පසුගිය මාසය වමට හැරුණු මාසයකි. එම මාසය තුළ ලාංකිකයාගේ දෛනික ජීවිතයේ දේශපාලන මාතෘකා නිර්මාණය කළේ වමයි. එසේම, එය වම ජය ගත් මාසයක්ද වේ.
දේශපාලන ජයග්‍රහණයේ වැදගත්ම නිර්ණායකය වන්නේ පොදු ජන මනස දිනා ගැනීමයි. එම ජයග්‍රහණය සංකේතවත් වන්නේ සෙසු දේශපාලන කණ්ඩායම්වලටද ජන මනස දිනූ නායකත්වයේ සටන් පාඨම උච්චාරණය කරන්නට සිදු වීමෙනි. අඩු තරමින් ජෝසෆ් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු වමේ නායකයින් පැහැරගෙන යාමේ සිද්ධියේ පටන් ජන මනස හැරුණේ වමටය. කොතලාවල පණත් කෙටුම්පතට එරෙහිවය. අධ්‍යාපනයේ පුද්ගලීකරණයට සහ මිලිටරිකරණයට එරෙහිවය. එම සටන කාගේත් සටනක් බවට පත් විය. වමේ දේශපාලනයේ අවසානය ලකුණු කිරීමට සිතා සිටි අයවළුන්ට පවා වම පසුපසින් එන්නට සිදු විය. දෘෂ්ටිවාදීමය සහ සදාචාරමය තලයේ ලබන ජය එයයි. දෘෂ්ටිවාදීමය සහ සදාචාරමය තලයේ ලබන ජය දේශපාලන ජයග්‍රහණය සඳහා අත්‍යාවශ්‍ය වූවකි. අපට ග්‍රාම්ස්චිගෙන් ඉගෙනීමට ඇති පාඩම වන්නේ එයයි.
ගුරු අරගලය සඳහා වාතාවරණය සැකසුණේ කොතලාවල පණත් කෙටුම්පතට එරෙහි අරගලයෙනි. ඒ ආශ්‍රිත සිද්ධි දාමයෙනි. ආරම්භයේ පටන් ජන මනස හැරුණේ ගුරු අරගලයට පක්ෂවය. ගුරු උද්ඝෝෂණ සඳහා දිවයින පුරා පැවති සහභාගීත්වය පාලනාධිකාරය පමණක් නොව අරගලයේ නායකත්වය පවා අපේක්ෂා නොකළ තරමේ එකකි. වසංගතය සමග ජන අරගල දේශපාලනය අවසන් වී යනු ඇතැයි පුරෝකථනය කළ පඬිවරුන්ගේ අනාගත වාක්‍යයන් යළිත් වරක් බොරු වී ගියේය. ලාංකීය ජෝජ් ෆ්ලොයිඩ් නිමේෂය උදා වූවාක් වැනි විය.
නමුත්, දැන් දේවල් අනිත් අතට චලනය වන්නට පටන්ගෙන තිබේ. මන්ද යත්, අද දිනයේ ජන මනසේ හැසිරීම සම්බන්ධයෙන් වඩා බලවත් සහ තීරණාත්මක සාධකය වන්නේ වසංගතයයි. එය සහේතුකය. වසංගතය පැරදවීම වමේ දේශපාලනයේ ආසන්න අරමුණක් නොවුවහොත් වමට හිමි වූ ජනතා කැමැත්ත ඉක්මණින් දියවී යනු ඇත. වසංගත-ධනවාදයට සහ මරණ-දේශපාලනයට (necropolitics) එරෙහිව “වසංගත-කොමියුනිස්ට්වාදයක්” සහ “ජීවිත-දේශපාලනයක්” ගෙන ඒමට වමේ බලවේග සමත් විය යුතුය. මේ මොහොතේ ප්‍රති-හෙජමොනික දේශපාලනයේ මග එයයි. වාමාංශික-ප්‍රජාතාන්ත්‍රික සහයෝගීතාවක් ගොඩ නැගීමේ එක් අරමුණක් විය යුත්තේ වසංගතය තුළ ක්‍රියාත්මක වන මරණ-දේශපාලනයට එරෙහිව ජීවිත-දේශපාලනයක් පහළ සිට ගොඩ නැගීමයි.
මේ නව-තත්ත්වය තුළ ගුරු අරගලයේ එක් සටන් ක්‍රියාමාර්ගයක් වන වීදි සටන් තාවකාලිකව පසුපසට ගැනීම ජන මනසට ආමන්ත්‍රණය කිරීම පැත්තෙන් සාධනීය පියවරක් බව මගේ හැඟීමයි. එය ජනතා උද්ඝෝෂණ මගින් වෛරසය පැතිර යන්නේය යන පාලනාධිකාරයේ ප්‍රචාරයට යට වීමක් නොවේ. කවර මතබේද මධ්‍යයේ වුවද, නුවර සිට එන්නට නියමිතව තිබූ පා ගමන නවත්වන ලද්දේ ජන විඥානය තුළද වසංගත භීතිකාව පෙරට ආ තත්ත්වයක් තුළ බව සැලකිල්ලට ගත යුතුය. වසංගතය පැතිර යාම ගැන කතාව පාලනාධිකාරය විසින් දැනුවත්ව ගොඩ නගන්නක් ලෙස සලකා බැහැර කළ නොහැක. මන්ද යත්, අපට දැන් දෛනික ජීවිතය තුළ වසංගතයක අත්දැකීම දැනෙමින් තිබේ. පාලනාධිකාරයේ නොවන මූලාශ්‍රවලින් එන තොරතුරු වඩා භයානකය. සැබවින්ම පාලනාධිකාරය දැන් වසංගතය වැඩි කොට පෙන්වනවා නොවේ. එය මෙතෙක් කල් වසංගතය අඩු කොට පෙන්වූවා පමණි. වසංගත තත්ත්වය බරපතලව ගත යුතු යැයි ආණ්ඩුවේ-නොවන පාර්ශව වෙතින් ඉදිරිපත් වන ඉල්ලීම් මගින් කියැවෙන්නේ මෙයයි.
රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු වෘත්තීය සංගම්වලින් කළ ලිඛිත ඉල්ලීම එක් කදිම නිදසුනකි. එම ලිපිය තුළ බලවත්ම ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුවටයි; එය ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණ බව පිළි ගනී; ගුරුවරුන්ගේ අරගලයට සහාය පළ කරයි; ඒ අතරම වීදි සටන් මදකට නතර කරන ලෙස පමණක් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි. මේ මොහොතේ ගුරු අරගලයට පක්ෂ ජන මනස වැඩ කරන්නේද මෙලෙසයි;
“අපි උඹලගේ පැත්තේ, ඒත් මේ වෙලාවේ වෙන උපායක් තෝරා ගනිල්ලා..”මේ තුළ කිසියම් අනතුරු ඇඟවීමක්ද ගැබ්ව පවතී; “වසංගතය පැතිරීමේ චෝදනාව උඹලගේ පැත්තට දාන්න ඉඩ දෙන්න එපා; උඹලව සෙසු සමාජයෙන් හුදෙකලා කරලා මර්දනය කරන්නයි යන්නේ, ඒ උගුලට අහුවෙන්න එපා…”
මේ තත්ත්වය තුළ වෙනත් ක්‍රියාමාර්ග තෝරා ගැනීම යනු පරාජයක් නොවේ. ජයග්‍රාහී ලෙස අඩියක් පස්සට ගැනීමකි. සමාජ දුරස්තභාවය පවත්වා ගනිමින් කරන විරෝධතා වැනි ක්‍රම දැනටමත් සාර්ථකව අත්හදා බලා තිබේ. ඊට අමතරව දැන් දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ අරගලය වෙත වැඩි බරක් දැමිය හැකිය. ගුරුවරුන් යනු කොහොමටත් දෘෂ්ටිවාදී අරගලයේදී වැදගත් පිරිසකි. ගුරුවරුන් සතු සැබෑ බලය එයයි. ජන මනසට බලවත්ව බලපෑම් කළ හැකි ආකාරයෙන් එම බලය ක්‍රියාවට නැගීමේ ක්‍රම ගැන දැන් අප කල්පනා කළ යුතුව තිබේ.
ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන්ද මේ කරුණු වලංගුය. දැන් ශිෂ්‍ය විරෝධතා ප්‍රචණ්ඩ වීදි සටන්වල ස්වරූපයෙන් සිදු වනවාට වත්මන් සිවිල්-මිලිටරි පාලනාධිකාරය කැමති වනු ඇත. වීදි සටන් කෙරෙහි ජනතා සහයෝගය ක්ෂයව යන මොහොතක ඔවුන් දන්නා මර්දනයේ විසඳුම ක්‍රියාවට නැගීමට පාලකයින් පසුබට නොවනු ඇත.
වමට හැරුණු මාසය වමට හැරුණු වසරක් හා ඉන් ඔබ්බට රැගෙන යන්නට නම් කොරෝනා ධනවාදය ගැනත් ජන මනසේ සියුම් වෙනස්වීම් ගැනත් තියුණු සංවේදීතාවක් සහිතව ඉදිරි ක්‍රියාමාර්ග තෝරා ගත යුතුව තිබේ.
සුමිත් චාමින්ද | Sumith Chaminda