iMage;srilankamirror

හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඩලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී සිටීමට බලයි. ඒ් නිසා, දේශපාලනඥයෙකුට පමණක් නොව, සාමාන්‍ය මිනිසෙකුට පවා හිරිඔතප් නැති වෙතොත් ඒ් පුද්ගලයා සමාජයට හානිකර වන්නේය. දේශපාලඥනයෙකු සම්බන්ධයෙන් එය වඩාත් බරපතළ වන්නේ එවැන්නෙකු, බලය යන යාන්ත‍්‍රණය අභ්‍යාස කරන්නෙකුද වන බැවිනි. බලයේ සිටින යම් පාලකයෙකු ජනතා අප‍්‍රසාදය ගැන ලැජ්ජාවක් බයක් නැතිව වැරදි කරයි නම්, එහි අදහස වන්නේ, ජනතා මතයට පිටින් බලය තබාගැනීමේ වෙනත් සැලසුමක් එම තැනැත්තාට තිබිය හැකි බවයි. භයානක කාරණය එයයි.

පසුගිය කාලයේ මේ ආණ්ඩුව එකපිට එක කළ වැරදි බොහොමයක් වැටෙන්නේ, අර කී ‘හිරිඔතප්’ නැති ගණයටයි. ඒ් ගැන තිබෙන ඉතා පැහැදිලි නිදර්ශනය වන්නේ, උදයංග වීරතුංග නමැති ජාත්‍යන්තර රතු වරෙන්තුකාර පුද්ගලයා ය. කෝවිඞ් වසංගතය අස්සේම මොහුට සංචාරක මෙහෙයුමක් භාර දී, කෝවිඞ් තෝතැන්නක් සේ සැලකෙන යුක්රේනයෙන් සංචාරකයන් සිය ගණනක් ගෙන්වා, මෙරටේ සියලූ කෝවිඞ් සෞඛ්‍ය ආරක්ෂණ නියෝග කඩකරමින් ප‍්‍රසිද්ධියේ කටයුතු කිරීමට තවමත් ඉඩහැර තිබේ. ලංකාවේ බලධාරීන් එසේ හිතුවක්කාර වැඩ කරද්දී යුක්රේන ආණ්ඩුව ඔවුන්ගේ මුළු රටම පසුගිය දා ‘ලොක්ඩවුන්’ කෙළේය. මෙය අපේ පාලකයන්ට දුන් අතුල්පාරක් නොවේද? එහෙත් එය එසේ සැලකීමට නම්, කෙනෙකුට හිරිඔතප් කියා දෙයක් තිබිය යුතුය. උදයංග වීරතුංගට එවැන්නක් නැති බව, දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු පෙන්නුම් කරමින් සිටියේය. තමාට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කර තිබියදී පවා හැංගී සිටීමට සමත් වීම ගිය සතියේ ඔහු ගෙනහැර දක්වා තිබුණේ, එදා ආණ්ඩුවට වඩා තමන් ‘දක්ෂ’ පුද්ගලයෙකු බව කියාපෑමටයි.

‘උත්ප‍්‍රාසය’ යැයි වචනයක් තිබේ. මේ වචනයේ අරුත උදාහරණයකින් පැහැදිලි කළ හැකිය. මිග් යානා ගනුදෙනුවේදී ලංකාවේ ආණ්ඩුව එක්තරා සමාගමකට ඩොලර් මිලියන 7 ක් වැඩිපුර හොරාට ගෙවා තිබේ. මේ ගනුදෙනුවේ අතරමැදියා උදයංග වීරතුංග ය. අර වැඩිපුර ඩොලර් මිලියන 7 හොරට ලබාගත් සමාගමේ ලිපිනය වශයෙන් ගිවිසුමේ සඳහන්ව ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර ලිපිනයකි. එහෙත් එවැනි සමාගමක් ඒ් ලිපිනයේ නැති බව, ගනුදෙනුවෙන් පසුව සොයාගැනුණි. ඒ් උදයංග වීරතුංගගේ අද ලිපිනය ඔබ දන්නේද? ‘‘අරලියගහ මන්දිරය, කොල්ලූපිටිය’’.

අද වන විට මෙම පුද්ගලයාගේ හැබිචෝල් හැසිරීම ගැන සමස්ත රටවැසියා පිළිකුලෙන් කුපිතව සිටියත්, පාලකයන්ට ඒ් ගැන ලැජ්ජාවක් තිබෙන බවක් නොපෙනේ. ඔහු එසේ හැසිරුණේ සහ ඔහුගේ අඳබාල සංචාරක ව්‍යාපෘතිය ක‍්‍රියාවේ යෙදුණේ, මැද පෙරදිග සේවයට ගොස් ආපසු ලංකාවට පැමිණීමට නොහැකිව නොයෙක් රටවල පාරවල් ගානේ හිඟාකන දහස් ගණන් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ අඳෝනා තිබියදී බවත් අපි දනිමු.

පොහොට්ටුවේ ‘මොළය’ වශයෙන් සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ ය. ඒ් ‘මොළයේ’ ස්වභාවය කියාපෑ හොඳම සාක්ෂිය වුණේ, 2015 ජනවාරි පරාජයට පසුව දාම කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා රහසේ පිටත්ව යන බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ පින්තූරයකි. එහෙත් 2019 දී නැවත එම බලවේගය නඟා සිටුවීමට ඔහු සමත් විය. ඒ් සාර්ථකත්වය, රනිල් වික‍්‍රමසිංහගේ සහ මෛත‍්‍රීපාල සිරිසේනගේ ඉහමොළයේ ප‍්‍රතිවිපාකයක් බව, ඉතිහාසයේ සනිටුහන්ව තිබේ. කෙසේ වෙතත්, මේ සතියේ නැවතත් ඔහු තමාගේ ‘මොළයේ’ තරම කියාපෑවේය. යුක්රේනයෙන් කෝවිඞ් ආසාදිත සංචාරකයන් මෙරටට ගෙන්වූයේ ඔවුන්ගෙන් ලංකාවේ මිනිසුන්ට එම රෝගය බෝ වන්නේදැයි පරීක්ෂා කර බැලීමට යැයි කීවේ ඔහු කීවේය. හිරිඔතප් නැති ඔවුන් අපේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇන ඔවුන්ගේ වික‍්‍රම පෙන්වා දීමට දැන් පටන්ගෙන තිබේ.

අවුරුදු දහයක තමන්ගේ කල්ක‍්‍රියාව 2015 රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට එක් ප‍්‍රධාන හේතුකාරකයක් වූ බව ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේය. ‘සුදු වෑන්’ යනු ඔහුගේ නම සමග ඈඳුණු සන්නාමයක් බවට එදා පත්ව තිබුණි. ඒ් කල්ක‍්‍රියාව සම්බන්ධයෙන් 2015-2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව ගෙන ගිය ඇල්මැරුණු සහ සාංගම් ප‍්‍රතිපත්තිය හේතුවෙන්, රාජපක්ෂ පාලනයේ කුප‍්‍රකට අතීතය, 2019 වන විට සමාජ මතකය තුළ නොවැදගත් සාධකයක් බවට පත්ව තිබුණි. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික නායකත්වයට එන්නේත්, ඒ් වසරේ නොවැම්බරයේදී ජනාධිපතිවරයා වශයෙන් තෝරාගනු ලබන්නේත්, යහපාලනයේ එකී අසාර්ථකත්වයට ජනතාවගේ පැත්තෙන් සිදු වූ පළිගැනීමක් වශයෙනි. කෙසේ වෙතත්, ඒ් ලැබුණු මහඟු අවසරය පාවිච්චියට ගනිමින්, තමන්ගේ අතීතය කණපිට හරවා පෙන්වීමට ජනාධිපති තනතුරේදී ගෝඨාභය රාජපක්ෂ පියවර ගනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. එනම්, තමන්ට විරුද්ධව අතීතයේ (2005-2015) නැඟුණු චෝදනා පදනම් විරහිත බව ජනාධිපති චර්යාව තුළින් ඔප්පු කර පෙන්වීමට ඔහු උත්සුක වනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. එය සාධාරණ අපේක්ෂාවකි. අංගුලිමාල රහත් විය.

තමාට චරිත දෙකක් ඇති බවත්, එයින් ඕනෑම චරිතයක් රඟපෑමට තමන්ට හැකි බවත් පසුගිය දා හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඉලක්ක කොට කීමෙන් ඔහු අදහස් කෙළේ කුමක්ද? අර අප ඉහතින් කී ඔහුගේ අතීතය, හරීන් ප‍්‍රනාන්දුට පමණක් නොව, ඔහුගේ විවේචකයන් කාටත්, දැන් අමතක වී ඇත්නම්, යළි මතක් කර දීමට ඔහු තුළ නලියමින් තිබූ ආශාවයි.

රටක සාර්ථකත්වයේ යතුර ඇත්තේ දැඩි-බලධාරීත්වය සහ සර්ව-අධිකාරීත්වය තුළ යැයි විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ අනුගාමිකයන් තුළ තිබේ. මේ කියන බලධාරීත්වය සහ අධිකාරීත්වය, හැම අතකින්ම වර්තමාන ජනාධිපතිවරයාට විවිධ ආකාරයෙන් ලැබුණි. මීට පෙර කිසි පාලකයෙකු නොලද තරමේ බලයක් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට ලැබුණි. ඊටම සරිලන පාර්ලිමේන්තු බලයකුත් ඊළඟ මැතිවරණයේදී ලැබුණි. ඊළඟට 20 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ සහ වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල බල පද්ධති දුර්වල කිරීමෙන් තවත් අසහාය බලයක් සැපයුණි. ඒ් සියල්ල සමග සමපාත වීමට, සිවිල් පරිපාලනය වෙනුවට හමුදාමය පරිපාලනයක අඩිතාලම් දමාගැනීමේ වටපිටාවකුත් ඔහු නිර්මාණය කරගත්තේය. දැන් ඔහුගේ ‘තර්කය’ ඔහු ඔප්පු කළ යුතුය. එනම්, තනි අධිකාරීත්වය යනු සාර්ථකත්වයේ මාවත බව ඔහු ඔප්පු කොට පෙන්විය යුතුය. එහෙත් ගත වූ වසරකට වැඩි කාලයක් තිස්සේ සිදුවුණේ කුමක්ද? ඔහු අසාර්ථක නායකයෙකු බව, ඔහු කියන කරන දේවල්වලින් සහ ඔහුගේ අනුගාමිකයන් කියන කරන දේවල්වලින් දිනපතා ජනතාවට දැනගැනීමට ලැබීමයි.

එවිට කෙනෙක් අතරමං වෙයි. හේතුව, මිනිසුන් විසින් තමන් දුර්වලයෙකු යැයි සැලකීම වඩාත් ඉවසිය නොහැකි තැනැත්තා වන්නේ, තමන් අධි-බලැති කෙනෙකු වශයෙන් සිතා සිටින කෙනා වන හෙයිනි. තමා ‘සුපර්මෑන්’ කෙනෙකු වශයෙන් සිතා සිටින කෙනෙකුට යම් අවස්ථාවකදී තමන් දුර්වල තැනැත්තෙකු යැයි දැකගැනීමට ලැබීම වාවාගත හැකි දෙයක් නොවේ. එහිදී ඔහු කරන්නේ කුමක්ද? තමා ජනාධිපති වීමට කලින් පාවිච්චි කොට තිබුණද, ජනාධිපති වීමෙන් පසුව මෙතෙක් පාවිච්චි නොකළ තවත් ආයුධ තමන්ගේ ගබඩාවේ ඇති බව සෙස්සන්ට පෙන්වීමයි. ගිය සතියේ ඔහු කෙළේ එයයි. ඇත්ත වශයෙන්ම සැබෑ හේතුව හරීන් ප‍්‍රනාන්දු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නම කියා ආමන්ත‍්‍රණය කිරීම නොවේ. හේතුව ගෝඨාභය රාජපක්ෂම ය. මුලින් කී ‘සුපර්මෑන්’ සිහිනය මායාවක් වීම ඉදිරියේ, එවැනි මානසිකත්වයක් ඇති කෙනෙකු අනිවාර්යයෙන්ම මෙවැනි තත්වයකට ඇදවැටෙන්නේය.

‘වැඩ’ යැයි කී විට, එය දෙපැත්තකින් වටහාගැනේ. මේ රටේ අතිමහත් බහුතරයක් ‘වැඩ’ වශයෙන් සලකනුයේ, ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමෙන සීග‍්‍ර ආර්ථික සංවර්ධනය, ණය බරෙන් ලංකාව නිදහස් කරගැනීම, දූෂණයෙන් තොර රටක් ගොඩනැඟීම, ආදායම් බෙදී යාමේ විසමතාව අඩු කරගැනීම ආදී සමාජහිතකාමී දේවල් ය. ඊට අමතරව, මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, ජාතීන් සහ විවිධ ආගමිකයන් අතර පවතින විරසකයන් අහෝසි කිරීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ආදී දේවල් අපේක්ෂා කරන තවත් විශාල පුරවැසි ජනකායක්ද සිටිත්. මීට වෙනස් අනිත් පිරිස ‘වැඩ’ යන්නෙන් අදහස් කරන්නේ, ඒ් කිසිවක් නොව, චණ්ඩිකම් ය. අයෝමය පුරුෂ ලක්ෂණ ය. විරුද්ධවාදීන්ට ‘පාඩම්’ ඉගැන්වීම ය. ජනාධිපතිවරයා පසුගිය දා හරීන් ප‍්‍රනාන්දුට මතක් කර දුන්නේ මේ දෙවැනුව කී ‘වැඩ’ කිරීමට තමාට ඇති හැකියාව ගැන බව බැලූ බැල්මට පෙනේ.

එවැනි කල්පනාවක් ඇති තැනැත්තා ලෝකය දකින්නේ සතුරු-මිතුරු යන කෝණයෙන් පමණි. මිතුරන් නොවන සියල්ලන් සතුරන් වශයෙන් දැකීම ඒ පුද්ගලයාගේ ස්වභාවයයි. ඕනෑම අපරාධයකින්, සොරකමකින්, දූෂණයකින්, අපචාරයකින් මිතුරන් බේරාගැනීමත්, සතුරාගෙන් පන්න පන්නා පළිගැනීමත්, එවැනි පුද්ගලයෙකු බලයට පත්වූ පසු දැකගත හැකි වන්නේය.

යහපාලන ආණ්ඩුව කාලයේ පැවරූ සියලූ නඩු දේශපාලන පළිගැනීම් වශයෙන් සැලකෙන සම්මතයක් දැන් ඇති කෙරෙමින් තිබෙන්නේ ඒ් අනුසාරයෙනි. රාජපක්ෂ පවුලට සමීප සහ පොහොට්ටුවේ දේශපාලනයට අයත් කිසිවෙකු ගිය ආණ්ඩුව කාලයේ අධිකරණය ඉදිරියට පමුණුවා හෝ හිරේට හෝ එල්ලූම්ගසට නියම කෙරී හෝ ඇත්නම්, ඒ සියල්ල දේශපාලන පළිගැනීම් වශයෙන් හැඳින්වීමේ සිරිත මේ වන විට ක‍්‍රියාවට නැංවෙමින් තිබේ.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය සහ එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු තවම නොවිසඳී ඇති අපරාධ සිද්ධීන්ද, භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සහ එල්ලූම්ගසට නියම වූ රත්නපුරේ පොහොට්ටු මන්ත‍්‍රීවරයා වැනි දැනට අධිකරණයෙන් විසඳී ඇති අපරාධ සිද්ධීන්ද, ඩොලර් මිලියන 7 ක මුදලක් ලංකාවේ ජනතාවගෙන් වංචා කළ මිග් යානා ගනුදෙනුව, මල්වානේ අයිතිකරුවෙකු නොමැති මන්දිරයක් පැවතීම, නොදන්නා අය ගෙනැවිත් තබා ගොස් තිබූ මැණික් මලූ සහ තවත් එවැනි දුෂිත සිදුවීම් රාශියක්ද, පළිගැනීමේ නඩු වර්ගයට ඉදිරියේදී අයත් වෙනු ඇත.

දැන් ඔබට පැමිණිය හැකි නිගමන දෙකක් තිබේ: එකක් වන්නේ, මේ කියන කිසි සිදුවීමක් සත්‍ය වශයෙන් සිදු වී නැත යන්නයි. මේ සියල්ල පට්ටපල් බොරු යැයි කියන අයත් සිටිය හැකිය. යුද්ධයට සම්බන්ධයක් නැති යුදෙව්වන් 60 ලක්ෂයක් ගෑස් කාමරවලට යවා ඝාතනය කළ බව පට්ටපල් බොරුවක් යැයි කියන මිනිස්සු අදත් ලෝකයේ සිටිත්. එහෙත් යම් සිහිකල්පනාවක් ඇති කෙනෙකුට යථාර්ථය හරස්ව සිටී. එවැනි කෙනෙකුට මෙවැනි නිගමනයකට පැමිණිය හැකිය: මේ සියල්ල සිදු වී ඇති බව ඇත්ත. එහෙත් ඒ්වාට සම්බන්ධව ඇත්තේ මේ කියන පුද්ගලයන් නොව, වෙනත් පුද්ගලයන් ය. මොවුන්ව ඊට පටලවා ඇත්තේ, දේශපාලනිකව පළිගැනීමට ය. හැබැයි, ඒ් සිහිකල්පනාව ඇති පුද්ගලයා ඒ් සමගම තවත් ප‍්‍රශ්නයක් තමාගෙන් අසාගත යුතුය. එනම්, මෙපමණ කලක් අහිංසක මිනිසුන් මේ සිද්ධීන්වලට පටලවා කරදරයට පත්කළ සහ මේ රටේ ජනතාව නොමඟ යැවූ, සියලූ සාක්ෂිකරුවන්, සියලූ පරීක්ෂණ නිලධාරීන්, සියළු නීතිඥයන්, සියලූ නීතිපතිවරුන් සහ සියලූ විනිසුරුවරුන්ද, ඔවුන්ට පිටුදුන් පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය සහ අධිකරණය ආදී ආයතනද වහා විත්තිකූඩුවට නැංවිය යුතු නොවේද?

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ විත්තිකරුවෙකු වශයෙන් සිටි වර්තමාන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිල්ලෙයාන්ට විරුද්ධව ඇති චෝදනා ඉල්ලා අස්කරගන්නා බව නීතිපතිවරයා පසුගිය සඳුදා අධිකරණයට දැන්වීය. (තවත් මෙවැනි නඩු කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගත්තේය). කෙසේ වෙතත්, ඒ් ගැන ප‍්‍රකාශයක් කරන පිල්ලෙයාන් කියා ඇත්තේ, පුද්ගලයන් දෙන්නෙකුගේ සාක්ෂියක් මත පමණක් පදනම් වෙමින් තමන් අදාළ ඝාතනයේ විත්තිකරුවෙකු බවට පත්කිරීම තමන්ගෙන් කළ දේශපාලන පළිගැනීමක් වන බවයි.

දැන් ඔබ මෙසේ සිතන්න: ස්වභාවික යුක්ති ධර්මය කියා දෙයක් තිබේ. පරරාජසිංහම් ඝාතනය වන්නේ 2005 දී ය. 2015 සිට පසුගිය මාසය දක්වා පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. නඩුවක් ඉදිරියට ගෙන යාමට තරම් කරුණු නැතැයි අද උසාවියට කියන නීතිපති දෙපාර්තමේන්තුව, මෙපමණ කාලයක් අධිකරණය රස්තියාදු කිරීමෙන් එම අධිකරණයට අපහාස කොට නැතැයි, ඒ් ස්වභාවික යුක්ති ධර්මය අනුව අපට කිව හැකිද? එය හරියට, මගේ අල්ලපු ගෙදර මිනිහාට බොරු චෝදනා දමා අවුරුදු පහළොවක් තිස්සේ උසාවි ගානේ ඔහුව රස්තියාදු කොට අවසානයේ ඔහුට විරුද්ධව දැමූ චෝදනා මා ඉල්ලා අස්කරගැනීමක් මෙනි.

එසේ තිබියදී, රන්ජන් රාමනායක උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී වසර හතරක බරපතල වැඩ ඇතිව පෙරේදා හිරේට නියම කෙරුණි. මේ ආකාරයට ඉදිරියේදී හිරේට යාමටත්, හිරෙන් එළියට ඒ්මටත් නියමිත අය බොහෝ ය. ඊට අමතරව, ‘බල්ලෙකු සේ මරා දැමීමට’ නියමිත අයත් ඇත්ද යන්න වෙනම ප‍්‍රශ්නයකි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda