iMage; DM
මම දිනක් බෙහෙතක් ගැනීමට ෆාමසියකට ගියෙමි. එහි චීන ජාතිකයෙක් මහ හඬින් කැඩුණු ඉංග්‍රීසියෙන් කථා කරමින් සිටියේය. ඔහුගෙන් දැඩි දුගඳක් හමමින් තිබිණි. සිරුර පුරා දුවිලි තැවරී තිබුණි. ඇඳ සිටි ඇඳුම තැනින් තැනින් ඉරී තිබුණි. ඔහු ඉල්ලන්නේ මත් වෙන ඖෂධයක් බව මට වැටහිණි. ඔහු ඉල්ලන ඖෂධ නොදිය හැකි බව ඖෂධවේදියා පැවසූ පසු, චීන ජාතිකයා මහහඬින් කෑගසමින් ඉවතට ගියේය. ඔහු වරාය ගොඩනගන කම්කරුවෙක් බව ඖෂධවේදියා මා සමඟ පැවසීය.
ඊට දින කිහිපයකට පෙර මම චීන සමාගමක කළමනාකරුවෙක් දුටිමි. ඔහු ඇඳ සිටියේ ටයි කෝට්ය. ඔහු වරාය නගරය ගොඩනගන ආයතනයේ වැඩ කරන බව මම දැනගතිමි. මා ෆාමසියෙහි සිටින විට හමුවූ චීන ජාතිකයා ඇතැම්විට එහිම වැඩකරණ කම්කරුවෙක් විය හැකියැයි මට සිතුණි. සමාජවාදී රටකින් පැමිණි මේ දෙදෙනාගේ වෙනස ගැන සිතූ මගේ මතකයට ආවේ 1970 ගණන් වල අපේ ගම ආසන්නයේ ගිං ගඟ ගංවතුර වැලක්වීම ව්‍යාපාරයට පැමිණි චීන ජාතිකයන්ය. ඇඳුමෙන්ද හැසිරීමෙන්ද ඔවුන්ගේ කම්කරුවන් සහ කලමණාකරුවන් වෙන්කර ගත නොහැකි විය. ඔවුන් අතිශයින් විනයානුකූල සුන්දර මිනිසුන් විය. මේ වෙනස ඇතිවුයේ කෙසේදැයි සෙවීමට මම පෙළඹුනෙමි.
මම වරාය නගරයෙන්ම වැඩ ඇරඹීමි. අන්තර්ජාලය මට පිහිට විය. කොළඹ වරාය නගරය තනන්නේ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් නම් පුද්ගලික සමාගමකි. හඩු පෙරාගත් චීන කම්කරුවාත්, කෝට් ඇඳි මැනේජරුත් වැඩකරන්නේ මෙම කොම්පැනියේය. මෙම කොම්පැනිය චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණි නම් පුද්ගලික කොම්පැනියකට අයිති අතුරු සමාගමකි. චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොවපුරා ඉදිකිරීම්, ගොඩකිරීම්, පාලම් තැනීම්, දුම්රිය මං තැනීම් සහ දියයට කැණීම් කරණ සමාගමකි. මෙම සමාගම ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ වැඩබිම් ඇති අතර එහි අතුරු සමාගම වන චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් ලොව රටවල් අසුවක පමණ සියගණනක් ව්‍යපෘති කරයි.
බහුජාතික චීන සමාගම
යම් සමාගමක් රටවල් කිහිපයක ක්‍රියාත්මක වන්නේ නම් එය හදුන්වන්නේ බහුජාතික සමාගමක් ලෙසිනි. මෙම යෙදුම ඇසුණු සැණින්ම උපවාසයේ යෙදන දේශපාලකයන් සහ පැවිදි උතුමන් මගේ සිහියට නැගුණි. මෙම චීන බහුජාතික සමාගමේ ආදායම වසරකට ඩොලර් බිලියන 16 ක් පමණ වේ. චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් 500ය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි. මෙය දුටු මට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ චීන අධිරාජ්‍ය විරෝධීන් අතර ව්‍යාපාර කිරීමට, සාමකාමී සහජීවනය ගොඩනැගී ඇති සැටි මැනවින් වැටහිණි. එසේම සුන්දර සමාජවාදී චීනය පුද්ගලික කොම්පැණි තනා, තම රටෙහි සමාජවාදී පුරවැසියන් සූරාකන අයුරුද මට වැටහුණි.
චීනයට මෙවැනි කොම්පැණි තනන්නට අවශ්‍ය ඇයි? ඒ රටකට ණය ආධාර දෙන අතරම, තම කොම්පැණි ලවා එම මුදල චීනයට නැවත ගෙන්වා ගැනීමටය. 1980 ගණන් වලට පෙර අපට ප්‍රදානයන් ලෙස ගිං ගඟ ව්‍යාපාරය, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ලබා දුන් පරහිතකාමී චීනය අද නැත. මුදල ම මුල් කරගත් රටක් අද එහි ඇත. චීන රජය අපට ණය ආධාර ලබාදෙයි. අපි ඒ ණයෙන් චීන රජයට අයිති කොම්පැණි ලවා චීනය යෝජනා කරණ ඉදිකිරීම් කරමු. ණය පොලිය සමග ගෙවිය යුත්තේ අපය. ණය නොගෙවුවහොත්, චීනය අපෙන් ඔවුන් කල ඉදිකිරීම ඉල්ලා ගනියි. ඉදිකිරීම් කරන්නේ පුද්ගලික කොම්පැනියක් නිසා, කොම්පැණිය හරහා අදාළ අයට කොමිස් ගෙවීම හා අල්ලස් දීම කල හැක. එනිසා චීන රජය යහපත්ය, අවංකය. අල්ලස් ගෙවන්නේ පුද්ගලික කොම්පැණියකිනි. මෙම චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් සමාගමත් චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණියත් රටවල් ගණනාවක සහ ලෝක සංවිධාන ගණනාවක අල්ලස් සහ දුෂණ ක්‍රියා වලට වැරදිකරු වී තිබේ. එහෙත් චීනය ඇතැමුන්ට තවමත් සමාජවාදීය. අධිරාජ්‍ය විරෝධීය.
වික්ටර් වීරසිංහ | Victor Weerasinge