පාතාල සාමාජිකයන් ඝාතනය වන්නේ එකම විදික්‍රමයකටය. ඒ බොහොමයක් ඝාතනයන්, ආයුද පෙන්වීමට හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට/ සොයාගැනීමට ගොස් ඝාතනය වන්නේය. පාතාල කල්ලි සාමාජිකයෙක් යැයි ප්‍රකට මාකදුරේ මදුෂ් එසේ ‘පෙන්වීමට’ ගොස් ඝාතනය වූ තවත් අයෙකි. ඒ මීට මාස කිහිපයකට පෙරය. දැන් එසේම ආයුද පෙන්වීමට ගොස් පාතාලා සාමාජිකයෙක් යැයි ප්‍රකටව සිටි යැයි පැවසෙන මාඹුලගේ දිනිත් මෙලන් ඝාතනයට ලක් වී ඇත. අතීතයේ සිටම සිදු වූයේ මාංචු දමා, පොලිස් ආරක්ෂාව සහිතව යම් ස්ථානවලට ගමන් ගන්නා එවැනි අයව, හදිසියේම පොලීසිය දෙසට බෝම්බ ගසති. වෙඩි තබති. ඉන් පසුව ‘ ආරක්ෂාව සදහා පොලීසිය විසින් සිදුකර වෙඩි තැබීමෙන් පාතාලා සාමාජිකයා මිය යයි’ පොලීසිය කියයි. එවැනි ‘සිදුවීම්’ තවදුරටත් විශ්වාස කරන්නට යැයි පොලීසියත්, ඒවා එලෙසම වාර්තා කරන මාධ්‍යත් අපට කියයි.
ඝාතනයක්ද?
අපරාධ රැසක් සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරගතකර සිටි දිනිත් මෙලන් අපමත නිදහස් වූයේ පසුගිය 10වනදාය. එසේ ඇපමත නිදහස් වූ වහාම පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් දිනිත් රැගෙන එන්නේ නවගොමුව පොලිස් ස්ථානයටය. ඔහුව අත්අඩංගුවට ගත්තේ සගවා ඇති ආයුද තොගයක් සොයාගැනීමට බව දිනිත් මෙලන් වෙනුවෙන් පොලීසියට ගිය ඔහුගේ නීතිඥයාට, පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පවසා තිබූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ, ලේකම්, සුදේශ් නන්දිමාල් කියයි. සුදේශ් නන්දිමාල් විසින් එම සිදුවීම පිළිබද තවත් වැදගත් තොරතුරු කිහිපයක් සමාජගත කරයි.
‘…ඔහු බූස්ස බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වෙච්ච රැදවියෙක්. දැන් ඔහු ඝාතනය වෙන්නේ, නවගමුව පොලිස් ස්ථානාධිපතිතුමාගේ බාරයේ ඉද්දි. අපිට, දිනිත් ගේ නිවසින් පැමිණිල්ලක් ලැබුනා මෙහෙම සිදුවීමක් ගැන. ඒ නිසා අපි නීතිඥ මහත්තයෙක් යැව්වා ඒ ස්ථානයට. නීතිඥ මහත්තයා යන විට ඔහු ඉන්නත් ඇති කෙසේ හෝ පොලිස් ස්ථානාධිපතිතුමා ඔහුව රැගෙන ගොස් තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. නීතිඥ මහත්තයාට, පොලිස් ස්ථානාධිපතිතුමා දුරකතනයෙන් කියලා තියනවා, ‘ආයුද වගයක් තියනවා ඒවා හොයන්න ගෙනියනවා’ කියලා. දැන් 09.45ත්, 10.00ත් අතර කාලයේ මේ පුද්ගලයා ඝාතනයට ලක්වෙනවා. දැන් අපි අහන්නේ කොහොමද පොලීසියේ රැකවරණය මත හිටපු මොහු ඝාතනය වෙන්නේ? මම මීට සුලු මොහොතකට පෙර, නවගමුව පොලිස් ස්ථානාධිපතිතුමාට දුරකතන ඇමතුමක් ලබා ගත්තා. මම ඔහුගෙන් අහනවා, ‘කොහොමද පොලීසියේ රැකවරණයේ ඉද්දි ඝාතනය වෙන්නේ කියලා?’ එතකොට ඔහු කියනවා ‘ අපේ ඉහළ නිළධාරීත් ඉන්නවා කියලා’ ඔහු දුරකතනය විසංධි කරනවා. එතකොට අපිට පැහැදිලියි මේ ඝාතනයන් සිදුවෙන්නේ කොහොමද කියලා..’ (උපුටා ගැනීම- ඔහු සිදුකල සම්පුර්ණ ප්‍රකාශය සදහා පිවිසෙන්න)
පොලිස් අත්අඩංගුවේ සිටියදී එම පොලීසියේම වෙඩි පහරකින් ‘සැකකරුවෙක්’ ඝාතනයට ලක්වීම කොතරම් බියකරු දැයි තේරුම් ගැනීමට මහා බුද්ධියක් අවශ්‍ය කරන්නේ නැත. අවශ්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින පොලීසිය පිළිබද තේරුම්ගැනීමකි. සාමය ආරක්ෂා කිරීමට බැදී සිටින පොලීසිය පිළිබද තේරුම් ගැනීමකි. පොලීසිය යනු ජනතාවගේ ආරක්ෂාවට ඇති ස්ථානයයි. එය සැකකරුවෙක්ටත් එකසේ අදාලය. එය එසේ වන්නේ අප කවුරුත් දන්නා ලෙස, ඕනෑම සැකකරුවෙක් අධිකරණයකින් වැරදිකරුවෙක් වන තෙක් ඔහු හෝ ඇය සැකකරුවෙක් පමණි. එබැවින් එම සැකකරුවා ආරක්ෂා කර ගැනීම, ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමකි.
අපරාධකරුවන්!!!
ඇතැම් අය ‘ආ… පාතාල සාමාජිකයෙක් නේද? නලවන්න දැයි’ ඇසුවේය. ‘උන්ට ඔහොම වෙන්න ඕන’ තවත් සමහරෙක් කීවේය. මෙය බැලූ බැල්මට සාධාරණ යැයි කෙනෙක්ට කියන්නට පුලුවන. ඔව්!! පාතාල ක්‍රියාකාරකම් යනුම, ඕනෑම සමාජයක නිදහසට බාධාවකි. එම සමාජයේ සාමයට, සංවර්ධනයට බාධාවකි. එබැවින් එම පාතාල ක්‍රියාකාරකම් සමාජයෙන් ඉවත් කළ යුතුය.(නමුත් අප තව දෙයක් සිහි තබා ගත යුතුය. ඕනෑම පතාලා සාමාජිකයෙක්, මව්කුසින් බිහිවන විටම පාතාලා සාමාජිකයෙක් වී බිහි වන්නේ නැත. ඔහු හෝ ඇය එම තත්ත්වයට පත්කිරීමට, පවතින සමාජ දේශපාලන දේහයත් බලපානු ඇත. එබැවින් එම සමාජීය හේතූන්වලට ආමන්ත්‍රණය නොකර ‘සුද්ද’ කලාට වැඩක් වේවිදැයි සැක සහිතය) නමුත් එය සිදුකල යුත්තේ නීතියට පිටින් සිදුකරන ක්‍රම හරහා නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පදනම් කරගත් සමාජයන් හී අධිකරණ පද්ධතීන්, බන්ධනාගාර වැනි ආයතන පිහිටා තිබෙන්නේ ඒ නිසාය. වැරදිකරුවෙක් යැයි අධිකරණය විසින් තීන්දු කළ පසු ඔහුට හෝ ඇයට එම අපරාධය සම්බන්ධයෙන් දෙනු ලබන දඩුවම තීරණය කරනු ලබන්නේ එම අධිකරණය විසිනි. එය පොලීසියට අයිති කාර්යයක් නොවේ. කිසිම කෙනෙක්ට දඩුවම් දීමේ බලයක් පොලීසියට නැත.
එම නිසා පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මෙසේ සැකකරුවන් ඝාතනය වීමෙන් ජනතාව තුළ පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය පලුදු වනු ඇත. ජනතාව තවදුරටත් පොලීසිය යනු තමන්ගේ ආරක්ෂාවට ඇති ආයතනයක් බවට කල්පනා නොකරනු ඇති. මෙය පාතාලය සේම, එම සමාජයේ ආරක්ෂාවට, සාමයට මෙන්ම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට දැවැන්ත බාධාවන් එල්ලකරනු ලබයි.
ඇතැම් චිත්‍රපටවල අප මෙවැනි දේවල් දකිමු. කිසිදු වගවිභාගයකින් තොරව අපරාධ සිදුකරන පුද්ගලයන් හෝ කණ්ඩායම් වෙත කඩා පනිනු ලබන නිල හෝ නොනිල ආයුද සන්නද්ධ නිළධාරීන් විසින් කෙලින්ම අපරාදකරුවන් යැයි තමන් විසින් නිර්වචනය කරගෙන ඇති අයට වෙඩි තබා ඝාතනය කරයි. ඇතැම්විට සමූහ ලෙස ඝාතනය කරයි. ඒ චිත්‍රපටි වලය. නමුත්, ආයුද හෝ අපරාධ ද්‍රව්‍ය පෙන්වීමට ගොස් ඇති වූ ‘සිදුවීමකින්’ පොලීසිය සිදුකල වෙඩිතැබීමක් නිසා සැකකරුවන් ඝාතනය කිරීම පිළිබද චිත්‍රපටි මා බැලුවා දැයි මතක නැත. චිත්‍රපටිවල පවා සැකකරුවෙක් රැගෙන යන විට, සැකකරුට මාංචු දමා, ඇතැම්විට ඔහුට ඇවිදයාමට ද අපහසු ලෙස රැගෙන යයි. එසේ රැගෙන යන අයෙක්ට පොලීසියකට එරෙහිව කිසිදු දෙයක් කළ නොහැකිය. චිත්‍රපටිවල පවා එසේ සිදුකරන්නේ පොලීසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදුවනු වැලැක්වීමටය. චිත්‍රපටවල පවා එසේය.
නමුත් පසුගිය කාලය පුරා අප මෙවැනි දේවල් දකිනු ලබන්නේ චිත්‍රපටවල නොවේ. සැබැ භූමියේය ය.
කෙසේ නමුත්, විශේෂයෙන් සැකකරුවෙක්ට හෝ අපරාධකරුවෙක්ට හෝ ඒ රටේ ‘නීතියට අනුව නොසලකමින්’ යම් සමාජයක්, ආයතනයක් කටයුතු කරන්නේ නම් එම සමාජය ගමන් කරන්නේ පසුපසට මිස, ශීලාචාර ආනාගතයක් දෙසට නොවේ.
‘මිනිසුන්ගේ ඇගිලි 999ක් ගෙළ දමා ගෙන සිටි අංගුලිමාල දෙස ගෞතම බුදුන් වහන්සේත් මෙත් සිතින් නොබැලුවා නම්, අංගුලිමාල තෙරුන් වහන්සේනමක් පිළිබද අපට අසන්නට නොහැකි වනවා ඇත.’ මා මිතුරෙක් දවසක් කීවා මතකය.