවෙන් හීන්සීරුවේ ආගමික කණ්ඩායම් අතර නොසන්සුන්තාව හා වෛරය පතුරුවා හරින භික්ෂූන් සහ සාමාන්‍ය පුරවැසියන්ගෙන් සැදුම්ලත් බොහෝ කණ්ඩායම්වල ඉලක්කය බවට මුස්ලිම් ප්‍රජාව පත්කරන ආකාරයේ ක්‍රමයක් නිර්මාණය වී ඇති බව ද සැබවි. ආදාහනය අනිවාර්ය කරමින් 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත්කළ අතිවිශේෂ ගැසට් පත්‍රිකාව ඒ දේශපාලනයේ කොටසකි.
ආදාහනය සඳහා වූ විකල්පය පමණක් ලබාදෙන ක්‍රමය ඉවත් කර, ඒ වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව ආරක්ෂිත භූමදානය සඳහා ද අවසර ලබාදෙමින්, රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් සමග ශ්‍රී ලංකාව ද එකතු වනු ඇත යන්න 2021 වසරේ දී බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනය වී ඇත. වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් විද්‍යාව පදනම් කරගත් ප්‍රවේශයක් අනුගමනය කරනු ඇති බව ඉන් අදහස් කෙරෙන අතර, ඒ හරහා පුරවැසියන්ට ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් ඇති විය හැකි අතර, රෝගලක්ෂණ පෙන්වන විට ඊට අදාළ වෛද්‍ය අවධානය වහා ලබාගැනීමට ද ඔවුහු උත්සුක වනු ඇත. මළසිරුරක් භූමදානය කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ අනිවාර්ය කර ඇති සාම්ප්‍රදායික සිරිත් හතර අතරින් තුනක්ම, එනම් මළසිරුර නෑවීම, රෙදිකඩකින් සම්පූර්ණයෙන් වැසීම, හා නැමදුම් වතාවත් ඉටුකිරීම යන කරුණු අතහැරීමට මුස්ලිම් සමාජය සිය කැමැත්ත ප්‍රකාශ කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආරක්ෂිත භූමදාන ක්‍රමවේදය හා භූමදානය සඳහා ආණ්ඩුව පනවා ඇති සෞඛ්‍ය විධිවිධාන එලෙසින්ම පිළිපැදීමට එකඟතාව ලබා දෙමින් හැකි තරම් නම්‍යශීලී වී ඇති බව ආණ්ඩුව ද පිළිගත යුතුය.
අද වන තුරු, ශ්‍රී ලංකාවේ ජාතික රෝහල විසින් පමණක් කොවිඩ්-19 ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ 100කට වැඩි ප්‍රමාණයක් ආදාහනය කිරීම සඳහා නියෝග කර ඇති අතර, ඉන් භාගයකටත් වඩා මුස්ලිම් ජාතිකයන් වෙති. සෞඛ්‍ය බලධාරීන් විසින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර සිටි ආකාරයේ ජාතික රෝහලේ අධි ශීතකරණ කන්ටේනරය තුළ ගබඩා කර ඇති සියලුම මෘතදේහ ද ආදාහනය කර තිබේ. මීට එරෙහිව ගොනු කළ පොලිස් පැමිණිලිවල තම ඥාතීන් ආදාහනය කිරීම සඳහා තමන් කැමැත්ත පළනොකරන බැව් මියගිය පුද්ගලයන්ගේ පවුල් විසින් විශේෂයෙන් සඳහන් කර ඇති බැවින්, මෙම දේහයන් ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය අධිකාරිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර පැතූහ. ආගමික හේතූන් පසෙක ලා, මේ විරෝධතාව දෙස කෙනෙකු බැලිය යුත්තේ පවුලේ කැමැත්ත යන පදනම මත ද පිහිටාය – ඒ රජයට මළසිරුරු අයිති කරගැනීම සඳහා හැකියාවක් නොමැති බැවිනි.
බලහත්කාරී ආදාහනයට විරෝධය පෑමක් ලෙස සිය ආදරණීයයන්ගේ මෘතදේහ භාරනොගෙන සිටීමට ඔවුන්ගේ පවුල් තීරණය කර ඇති අතර, රෝග නිවාරණය යන බොරු හේතුව දක්වමින් ආණ්ඩුව මේ සිදුකරන පාපතර ක්‍රියාවේ සහචරයන් වීමට ඔවුන්ට වුවමනාවක් නොමැත. ඉස්ලාමයට අනුව, ගින්දර බැඳී ඇත්තේ දණ්ඩනය හා නරකාදිය සමගිනි. එම වින්දිත පවුල් සමග කතාබහ කළොත් පමණකි, ඔවුන්ගේ දුකත් වේදනාවත් කෙනෙකුට තේරුම්ගත හැක්කේ. සිය දෙමාපියන්, ආච්චි-සීයා, බිරිඳ/සැමියා, දරුවන් හෝ සහෝදර-සහෝදරියන්ගේ මෘතදේහ අතහැර ඒම පහසු කාර්යයක් නොවේ – මක්නිසාද යත්, ශ්‍රී ලාංකිකයන් වන අප සතුව මළවුන්ට ගරු කිරීමේ සහ දුකට පත් පවුල්වල සිත් සුවපත් කරනු පිණිස සාමූහිකව ආගමික චාරිත්‍ර ඉටුකිරීමේ පොහොසත් සංස්කෘතියක් සහ සම්ප්‍රදායක් පවතින බැවිනි. එහෙයින්, මුලින්ම, මේ මෘතදේහ භාරනොගත් හෝ හිමිකම් ප්‍රකාශ නොකළ ඒවා බවට සමහර මාධ්‍ය වාර්තා සහ සෞඛ්‍ය බලධාරීන් විසින් පැවසීම නතර කළ යුතුය. කාරුණික, දයාබර, සදාචාරසම්පන්න සහ මිනිස් හැසිරීමේ ස්වභාවය නිවැරදිව තේරුම් ගත හැකි යැයි සැලකෙන සෞඛ්‍ය වෘත්තිකයන් රෝහල් තුළ දී මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට සලකන ආකාරය දුටු විට, බලය හා වෛරය නිසා දෑස් අන්ධ වී ගියවුන් මෙන් හැසිරෙන ආකාරය දැකගත හැක. පසුගිය සති කිහිපයේ දී සිය ප්‍රජාවෙන් ලැබෙන පිළිගැනීම සහ තම රැකියාවේ සුරක්ෂිත බව පරදුවට තබමින් සත්‍යය ප්‍රකාශ කිරීම සඳහා නොබියව ඉදිරියට පැමිණි සමහර වෛද්‍ය වෘත්තිකයන්ගේ ධෛර්යය ප්‍රශංසාවට ලක්නොකරන්නේ නම්, මම යුතුකම් පැහැරහරින්නියක් වනු ඇත. ඉදිරියට එන වසර තුළ දී අපේ වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම සඳහා මෙන්ම ගෝලීය වසංගතයට එරෙහිව සාමූහිකව සටන් කිරීමටත්, එය මෙරටින් තුරන් කිරීමටත් සියල්ලෝම සෞඛ්‍ය අංශය හා සහයෝගයෙන් ක්‍රියා කිරීම තහවුරු කිරීම පිණිස ඇති එකම නැවුම් බලාපොරොත්තුව එයයි. ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතුව අළුතෙන්ම පත්කළ සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුව විසින් ආරක්ෂිත භූමදානය පිළිබඳව පළකරන වාර්තාව ඉදිරියට එන මාස තුළ දී සිත සුවපත් වන ආකාරයේ තීරණයක් සමග නිකුත් කෙරෙනු ඇතැයි සිත්පිත් ඇත්තෝ අපේක්ෂා දැල්වුණු දෑසින් බලා සිටිති.
ශ්‍රීන් අබ්දුල් සරූර් | Shreen Saroor