iMage:asia.nikkei.com

වර්තමාන ගෝලීය දේශපාලනයෙහි ප්‍රධාන කතිකාවතක් ගොඩ නැගී ඇත්තේ මියන්මාරය කේන්ද්‍ර කරගෙනය. ඒ 2021 පෙබරවාරි 2 වන දින සිදු වූ හමුදා කුමන්ත්‍රණය නිසාවෙනි. මෙය නිදහසින් පසු මියන්මාර ඉතිහාසය තුළ සිදු වූ එකම හමුදා කුමන්ත්‍රණය නොවේ. බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව පැවති මියන්මාරය 1948 වර්ෂයේදී නිදහස ලබා ගත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද සමගය. එහෙත් එය 1962 වර්ෂයේදී අවසන් වන්නේ ජෙනරාල් යූ නේ වින්ගේ නායකත්වයෙන් සිදු වූ හමුදා කුමන්ත්‍රණයන් ය. අවුරුදු 26 කින් අනතුරුව පැන නැගුණු මහජන නැගිටීම් වල ප්‍රතිථිඵලයක් ලෙස සිදුවූයේ හමුදා පාලනය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් ප්‍රතිස්ථාපනය වීම නොව ජෙනරාල් යූ නේ වින් තම පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් වීම පමණි. එතැන් සිට ඇරඹි හමුදා පාලනය අවසන් වන්නේ 2015 වර්ෂයේ පවත්වන ලද මහ මැතිවරණය හරහා ය. එමෙන්ම මෙහිදී 2011 වර්ෂයේදී ක්‍රියාත්මක කරන්නට යෙදුණු යම් ආර්ථික මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාකාරීව වැඩ කොටසක් කළ බවද 2010 වර්ෂයේදී නිවාස අඩස්සියෙහි සිටි අවුන් සාන් සුකී නිදහස් කිරීම මෙකී ව්‍යුහාත්මක වශයෙන් සිදු වූ වෙනස්කම් කෙරෙහි උත්තේජකයක් වූ බවද ප්‍රකාශ කළ හැකිය.

නිදහසින් පසු මියන්මාර ඉතිහාසය සැකවින් එසේය. එකී ඉතිහාසය 2021 තරම් කාල වකවානුවකදී කවර ගණයේ අදාළත්වයක් උසුළත්ද? එය 2021 වර්ෂයට තරම් අදාලවන කාලයක් මෙතෙක් මියන්මාර ඉතිහාසය තුළ උදා වී නොමැත යන්න මාගේ අවබෝධයයි. 2021 වර්ෂයේ පෙබරවාරි 02 දින සිදු වූ මියන්මාර හමුදා කුමන්ත‍්‍රණය මියන්මාර ඉතිහාසයට නැවුම් අත්දැකීමක් නොවන්නේ උක්ත ඉතිහාසය මතය. මිලිටරි තත්මදව් පාලනයෙහි යටතට නැවත වරක් මියන්මාරය පත් වෙයි. නැවතත් වරක් මියන්මාර ජනතාවගේ ආධ්‍යාත්මික නායිකාව වන අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් වෙයි.

මෙකී ඓතිහාසික පුනරුක්තීන් තුළ මතු වන දේශපාලන සාකච්ඡාව ප‍්‍රධාන ආස්තානයන් තුනක් ඔස්සේ න්‍යාය ගත කිරීමට හැකි වීම මෙකී සිදු වීම් දාමයෙහි ඇති දේශපාලන වැදගත්කමයි.

පළමුව මෙකී මියන්මාර අර්බුධය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන්නේ කවර ආකාරයේ ප‍්‍රහාරයක් ද? යන්න සාකච්ඡා කළ යුතුව ඇත. දෙවනුව හමුදා පාලනය හෙවත් දැඩි නීති මගින් පාලනය වන සමාජයක්ය යන මතවාදයෙහි ප‍්‍රායෝගිකත්වය පිළිබදව වන සාකච්ඡාව ද තෙවනුව මෙකී තත්වයන් ලාංකේය දේශපාලන වේදිකාවට ගෙන ඒමෙහි වැදගත්කම පිළිබදව වන සාකච්ඡාව නිර්මාණය කළ යුතුව ඇත.

මියන්මාරය නැවතත් මිලිටරි පාලනයට නතු වීමෙහි ඇති දේශපාලන අර්බුදය කුමක්ද? යන්න මෙහිදී වැදගත් භූමිකාවක් ඉටු කරන්නකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවට වන චෝදනාව ගෝලීය බලවතුන්ගේ ඇමරිකාව ප‍්‍රමුඛකර ගත් පාර්ශවයෙන් එල්ල වන විට චීනය මිලිටරි පාලනයට සහය දක්වන බවක් හගවයි. උක්ත හමුදා කුමන්ත‍්‍රණය නිසා උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය ගෝලීය බල තුළනයෙහිද වැදගත් භූමිකාවක් ඉටු කරන බව නම් ඉතා පැහැදිලිය. නමුත් මෙහිදී අවධානය යොමු කළ යුතු කේන්ද්‍රීය කාරණය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම පිළිබදව වන ගැටළුවයි. එකී සිදු වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරිමක් ලෙසින් න්‍යාය ගත කිරීම ඉතා අසීරු කටයුත්තක් නොවේ. 2010 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක කරන්නට යෙදුණු මැතිවරණයන් හරහා මියන්මාරය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරිමේ ක‍්‍රියාවලියක් තිබූ බව පෙනෙයි. එකී ප‍්‍රවණතාවයන්ගේ උච්චත්වය සළකුණු වන්නේ 2015 හා 2020 මියන්මාර මහ මැතිවරණයන් හරහාය. 2015 දී මෙන්ම 2020 මැතිවරණයන්ගෙන් වාර්තාගත ජයග‍්‍රහණයක් අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වූ ජාතික ලීගය අත්පත් කර ගනියි. මියන්මාර හමුදා පාලනය විසින් උදුරා ගන්නේ එකී බහුතරයක් වූ මියන්මාර වැසියන්ගේ කැමැත්තය. එනයින් ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමක් වෙයි. ඒ පිළිබදව වන විවාදයක් නොමැති තරම්ය.

එහෙත් එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම පිළිබදව න්‍යායික හැල හැප්පීම සිදු වන්නේ අවුන් සාන් සුකී නම් මියන්මාර ආධ්‍යාත්මික නායිකාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි වන භාවිතයත් සමග ගළපන කල්හිය. එක්තරා යුගයක ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මියන්මාර ප‍්‍රති මූර්තිය ලෙසින් ගෝලීය ප‍්‍රජාව වටහාගන්නේ අවුන්සාන් සුකීය. මියන්මාර තත්මදව් පාලනයෙහි සිරකාරියක් ලෙස ඇය අවුරුදු 20 කට අධික කාළයක් ගත කරයි. නොබෙල් සාම ත්‍යාගය පවා ඇය උරුමකම් කියන්නීය. මෙකී හේතූන් මෙන්ම මිලිටරි පාලනයට දක්වන ජනතා ප‍්‍රතිවිරෝධයෙහි ප‍්‍රථිඵලය වන්නේ ඇය මියන්මාර ජනතාවගේ ආධ්‍යාත්මික නායිකාව බවට පත් වීමය. එය ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ භාවිතාවෙහි එක් පැතිකඩකි. එකී භාවිතාව ඇය කෙරෙන් දිස් වන්නේ ඇය 2015 මැතිවරණය ජයග‍්‍රහණයට පූර්වයෙනි. එහෙත් එකී අනන්‍යතාවය ඇය විසින් ප‍්‍රතිවිරෝධතාවයට ලක් කෙරෙන්නේ රෝහින්්‍යා සරණාගන්යන් පිළබදව වන මැදිහත්වීමෙහි දක්වන අසමත්කම නිසාවෙන්ය.

මෙහිදී අවුන්සාන් සුකී 2012 වර්ෂයේදී ගෝලීය ප‍්‍රජාව ආමන්ත‍්‍රණය කරමින් කරන ලද ප‍්‍රකාශයක් වැදගත් වෙයි. ඇය ප‍්‍රකාශ කරන්නේ ඇයගේ අරමුණ වන්නේ අවතැන් වූවන්ට පවා නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම බවයි. ලොව සෑම කොනක්ම අභයභූමියක් බවට පත් කළ යුතු බවයි. එය නිදහස හා සාමය රජයන ලෝකයක් විය යුතු බවයි.

ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වන පූර්ව මැදිහත්වීම් මෙන්ම 2012 දී කරන ලද ප‍්‍රකාශයන් දැවැන්ත ප‍්‍රතිවිරෝධයකට ලක් වන්නේ ද 2012 වර්ෂයේ පටන් ය. 2012 වර්ෂයේ සිට රෝහින්‍යා මුස්ලිම් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වන විටදී ය. 2013 වර්ෂය වන විට 140,000 කට අධික රෝහින්‍යා මුස්ලිම්වරුන්ට රට හැර යාමට සිදු වන්නේ නිර්මාණය වන වර්ගවාදී පහරදීම් නිසාවෙනි. මෙම කාලය වන විට අවුන්සාන් සුකී නිවාස අඩස්සියෙන් නිදහස්ව සිටින අතර ඇය මීට දක්වන්නේ සක‍්‍රීය මැදිහත් වීමක් නොවේ. එමෙන්ම මෙහිදී ඇයට එකී සංහාරයන් වැළැක්වීමට තරම් බලයක් නොවු බව ප‍්‍රකාශ කිරීම සාවද්‍යයක් වන්නේ ඇය 2010 මැතිවරණයෙන් ජයග‍්‍රහණය නොකළ ද ඉදිරිපත් වූ ආසන 45 න් 43 කම ජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වූ ජාතික ලීගය ජයග‍්‍රහණය කොට තිබුණු බැවිණි. ඇය එහිදී මැතිවරණ ජයග‍්‍රහණයක් නොකරන්නේ් ජනතාව අතින් ප‍්‍රතික්ෂේප වූ නිසා නොව ඇය සිරගතව සිටි පසු බිමක් තුළ ඇති වූ අසීරුකම් නිසාවෙනි. මෙකී තත්වයන් තුළ පැහැදිලි වන්නේ 2012 සිට ඇරඹි රෝහින්‍යා ගැටළුව කෙරෙහි මැදිහත් වීමට තිබූ හැකියාව ඇය හිතා මතා අත් හරින ලද බවයි.
එමෙන්ම අනෙක් අතට ඇය 2015 වර්ෂයේදී බලයට පත් වන අතර 2016 වසරේ සිට නැවත වරක් මතුවන රෝහින්‍යා ප‍්‍රශ්නය තුළදී ද සුකී පෙන්වන්නේ නිශ්ක‍්‍රීය ප‍්‍රතිචාරයකි. එමෙන්ම මෙහිදී ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වන මැදිහත්වීමෙහි ස්වරූපය පෙන්නුම් කරන්නට 2015 නොවැම්බර් මස පැවැත්වූ මහ මැතිවරණයද නිදර්ශනයක් වෙයි. එකී මැතිවරණය පවත්වන්නේ සිය දහස් ගණනක් වූ රෝහින්‍යා ප‍්‍රජාවගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කරමින්ය. එහිදී ද ඇය දක්වන්නේ ඉතා නිශ්ක‍්‍රීය මැදිහත්වීමක්ම ය. අනෙක් අතට ඇය බලයට පත් වීමෙන් අනතුරුව වුවද දක්වන්නේ එකී නිශ්ක‍්‍රීය මැදිහත්වීමම ය. මෙහිදී ඇය ගෝලීය වශයෙන් අපකීර්තියට පවා පත් වෙයි. විටෙක ඇය දළයි ලාමා තුමාගේ පවා දෝෂ දර්ශනයට ලක් වෙයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා දෝෂ දර්ශනයට ලක් වෙයි. එකී දෝශ දර්ශයනයන්ට ලක් වීමට ප‍්‍රතිපක්ෂව ගෝලීය දේශපාලන න්‍යාය පත‍්‍රයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක‍්‍රියාත්මක වන බවට වන තර්කය මෙහිදී අදාළ නොවන තත්වයක් නිර්මාණය කරන්නේ අවුන් සාන් සුකී එකී සංවිධානයෙහි ම ප‍්‍රශංසාවට ලක්ව සිටි නායිකාවක් වන බැවිනි. ඇය ගෝලීය බලවතුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මියන්මාර ප‍්‍රතිමූර්තිය වූ නිසාවෙනි.

2021 පෙබරවාරි සිදු වූ උක්ත හමුදා කුමන්ත‍්‍රණය එක් අතකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමකි. එය ජනවරමකින් බලයට පත් වූ ආණ්ඩුවක් කුමන්ත‍්‍රණයක් මගින් පැහැර ගැනීමයි. එය මහජන මතය උල්ලංඝනය කිරීමයි. එනිසාවෙන් එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වූවක් යන්න අවිවාදිතය. අනෙක් අතට පැහැදිලි වන්නේ උක්ත හමුදා කුමන්ත‍්‍රණය මගිින් පැහැර ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදව වන විශ්වාසය උල්ලංඝනය කළ නායිකාවකි. එනිසාවෙන්ම මෙකී හමුදා කුමන්ත‍්‍රණය සාධාරණීකරණයට ලක් කළ හැකිද? යන ගැටළුව පැන නොනගියි. එනිසාවෙන් අප ගත යුත්තේ කවර ආස්ථානයක් ද? මෙහිදීද අපට ප‍්‍රකාශ කළ හැක්කේ එකී හමුදා කුමන්ත‍්‍රණය සාධාරණිකරණයට ලක් කළ නොහැක්කක් වන බවයි.

එහෙත් මෙහිදී නිර්මාණය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් අප හදුනාගෙන ඇති නිර්වචනයෙහි ප‍්‍රතිවිරෝධතාවයයි. එක් අතකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු මහජන කැමැත්ත බවට නිර්වචනය කෙරෙයි. අනෙක් අතට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලෙසින් හදුනා ගන්නේ නන් වැදෑරුම් නිදහසයි. ජීවත් වීමේ අයිතිය, කථා කිරීමේ නිදහස ආදී මෙකී නොකී නන් වැදෑරුම් අයිතිවාසිකම් ය. නමුත් මියන්මාර ගැටළුව තුළ සිදු වන්නේ කුමක්ද? සාතිශය බහුතර ජනතාවක් විසින් උක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම අනුමත කිරීමයි. අවුන්සාන් සුකී බලයට පත් වීම තුළ පෙනෙන්නේ එකී ජන ප‍්‍රසාදයයි. මෙය අප තේරුම් ගන්නේ කෙසේද? යන ගැටළුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා න්‍යායාත්මක උභතෝකෝටිකයකට රැගෙන යයි. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතාව විසින් අනුමත කරන්නේ නම් එය අපට තේරුම් ගත හැක්කේ කෙසේද? යන්නයි. නමුත් මෙහිදී පුද්ගල නිදහස පිළිබදව වන සංවාදය මියන්මාරය පිළිබදව වන සංවාදය වෙනතකට හැරවීමට පවතින ඉඩකඩ නිසා එකී සංවාදය අනාගතයට පවරමින් මියන්මාර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි වන ප‍්‍රායෝගික එළඹුම කවර හැඩයක් මෙන්ම කවර දිශානතියක් ගත යුතුද? යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

”ඔබ හැප්පෙන්නේ වැරදි පරපුරත් සමගයි”

මියන්මාර වැසියාගේ දේශපාලන මැදිහත්වීමෙහි ස්වරූපය අද වන විට ලොවටම පෙන්වමින් සිටිති. ඔවුහු හමුදා පාලනයට එරෙහිව කොන්දේසි විරහිතය සටන් කරති. උක්ත පාඨය මියන්මාර ජනයා ප‍්‍රදර්ශනය කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ හමුදා පාලනයට එරෙහිව ඔවුන් තුළ ඇති කෝපයයි. එසේනම් මියන්මාර වැසියාගේ දේශපාලන එළඹුම සනිටුහන් විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ දිශාවටමය. හමුදා පාලනයට එරෙහිව වන විරෝධතා එළඹුම අනිවාර්ය සාධකයක් ලෙස වැදගත් වන්නේ එනිසාවෙනි. එය අවුන් සාන් සුකී වෙනුවෙන්ම වන මැදිහත්වීමකින් ඔබ්බට යාමේ අවශ්‍යතාවයයි. අවුන්සාන් සුකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ විශ්වාසය උල්ලංඝනය කළ පමණින් හමුදා කුමන්ත‍්‍රණය සාධාරණීකරණය කළ නොහැක්කේ එබැවින්ය. සිදු විය යුත්තේ ඉදිරියට ගමන් කිරීම මිස ආපස්සට ගමන් කිරීම නොවේ. හමුදා කුමන්ත‍්‍රණයට එරෙහි මියන්මාර වැසියාගේ අරගලය ප‍්‍රගතිශීලී වන්නේ එබැවින්ය. එකී අරගලයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු වන්නේ එබැවින්ය.

මතු සම්බන්ධයි………

ධනංජය දීඝායු | Dhananjaya Deegayu