යම් රටක ආණ්ඩුවක් ගන්නා තීරණ, යෝජනා ඇතුලු රාජ්‍ය තුළ සිදුවන, සිදුකිරීමට නියමිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන්වන නිළ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරන ‘එක් ප්‍රධාන ක්‍රමයක්’ වන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි.
ලංකාවේ ද එය සිදුවන අතර වර්තමානයේ දි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ කිහිපදෙනෙක් එම සන්නිවේදන ක්‍රියාවලියට නිළ වශයෙන් සහභාගී වනු දක්නට ලැබෙයි. එවැනි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් පසුගිය ජූනි 01වනදා පැවැත්විණි. එයට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු කිහිප දෙනෙක් සහභාගී විය. එම සාකච්ඡාවේදී මාධ්‍යවේදීයෙක් ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා අපූරු පිළිතුරක් ලබා දුන්නේය.
ඒ අපුරූ පිළිතුර පිළිබද යම් විග්‍රහයක් කිරීමට පෙර අදාළ ප්‍රශ්ණ සහ පිළිතුරු කියවන ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
මාධ්‍යවේදීයා – කාබනික පොහොර ආනයනයේදී යම් අදහසක් පළවෙනවා, චීනයේ නගරවල තියන කැළිකසලවලට යූරියා මිශ්‍ර කිරිමෙන් නිශ්පාදනය කරන කොම්පෝස්ට් තමයි මේ ආනයනය කරන්නේ කියලා. එතකොට මේ කමිටුවෙත් රජය සමග ඇදිත්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් කමිටුවේ ඉන්නවා කියලා ආරංචියක් තියනවා. එතකොට කාටද මේ ටෙන්ඩර් එක ලබා දෙන්න සූදානමින් තියෙන්නේ? කොහොමද ඒ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ? කොහෙන්ද මේ කාබනික පොහොර ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා – මම හිතන්නේ ඔබතුමා මේ…අහන ප්‍රශ්න සරලව කියන්න තියෙන්නේ ගොසිප් ගැනයි කතා කරන්නේ. ඉතින් මට අමාරුයි මෙතන ඉදගන ඔය ගොසිප්වලට උත්තර දෙන්න. විද්‍යාත්මක පදනමක් නැති ලිද ලග සාකච්ඡාවන් තමයි මෙතන ප්‍රශ්න කරන්නේ. ඒවා කතා කරන්න මම සූදානමක් නැහැ. මේවා ගත්තොත් එහෙම විහිලු සපයන්නන්ගේ ව්‍යාපාරයකට සමස්බන්ධ කරන්න පුලුවන්. මේ ගන්න තීන්දු තීරණ හරියට සවිස්තරව ඔබතුමාලාට දැනගන්න පුලුවන්. ඔබතුමාලට ඕනම අවස්ථාවක දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා හිතලුවන් සහ රජය අපහසුතාවයට පත්කිරීමට ගන්නා, සරලව ගත්තොත් කුණු ගොඩවල්, සමාවෙන්න මේ වචනය පාවිච්චි කරාට. නමුත් මෙවැනි අවස්ථාවක මේ දේවල් කියන්න සිද්ධ වෙනවා. එවැනි දේවල් අරගන වැදගත් සාකච්ඡාවකට ගැනීම අපි හිතන්නේ නැති පහල මට්ටමකට වැටෙනවයි කියන එකයි හිතෙන්නේ. (https://www.facebook.com/MPRambukwella/videos/230063138549496 )
ගොසිප් සහ අමාත්‍ය මණ්ඩල තීරණ
බොහෝ සමාජයන් හි ගොසිප් වැනි ‘දේවල්’ පවතී. ගොසිප් යනු, සරලවම කටකතා යැයි කිව හැකිය.(එයට වඩා සංකීර්ණ විග්‍රහයන් ද අද මාධ්‍ය ලෝකයේ සාකච්ඡා වෙයි) මේවා නිවැරදි ලෙස කරුණු සොයාබැලීමකින් තොරව ප්‍රසිද්ධ කරනු ලබන තොරතුරුය. ඒවා සමාජ වගකීමකින් තොරය. පුද්ගලිකත්වය පිළිබද කිසිදු තැකීමක් නැත. මඩ ගැසීම්, පුද්ගලික හෝ පොදුවේ සිදුකරන අපවාදයන් සදහා මෙවැනි ක්‍රම භාවිතා කරයි. විශේෂයෙන් ලංකාවේ සංදර්බයන්වලදී ගොසිප් යන්නෙන් බොහෝ විට අපට හමුන්නේ ඉහත අදහස්කල දේවල් පදනම් කරගෙන පුද්ගලිකව, යම් දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක්, කණ්ඩායමක්, ජනවර්ගයක්, ආගමික කණ්ඩායමක්, ස්ත්‍රීන්, වෙනත් ලිංගික අනන්‍යතාවයන් හිමි කණ්ඩායම් ඉලක්කරමින් සිදුකරන ‘මඩ’ ප්‍රචාරයන්ය. ඇතැම් අවස්ථාවල මුදාහරින එම අන්තර්ගතයන් තුළ වෛරී අන්තර්ගතයන් ද දක්නට ලැබෙයි. එවැනි බොහෝ ගොසිප් යැයි හදුන්වන අන්තර්ගතයන් සමාජයක ප්‍රගමනයට එල්ල කරනු ලබන බලපැම හානිදායකය.
නැවත වරක් සදහන් කළහොත් එම බොහෝමයක් ගොසිප් යැයි හදුන්වන අන්තර්ගතයන් සත්‍යයෙන් තොරය. නමුත් වර්තමානයේ අන්තර්ජාල අවකාශයන් තුළ එම අසත්‍ය තොරතුරු මුදාහැරීම වලක්වාලීම අසීරු වී තිබේ. එයට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලය පදනම්වන මාධ්‍ය අවකාශයන්වල ඇති තාක්ෂණික ස්වාභාවයහි සංකීර්ණත්වයයි.
එම නිසාම අසත්‍ය තොරතුරු ඇතුලත් ගොසිප් පන්නයේ අන්තර්ගතයන්ගෙන් සමාජයන් නොමග යැවිම වළක්වා ගැනීම සදහා, එම අසත්‍ය තොරතුරු ඇතුලත් අන්තර්ගතයන් වෙනුවට ‘සත්‍ය සහ සමාජ වගකීමක් ඇති තොරතුරු සහ දත්ත’ මුදා හැරීමට එම සමාජයේම යම් යම් යාන්ත්‍රණයන් සකස් වී තිබේ. (තවත් එක් උදාහරණයකට ෆැක්ට් චෙකින් සිදුකිරීම සහ ඇතැම්විට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය අන්තර්ගතයක් හමු වූ විට, පරීශීලකයන් විසින්ම එහි ඇති අසත්‍ය අන්තර්ගතයන් කරුණු සහිතව එවලේම පෙන්වා දෙමින්, එම අසත්‍යට එරෙහිව සත්‍ය පැතීරීමට ගන්නා උත්සහයන් ද අපට හමුවෙයි )
එවැනි තවත් සත්‍ය සහ වගකීමෙන් යුතු එක් ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ ආණ්ඩුවේ නිළ මාධ්‍ය සාකච්ඡාවන්ය. එහිදී සමාජය තුළ පැතීරී යන ‘ගොසිප්’ හෝ අසත්‍ය, වෛරී හෝ එවැනි අගතිගාමී, සමාජ වගකීමෙන් තොර තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය නිළ වශයෙන් සමාජය තුළට සන්නිවේදනය කළ හැකිය.
නමුත්, ඉහත සාකච්ඡාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීයාගේ ප්‍රශ්ණය, ‘ගොසිප්’ ගොන්නට දමා එයට නිළ ලෙස වගකීමක් ඇතිව පිළිතුරු දීමෙන් ලිස්සා ගියේ ය.
‘…ඉතින් මට අමාරුයි මෙතන ඉදගන ඔය ගොසිප්වලට උත්තර දෙන්න. විද්‍යාත්මක පදනමක් නැති ලිද ලග සාකච්ඡාවන් තමයි මෙතන ප්‍රශ්න කරන්නේ.’ වගකිව යුතු අමාත්‍යවරයෙක් නම් කළ යුතුව තිබුණේ එම ප්‍රශ්න ‘ගොසිප්’ යැයි නම් කරමින් මග හැරීම නොවේ. එයට අදාල නිළ, සත්‍ය තොරතුරු සමාජගත කිරීමට උනන්දු විමයි. එසේ නොකර අදාළ මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය ගොසිප් බාල්දියට දමා, ඒ පිළිබද විවේචනය කිරීමෙන් අමාත්‍යවරයා සිදුකර ඇත්තේ, එම ප්‍රශ්ණය ‘ගොසිප්’ නම්, එම ගොසිප් තොරතුරුවලට තටු ලබා දීමට උත්සහ කිරීමයි. ආණ්ඩුවේ නිළ මාධ්‍ය හමුවකින් සමාජයේ වගකීමක් ඇති පුරවැසියන් බලාපොරොත්තු වන්නේ එවැනි දෙයක් නොවේ. සමාජයක් බලාපොරොත්තු වන්නේ. එම සමාජය තුළ ට කාන්දුවන අසත්‍ය තොරතුරුවලට එරෙහිව, සත්‍ය තොරතුරු සමාජය තුළට සන්නිවේදනයවනු දැකීමයි. සමාජයක් තුළ පවතින අසත්‍ය, වගකීමෙන් තොර තොරතුරු සහ දත්තයන්වලින් වන හානිය යම්තාක් දුරට වලක්වා ගත හැක්කේ, එම සමාජය තුළට, එයට අදාල සත්‍ය සහ වගකීමෙන් යුතු නිළ තොරතුරු සහ දත්ත සන්නිවේදනය කිරිමයි. අසත්‍ය, බොරු, මඩ හෝ ගොසිප් ආදී අගතිගාමී ඔනෑම අන්තර්ගතයකට එරෙහිව සටන් කළ හැකි වන්නේ, සත්‍ය සහ පිළිගතහැකි, වගකීමක් සහිත තොරතුරු සහ දත්තයන් සමාජගත කීරීමෙන් පමණි.
මෙහි තවත් පැත්තක් තිබේ. එනම්, තමන්ගේ දේශපාලන පක්ෂයේ හෝ මතවාදයන්ට විරුද්ධ යම් අදහසක් සමාජගතවීමේදී බොහෝ දේශපාලකයන් සිදුකරනු ලබන්නේ, ‘…ඕවා ගොසිප්’ ‘ඔවා මඩ’ ‘බොරු..’ ‘අපිට මඩගහන්න කරන දේවල්’ ‘හා ෆේස්බුක් එකේ තිබුණ දෙයක්ද’…. වැනි අදහස් දමා පිළිතුරු දීමෙන් මගහැරීමයි. එසේ මගහැරීම යනුම, අදාල තොරතුරු ‘අසත්‍ය නම්’ එම අසත්‍ය තොරතුවලට ‘තටු’ ලබා දීමයි. එයින් තවදුරටත් අදාළ කරුණු පිළිබද සමාජයේ තුළ පවතින සැකය එළෙසම පවතී. සැකය පවතින විට සමාජය තුල නොසන්සුන්තාවයන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ තිබේ. නොසන්සුන්තාවයන් නිසාම එම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගට බාධා පමුණුවයි. ප්‍රජාතන්ත්‍රවාදී අගයන් පැවතීමට නම් නිවැරදි තොරතුරු සමාජයට සන්නිවේදනය වීම අනිවාර්යයකි.
නමුත් එම අනිවාර්යතාවය අවශ්‍යවන්නේ සමාජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පාලකයන් සිටිනවා නම් පමණි. සත්‍ය තොරතුරු සිය සමාජයේ පැවතීමෙන් එම සමාජය දියුණු සමාජයක් වනවා යැයි විශ්වාසයක් පවතී නම් පමණි.
විශේෂයෙන් ප්‍රභල වසංගත තත්ත්වයක් තුළ වුවද එයට අදාල සත්‍ය සහ නිළ තොරතුරු සමාජයට මුදා හැරීමෙන් වසංගත පාලනය කිරීමට ප්‍රභල සහයක් එම සමාජයෙන්ම ලැබෙනවා යැයි බළධාරීන් විසින් කල්පනා කරන්නේ නම් පමණි.
කෙසේ නමුත්, සත්‍ය මරා දැමීමෙන් ඕනෑම සමාජයකට ශිෂ්ට පැවැත්මක් නැත. වසර 30කට අධික ගැටුම්වල කටුක, දුෂ්ට, වේදනාත්මක අත්දැකීම් ඇති අපි තවමත් එය ඉගෙන ගෙන නැත.
වසන්ත බණ්ඩාර