2006 වසරේ අගෝස්තු 20 වන දින කතෝලික පූජකවරයෙකු වූ ජිම් බ්‍රව්න් පියතුමා සහ ඔහුගේ සහයකයා වූ වෙන්සස්ලව්ස් විමලතාස් මහතා අතුරුදහන් වූහ. නාවික හමුදාව විසින් පාලනය කරන ලද ගමක අවතැන් වූ සිවිල් වැසියන් පිරිසක් බැලීමට යාමේදී, ඔවුන් අවසන් වරට යාපනය දිස්ත්‍රික්කයේ අල්ලෙයිපිඩ්ඩි හි පිහිටි නාවික හමුදා මුරපොළකදී දැක ඇත.


අගෝස්තු මාසය, අල්ලෙයිපිඩ්ඩි ගම්මානයට ඛේදජනක මාසයක් විය. සටන් වලට මැදිව පිළිසරණය සොයා ප්‍රාදේශීය දේවස්ථානයට පැමිණි සිවිල් වැසියන් පිරිසක් අගෝස්තු 12 වන දින රාත්‍රියේ බ්‍රව්න් පියතුමන් විසින් පිළිගන්නා ලදී. එහෙත් දේවස්ථානයට ද ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරයේ දී 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් පිටතට ගෙන යාමට බ්‍රව්න් පියතුමා විසින් නාවික හමුදාවෙන් අවසර ඉල්ලා සිටින ලදී. එසේම එම වසරේ මැයි මාසයේදී එම ගම්මානයේ මාස හතරක ළදරුවෙකු සහ සිවු හැවිරිදි දරුවෙකු ඇතුළුව 9 දෙනෙකු ඝාතනය වූහ.

ඒ සමය, මිලිටරීකරණය වූ යාපනය දිස්ත්‍රික්කයේ සහ රටේ අනකුත් ප්‍රදේශවල බොහෝ දමිල ජනයා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට භාජනයවූ සමයකි. නමුත්, බ්‍රවුන් පියතුමා, කතෝලික පියතුමෙකු වීම නිසා පියතුමාගේ අතුරුදහන් වීම රටේ කතා බහට ලක් විය. එහෙත්, කතෝලික පියතුමෙකුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පවා යුක්තිය හා සත්‍ය ඉටු නොවී තිබිය හැකි බව පසුගිය වසර 15 පුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ. මෙතුමා අතුරුදහන් වී වසර තුනකටත් වඩා අඩු කාලයකට පසුව, 2009 වසරේ මැයි මාසයේ යුද්ධයේ අවසන් දිනයේදි, තවත් කතෝලික පියතුමෙකු වූ ෆ්‍රැන්සිස් ජෝසෆ් පියතුමා අතුරුදහන් විය. අවසන් වරට එතුමාව දක්නට ලැබී ඇත්තේ හමුදාවට බාරවීමෙන් අනතුරුව හමුදා බසයකින් රැගෙන යනු ලැබූ අවස්ථාවේදීය. අතුරුදහන් වූ සහ ඝාතනයට ලක්වූ වෙනත් කතෝලික පියතුමන්ලා ද සිටින අතර ඔවුන් සියලු‍ දෙනාම පීඩිත සිවිල් වැසියන්ට උපකාර කිරීමට ස්ව-කැමැත්තෙන්ම ඉදිරිපත් වූ සහ අයුක්තියට එරෙහිව හඬ නැගූ අය වූහ. මෙලෙස, අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් පිලිබඳව පැමිණිලි 65,000කට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය ආයතන වෙත ලැබී ඇත.

වසර පහකට පෙර මාධ්‍යවේදී ඩි.බී.එස්. ජෙයරාජ් මහතා ලියූ ලිපියක සඳහන් වන්නේ, වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ලබාදී තිබියදීත් අවසන් වරට බ්‍රව්න් පියතුමාව දුටුවේ යැයි සැලකෙන මුර පොළේ ලොග් පොත පොලීසියට බාරදීම නාවික හමුදාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි. මහේස්ත්‍රාත්වරිය සහ පොලීසිය අල්ලේපිඩ්ඩි ගම්මානයෙන් පිටත්ව යන විට නාවික හමුදාව අහසට වෙඩි තැබූ බව ද එහි තවදුරටත් සඳහන් විය. 2007 වර්ෂයේ මානව හිමිකම් වෙනුවෙන් වූ විශ්ව විද්‍යාල ආචර්යවරුන්ගේ වාර්තාවෙහී ද(ඹඔ්‍යඍ-යාපනය) එවැනිම ආඛ්‍යානයක් සඳහන් වී තිබුණි. නාවික හමුදාව බ්‍රව්න් පියතුමාට විරුද්ධ වූ බවත්, එතුමා මුරපොළ වෙත වාර්තා කළ බව දැක්වෙන නාවික හමුදාවේ ලොග් පොතේ සඳහන් වන වේලාව සහ එම අවස්ථාව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ පියතුමෙකු සඳහන් කරන වේලාව අතර පරස්පරතාවයක් තිබෙන බව ද දෙදෙනාම පැහැදිලි කර ඇත.

බ්‍රව්න් පියතුමාගේ අතුරුදහන් වීම, 2006 වසරේ මැයි මාසයේදී අල්ලෙයිපිඩ්ඩි ගම්මානයේ සිදුවූ සමූල ඝාතන සම්බන්ධයෙන් සහ ඒ ආසන්නයේ පිහිටි ගම්මාන දෙකක සිදු වූ සිව් ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් 16ක් විමර්ෂණය කරන ලෙසට 2006 වසරේදි පත් කරන ලද ජනාධිපති කොමිසමෙන් ඉල්ල සිටින ලදි. 2009 වසරේ මැයි මාසයේදි එම කමිටුවේ වාර්තාවලට අනුව, ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම හේතුවෙන් බ්‍රව්න් පියතුමාගේ නඩුව විමර්ශනය නොවූ අතර මියගිය පුද්ගලයින්ගේ මල සිරුර සොයා ගැනීමට නොහැකිවී තිබේ. එලෙසම තවදුරටත් එම කමිටුව වාර්තා කරන්නේ අල්ලෙයිපිඩ්ඩි සමූල භාතනය පිළිබඳව විමර්ශනය කිරීමට කාලයක් නොලැබුණු බවය.

පසුව, බ්‍රවුන් පියතුමාට සිදුවූ දෙය නොදැන එතුමාගේ මව මිය ගියාය. මා ඔවුන්ගේ නිවසට ගිය සෑම අවස්ථාවකම එතුමන්ගේ වයෝවෘද්ධ පියා, ඔහු මිය යාමට මත්තෙන්, පියතුමාට සිදුවූ දෙය පිළිබඳව දැනගැනීමට හැකිවේදැයි විමසිල්ලෙන් සිටින බව මට පසක් විය.

දේවස්ථානවලට පහරදීම්

යුධ සමයේදි යාපනය රදගුරු පදවිය තුළ සිවිල් වැසියන් මිය ගිය එකම දේවස්ථානය අල්ලේපිඩ්ඩි දේවස්ථානය පමණක් නොවේ. 1995 වසරේ ජූලි මාසයේදි, නවාලි කතෝලික දේවස්ථානයට සහ ඒ අවට ගම්මානවලට එල්ලවූ ගුවන් ප්‍රහාර මගින් සිවිල් වැසියන් 147 පමණ මිය ගිය අතර, ඔවුන් අතරින් බොහෝ දෙනෙක් අවතැන්වූවන් සහ දේවස්ථානයේ සරණ සොයා පැමිණි අය වූහ. 1993 වසරේදි ගුරුනගර් කතෝලික දේවස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් ද සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගියහ.

2019 වසරේදි ඊට හාත්පසින්ම වෙනස් පසුබිමක් තුළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පාස්කු ඉරිදා දිනදී කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකකට සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේවස්ථාන තුනකදි 200ක් පමණ පිරිසක් මිය ගියහ. ඊට සමගාමීව හෝටල් වලට එල්ලවූ ප්‍රහාර වලින් මරණ 70ක් පමණ සිදුවූ අතර තුවාල ලැබූවන් ගණන 600ක් පමණ වන බව අනුමාන කර ඇත.

එම ප්‍රහාරය සිදුවී වසර දෙකයි මාස හතරකට පසු දින දී, කළු කොඩි ඔසවා, දේවස්ථානවල සීනු නාද කරමින්, සත්‍ය හා යුක්තිය ඉල්ලා කොළඹ අගරදගුරු පදවිය විසින් උද්ඝෝෂණයක් කැඳවන ලදි. මෙම වසරේ මාර්තු මාසයේ පැවති කළු ඉරිදා විරෝධතාවයට සමානව පැවැත්වීමට නියමිත මෙම කළු කොඩි එසවීම වෙනුවන් මේ වනවිටත් ජන මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරණයක් ලැබී ඇත. කොළඹ අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ බොහෝ කතෝලිකයන් ජාත්‍යන්තර සහය ද බලාපොරොත්තු වන්නේ සත්‍යය සහ යුක්තිය පිළිබඳව දැනට රට තුළ පවතින ක්‍රියාදාමය කෙරෙහි විශ්වාසය හා බලාපොරොත්තු බිඳ වැටී ඇති පසුබිමකය.

මේ නැගෙන්නේ බ්‍රවුන් පියතුමාගේ අතුරුදහන් වීම වැනි සිද්ධීන් ඇතුළුව දමිල ජනයා(කතෝලිකයන්ද ඇතුළුව), දශක ගණනාවක් තුළ කළ ඉල්ලිම් හා ඔවුන්ගේ හැඟීම්වල ප්‍රතිරාවයකි. දේශිය හෝ ජාත්‍යන්තර හෝ වේවා, විවිධ ජනවාර්ගික කණ්ඩායම් එක්ව ගන්නා උත්සහයන් මගින් යුක්තිය උදෙසා කරන අරගල ශක්තිමත් වන අතරම සහයෝගීතාව සහ සහජීවනය වර්ධනය වනු නිසැකය.

*අගෝස්තු මස 20 වනදා Groundviews වෙබ් අඩවියේ පළවූ 15 Years Later, No Truth or Justice for Missing Priest and Aide ලිපියේ පරිවර්තනයකි
.[VIKALPA.ORG]

රුකී ප්‍රනාන්දු | Ruki Fernando