iMage: ScreenShot/https://www.youtube.com/watch?v=QROhGEB80MA

මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂලාගේ දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්ථමානයෙහි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි සභාපතිවරයාය. එයට පෙර රාජපක්ෂලා යටතේ ඔහු එවැනි ප්‍රබල තනතුරු ගණනාවක්ම දරා තිබේ.

ඔහු “මල් මල් විමල්” යැයි කියා ඇත්තේ දුම උරා මත් වී ආතල් ගත හැකි ගංජා මල් මතක් කරමිනි.

ජගත් වැල්ලවත්තගේ මුහුණු පොත පිරී ඇත්තේ පවුලේ ඡායාරූප යනාදියෙන් මිස දේශපාලන සටන් පාඨවලින් නොවේ. එහෙත් පසුගිය සතිමැද ඔහු සිය මුහුණු පොතට ලිපි දෙකක්ම ලිව්වේය. ඉහත හෙඩිම ඔහුගේ එක් ලිපියකිනි. ඒ දෙකම විමල් වීරවංශට පහර දීමටය.

විමල් වීරවංශ සහ බැසිල් රාජපක්ෂවාදීන් අතර ඇවිල යන දේශපාලන ගින්න මෙම සතිය මැද වන විට ගිනියම් වෙමින් තිබුනි. ඊට නිමිත්ත වූයේ පෙහොට්ටු පක්ෂයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂට දිය යුතුයැයි වීරවංශ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයයි.

වීරවංශ එවැනි ප්‍රකාශයක් කළේ මන්දැයි තේරුම් ගැනීම අමාරුය. විමල් වීරවංශද කොටස්කරුවකු වූ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ හවුලේ සංවර්ධනය කිරීමට විරුද්ධ ව්‍යාපාරය අන්තිමේදි ජය ගත්තේ අගමැති රාජපක්ෂගේ මැදිහත්වීම නිසාය. ජනාධිපති රාජපක්ෂගේ මැදිහත්වීම නිසා නොවේ. එම පර්යන්තය හවුල් ව්‍යාපාරයක් බවට පත්කළ යුතුමය යන අදහසෙහි සිටි රාජපක්ෂ වූයේ ගෝඨාභය රාජපක්ෂයි.

ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ පොදු ජන පෙරමුණෙහි සිටින ආකර්ශනීය නායකයා මහින්ද රාජපක්ෂ මිස ගෝඨාභය රාජපක්ෂ නොවීමයි.

තවද මේ තාක් විමල් වීරවංශ පෙනී සිටියේ උග්‍ර මහින්ද රාජපක්ෂවාදියකු ලෙසය. වියපත්ව කායික සහ මානසික දුබලතාවයන්ට ලක්වෙමින් සිටින අගමැති රාජපක්ෂ හැරදා අන් රාජපක්ෂලා කරා ඇදී යන පොහොට්ටු දේශපාලනඥයින් මෙන් වීරවංශ මහින්ද හැර ගියේ නැත. ගෝඨාභය ඉල්ලා සිටින වීරවංශගේ ආරක්ෂකයා බවට අරුමයකට මෙන් පත්ව සිටින වාසුදේව නානායක්කාරද උග්‍ර මහින්දවාදියෙකි.

පොහොට්ටු පක්ෂයේ නායකත්වය (මහින්ද රාජපක්ෂගෙන් ඉවත් කර) ගෝඨාභයට දිය යුතු යැයි විමල් වීරවංශ කීවේ ඇයිද යන්න තේරුම් ගැනීමට දුෂ්කර එනිසාය.

උත්සන්න වෙමින් එන පොහොට්ටු අභ්‍යන්තර ගැටු් මැද වීරවංශට විරුද්ධව අවි අමෝරා සිටින පාර්ශවය දෙස බැලීම මගින් සමහර විට අපට මේ ප්‍රශ්ණයට පිළිතුරු සොයා ගැනීමට හැකියාවක් තිබේ. මන්ද යත් එවිට වීරවංශගේ ඇත්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ කා වෙතට දැයි වක්‍රාකාරයෙන් දැක ගත හැකි වන බැවිනි.

වීරවංශ විරෝධී මතවාදී ප්‍රහාරයේ සිවිල් සෙනවියන් දෙදෙනෙකු වන රක්ෂන සස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත සහ පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ යන දෙදෙනාම අයත් වන්නේ බැසිල් රාජපක්ෂ කණ්ඩායමටය. ඉන්න බැරි නම් යන්න යැයි කියා වීවරවංශට ප්‍රසිද්ධියේ කීවේ මහින්ද පතිරණය. ඔහු සබරගමු සරසවියේ ආචාර්යවරයකු ද වේ.

බැසිල් රාජපක්ෂ, ීරවංශට මෙන්ම ගම්මන්පිලටද කැමැති නැති බව රහසක් නොවේ. පොහොට්ටුවට දෙමළ මුස්ලිම් ඡන්ද නොලැබීමට එක් හේතුවක් වීරවංශ සහ ගම්මන්පිල බව බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියන කතාවකි.

වාසුදේව නානායක්කාරට ආණ්ඩු පක්ෂ මංත්‍රී කණ්ඩායමේ රැස්වීමෙහිදී ඇමැති ප්‍රසන්න, ගෙදර බුදුන් සිහිකර වාඩිවෙයන් කීවේ වීරවංශ ආරක්ෂා කරන්නට ගිය විටය. ඒ අගමැති රාජපක්ෂ ඉදිරිපිටය. ප්‍රසිද්ධ බැසිල්වාදීවන් වන නිමල් ලංසා, සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග වැනි ඇමැතිවරුන් වීරවංශ විරෝධී සටනේ පෙමුණෙහිම සිටිති.

බැසිල්වාදී ආචාර්ය ජගත් වැල්වත්ත මෙසේ කියයි:

“වීරවංශ දීර්ඝ කාලීනව ගේම ඉල්ලා සිටින්නේ බැසිල් රාජපක්ෂ සමඟය. ඒ බැසිල් සැබෑ වේදිකා තනන්නෙකු නිසාය. විමල්ව JVP න් ගැලෙව්වේත් බැසිල්ය. විමල්ව පොරක් කළෙත් බැසිල්ය. බැසිල්ට උවමනා නම් තමාව ඉවර කළ හැක්කේත් බැසිල්ටම බව විමල් දන්නවාය.”

“මහින්ද සුළඟ’ පටන් ගත්තේ මහින්ද බලයට ගෙන ඒමට නොව මහින්ද ‘සංකේතය’ කරගෙන විමල්ට රජවෙන්නටය. මේ බව හරියටම බැසිල් රාජපක්ෂ තේරුම් නොගත්තා නම් එතැනින්ම රාජපක්ෂ දේශපාලනය අවසන්ය.

බැසිල් රාජපක්ෂ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කලේ ඒ නිසාය. ඊට හරහට සිටියේ ද විමල්ගේ කණ්ඩායමය. එම දේශපාලන ව්‍යාපාරය යෝධ එකක් බවට පත්වන විට එහි ඉදිරියෙන්ම සිට ගනිමින් ලකුණු දාගත්තේ ද විමල්මය.

“ඒ කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ලෙස අපට විමල්ට කීමට ඇත්තේ මෙපමණය. “ඔබේ කෙරුවාව තවදුරටත් මෙසේ නම් ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කිරීමට දැන්ම සිටම සූදානම් වෙනු” කියාය. සුභ ගමන් විමල් ”

බැසිල්වාදී ඇමැති සනත් නිශාන්ත කියා ඇත්තේ පන්සලේ උත්සවයට මුදල් දී කවි කීමට ගෙන්වා ගන්නා කවි කොළකාරයාට පන්සල අයිති වන්නේ නැති බවයි. එහි අන්වර්ථ කුළවාදී තේරුම ඊටත් වඩා පහත්ය.

මෙම වර්ධනයන් මගින් අපට බැසගත හැකි නිගමනය නම් වීරවංශගේ නායකත්ව කතාවේ ඉලක්කය මහින්ද රාජපක්ෂ නොව බැසිල් රාජපක්ෂ බවයි. ඉන් අදහස් වන්නේ මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවන තත්වයක් තුළ බැසිල් රාජපක්ෂ පෙරමුණට ඒම වැළැක්වීමට විරවංශට අවශ්‍ය බවයි. අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන අවසාන වීමට ආසන්න බවක් ඉන් අදහස් වන්නේ යන්න කීමට අප දන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් සිය සෞඛ්‍ය වාා ප්‍රසිද්ධ කරන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ත් සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ග් රෝග ප්‍රසිද්ධ කර නැත. එනයින්ම මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය ගැන පැතිර යන විවිධ ආරංචි සහ ව්‍යාජ පුවත් හමුවෙහි හෝ ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන විශ්වසනීය වාර්තාවක් ඉදිරිපත්ව ද නැත.

එවැනි දූෂමාන ආරංචි නිසාම සමහර විට මහින්ද රාජපක්ෂගෙන් පසු අගමැතිවන්නේ කවරකුද යන්න සම්බන්ධයෙන් අලුයට ගිනි පුපුරු ඇවිල යමින් තිබෙනවා වන්නට පුළුවන.

වත්මන් ආණ්ඩුකරණ දේශපාලන සමීකරණයෙහි මහින්ද රාජපක්ෂ නැතිනම් බලවතා වන්නේ ගෝඨාභය රාජපක්ෂය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ නැති තත්වයක් තුළ පොහොට්ටු පක්ෂයේ දේශපාලන සමීකරණයේ නායකත්වය හිමිවනු ඇත්තේ බැසිල් රාජපක්ෂටය.

මහින්ද රාජපක්ෂ නැති දේශපාලන තත්වයක් තුළ අභ්‍යන්තර ගැටු් ඇතිවිය හැකි බල කඳවුරු දෙක එයයි. වීරවංශ බල්ටියකට ලැහැස්ති වන්නේ එනිසාය.

අප බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙපසට තබා පොහොට්ටු දේශපාලන සන්දර්භය තුළ සමීකරණයක් ලියන්නේ නම් අද වන විට අසාර්ථක නොවූ දේශපාලනඥයා ලෙස මතුවන්නේ බැසිල්ය. ජනාධිපති රාජපක්ෂ අද ‘ෆේල් සර්’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන වැඩ බැරි නන්දසේන කෙනෙකි. බැසිල් තවම ඉගිළී නැති බැවින් කොකා සුදු නොව දුඹුරු බව පෙනී ගොස් නැත.

ගෝඨාභය රාජපක්ෂගේ පදනම යුද හමුදාව සහ වියත්මඟ වැනි පිරිස්ය. බැසිල් රාජපක්ෂගේ පදනම පොහොට්ටු පක්ෂයේ සංවිධානාත්මක ව්‍යුහයයි. අඩුම වශයෙන් දැන් රාජපක්ෂලා අතර බෙදීම් තුනක් තිබෙන බව පෙනේ. ඒ ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ සමඟ ක්‍රීඩා ඇමැති රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයේ නායක රාජපක්ෂ වටාය. චමල් රාජපක්ෂ සිින්නේ බැසිල්ට සමීපව යැයි කියනු ලැබේ.

රාජපක්ෂලාගේ දේශපාලන සමීකරණයේ තවත් තීරණාත්මක සංඝටකයක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ නව හිමිකරුවා වන චීනය වඩා කැමැතිවනු ඇත්තේ කවරකුටද යන්නය. ඒ බර වැටෙන්නේ නිසැකවම ගෝඨාභයටය. එවිට බැසිල් ඇමෙරිකානු වනු ඇත්ද? නැත්නම් චීනය මැදිහත් වී රාජපක්ෂලා සමගි කරවනු ඇත්ද? ඒ අප නොදන්නා සාධකයකි.

මේ සියු අර්බූද මැද වුවත් ජලයට වඩා ලේ ඝනකමය. එනමුත් පොහොට්ටු නායකත්වය ගැන කරන ලද එක් ප්‍රකාශයක් නිසා මහින්ද සුළග ගෙන ඒමට පුරෝගාමී වූ වීරවංශට වටකර නෙළන්නට රාජපක්ෂ බෑයකුට අවශ්‍යතාවයක් ඇතිවීම කියා පාන්නේ ඝනකම ලේ වුවත් දියාරු වන්නට පුලුවන් බවයි.

වීරවංශ යනු තමන්ගේ ලොකු පුතා වැනි යැයි කීවේ මහින්ද රාපක්ෂය. දැන් ඒ වීරවංශම සිය ලොකු තාත්තා වෙනුවට මිලිටරි බාප්පාට කැමැති වී තිබේ. එසේ නමුත් ජනප්‍රියවීම පිනිස වාචාලකම යොදා ගන්නා වීරවංශ වැන්නකුගෙන් ගෝඨාභයට එතරම් වැඩක් නැත. ඔහුගේ බලය හමුදාව සහ දේශපාලන නිළධාරී තන්ත්‍රය බැවිනි.

දවසට දෙක බැගින් පුවත්පත් සාකච්ඡා තබමින් පොහොට්ටු පක්ෂයට දරදිය ඇදි අන්තවාදී සංඝයා ද දැනටමත් සීසීකඩව බිදී ගොසිනි. ඔවුනට ආතක් පාතක් නැත. පොහාට්ටුවට ආකර්ශණය වූ එහෙත් අවියත් මඟ නොගත් වියත්හුද කළකිරීමෙනි.

මෙම දේශපාලන සංදර්භය තුළ විරවංශට රාජපක්ෂලා හැරගොස් නතරවිය හැකි තැනක් නැත. එක්කෝ කුක්කෙකු සේ නකුට දෙපරැන්ද අස්සේ ගසා ගෙන සිටිය යුතුය. නැත්නම් අලි පොරකන විට තැලෙන තණකොල බවට පත් විය යුතුය.

රදළවාදි දේශපාලනයකට ආ වඩා කීවාට ආයුබෝ වෙන්නේ නැත.

ප.ලි. ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලන අර්බූදය ඔඩු දුවා යුදමය මැදිහත්වීමක් විකල්පය ලෙස දැක්වෙන දේශපාලන වර්ධනයක් ඇතිවිය හැකිද, නැත්ද යන්න කීමට තවම කලු වැඩිය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya