iMAGE: fundcalibre.com

“සුබ අලුත් අවුරුද්දක් වේවා!” අප බොහෝ දෙනෙකු දැන් මෙසේ එකිනෙකාට සුබ පතන්නේ හුදෙක් සමාජ ආචාරශීලීත්වය පවත්වාගෙන යාම සඳහා පමණි. එම ප්‍රකාශයේ කිසිදු අරුතක් නොමැති බව අපි හොඳින්ම දනිමු. මේ උදාව ඇත්තේ දේශීයවත් ගෝලීයවත් අතිශය අසුබවාදී ඇඟවීම් සහිත අවුරුද්දකි. තත්ත්වය බොහෝ දෙනෙකු සිතනවාට වඩා ඉතාම බරපතලය.

ඉදිරි වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.9 කින් සංකෝචනය වනු ඇතැයි පසුගියදා “2020 ශ්‍රී ලංකා ආර්ථික සම්මේලනය” ආමන්ත්‍රණය කරමින් මහ බැංකුවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණන් බැලීම් අනුව සියයට 4.6 ක ආර්ථික සංකෝචනයක් අපේක්ෂිතය. මහාචාර්ය ලක්ෂ්මන් පසුගිය නොවැම්බර් මසදී ඉදිරිපත් කරන ලද 2021 අය වැය “ජනතා කේන්ද්‍රීය” අයවැයක් ලෙස හැඳින්වූ අතර නව ආණ්ඩුව බලයට පත් වූයේ “විකල්ප ප්‍රතිපත්ති වේදිකාවක්” මත යැයිද පැවසීය. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීමටත්, අපනයන වර්ධනය කිරීමටත්, විදේශීය ණය මත රඳා පැවතීම අවම කිරීමටත් ආණ්ඩුව විසින් ගෙන තිබෙන ක්‍රියා මාර්ග ඔහුගේ පැසසුමට හේතු විය. මහාචාර්ය ලක්ෂ්මන් ඔහු අයත් පරම්පරාවේ නවීකාරක බුද්ධිමතුන්ට උචිත පරිදි අසුබවාදයේ ඇඟවීම් රැසක් මත හිඳිමින් වුවද ඇදහිය නොහැකි තරමට සුබවාදී බැව් පෙනේ. ඒ කොතෙක්ද යත්, ගෝලීය ආර්ථිකයේ “මහා ප්‍රත්‍යාරම්භයක්” (great reset) පිළිබඳ සමකාලීන අදහස උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය ආර්ථිකයටද අත්පත් කර ගත හැකි නව අවස්ථා පවතින බවත් අනාගත ආර්ථික වර්ධනයක් ගැන අපේක්ෂා දල්වා ගත හැකි බවත්ය.

මහා ප්‍රත්‍යාරම්භය පිළිබඳ ප්‍රවාදය 

කෙසේ වුවද, මහාචාර්ය ලක්ෂ්මන් උපුටා දැක්වූ “මහා ප්‍රත්‍යාරම්භයක්” පිළිබඳ අදහස පවතින්නේ තවමත් පරීක්ෂාවට ලක් නොවූ අපේක්ෂාවක් ලෙස පමණි. එය කවරාකාර ප්‍රත්‍යාරම්භයක් වනු ඇතිද යන්න ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්නයක් වනවාට වඩා දේශපාලන ප්‍රශ්නයකි. එහි දේශපාලනික ස්වභාවය වටහා ගැනීමට නම්, පසුගිය ලෝක ආර්ථික සමුළුවේ ප්‍රධාන තේමාවක් බවට පත් වූ ධනවාදයේ නව ප්‍රත්‍යාරම්භයක් පිළිබඳ අදහස සැබවින්ම ක්‍රියාවට නැගෙන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුය.

පළමුව, සැබවින්ම ධනවාදයේ නව “මහා ප්‍රත්‍යාරම්භය” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලිව නිර්වචනය කිරීමට එහි ප්‍රකාශකයින් තවමත් සමත්ව නොමැති බව සඳහන් කළ යුතුව තිබේ. නමුත්, ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම, අන්‍යෝන්‍ය ප්‍රගතිය අරමුණු කරගත් ප්‍රතිපත්ති කරා හැරීම, පාරිසරික විනාශය වැලැක්වීමේ ක්‍රියා මාර්ග (කාබන් බදු වැනි), ගෝලීයව අන්තර්-සම්බන්ධිත ආර්ථික නියාමනයන් යනාදී විසුරුණු අදහස් කිහිපයක් මේ තේමාව යටතේ ප්‍රකාශයට පත්ව තිබේ. නයෝමි ක්ලේන් පවසන්නේ ලෝක ආර්ථික සමුළුව විසින් ඉදිරිපත් කරනු ලබන මහා ප්‍රත්‍යාරම්භය “කිසිසේත් යථාර්තයක් බවට පත් නොවන යහපත් අදහස් වලින් සහ නිසැකවම යථාර්තයක් බවට පත් වන අයහපත් අදහස් වලින් සමන්විත වන” බවය. නිදසුනක් ලෙස, වසංගතය හමුවේ උග්‍ර වන මහජන සුබසාධනය පිළිබඳ ගැටළු විසඳීමට මහා ප්‍රාග්ධන සමාගම් ඉදිරිපත් නොවනු ඇති නමුත් යෝජිත ඩිජිටල්කරණ ක්‍රියා මාර්ග මගින් ලෝකයම කේබල්කරණය වූ අධි-තාක්ෂණික ආඥාදායකත්වයක් කරා හැරෙනු ඇතැයි ක්ලේන් අනතුරු හඟවයි.

අසුබවාදයේ ඇඟවීම්

“මානුෂික මුහුණක් සහිත ධනවාදයක්” පිළිබඳ අලංකාරෝක්තීන් පසුපස සැඟව ඇති සැබෑව කුමක්දැයි වටහා ගන්නට අපට ලෝක ආර්ථික සමුළුවේ වෙබ් අඩවියෙන්ම ඕනෑතරම් කරුණු උපුටා ගත හැකිය. පසුගිය ඔක්තෝබර් මසදී එහි පළවූ ලිපියක දැක්වෙන පරිදි 2020 අප්‍රේල් සහ ජූනි මාස අතරතුරදී එක්සත් ජනපදයේ පමණක් මිලියන 44 ක ජනයා හට රැකියා අහිමිව ගොස් තිබේ. විරැකියා අනුපාතය 15% තරම් ඉහළ නැග්ගේය. ඒ අතරම එරට ඉහළම බිලියනපතියන් පස් දෙනාගේ ආදායම 26% කින් වර්ධනය විය. දැන් එක්සත් ජනපද බිලියනපතියන් සතු සමස්ත ධනය ඩොලර් ට්‍රිලියන 3.6 කි. එය අප්‍රිකානු රටවල් 54 ක සමස්ත ආදායම ඉක්මවා යයි.

වසංගතයේ සමාජ බලපෑමෙහි පන්තිමය විසමතාවක් පවතින බව තවදුරටත් රහසක් නොවේ. නිවසේ සිට වැඩ කළ හැක්කේ සුදු කරපටි රැකියාවල යෙදෙන්නන් හටය. අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන සේවකයින් හට එක් අතකින් ලැබෙන්නේ අඩු වැටුපක් වන අතර වෛරසයට සෘජුව ඉලක්ක වීමේ අවදානමද ඔවුන් හමුවේ පවතී. වසංගතයේ බලපෑම අධික වශයෙන්ම දැනෙන සංචාරක කර්මාන්තය ඇතුළු සේවා අංශයේ වැඩ කරන පිරිස් අද සිටින්නේ අනාගතය පිළිබඳ අපේක්ෂාවක් පවා රඳවාගත නොහැකි අවිනිශ්චිතතාවක් තුළය. මේ සමස්ත ව්‍යසනය හමුවේ අසරණභාවයට පත් වන එවන් පිරිස් වෙත කිසියම් හෝ සහනයක් සැලසිය හැකිව තිබෙන්නේ වඩා ධනවත් සහ වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පවතින රටවලටය. ශ්‍රී ලංකාව වැනි රටවල බහුතරයක් වන අවිධිමත් අංශයේ සේවකයන් සහ අසරණ කොටස් අද සිටින්නේ යන එන මං නැති තත්ත්වයකය. ඒ අනුව, ධනවාදයේ කේන්ද්‍රය සහ පරිවාරය අතර පවත්නා පරතරයද දැන් වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

වැඩෙන අසමානත්වය පිළිබඳ මෙකී ගැටළු ආමන්ත්‍රණය කිරීමට අසමත් වන “මහා ප්‍රත්‍යාරම්භයක්” යනු හුදෙක් දෘෂ්ටිවාදී අලංකාරෝක්තියකට වඩා කිසිවක් නොවේ. මේ තතු යටතේ ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙන්නේ අන් කවරදාටත් වඩා අද අපට අවශ්‍ය සමාජවාදී ප්‍රත්‍යාරම්භයක් බවයි.

 

සුමිත් චාමින්ද | Sumith Chaaminda