සිංහල, Colombo, Life quips

ජාතික ධජය

දෙල්කඳ පොලේ දෙනෝ දහසක් අතර මට ඔහු අහම්බෙන් හමුවිය.මෙහොතක් නැවතී මම ඔහු දෙස බලා සිටියේ කිසියම් මතකයක් මා තුළ අවදි වු බැවිනි. ඒස මගම සෙනග අතරින් ඔහු මා වෙත ඇදී ආවේය.
‛‛ගන්න මහත්තයා ජාතික කොඩියක්.’’ තමන් අත රැඳි කොඩි මිටියක් ඔහු මාවෙත දිගු කළේය. ‛‛වාහනේ ගහගන්න පුළුවන්,ගේ ඉස්සරහා එල්ලන්න පුළුවන්, ඕනෑම සයිස් එහෙක ජාතික කොඩි මා ලඟ තියෙනව.’’
මට ඔහු ගැන මතකයක් තිබුණද ඔහුට මා ගැන මතකයක් නැති සේය.
‛‛හැටවෙනි නිදහස් සමරුව නිමිත්තෙන් ගන්න මහත්තයා ජාතික කොඩියක්.ලේසි නෑ මහත්තයා ,සුද්දගෙන් නිදහස ලඅබිල අව්රුදු හැටක්. ගන්න මහත්තයා, ගන්න හෙඳ කොඩියක්.’’

‛‛මම මේ කල්පනා කළේ මට ඔයාව හෙඳට දැකල පුරුදුයි,කෙහෙදිද ඒ?’’
‛‛ඒක තමයි, ඔන්න දැන් මතක් වුණා.’’
‛‛මතක ඇතිනෙ, මම පේමන්ට් එකේ පළතුරු විකිනුව.’’
මතකයි මතකයි, ඉතින් ඇයි අද මෙහෙ?’’
‛‛නිදහස් දිනේට කලින් කොළඹ ආරක්ෂාවට පේමන්ට් කඩ ඔක්කෝම අයින් කළානෙ, මගෙ ඵළතුරු පෙට්ටියත් ඉවරයි.’’
‛‛මොනව ? අපරාදෙනෙ, ඊට පස්සෙ ? ’’
‛‛ඊට පස්සේ මොනව කරන්නද ? අනාථවුණා. යන එන මං නැතිව ඉන්න කොට රෙදි බිස්නස් කරන මුදලාලි කෙනෙක් මේ කොඩිටික දුන්න කොමිස් එකට විකුණන්ඩ. වැඩක් නෑ මහත්තය, පුළුවන් නං කොඩියක් අරං පොඩි සපෝට් එකක් දෙන්ඩ.’’

‛‛කීයද කොඩියක් ?’’
‛‛ මේක විස්සයි, මේක පණහයි, මේක සීයයි.’’
මම රුපියල් පණහක් දී කොඩියක් මිළදී ගතිමි.
‛‛වෙන තැනක්වත් පළතුරු වෙළදාම් කරන්න බැලුවෙ නැද්ද ?’’
‛‛කොහෙ කරන්නද මහත්තයො, පේමන්ට් කඩ ඔක්කොම ඉවරයි, යන එන මං නෑ. හිගාකන්ඩ බැරි කමට තමයි මේ වැඩේ කරන්නේ.’’
‛‛එතකොට නිදහස් දිනෙන් පස්සෙ මොකද කරන්නෙ ?’’
‛‛නිදහස් දිනෙන් පස්සේ……,තවම හිතුවෙ නෑ මහත්තය.’’
ඔහු නැවතත් දෙල්කඳ පොළේ දෙනෝ දහසක් අතර මුසුවිය. එහෙත් බොහෝ දුර යනතුරු ඔහුගේ කටහඬ ඇසුනි.
‛‛ගන්න මහත්තයා, ගන්න නෝනා, ජාතික නිදහස වෙනුවෙන් ලෙල දෙන්න, ජාතික කොඩියක් මිළදී ගන්න. ලේසි නෑ මහත්තයා, නිදහසට හැටයි…. ජාතියේ අභිමානය නංවන්න, ජාතික කොඩියක් මිලදී ගන්න. විස්සට තියෙනවා-පණහට තියෙනව ර්‍ සීයට තියෙනව…..’’

සීමා