නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ කතා කරන එක හොඳයි. ඒකෙ පැති ගණනාවක් තියෙනවා.” ඉන්පසුව “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන්” ලැබෙන අද්භූත දැනුමෙහි සත්‍ය, අසත්‍ය බව මැනිය හැකිද, නොහැකිද යැයි නොපවසන එතුමා මෙසේ පවසයි .
“කවුරු හරි කිවුවොත් තමන්ට දෙවියන්ගෙන් හරි භූතයකුගෙන් හරි දැනුම ලැබෙනව කියල අපි එය විශ්වාස කරන්නෙ කොහො ම ද? ඕනෑම හොරෙකුට තමන්ට දෙවියන් සම්බන්ධ යැයි කියමින් අනෙක් මිනිසුන් රවටන්න බැරි ද? මේ ලියාපදිංචි නැති දැනුම අප විශ්වාස කරන්නේ කෙසේ ද?” ඇත්ත වශයෙන්ම මෙම ප්‍රශ්ණ ඇසිය යුත්තේ අපය. උත්තර දිය යුත්තේ එතුමාය. ඉන්පසු එතුමා මෙම ප්‍රශ්ණ වලට පිලිතුරු නොදී ආඳෙකු සේ ලිස්සා යයි. ඔහුම ඇසූ ප්‍රශ්නවලට උත්තර නොදී ලිස්සා යන එතුමා “එහෙත් ධම්මික වෙද මහතා හරි ප්‍රියන්තා සේනානායක මහත්මිය හරි වෙද මහතකු වෙද හාමිනේ කෙනකු ලෙස පිළිගැනෙන්නේ කෙසේ ද? එය සහතිකවලින් තීරණය කරන්නක් නො වෙයි. එය සමජයීය ප්‍රශ්නයක්. අපි ඒ කරන්නේ කෙසේ ද යන්න පසුව සාකච්ඡා කරමු. දැනට වෙනත් ප්‍රශ්නයක් කතා කරමු.” යැයි පවසයි. පසුව සාකච්ඡා කරමු යැයි දෙවැනි වරටද ලිස්සා යමින් කල්තබන මාතෘකාව එතුමා පසුගිය වසර තිහ තුලම කල්තැබූ දෙයකි.
නලින් ද සිල්වා මැතිතුමා හැමවිටම යම් කරුණක් සම්බන්ධව කථාකොට, පවත්නා ක්‍රමවේදයන් විවේචනය කරයි. එහිදී ඔහු කපටි ලෙස විවේචනය කරන්නේ බටහිර ක්‍රමවේදයන් පමණි. පෙරදිග සැබෑ විද්‍යාවන්හි දැනුම මැනීමට ක්‍රමවේදයන් ඇති බව නොකීමට එතුමා ප්‍රවේසම් වෙයි. ඉන් පසුව ඔහු දැනුම මැනීමේ සියලු ක්‍රමවේදයන් ගැන සැකයක් කියවන්නා තුල ඇතිකරයි. අවසානයට ප්‍රියන්තා මහත්මිය හා ධම්මික මහතා වැන්නන්ට “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන්” ලැබී ඇතැයි පවසන “දැනුම” සත්‍යය විය හැකි යයි ව්‍යංගයෙන් පවසයි. අපට ඒ මැනිය නොහැකි දැනුම පිළිගැනීමට බල කරයි. එතුමාගේ සෑම තර්කයක්ම අවසාන වන්නේ අගක් මුලක් නැති අපබ්‍රංශයකිනි. එතුමා එතුමාගේ ක්‍රමය අනුව සැබෑ දැනුම, බොරු දැනුමෙන් වෙන්කර ගන්නේ කෙසේදැයි කිසිවිටකත් නොපවසයි. ව්‍යාකූල වාක්‍ය සමුදායකින් එතුමා කියන්නේ දැනුම කළමනාකරණය කිරීම අවශ්‍ය නොවන බවයි.
බුදු දහම හා ඉතිහාසය ගැන අල්ප දැනුමක් ඇති නලින්වාදීන්ට කරුණු කිහිපයක් කියා දීමට අපි කැමැත්තෙමු. පෙරදිග රටවල දැනුම පැතිරුනේ බටහිරට වඩා බොහෝ කලකට පෙරය. ඉන්දියානු උප මහාද්වීපයෙහිත්, චීනයේත් විවිධ විද්‍යාවන් දියුණු වුයේ වසර දහස් ගනනකට ඉහතයි. එකල ඉන්දියාවේ නාලන්දා වැනි සුවිසල් විශ්ව විද්‍යාලද, ලංකාවේ දහස් ගණන් භික්ෂුන් ඉගැනුම ලැබූ විශාල පිරිවෙන්ද පැවතිනි. ඒ හැරුනු කල ඇතැම් ස්ථාන වල ආයුර්වේද පාසල් හා විශ්ව විද්‍යාල පිහිටුවා තිබුණි. පෙරදිග දැනුම වාචිකව ගුරු පරපුරු ඇසුරෙහිද, ලිඛිතවද පැවතිනි. ස්මරණය කිරීමේ ක්‍රම, භාවනා ක්‍රම හා වාද විවාද ඇසුරෙන් එම දැනුම උද්දීපනය කෙරිණි. පෙරදිග ඇති ගුප්ත නොවන විද්‍යාවන්හි හා දර්ශනයන්හි ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද ? එනම් එම දැනුම අන් අයට පරීක්ෂා කිරීමට හැකි වීමයි. බුදුරජාණන්වහන්සේ වදාළ දහමෙහි ඇති මෙම ගුණය හදුන්වන්නේ “ඒහි පස්සික” (එව බලව) ලෙසයි.
නලින් ද සිල්වා මැතිතුමා දැනුම මැනීමේ ක්‍රම හඳුන්වා දීම ගැන බටහිරට මෙසේ දෙස් දෙවොල් තබයි. “මා ලියාපදිංචි දැනුම වශයෙන් සලකන්නේ සහතික පත් ලද්දවනුන්ගේ දැනුමයි. එය ලන්දේසින් හා පසුව ඉංගිරිසින් තමයි අපට හඳුන්වා දී තියෙන්නෙ. මා කියා ඇති ඉංගිරිසින් ලෝකයක් පාලනය කෙළේ දැනුම කළමනාකරණයෙන්. ලියාපදිංචි දැනුමත් ඒ කළමනාකරණයේ කොටසක්.” මෙසේ බැනවැදීමෙන් ඔහු කරන්නේ ඔහු විශ්වාස කරන ගුප්ත දැනුම මැනිය හැකිදැයි යන වැදගත් ප්‍රශ්නයෙන්, ලිස්සා යාමයි.
පෙරදිග විශිෂ්ට විද්‍යාලයන්හි, ගුරුකුල වල විවිධ දැනුම් පිරික්සුම් ක්‍රමවේදයන් තිබුණි.බටහිරයන්ට ප්‍රථම දැනුම මැනීමේ ක්‍රමවේදයන් ඇතිකළේද සහ දැනුම කලමනාකරණය කලේද පෙරදිගය. එවන් දැනුම් පිරික්සුම් වේදයන් ගැන නොදන්නා හෝ අමතක කරන නලින් ද සිල්වා මැතිතුමා සහතික පත් නිකුත් කිරීම ගැන බටහිරට බැනවදියි. සහතික පත් නිකුත් නොකලත්, පෙරදිග විශිෂ්ට විද්‍යාවන්ගේ දැනුම කලමනාකරනය වසර දහස් ගණනක වැඩි අතීතයට දිවයයි. බොහෝ විට එම දැනුම් පිරික්සුම් ක්‍රමවේදයන් වාචික ක්‍රමයට පැවැත්විණි. ඇතැම් විට ලිඛිත ක්‍රමයන්ටද මෙය පැවැත්විණි. ගුරු ඇසුරෙන් කරුණු හැදෑරීම පෙරදිග අධ්‍යාපනයෙහි මුලික අංගයක් විය.භික්ෂුවක් ස්වාධින ලෙස හැසිරීමට ප්‍රථම වස් කාල පහක්, එනම් පස්වසරක් ගුරු හිමියෙකු යටතේ සිටිය යුතුය. ආයුර්වේදයේද වෛද්‍ය විද්‍යාව ඉගැනගනිමට බොහෝ කලක් ගුරු ඇසුරේ එම විද්‍යාව උගත යුතු විය. පාරම්පරික හෙළ වෙද ගෙවල් වලද ගෝලයන් අවුරුදු ගණන් පුහුණුව ලැබිය යුතුවිය. මේ සියල්ල සාක්ෂාත් කලේ පුහුණුව ලබන සිසුවන් ස්වාධීනව කටයුතු කිරීමට ප්‍රථම දැනුමෙන්, ගුණධර්මයන් ගෙන් පිරිපුන් පුද්ගලයන් බවට පත්කිරීමයි.මතු බුදු වන නාථ දෙවිඳුන් තමන්ට දැනුම දුන් බවත්, එම දැනුම අන් කිසිවෙකුට නොපවසන ලෙස දෙවිඳුන් තමාට පවසා ඇති බවත්,කී සැනින් ශිෂ්‍යයන්ට ස්වාධීනව කටයුතු කල නොහැකි විය.
පෙරදිග මෙම විශිෂ්ට විද්‍යාවන් පිරිහීමට පත්වුයේ බටහිරයන් පෙරදිගට පැමිණීමට බොහෝ කලකට ප්‍රථමය. මෙම විනාශය ඇරඹුණේ පෙරදිගින්මිනි. ඒ විවිධ හේතු නිසාය.දහවන සියවසේ චෝළ ආක්‍රමණ නිසා අනුරාධපුරයේ තිබූ සුවිශාල ආරාමයන්වූ පිරිවෙන් බිඳවැටිණි. දුර්වල මට්ටමෙන් පොළොන්නරුවේ ඉතිරිවූ අධ්‍යාපන ක්‍රමද කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා දහතුන්වන සියවසේදී නැතිවිනි. අන්තවාදී හින්දු භක්තිකයෙකු යැයි සලකන වූ කාලිංග මාඝ පුස්කොල පොත් ලිහා දමා ගිනිබත් කල බව මහා වංශයේ සඳහන් වෙයි. ඉන්පසු ලංකාවේ පිරිවෙන් ක්‍රමය පැවතියේ දුර්වල ලෙසය. උතුරින් පැමිණි ඉස්ලාම් භක්තිකයන්ගේ ආක්‍රමණ නිසා උතුරු ඉන්දියාවේ අධ්‍යාපන ආයතන බිඳ වැටුණි. දොළොස්වෙනි සියවසේ ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණි භක්තියාර් කුල්ජි නම් ඉස්ලාම් ආක්රමණිකයා උතුරු ඉන්දියාවේ පැවති සියලුම බෞද්ධ හා හින්දු අධ්‍යාපනික ආයතන ගිනිබත් කළේය. නාලන්දාහි පැවති විශාල බෞද්ධ විශ්ව විද්‍යාලයෙහි සියලුම භික්ෂුන් මරාදැමූ ඔහු, එතැන තිබු දස දහස් ගණන් පොත් පත් ගිනිතැබුවේය. එම පොත් කන්ද ගිනිගෙන අවසාන වීමට තුන් මසක් ගතවූ බව පැවසේ. චීනයේ අධ්‍යාපන ආයතන බිඳවැටුණේ අභ්‍යන්තර වියවුල් නිසාය. ෂෙන් හේ නැමති සුප්‍රසිද්ධ දේශාථකයාගේ සංචාර පිලිබඳ සියලු ලියැවිලි 15 වෙනි සියවසේ දී චීන අධිරාජ්‍යයාගේ අනින් ගිනිබත් විනි.
දහසය වෙනි සියවසේ යුරෝපීය ආක්රමිකයන් පැමිණියේ දේශපාලනික හා සංස්කෘතික වශයෙන් දුර්වල ආසියාවකටයි. උදාහරණයක් ලෙස පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට මෙහි ප්‍රධාන රාජධානි තුනක් සහ කුඩා රාජධානි දහඅටක් පැවතිනි. අනුරාධපුර යුගයේ මෙන් දහස් ගණන් භික්ෂුන් ඉගනුම ලැබූ පිරිවෙන් නොතිබිණි. මෙවැනි දුර්වල ආසියාවකට පැමිණි යුරෝපීයයන් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රම මිස, ඉතිරිව තිබු ආසියානු අධ්‍යාපන ක්‍රම දියුණු කිරීමට උත්සාහ නොගත් බව සැබෑවකි. බටහිර ජාතීන් පෙරදිගට පැමිණ, ඉතිරිව තිබු ක්‍රමවේදයන් විනාශ කල බවද සැබෑවකි. ඒ ආක්රමණිකයන්ගේ ස්වභාවයයි. මේ ඉතිහාසය කුමක් වුවත් අද අප ජීවත් වන්නේ 21 වෙනි සියවසේය. අද අවශ්‍ය වන්නේ 21 වෙනි සියවසට සරිලන දැනුමයි. 21 සියවසට සරිලන දැනුම මැනීමේ ක්‍රමයි. අද දින ජීවත් වීමට අප දරුවන් පරිගණක විද්‍යාව,ඉලෙක් ට්රොනික විද්‍යාව වැනි නවීන විද්‍යාවන් ඉගැනුම අවශ්‍යය වේ. සියලු විෂයන්හි දැනුම සීග්‍රයෙන් අලුත් වේ.මෙවන් නවීන දැනුම් මැනීමේ පෙරදිග ක්‍රමවේදයන් මොනවාද?
දැනුම කලමනාකරණය කිරීම ගැන බටහිරට බැනවැදී පලක් නැත. දැනුම මැනීමේ ක්‍රමයක් නැතිනම් දැනුමෙන් නොදැනුම වෙන්කර ගත නොහැක.දැනුම මැනීමේ කිසිම ක්‍රමවේදයක් සම්පුර්ණ නොවේ. එසේ නමුත් දැනුම මැනීමේ ක්‍රමවේදයන් අවශය නැතැයි පැවසීම විහිළුවකි.නිතර විභාග ක්‍රමවේදයන් වෙනස් කරන්නේ හැකි තරම් දුරට දැනුම මැනීමේ ක්‍රමවේදයන් විශිෂ්ට කරගැනීමටය.
එනමුත් නුගතකු ගෙන් උගතෙකු වෙන්කර ගැනීමේ එකම ක්‍රමවේදය විභාග වලට මුහුණදී, ඒවායින් සමත්ව සහතික පත් ලැබීම පමණක් යැයි, බටහිරයන් හෝ පෙරදිගයන් පවසා නැත. විසිවන සියවසේ ලංකාවේ පහලවූ, බොහෝ විෂයයන් පිලිබඳ ප්‍රමාණික දැනුමකින්, මත පලකල විද්වතෙක්වූ මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා ඉගෙන තිබුනේ ඉංග්‍රීසි පාසලේ පහ වසර දක්වා පමණි. බටහිර විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබුවද, තමන් කථා කරන කිසිදු විෂයයක් ගැන ගැඹුරු දැනුමක් නැති, කියවූ අල්ප දෙයද හරිහැටි වටහා ගෙන නොමැති, නලින් ද සිල්වා මැතිතුමා හා එතුමා අතර වෙනස අහසට පොලව මෙනි. ලංකාවේ මෙතෙක් පහලවූ ශ්‍රේෂ්ටතම පුරා විද්‍යාඥයා වූ සෙනරත් පරණවිතාන මහතා සරසවියකින් මුලික උපාධියක් ලද්දෙකු නොවීය. මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් හාවඩ් සරසවියෙන් අසමත් වුවෙකු විය.එනමුත් මේ කිසිවෙකුට ඔවුන් සතු දැනුම් හදිසියේ පහල නොවීය.ඔවුන් පතපොත් කියවා,අසා, පුහුණුව ලබා,උගතුන් ඇසුරුකොට කරුණු ඉගෙන ගති. ඉන් පසු තමන් උගත් කරුණු මැනවින් අවබෝධ කර, මනස යොමුකොට නව මත,නිමැවුම්,සොයාගැනීම් සිදුකොට සමාජයේ බුහුමනට ලක්විය. යමක් පිළිබද අවබෝධය හා දැනුම හදිසියේ පහළ වන්නේ නම් සිදුහත් කුමරු නේරංජනා නදියෙන් එතරවූ සැනින් බුද්ධත්වය ලබනු ඇත. උන්වන්න්සේ ගුරුවරුන් ඇසුරු කරමින්, තමන් උගත්දේ නැවත නැවත මෙනෙහි කරමින් සියලු දෙය ගැන ප්‍රඥාවෙන් බලා බුද්ධත්වය ලැබුහ.
නලින් ද සිල්වා මැතිතුමාගේ විරුවන් වන ධම්මික බණ්ඩාර මහතා හෝ ප්‍රියන්තා මහත්මිය කිසිදු ආකාරයක ඉගනුමක් හෝ පුහුණුවක් බටහිර,පෙරදිග හෝ ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලබා නොමැත. ඔවුන්ට එම දැනුම හදිසියේ පහලවී ඇත. එය කිසිවෙකුට පිරික්සිය නොහැක. එම දැනුමෙහි “එහි පස්සික” ගුණය නැත.”මනුෂ්‍යයන් නොවන ප්‍රාණීන්” විසින් ලබා දෙන්නේ යැයි නලින් ද සිල්වා මැතිතුමා පවසන පිරික්සිය නොහැකි දැනුම අයිති වන්නේ ගුප්ත විද්‍යා ගණයටය. මෙවැනි ගුප්ත විද්‍යා බුදුදහමෙහි හැමවිටම පිලිකෙවූ කෙරිණි. බුදු දහම ගැන පඬි වදන් පැවසීමට පළමුව තුනුරුවන් ගාථාවන් හරිහැටි ඉගෙනගෙන “ඒහි පස්සික” යන්නෙහි අරුත වටහා ගන්නා ලෙස අපි නලින්වාදීන්ගෙන් ඉල්ලා සිටිමු.
සත්‍ය කරුණක් හා ප්‍රබන්ධයක් අතර ඇති වෙනස සත්‍යයක් ඔප්පුකිරීමට සාක්ෂි ඇතිබවයි.මෙම සාක්ෂි ගැන ඇති විශ්වාසය නලින් වාදීන් ඔවුන්ගේ මතවාදය තුලින් නැති කරයි. නලින් වාදීන් දැනුම මැනීමේ ක්රමයන් හා සාක්ෂි ගැන පිලිකෙවූ කරන්නේ අප විසින් මීට පෙර ලිපියෙන් බිඳ දමන ලද බහුබූත චතුස්කෝටික තර්කයේ එල්ලී ගෙනය. එම තර්කයට අනුව යමක් සත්‍යයක් දැයි දැනගැනීමේ ක්‍රමවේදයක් නැත.එම ක්‍රමවේදයන් විස්වාශනීය නැත.එම නිසා දැනුම මැනීමට අවශ්‍ය නැත.මෙවන් මතයක් ජනගතවූ සමාජයක් සත්‍යය හා අසත්‍යය, මිත්‍යාව හා විද්‍යාව, සැබෑ කරුණු හා ප්‍රබන්ධය අතර වෙනස හඳුනා ගත නොහැකිව අතරමංවේ. අද ලංකාවට සිදුව ඇත්තේ එයයි.
අද ලංකාවේ නුගතුන් එක් රැයෙන් උගතුන් බවට පත්වේ.ඕනෑම නුගතෙකුට කිසිදු පොත් පතක් නොකියවා, පුහුණුවක් නොලබා, පඬිවදන් පල කල හැක. ඔවුන් කලයුත්තේ පවතින දැනුමට, දැනුම ඇත්තන්ට බැන වැද, අපහාස කොට, ගිරවෙකු බණ කියන්නාසේ, යම් කරුණක් ප්‍රකාශ කිරීම පමණි.වොයිස්කට් කරුවන් ඔවුන් ඉහලට ඔසවා පඬිවරුන් බවට පත්කරයි. පත්තර පිටු ගනන් මිත්‍යා අතිරේක පළකරයි. මිත්‍යාවන් ප්‍රචලිත කිරීමට යු ටියුබ් චැනල් පහලවේ. මෙම ව්‍යාකුල බවට දාර්ශනික පදනම සපයන්නේ නලින් ද සිල්වා මහතා “ජාතික චින්තනය” යැයි තමන්ම හදුන්වා ගත්, බහුබූත නලින්වාදයෙනි.
කිසියෙකුටත් මැනිය නොහැකි අවිද්‍යාවන් හා සැබෑ විද්‍යාවන් අතර වෙනසක් නැතැයි කියමින් නලින් වාදය මෙරට ගෙනයන්නේ මහා අගාධයකටය. අද අප රට අවිද්‍යාවට,මිත්‍යාවට ඇදෙමින් පවතී. මෙරට ගොඩගැනීමට නම් මෙම අගාධයෙහි ගැඹුර අප තේරුම් ගතයුතුය. උගතුන්,දැණුමැතියන්,වියතුන් රට පාලනය කල යුතුයැයි කැගසා පලක් නැත. කිරුල පැළඳිය යුත්තේ උගතුන් නොව උගත්කමයි. දැනුමැතියන් නොව දැනුමයි.වියතුන් නොව වියත්කමයි. බුදුරජානන්වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාළේ යම් අයෙකු ගුරුකොට හැසිරෙන ලෙස නොව, “දහම මුල්කොටගෙන වසව් “යන්නයි.
උගත්කමට,දැනුමට,වියත්කමට ගරහන,නොසලකන, ඒ දේ “මුල්කොට ගෙන” වාසය කිරීම අනවශ්‍යයයි සිතන උගතුන්,දැනුමැතියන්,වියතුන් නුගතුන්ට වඩා අවැඩක් ලොවට කරයි. නලින්වාදීන් ඒ පිලිබඳව මිහිපිට ඇති සාක්ෂියයි.
(අපි නලින්වාදයේ අක්මුල් සිඳ බිඳ දැමීමට ලියන මෙම ලිපි පෙළ ලිපි දහයකට සීමා කරන්නෙමු. මෙම ලිපි කියවන ඔබ අප ඉස්මතු කරණ කරුණු වල හරය වටහා ගෙන නලින්වාදයේ සලකුණක් හෝ දුටු තැන එයට නොබියව, මතවාදීව පහර දීමට නොපැකිලෙන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට ලාංකික සමාජය රැගෙන යාමට අදිටන් කර ඇති අපි, අපගේ ඊළඟ පියවරෙන් ඔබ හමුවට එන්නෙමු)
විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා