“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි කියන දේවල් අහන්නේ නැති එකය.
කෙසේ හෝ ආන්නද හිමිට අවසානයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයට අදාළ පළමු සහ දෙවන චතුරාර්‍ය සත්‍යන් අවබෝධ විය. නමුත් තෙවැනි සහ සිව්වන සත්‍යයන් අවබෝධ වූ බව පෙන්වන දේශනාවක් තවම කෙරී නැත. දුෂ්කරම සත්‍යය වන්නේ තනි මිනිසාගේ බලය නැති කිරීමෙ මාර්ගයයි.
අද අප කිසිවකුට ඒ කරා යා හැකි මාර්ගය ගැන පැහැදිළි වැටහීමක් නැත.
එසේ නමුත් අප අමතක නොකළ යුතු කරුණ වන්නේ පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පෙරමුණු ගොඩ නැගුනේ මෙම තනි මිනිසාගේ පාලනය අහෝසි කිරීම නම් සාධකය වටා බවයි.
ගෝඨාභය රාජපක්ෂ සිය තනි මිනිසාගේ පාලනය සර්ව සම්පූර්ණ කර ගැනීම පිනිස ගෙන එන ලද 20වන සංශෝධනය පැරද වීමට මෙරට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකාබද්ධ ප්‍රයත්නයක් දරන ලද බවද ඒ තරමටම ඇත්තය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගැඹුරු සහ සංකීර්ණ සමාජ, දේශපාලන, ආර්ථික ගැටලු මැද ප්‍රජාතන්ත්‍රවාදී සාමූහික ධජයක් වශයෙන් එසවිය හැකිව තිබුණේ එයම පමණකි.
එය වෙනස් කළ යුතු බවට ඉන් බැට කෑ සියලු ම දේශපාලන නායිකාවෝ එකඟ වූහ. ඒ සඳහා බලය ලබා ගත්හ. අන්තිමේ දී පැණි හැළියකට වශී වූ ඇඹලයින් මෙන් එහිම ගිලී සිය දේශපාලනය ගූ කර ගත්හ.
ශ්‍රී ලංකාව විනාශයෙන් විනාශය කරා ගෙන යමින් තිබෙන රාජපක්ෂ දේශපාලනය වනාහී නීතියේ ආධිපත්‍ය විනාශ කරන, පවුල්වාදය සහ ඥාති සංග්‍රහය මත පදනම් ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙළෙසන සහ රට මිලිටරිකරණය කරා ගෙන යන භයානක ක්‍රියාකාරිත්වයන්ගේ එකතුවකි.
එය සංකේතාත්මක තනි මිනිසාගේ පවුල් පාලනයකි. එයට මේ විනාශකාරී මාවතෙහි ශ්‍රී ලංකාව රැගෙන යාමට හැකිව ඇත්තේ එම පවුල සතු තනි මිනිසාගේ බලය නිසාය.
මහජන ජන්දයෙන් පත්වන, රටෙහි සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රශ්ණ සාකච්ඡා කැරෙන සහ විසදුම් සකස් කැරෙන පාර්ලිමේන්තුව අද ගාම්බීර ගොඩනැඟිල්ලක් පමණි. සියලු දේ තනි මිනිසාගේ පවුල් පාලනයට යටත්ය.
ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරන්නේ මහජන ඡන්දයෙන් තේරී පත් වු පාර්ලිමේන්තුව හරහා නොවේ. ඔහු විසින්ම පත් කරනු ලබන පාර්ලිමේන්තුවට වග නොකියන ජනාධිපති කාර්‍ය සාධක බලකායන් දුසිම් ගණනාවක්, සතිපතා නිකුත් කැරෙන ගැසට් නිවේදන සහ මිලිටරි නිලධාරී තන්ත්‍රය හරහාය.
ඒ කොතෙක්ද යත් ගෝඨාභය විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් කොතෙකුදැයි කීමට දන්නා කෙනෙක් නැත.
තනි මිනිසාගේ රාජපක්ෂ දේශපාලනය ක්‍රියා කරන්නේ ඒ ඒ කේත්‍රෂන්හි ඇසූ පිරූ තැන් ඇති විද්වත් වෟත්තිකයින්ගේ හෝ මැති ඇමැතිවරුන්ගේ උපදෙස් අනුව නොවේ.
ඊට කැපී පෙනෙන උදාහරණ බොහෝය.
කොවිඩ් වසංගතය පාලනය කිරීමෙහි ලා රාජපක්ෂලා සෞඛ්‍ය විශේෂඥ මතය බැහැර කර තමන්ට ගුප්ත බලයක් ඇතැයි කියන වංචාකාරී පැණි සහ මුට්ටි හොරුන් සහ ආගමික මිත්‍යාවන් පසුපස ගියහ. වසංගතය රටම බිලිගෙන තිබියදිත් තනි මිනිසාගේ රාජපක්ෂ දේශපාලනය තවමත් විශේෂඥ අදහස් වලට ඇහුම්කන් දෙන්නේ නැත.
ශ්‍රී ලංකාවෙහි වානිජ කෘෂිකර්මන්තයට මරු පහරක් වනු නිසැක රසායනික පොහොර තහනම කාගේ උපදෙසක්දැයි කීමට බැරි තරම් අඥානය. මෙරට වානිජ කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යපාරිකයින්, ශ්‍රාස්ත්‍රඥයින් සහ පොළවේ උරුමකරුවන් වන ගොවි ජනයා එක හඬින් මේ වින්නැහිය කැඳවා නොගන්නා ලෙස කියත්දීත් රාජපක්ෂලා ලංකාව සාගතයක් කරා කැඳවා ගෙන යන්නේ “තනි මිනිසාගේ” බලය නිසාය. පාර්ලිමේන්තුව තුළ විවෘත නිදහස් සංවාදයක් ඇතිවූයේ නම් රාජපක්ෂ පෙරමුණේ මැති ඇමැතිවරුන්ද නිසැකවම ඊට විරුද්ධ වන්නට තිබුණි.
අද අවුල් ජාලයක් බවට පත්ව ගිලා බැසීමට ආසන්න ඇති මූල්‍ය ක්ෂේත්‍රය, සාමාන්‍ය ජනයාගේ දරුවන් අධ්‍යාපනයෙන් බැහැර කොවිඩ් සමයේ අධ්‍යාපනය, එන්න එන්නම දුරස් වන ජාතික සංහිදියාව, ජාතික සහ පාරදෟශ්‍ය සැළැස්මකින් තොරව ආවට ගියාට කැරෙන කොවිඩ් එන්නත්කරණය යනාදී තවත් ක්ෂේත්‍ර ගණනාවක දීම අපට පෙනෙන්නේ තනි මිනිසාගේ රාජපක්ෂ දේශපාලනයේ අඥාන හිතුවක්කාර කමයි.
තනි මිනිසාගේ බලය රටට පමණක් නොව බලයේ සිටින පක්ෂය තුළ මෙන්ම ආන්ඩුව තුළද ඒකාධිපත්වයක් ඇති කරයි. රාජපක්ෂ පවුල් පාලනයේ පදනමද තනි මිනිසාගේ දුෂ්ඨ බලයයි.
මේ අඥාන හිතුවක්කාරකම පාලනය කිරීමට අද මෙරට පාර්ලිමේන්තුවට නොහැකිය. රාජපක්ෂලාටම කඩේ ගොස් රාජපක්ෂලාගෙන්ම ඇමැතිකම් ලබා ගත් අය දැන් අප රබර් සීල් පමණයි කියන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසා ය.
සාමූහික ඥානය මගින් මිස තනි මිනිසකු සතු හිතුවක්කාර බලය මගින් රටක් නිසි මඟට ගත නොහැකිය. යළි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අද අප මුහුණ දෙන මූලික අභියෝගයක් වන්නේ එනිසාය.
එසේ තිබියදීත් තනි මිනිසකුගේ බලයට ලොබ බැඳ සිටින විපක්ෂ දේශපාලනඥයින්ද රොත්තක්ම සිටී. එසේ වෙතත් ඔවුන් පවා රට මුහුණ දී සිටින තනි මිනිසාගේ ආධිපත්‍යට එරෙහිව පුළුල් පෙරමුණක අවශ්‍යතාවය ගැන කතා කරයි.
ඊට හොඳම නිදසුනක් වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එතරම් කැමැත්තක් දක්වා නැති වම්පික රණවකගේ 43වන සේනාංකයයි. රාජපක්ෂ පාලනයට විරුද්ධව පොදු දේශපාලනය සංධානයකට නායකත්වය දීමට තමන් සූදානම් බව එම සේනාංකය පවා ප්‍රකාශ කර තිබුණි.
සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයද පුළුල් දේශපාලන පෙරමුණක අවශ්‍යතාවය ගැන කතා කරයි. ඔවුන්ට අවශ්‍ය සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එම බලවේගය ගොඩ නැගීමටයි. ප්‍රේමදාස ද විධායක ජනාධිපති ධුරය අවසන් කිරීමට කැමැත්තක් පෙන්වන්නේ නැත. එසේ නමුත් සමගි ජන බලවේගය තුළ තනි මිනිසකුට බලය දීමට විරුද්ධ බොහෝ පිරිස් සිටිති.
කරු ජයසූරිය විසින් නායකත්වය දෙනු ලබන, මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් “සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය” නිත්‍ය දේශපාලන සංවාදයක් පවත්වා ගෙන යමින් වත්මන් දේශපාලන ක්‍රියාදාමයට සාමූහික සිවිල් සමාජ විවේචනයක් ගොඩ නැගීමට උත්සාහ දරමින් සිටී. එය “තනි මිනිසකුගේ බලය” නැති කිරීමට පක්ෂ බව පෙනේ.
රටෙහි පාලන බලය ලබා ගත නොහැකි කලාපීය හෝ වාර්ගික හෝ වාම හෝ දේශපාලන පක්ෂ වලට මෙම තනි මිනිසාගේ පාලනයට තනිව අභියෝග කළ නොහැක. ජවිපෙ කිසි විටෙක මෙම තනි මිනිසකුගේ පාලනයට පක්ෂ වී නැත. මෙම සියලු පක්ෂයන්ට කවර හෝ බලයක් සහ හඩක් අත්පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව කරා යළි මෙරට පාලන බලය ගෙන ඒම මගින් පමණි.
පාර්ලිමේන්තු දේශපාලනය ගැන නොව මහජන දේශපාලන ක්‍රියාකාරිත්වයන් ගැන උනන්දු වන වෘත්තීය සමිති පෙරමුණක් වන “වැඩ කරන ජන බලය” මෙන්ම මර්දනකාරී දේශපාලනයට විරුද්ධ එකතුවක් වන “ජන බල පවුර” සහ සිරකරු අයිතීවාසිකම් සුරැකීමේ කමිටුවද තමන්ගේ වපසරිය තුළ පුලුල් ඒකාබද්ධ දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට ආරාධනය කරයි.
සිද්ධි වාචක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරිත්වයන් සඳහා සාමූහික එළඹුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය සෑම කල්හිම මතුවෙයි.
නිදසුනක් ගන්නේ නම් නිදහස් වෙළද කලාප සේවිකාවන් මහ රැයෙහි බලහත්කාර නිරෝධයනය කරා ගෙන යන ලද අවස්ථාවෙහි එවැනි සාමූහික ආයාචනයක් ඇති විය.
ජනමාධ්‍ය නිදහස සඳහා පෙනී සිටින සංවිධාන අතරද ලිහිල් එකතුවක් පවතින අතර බරපතල තත්වයන්හිදී එයද අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි සහාය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන සියලු සමාජ දේශපාලනයන්හි එකම හේතුව තනි මිනිසාගේ බලය හෙවත් විධායක ජනාධිපති ක්‍රමය නොවේ. එසේ නමුත් මහජන නියෝජිතයින්ට නිසි බලය ලබා දෙන සහ එමගින් විපාක්ෂික දේශපාලනයට වැඩි අවකාශයක් සපයන පාර්ලිමේන්තුව කරා යළි බලය ලබා ගැනීමට ඇති මාර්ගය එයයි.
වත්මන් සංදර්භය තුළ ඇති තෙවැනි දේශපාලන චතුරාර්‍ය සත්‍ය එයයි. එනම් තනි මිනිසාගේ පාලනය අහෝසි කිරීමයි.
එනමුත් සතරවන සත්‍යය වන “තනි මිනිහෙකුට බලය දීම” නැති කිරීමේ මාර්ගය අද පෙනෙන මානයක නැත. රාජපක්ෂ දේශපාලනය විසින් ශ්‍රී ලංකාව එක්සප්‍රස් පෙරිල් නෞකාව මෙන් ගිනිබත් කොට ගිල්වමින් සිටින බව අපි අත්දකිමු.
මෙවැනි තීරනාත්මක සංදර්භයක් තුළ ශ්‍රී ලංකාවේ විපාක්ෂික සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය එක් කළ හැකි ඉතාම පුලුල් වේදිකාව සහ මහා පොදු සාධකය විය හැක්කේ තනි මිනිසාගේ පාලනය වෙනුවට යළි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරා යොමුවකි.
කියනවාට වඩා කිරීම දුෂ්කර බව සැබෑ නමුත් ලී දහසක ගමන ආරම්භ වන්නේ එකි පියවරකින් බව ද අප අමතක නොකළ යුතුය.
විදෙස්ගත ශ්‍රී ලාකික එකතුව, යුරෝපය. ජූලි 2021