කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ ජීවිත ගැලවුණි. වසර ගණන් සිර ගෙවල් සහ වධකාගාරයන්හි වද විඳීමෙන් ලද අත්දැකීම් අපේ ජීවිත වලට පරිණත බවක් එකතු කරනු ලැබීය.

හැත්තෑ එකේ අරගලය අපගේ ජීවිතවල සංධිස්ථානයක් වූවා මෙන්ම ලංකා ඉතිහාසයේ ද එක් හැරවුම් ලකුණක් සනිටුහන් කරනු ලැබීය. හැට ගණන්වල අග භාගයේදී අප දේශපාලන ක්‍රියාවන් වෙත ආකර්ෂණය වන්නේ, රටේ මෙන්ම එදා ලෝක දේශපාලනයේ ද බලපෑම හේතුවෙනි. ලෝකය අධිරාජ්‍ය විරෝධී විමුක්ති ව්‍යාපාරයන්වල ගිනිසිලු වලින් රත් වෙමින් පැවතුණු හැට ගණන්වල ලෝක දේශපාලන උණුසුම අප වෙත ළඟා වූයේ ළාබාල වයසේ ම ය.


කියුබානු විප්ලවයෙන්, වියට්නාම් යුද්ධයෙන්, ඒ වාගේම කොංගෝවේ විමුක්තිය අරගල නායකයා වූ ලුමුම්බා මරා දැමීම ආදී දේවල් අපේ ජීවිත වලට යම් බලපෑමක් ඇති කරනු ලැබුණි. ඉන්දුනීසියානු විමුක්තිකාමීන් මරා දැමීම ආදී දේවල් පිළිබඳව එදා අපට දැනුමක් ලැබීම, අද මෙන් ලෝකය ලඟ නොව දුර තිබූ අවධියක, අන්තර්ජාල, සමාජ වෙබ් අඩවි හෝ එවැනි මාධ්‍යයන් නොතිබූ අවධියකය. එය පුදුම සහගතය.

බොහෝවිට අප්‍රේල් අරගලය ගැන හැඳින්වීමේදී එය වගකීම් විරහිත ළාබාල තරුණයින්ගේ හිතුවක්කාරි නැගිටීමක් ලෙස සමහරුන් හුවා දැක් වූවා වුවත් අප්‍රේල් අරගලය ඇති වන අවදියේ ලෝක තත්ත්වය දෙසට මොහොතක් හිත යොමු කළොත් අප්‍රේල් නැගිටීම ඉබාගාතේ ගිය ගමනක් නොවන බව වැටහෙනු ඇත. එදා ලෝකය පුරා තරුණ අරගල මතුවෙමින් තිබු අවදියකි. චෙකොස්ලොවැකියාවේ ඩුබ්ෂෙක් ලාගේ නායකත්වයෙන් ඇති වූ ප්‍රාග් වසන්තය, එමෙන්ම පැරිසියේ සහ බර්ලිනයේ ශිෂ්‍ය නැගිටීම්, පිලිපීනයේ, මැලේසියාවේ හෝ තායිලන්තයේ තරුණ නැගිටීම් ආදී බොහෝ දේ පිළිබඳව එදා අප දැනුවත් ව සිටියෙමු. පැරිස් සිසු නැගිටීම්වල සටන් පාඨයක් අපි එදා අපේ සටන් පාඨයක් කරගත්ත හැටි මට හොඳට මතකය. බඩල්ගම හන්දිය මහ පාරේ එදා අප ලියූ සටන් පාඨයක් වූයේ, පැරිස් සිසුවන්ගේ සටන් පාඨයක් වූ “අන්තිම ධනපතියාත්, අන්තිම අධිරාජ්‍යවාදියාත් ලාම්පු කණුවල එල්ලා දමන තුරු ජනතාව සතුටු නොවනු ඇත”. කෙසේ හෝ මා මෙයින් අදහස් කරන්නේ එදා අප අරගලයකට මැදි වන්නේ ලෝකය පුරාම තිබූ ප්‍රවණතාවයන් සමග එක්තරා හෝ අනුගත වීමක් සමඟින් බවයි.

එදා අප්‍රේල් කැරැල්ලේදී මට පැවරුන වගකීම වූයේ යාපනය හිරගෙදරට පහරදෙන කණ්ඩායම සමග එම පහර දීමට සහභාගි වීමයි. අසාර්ථක පහරදීමකින් පසුව අප්‍රේල් 6 වෙනි දා උදේ මාත් ඇතුළු කණ්ඩායම හමුදාවන්ට යටත් වනුලැබීය. එදා යාපනයේ පොලිස් අධිකාරී සුන්දරලින්ගම් මහතාට පිංසිදු වන්නට අප ජීවිත නොබේරුනානම් අපවද අප්‍රේල් විරුවන් ලෙස සැලකෙනවා මිස, පසුකල ඔවුන් අපව හැඳින්වූ අයුරින් “ද්‍රෝහියකු” ලෙස නොහැඳින් වෙනවා ඇත. ඉන්පසු හිරගෙවල් සහ රහස් පොලිස් වධකාගාරවල වසර 6කට වැඩි කලක් ගත කිරීමට සිදුවිය.

නිදහසින් පසු වසර විස්සක් ගත නොවී තිබූ අවධියක, නිදහස් ලංකාවේ දේශපාලන නායකයින්ගේ නොහැකියාව, සහ වුවමනාවක් නැතිකම, ළාබාල අවධියේම අප වටහා ගනිමින් සිටියෙමු. නිදහස සහ විමුක්තිය යන වචන අපගේ මනස් තුළ පැළපදියම්ව තිබූණි.

තරුණ ජවය, ලොව වෙනස් කිරීමට අපට ඇති හැකියාව ගැන තිබූ සීමාව ඉක්මවාගිය විශ්වාසය, ඒවාගේම අපතුළ වූ කැපවීම, 1971 අප්‍රේල් අරගලය සූදානම් කිරීම සඳහා අපට මග පෙන්වනු ලැබීය.

හැට ගණන්වල මැද වන විට විවිධ දේශපාලන කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. මේ කණ්ඩායම් වලින් වැඩි හරියක් බිඳී ආවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ තුළිනි. අප බොහෝ දෙනකු චීන පිළ ආශ්‍රිත දේශපාලන ආභාෂය ලැබූ අය වෙති. ඒනමුත් කියුබානු විප්ලවය ද අපට ජවයක් ලබා දී තිබුණි.

එදා අපි ළාබාල උනත් අපේ අරමුණු ළාබාල වුයේ නැත. ලෝකය පුරාම අධිරාජ්‍යවාදය තම නග්න අඬු විහිදුවා තිබූ අවදියක, ඒ වගේම බලවතුන් ගේ බලයට සියල්ල යටපත් කර තිබුණු අවධියක, ඊට එරෙහිව නැඟී සිටින්නට සිතන සිතිවිල්ලම ළාබාල එකක් නොව පෞර්ෂයකින් යුතු එකකි. ඒ අරමුණ ඉටු කරගන්නට අප ගත් ක්‍රියාමාර්ග හරි ද වැරදි ද, ඒවා කොපමණ දුර්වල ද, ආදිය ගැන අප වෙනම කතාකල යුතුය. ඒගැන අපටමත් එදා ප්‍රශ්න නොතිබුණා නොවේ. ඒත් සමාජයක ඇති අසාධාරණය නැති කිරීම සඳහා සටන් වැදීම, ඒ සඳහා ඉදිරිපත් වීම, ඒ සඳහා දිවි නොතකා කැපවීම, මම අදටත් දකින්නේ උසස් ක්‍රියාවක් ලෙසිනි. ඒ මිනිස් සංහතියේ සහ සභ්‍යත්වයේ වර්ධනයේ සහ දියුණුවේ ගමන් මඟ අද වනතුරු රඳා පවතින්නේ එසේ කැපවීමෙන් නැගිසිටි මිනිසුන්ගේ ව්‍යායාමයන්ගේ ප්‍රතිඵල ලෙසින් නිසාවෙනි.

අද වනවිට මට ලෝකයේ විවිධ රටවල් වල විමුක්ති ව්‍යාපාර සමග සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඒවා සමග අදහස් හුවමාරු කර ගැනීම තුළින් එදා හිටියාට වඩා දැනුම් සම්භාරයක් එක්වී තිබේ. ලොව කොතැනක වුවත් වැදගත්ම කාරණය වෙන්නේ සමාජ අසාධාරණයට විරුද්ධව, නොබියව සටන් වදින්නට ඉදිරිපත් වීමයි. ලොව ඉදිරියට ගෙනයන්නේ එසේ සටන් වදින මිනිසුන් වෙති. අදටත් මට ලංකාවේ උතුරේත් දකුණේත් දෙකේම අසාධාරණයට එරෙහිව ඉදිරිපත්වෙන සෑම කෙනෙක් ගැනම තිබෙන්නේ ගෞරවයකි. නමුත් එයින් මට ඒ අයට විවේචනයක් නැතැයි කියා මං අදහස් නොකරමි. අපිට එදා “කජුකිරි කල්ලිය” “සී.අයි.ඒ.කෙමනක්” වැනි අපහාස නොකර හරි විවේචනයක් දෙන කෙනෙක් හිටියා නම් සමහරවිට අපිට සමහර වැරදි හදාගන්න ඉඩ තිබුණි.

අනිත් කාරණය තමයි මට අදටත් අපි ගැන තියෙන විවේචනය. මෙතනදි මම අදහස් කරන්නේ අපි යනුවෙන් 1971 දී ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සාමාජිකත්වයයි. බොහෝ දේවල් පිළිබඳ දැනුම තිබුනා වුවත්, නිදහස් මිනිසුන් ලෙස සිතීමට හැකි මිනිසුන් බිහිකිරීමට අප සංවිධානය විසින් ක්‍රියාදාමයන් සකස් කර නොතිබීම, මෙය දිගින් දිගටම ගමන් කිරීම හේතුවෙන් විශාල හානියක් දේශපාලන ව්‍යාපාරයට වාගේම අපේ සමාජයටත් සිදුව තිබේ. විවෘත මිනිසුන් බිහි කිරිම යනු ප්‍රජාතාන්ත්‍රික මිනිසුන් බිහිකිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී නොවුන සමාජයකට, ප්‍රජාතන්ත්‍රවාදී නොවුන මිනිසුන්ට, ඉන් එපිට ට ගිය ඉදිරිගාමී සමාජයක් බිහිකල නොහැකි බව මගේ වැටහීමයි.

ලංකා සමාජය විවෘත සමාජයක් නොවන අතර, ‍ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මිනිසුන්ගෙන් හීන සමාජයකි. රට එදා තිබූ තත්ත්වයටත් වඩා ඇහුරුණු මානසික මට්ටමක, සීමිත සීමාවන් ඇතුළත හිරවුන සමාජයක් අද පවතින බව මගේ වැටහීමයි. ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් බිහි නොකළ සමාජයක විමුක්තියක් ඇතිවීම සිදුනොවන දෙයකි. යම්කිසි දේශපාලන ව්‍යාපාරයක් රටෙහි බලය ලබාගත්තා වුව ද, එම දේශපාලන ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් නොවන්නේනම් එතැන බිහිවන්නේ ඒකාධිපති අත්තනෝමතික පාලනයක් හෝ වැඩවසම් පාලනයක් පමණි. දේශපාලන ව්‍යාපාර තුළ ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් ගොඩනැගී නැත්නම්, විවිද අදහස් සහ මතවාදයන්ට එම දේශපාලන ව්‍යාපාර තුළ ඉඩ නැති වෙන්නේ නම්, එම ව්‍යාපාරය මෙන්ම එහි සාමාජිකත්වය දියුණුවක් නොලබනු ඇත. “සෑම විටම නිදහස යනු වෙනස්ව හිතන අයට තම මතය දැරීමට ඇති නිදහසයි” කියා එදා රෝසා ලක්සම්බර්ග් පැවසුවේ ඒනිසාවෙනි.

බොහෝ විට මට හිතෙන්නේ ලංකා සමාජය වැඩවසම් මානසික බැමිතුළ හිරවී සිටින සමාජයක් බවයි. මේ හේතුවෙන් දේශපාලන පක්ෂවල නායකයන් කෙරෙහි සාමාජිකත්වයට ඇත්තේ අන්ධ භක්තියකි. ඒ නිසා ඔවුන් තම නායකයන් අන්දානුකරනයෙන් අනුගමනය කරති. ඔවුන්ගේ ඕනෑම වරදක් සාධාරණිය කරති. මෙය අඩු වැඩි වශයෙන් සෑම පක්ෂයකටම (වමේ පක්ෂ ඇතුලුව) පොදුය. තත්වය එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු වූ සමාජයක් සඳහා අපට ඇත්තේ දුර ගමනකි.

එදා 1971 අප්‍රේල් නැගිටීමෙන් පසු හිරගෙවල්වල හිරවී සිටි අපත්, අද ලංකා සමාජයත් අතර විශාල සමානකමක් ඇතැයි මාගේ වැටහීමයි. එදා අසාර්ථක සටනකින් පසුව අප එම වැරදිවලින් ඉගෙනගෙන නැවත එම වැරැද්ද නොවීමට වග බලාගැනීමට අසමත්වීම, මගහැරීම සහ උවමනාවක් නොවීය. ඒ අපි අපේ වැරදි දැකීමට අකමැති වීම නිසාවෙනි. අපි අපේ වරද අන් අයමත පැටවීමට උත්සාහ කලෙමු. අපේ වරද අපි මාඕ සේතුන්ලා හෝ වෙන අය මත පැට වූයෙමු. වැරදි නිවැරදි කර ගැනීමක් ගැන සිතීම පවා ප්‍රතික්ෂේප කළෙමු. එහි වන්දිය ඉන්පසු පරම්පරාවට පොලී සමග ‌ගෙවීමට සිදුවිය. අද ලංකා සමාජ දේශපාලනය ද, එදා අපේ හරස් කඩක් වැනිය. අප රට තුළ ඇති දේශපාලනයේ දී තමන්, දේශපාලන බලධාරීන්, කරන වැරදි ඔවුන් ලෝකයේ අන් මිනිසුන් මත පටවන්නට උත්සාහ කරමින්, පටවමින් තමන්වත් රටත් රවටමින් සිටී. තමන්ගේ සෑම වරදක්ම විදේශ කුමන්ත්‍රණ න්‍යායක් තුළ හිරකර දමයි. නමුත් වරද ඇත්තේ තමන් ලඟ හෙයින් ඒ සඳහා මුලු රටකටම ඉදිරියේ වන්දි ගෙවීමට සිදුවනු නියතය.

දේශපාලන හේතූන් නිසාවෙන් ම රටතුළ ජිවත් වීමෙන්, මගේ ජීවිතයට හානියක් වීම වළක්වා ගැනීම මුල් කරගෙන එදා මා රට හැර යන්නේ ජාත්‍යන්තර දේශපාලනයෙන් යම්කිසි වැඩ කොටසක් ඉගෙනගෙන වසර 5ක් වැනි කාලයකදී රටතුළ තත්වයන් හොඳ වනවිට නැවත ලංකාවට යන බලාපොරොත්තුව මුල්කර ගෙනයි. නමුත් ඒ තත්වය තවතවත් බැරෑරුම් වූ අතර, එදා මා සමග ගුවන්තොටට පැමිණි දේශපාලන මිතුරන් ගණනාවකටම දේශපාලන හේතූන් නිසාවෙන්ම ජීවිත ද අහිමි විය. එදාසිට අද වන තුරු වසර හතළිහකට වැඩි කාලයක් ගත වී ගොස් ඇති අතර, මගේ පිටුවහල් ජීවිතය අද දක්වාම ගත වී ඇත්තේ දේශපාලන ක්‍රියාදාමයන් මුල් කරගෙනයි. තවත් අපට ඉතුරුව ඇත්තේ අප ජීවිතවල ඉතා කෙටි කාලයක් බව මම හොඳින් දනිමි. එදා 1968දී එම අරගලකාරී දේශපාලනයට එක්වන මම, ඒ සඳහා ඉදිරිපත් වන්නේ අසාධාරණය නැති කිරීමත්, සාධාරණ සමාජයක් ගොඩනඟා ගැනීමේ අරමුණ මුල් කර ගෙනය. මම අද දකින ආකාරයට එදා තිබූ ප්‍රශ්න, එදාටත් වඩා වැඩි ප්‍රමාණයක් අද වන විට ලංකා සමාජය තුළ මුල් බැසගෙන ඇත. එසේනම් එදා මා එයට විරුද්ධ වූවා මෙන්ම, අද ද මට එයට එරෙහිව කටයුතු කිරීම සිදුව තිබේ. යටපත් කිරීම සැබෑවක් ව ඇති ඕනෑම සමාජයක එයට එරෙහිව නැගී සිටීමට මිනිසාට ඇත්තේ අනිවාර්ය අයිතියක් බව මම විශ්වාස කරමි.

බර්ටි රංජිත් හේනායකආරච්චි | Berty Ranjith Henayaka Arachchi