iMage courtesy; maatram.org

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි 2021 මාර්තු මස 08 වන දින හා අප්‍රේල් මස 29 වන දින මාධ්‍ය වාර්තා පවසයි. මෙම ප්‍රතිසංස්කරණ හරහා නීත්‍යනුකූල විවාහය සඳහා අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම, විවාහ ලියාපදිංචි සහතිකයේ අත්සන් කිරීමට මනාලියට අවසර දීම, බහු විවාහය තහනම් කිරීම සහ ක්වාසි අධිකරණ ක්‍රමය අහෝසි කිරීම සිදු කෙරෙනු ඇත. ඒ සඳහා වත්මන් අධිකරණ අමාත්‍යවරයා විසින් 2020 දෙසැම්බර් මසදී පත් කරන ලද උපදේශක කමිටුව එහි නිර්දේශ ජූනි 21 වන දින බාර දෙන ලදි.

එම කමිටුවේ කාර්යභාරය අමාත්‍ය මණ්ඩලය විසින් සංශෝධනය කළ ද කිසිඳු කමිටු සාමාජිකයෙකු ඊට විරෝධය පළ කරමින් ඉල්ලා අස්වූයේ නැත. කෙසේ වුවද, පිරිමි පාර්ශවයේ සාමාජිකයන් තිදෙනකු ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වෙනම ලේඛනයක් බාර දුන් බව වාර්තා වෙයි. අනෙකුත් සාමාජිකයන් හා එක්ව මූලික වාර්තාවට අත්සන් තබා ඉන් අනතුරුව වෙනම විරුද්ධත්වය පළ කිරීම මගින් ද කියා පානා දෙයක් ඇත. පෙනී යන අයුරින් නම් ඒ සිය ප්‍රධානීන් අනුගමනය කිරීමට හා ඔවුන් සතුටු කිරීමට ඇති උවමනාවයි.

බලාපොරොත්තු වූ පරිදි ම, සමස්‌ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයන් ඔවුන්ගේ තක්කඩිකම් පටන්ගෙන ඇත. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අපචාරී ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු උපක්‍රම කිහිපයක් මඟින් තද කරගෙන සිටින ග්‍රහණය මුදා හැරීම ඔවුන්ට අවදානම්ය. මුස්ලිම්වරුන් දැනුවත් කිරීමට සහ විශේෂයෙන්ම කාන්තාවන් හා ගැහැණු ළමයින්, යම් තාක් දුරකට හෝ ශරියා නීතියට අනුකූල වන පරිදි, මෙකී ග්‍රහණයෙන් මුදා ගැනීමට සිදු කෙරෙන ගන්නා ඕනෑම උත්සාහයක් ම වැළැක්වීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ එහි අනුග්‍රාහකයන් තමන්ට හැකි සෑම සූක්ෂම සහ නොසැඟවූ කපටි උපක්‍රමයක්ම දරනු ඇති අතර, එය සෘජුව මෙන්ම විවිධ පෙරකදෝරුවන් යොදා ගනිමින් සිදු කරනු ඇත.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ (ACJU) අය තම අයුතු ක්‍රීඩාව ආරම්භකර තිබේ. විවාහවීමට අවම වයසක් නියම කිරීම සහ කාන්තාවන් ක්වාසිවරුන් ලෙස පත්කිරීම ඉස්ලාම් විරෝධී බවත්, එබැවින් ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකකළ හැකි බව කැබිනට් තීරණවලට පෙර ඔවුන් ප්‍රකාශ කොට තිබේ. එහෙත්, බහු විවාහ හා ක්වාසි උසාවි ඉවත් කිරීමට ප්‍රතිසංස්කරණ සිදු වන ඉව දැනගත් ඔවුහු තමන්ගේ ගැලවීම සඳහා ඉලක්කය වෙනස් කරමින් සිටිති. ඒවා අලුත් දේව පණිවුඩ දැයි කියා අපි නොදනිමු! විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ලෙස පිළිගැනීමට විරෝධයක් නොමැති බවට පවා ඇතැමුන් අමාත්‍යවරයා ඉදිරියේ සහතික වී ඇත. එවන් අදහසකට එකඟ වීමෙන් ම පෙනී යන්නේ, ඔවුන් මෙතෙක් පෙනී සිට තිබෙන්නේ තම ආත්මාර්ථකාමී අභිලාෂ වෙනුවෙන් පෙනී සිටීම මිස දේව නියමයක් වෙනුවෙන් නොවන බවයි. තව ද ඔවුන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව මට හැඟී යයි. ඔවුන් එහිදී ප්‍රතිසංස්කරණවලට පක්ෂ බවට පෙනී යන කාන්තාවන්ද තම පැත්තට නම්මවා ගනිමින් සිටිනු පෙනේ.

බහු විවාහයට ඇති ඉඩ අපයෝජනයට ලක්කරමින් සහ එය රිසි සේ භුක්ති විඳිමින් සිටියවුන් “අල්-කුරානයේ බහු විවාහය පිළිබඳව වූ අයිතීන්” ඇති බව පවසමින් හඬ නගනු දැකිය හැකිය. අනෙක් අතට, ප්‍රතිසංස්කරණවලට සහාය දීම පිණිස, තම පරිගණක යතුරු සහ සමාජ භාවිතය පමණක් ඉතා හොඳින් ප්‍රගුණ කර සිටින නාගරික කාන්තාවන් කිහිප දෙනෙකු ක්වාසි උසාවි නැති කර දැමීමට වන යෝජනාව ප්‍රශ්න කිරීම සහ විවේවචනය අරඹා තිබේ. බිම් මට්ටමේ කාන්තා ක්‍රියාකාරිණියන් හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනිසි භාවිතයේ කාන්තා වින්දිතයන් උලමා සංවිධානයේ මතයට පොළඹවා ගැනීමේ ප්‍රයත්නය ද මෑතකදී ව්‍යර්ථ වී ගියේය. ඒ, සංශෝධිත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය අධිකරණය යටතට පැවරීම වඩාත් යෝග්‍ය බවට එකී වින්දිත කාන්තා ක්‍රියාකාරිණියන් එකඟ වීමත් සමගය. වෙනසක් ඉල්ලා සිටි කාන්තා ක්‍රියාකාරිණියන් කිහිප දෙනකු විසින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ප්‍රශ්න කිරීම යනු උලමා සංවිධානයට පක්ෂ වූවන්ට දිව භෝජනයක් වනු ඇති බව කාන්තාවන්ට නොවැටහිණි. ඔවුන් සිය කැමැත්තෙන්ම අපරාධ සහායකයන් වූවා නම් මිස එය කණගාටුදායකය.

1956 සිට මේ දක්වා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම වෙනුවෙන් අඩුම වශයෙන් කමිටු පහක්වත් පත්කර තිබේ. ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට දැන් පත්කර ඇති කමිටුවට පෙරාතුව වෙනත් කමිටුවක් 2009 වසරේදී එවක අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කර තිබිණි. එහි කමිටු සාමාජිකයන් නම දෙනෙක් වසර නමයක් පමණ පුරා සාකච්ඡා කර පෙර නිරීක්ෂණයක් ගෙන හැර දක්‌වමින් තම විරුද්ධ මතය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ මෙලෙසිනි: “අපගේ සමාලෝචිත මතය වන්නේ පනත පවත්නා අයුරින් එයට සංශෝධන අවශ්‍ය වන්නේ ඉතා සුළු වශයෙන් බවයි. එමෙන්ම, මෙම පනත දිගු කාලයක් පුරා ජනසම්මතව පැවතීමට සමත්ව ඇත…” මේ අයුරින් වසර නමයක් පුරාවට සිතා බැලූ ඔවුන්ගේ චින්තන ස්වභාවය හෙළි වන අතර මෙම සාමාජිකයන් නම දෙනාම එම කමිටුවේ චේතනාන්විතව කියා කර ඇත්තේ ප්‍රතිසංස්කරණවලට අකුල් හෙළීමට බව සිතීම සාධාරණ නොවන්නේද?

පෙර පරිදි ම, නව කමිටුව ද වාර්තාවක් භාර දී ඇත. කෙසේ වුවද, මුස්ලිම් කාන්තාවන් උදක්ම ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ සිදුවීම වළක්වාලීමට උත්සාහ කරන්නෝ ඉවක් බවක් නැතිවම ක්‍රියා කරමින් සිටිති. අධිකරණ අමාත්‍යවරයාට පසුව යොමු කළ ලිපිය ද ඔවුනට අවැසි දේ සිදු කරගැනීමට දරන ලද උපක්‍රමයකි. ඔවුන් එවැනි දෙයෙහි කප්පිතන්ය. ඔවුන් මෙතැනින් ද නොනවතිනු ඇති බැවින් ඉදිරියට තවත් උප්පරවැට්ටි බලාපොරොත්තු විය හැකිය.

බහු විවාහය

ඉස්ලාමයේ බහු විවාහය අනිවාර්ය නොවේ. එය වඩාත් ප්‍රිය වූ විකල්පය ද නොවේ. මුස්ලිම් රටවල් වන ටියුනීසියාව සහ තුර්කිය බහු විවාහය තහනම් කොට තිබේ. බහු විවාහයට අවසර දීම, එය පිළිගැනීම හෝ එහි අදාළත්වය පිළිබඳව නීති විශාරදයන් අතර පවා මතවාදයන්ගේ විවිධත්වයක් තිබේ. මුස්ලිම්වරුන් කියා සිටින පරිදි තමන්ට පාවා ගත හැකි ස්ත්‍රීන් සංඛ්‍යාවේ නියම සංඛ්‍යාවක් නොමැති තැන ඉස්ලාමය විසින් වසර 1450 කට පමණ ඉහතදී බහු විවාහය සීමා කරන ලදි. මෙබැවින්, බහු විවාහයේ නීති සංග්‍රහයට ඉතිජිහාද් (එනම්, ස්වාධීන නිගමනය) අදාළ කරගැනීම මුස්ලිම්වරුන්ට වඩාත් යෝග්‍ය වේ.

බහු විවාහ සාධාරණීකරණය සඳහා ශුද්ධ වූ කුරාණයේ පිහිට සොයා යෑමට උත්සුක වන අය, අප ශ්‍රී ලාංකේය සමාජය මත බහු විවාහය මගින් ප්‍රායෝගිකව සිදු කර ඇති බලපෑම තක්සේරු කිරීමටද මදක් නතර විය යුතුය. බහු විවාහ සාධාරණීකරණය කිරීමට ක්‍රිස්තු පූර්ව යුගයේ දාර්ශනිකයන් හා කවියන් ගෙන හැර පෑම වෙනුවට ළමා අපචාර, තම කාලත්‍රයා අපයෝජනය සහ හිංසාකිරීම, හිතූ මනාපයේ දරුවන් සහ පවුල අත හැර දමා යාම, විවාහය ලියාපදිංචිය අනිවාර්ය නොවන නිසා දරුවන්ට පියාගේ නම නොලැබීම, එවන් දරුවන්ට පාසල් යාමේදී හෝ විවාහ දිවියට එළඹෙන විට පවා මුහුණ දීමට සිදුවන අභියෝග ආදී යථාර්ථයන් ප්‍රජාවක් ලෙස ගැඹුරින් විමසා බලා ඒවා පිළිගැනීම ප්‍රයෝජනවත් නොවන්නේද? බහු විවාහයට යොමු වූවන් පවා බිරියන් හතර දෙනෙකු යන උපරිම සීමාව ඉක්මවා යෑම සුලභය.

මෙම පසුබිමෙහි, බහු විවාහය කිසිසේත්ම ලිහිල් කළ නොහැකි කොන්දේසිවලට යටත් බව යම් අයෙකු පවසන්නේ නම්, ඒ අමූලික බොරුවකි, පරම වංචාවකි. තවද, බහු විවාහ සබඳතාවලට අවසර දීම මගින් කාමමිථ්‍යාචාරය වැළකී හෝ සීමා කෙරී ඇති බව මුස්ලිම් ප්‍රජාවේ යමකු කියයි නම් ඔහු යථාර්ථය නොදකින්නෙකි.
එමෙන්ම, බහු විවාහ නිසා විවාහයෙන් බාහිර සබඳතා හෝ නොනිල බහුභාර්යාවන් නැති වී ඇතැයි පවසන ඕනෑම අයෙකු ද යථාර්තය සමග කිසිදු සම්බන්ධයක් නොමැති අයෙකි.

ශ්‍රී ලංකාවට සැබෑ බහුත්වවාදී රාජ්‍යයක් ලෙස පරිණාමය වීමට දැන් කාලය පැමිණ තිබේ. මුස්ලිම්වරුන් වන අපට අන් අයට මෙන්ම සමානයින් ලෙස සැළකීම අවශ්‍ය වේ. මේ සන්දර්භය තුළ, මෙම “මුස්ලිම්වරුන්ගේ ප්‍රබල භාරකරුවන්” ලෙස පෙනී සිටින කණ්ඩායම අප වැන්නවුන් පීඩාවට පත් කිරීම හා සියුම්ව බිය ගැන්වීම නවතා මුස්ලිම්වරුන් පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කරමින් බහුත්වවාදය ඇගයිය යුතු නොවේද?

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සිය දෙබිඩි පිළිවෙත මනාව ප්‍රදර්ශනය කරන ලද අවස්ථා ගණනාවකි. හලාල් සහතිකය වෙනුවෙන් නිසි ලෙස පෙනී නොසිටීම, ව්‍යවස්ථාමය වශයෙන් ආරක්ෂා කර ඇති බැවින් අහිමි නොකළ හැකි මානව අයිතියක් වන භූමදාන අයිතිය පාවා දීම ඒවායින් කිහිපයකි. එයින් ද නොනැවතුණු ඔවුන් මානව හිමිකම් හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හොඳින් ආරක්‍ෂා වී නොමැති තත්ත්වයක් තුළ පවා එසේ වී ඇතැයි කීමට කුහක විය. ප්‍රජාවේත් සමාජයේත් යහපත වෙනුවෙන්, බොහෝ මුස්ලිම් කාන්තාවන් හා ළමයින් අපයෝජනයට හා හිංසනයට ලක්කිරීමට භාවිතාකර ඇති අත්‍යවශ්‍ය හෝ ආගමික වශයෙන් අනිවාර්ය නොවන බහු විවාහය වැනි කාරණයක් සම්බන්ධයෙන් සම්මුතියක් ඇතිකර ගැනීම පිළිබඳව ඔවුන් සිතිය යුතුය. යමක භාවිතාව රැඳී පවතින්නේ පොදු යහපතේය (මස්ලාහාහ් මුර්සලාහ්) යන්න ඉස්ලාමීය නීති සංග්‍රහයේ එන මූලධර්මයකි.

ක්වාසි උසාවි

සියලු මුල්බැසගත් ගැටලුවල උල්පත ක්වාසි අධිකරණ පද්ධතිය යැයි බොහෝ කලක සිට පවා පිළිගැනීමට ලක්ව තිබේ. ක්වාසි අධිකරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට ඇති වන මතයට එක් පධාන හේතුවක් නම් ඒවායේදී කාන්තාවන්ට සිදු වූ අසාධාරණකම්ය. ඒ, එම නීතියට සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන්ට අමතර වශයෙනි. ක්වාසි අධිකරණෙයේ පිහිට ඉල්ලා යන සෑම අවස්ථාවකදීම කාන්තාවන් හට අපයෝජනයටත්, අපකීර්තියටත්, වෙනස් කොට සැලකීමට සහ අනාරක්‍ෂිතභාවයට පත්වීමටත් සිදු වන බව දැනෙයි. ක්වාසි අධිකරණ යුක්තියේ සොහොන් බිමක් වී තිබේ.

ඒ බව සනාථ කිරීම සඳහා සංඛ්‍යාලේඛන, නඩු නිර්දේශ, පර්යේෂණමය සොයා ගැනීම් සහ සාක්ෂි ඉතා විශාල ලෙස තිබේ. මෙය සජීවී යථාර්ථයක් වන අතර, යුක්තිය සහ ක්වාසි අධිකරණය එකට ගමන් නොකරයි. ඇත්ත වශයෙන්ම, ක්වාසි අධිකරණ පද්ධතිය තවදුරටත් පවත්වා ගත නොහැකි යැයි බොහෝ මුස්ලිම්වරු එකඟ වෙති. එම උසාවි පද්ධතිය එහි පාදමටම කුණු වී තිබේ. එමගින් ඉස්ලාමයේ පරම මූලධර්ම වන සමානාත්මතාව සහ සාධාරණ ලෙස සැලකීම උල්ලංඝනය වේ. ක්වාසි අධිකරණ සැබවින්ම ඉස්ලාමයට පටහැනි දෙයක් බවට පත්වී තිබේ.

ක්වාසිවරයෙකු වීමට නීතියෙන් අවශ්‍ය වන එකම සුදුසුකම නම් “යහපත් චරිතයක් ඇති මුස්ලිම් පුරුෂයෙකු” වීමයි. තනි පුද්ගලයන් වශයෙන් සුවිශේෂී ලෙස කැපී පෙනෙන කිහිප දෙනෙකු හැරෙන්නට පොදුවේ ක්වාසිවරුන් ගැන කිව හැක්කේ, යහපත් චරිතය හැර වෙනත් ඕනෑම දෙයක් ඔවුන්ගෙන් බලාපොරරොත්තු විය හැක බවයි. පෙර කමිටුවේ සිටිමින් සිය සුපුරුදු නොමග යැවීමේ කාර්යයෙහි නිමග්නව සිටියේ ක්වාසිවරුන් ලෙස නීතිය හැදෑරූවන් හෝ සාක්ෂි අපක්ෂපාතී ලෙස විනිශ්චය කිරීමේ පුහුණු හැකියාවෙන් යුත් පළපුරුද්දක් පැවතිය යුතු බවටවත් එකඟ නොවූ පිරිසකි. ප්‍රමිතිය මේ තරම් බාල වෙද්දී නීතීඥවරු ක්වාසිවරු වීමට උනන්දු වන්නේ නැත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සමස්‌ත ලංකා ජමියතුල් උලමා සංවිධානය තම සාමාජිකයන් ක්වාසිවරු ලෙස පත්කර ගනිති. මෙම තත්වය ප්‍රජාව සහ රට වෙනුවෙන් හොඳ නිමිති පහළ කරන්නේ නැත.

ඉස්ලාමය යනු සමාජ සාධාරණත්වය අගයන ආගමකි. පවත්නා ක්‍රමය කාන්තාවන්ට යුක්තිය පමුණුවීමට සකස් වී නොමැති බවක් දිගින් දිගටම දැනෙන්නේ නම් එවැන්නක් නොනසා පවත්වා ගන්නේ ඇයි? කාගේ උවමනාවටද? ක්වාසි උසාවිවල පිහිටෙන් විපාක වලින් ගැලවී සිටින්නන්ට නිසැකවම එය අඛණ්ඩව පවත්වා ගැනීමට අවැසිය. ඒ ක්වාසි උසාවි වලට අත නොගහන තාක් ඕනෑම ප්‍රතිසංස්කරණයක් ඵල රහිත වන බව ඔවුන් දන්නා බැවිනි.

ක්වාසි අධිකරණය නම් ආයතනය යුක්තිය පසිඳලීමේ ප්‍රධාන ධාරාවෙන් පිටත තිබෙන ආයතනයකි. ඒ සඳහා භෞතික හෝ පරිපාලනමය වශයෙන් නිසි යටිතල පහසුකම් කිසිවක් නැත. ක්වාසි මණ්ඩලය ඇතුළුව මේ උසාවි ක්‍රියාත්මක වන්නේ සෙනසුරාදා දිනවල පමණි. කෙසේ වෙතත්, මෙම ආයතනය සමස්ත මුස්ලිම් විවාහ, දික්කසාද සහ නඩත්තු පිළිබඳව වූ අතිමහත් පුළුල් අධිකරණ අණසක සහිත ආයතනයකි. වඩාත් නරකම දෙය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානතාත්මතාවාදී විධිවිධාන හා නියාමන මූලධර්ම උල්ලංඝනය කරමින්, මෙම වෙනස් කොට සැලකීමේ පද්ධතිය කෙරෙහි රාජ්‍යය නිහඬ නිරීක්‍ෂකයෙකු, පහසුකම් සපයන්නෙකු සහ අරමුදල් සපයන්නෙකු බවට පත් වී තිබීමයි. බදු ගෙවන්නන්ගේ මුදලින් එවැනි වෙනස් කොට සැලකීමේ යාන්ත්‍රණයක් පවත්වා ගෙන යාම සම්බන්ධව රජය කිසිදු පසුතැවිල්ලක් දක්වා නැත. 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥප්ති සභාවේදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අදාළව නැගුණු පැනයකට පිළිතුරු දෙමින් රජය ඇතැම්විට නොදැනුවත්ව හා අපහසුතාවයට පත් අවස්ථාවකින් ඇඟ බේරා ගැනීමට මෙසේ කීය “ඔවුන්ගේ භාවිතාව ඉබේ සිද්ධ වෙන දෙයක් නොවේ. එය ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික කැමැත්තයි…”

මුස්ලිම් කාන්තාවන්ගේ ඉල්ලීම රජය විසින් පුරවැසියන්ට සමානව සැලකීම සහ ආරක්‍ෂාව සහතික කිරීම පිළිබදව වූ රජය සතු යුතුකම මත පදනම් වී තිබේ. කාන්තාවන්ට විශේෂ කොට සලකන ලෙස ඉල්ලා සිටීමක් සේ සැලකීම එම ඉල්ලීමෙහි වැදගත්කම බාල කරනු ඇත. මෙය සිතෙහි දරාගෙන සියලුම මුස්ලිම්වරු ක්වාසි උසාවි නැති කර දැමීමේ යෝජනාවටත් ප්‍රතිසංස්කරණය කරන ලද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රධාන ධාරාවේ අධිකරණය හරහා එනම් දිසා අධිකරණය හරහා ක්‍රියාවෙහි යෙදවීම සහතික කිරීමටත් දායක වීම අවශ්‍යය. පෞද්ගලික නීති නොනැසී පැවැත්වීමටත්, ආරක්ෂා කිරීමටත් නොවරදින ක්‍රමය එයයි. තවද, අන්තිම කැමති පත්‍රයක් නොමැති උරුමක්‍රමය හා බාල වයස්කාර දරුවන්ගේ භාරකාරත්වය අරබයා මුස්ලිම් නීතිය ක්‍රියාවෙහි යෙදවීම පිළිබඳ පිළිගත හැකි සහ සාර්ථක උදාහරණ දැනට ද පවතී. මෙම කාරණා ද්විත්වය ක්වාසි උසාවි මඟින් පාලනය වූවා නම් උද්ගත වන තත්ත්වය ඇඟ කිලිපොළා යවනු ඇත. රටෙහි පරම නීතිය වන ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය හා අනුකූල අනුසිරිත් සහ පෞද්ගලික නීති ගෙන ඒම සඳහා සියලුම ප්‍රජාවන් ඔවුන්ගේ උපරිමය සිදු කළ යුතුය.
දිසා අධිකරණය මගින් නිසැකවම කාන්තාවන් හට වඩාත් අපක්ෂපාතී,, ආරක්‍ෂිත, සමබර හා ගෞරවනීය පරිසරයක් ලබා දෙනු ඇත. දිසා අධිකරණය නිසැකවම කාන්තාවන් කෙරෙහි අගෞරවනීය හා අපහාසාත්මක නොවනු ඇත. දිසා අධිකරණවල කටයුතු සඳහා කල් ගත වන බවට යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් ක්වාසි උසාවි සැමට යුක්තිය පසිඳලීම කඩිනමින් සිදු කරනා බවක්ද මෙයින් කියැවෙන්නේ නැත. “නීතියේ ප්‍රමාදය” ජාතික ගැටලුවකි. වඩා යහපත්, කඩිනම් සහ යුක්තිය සඳහා පහසු ප්‍රවේශයක් සහිතව, නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ලංකාවේ අනෙක් සමාජ කණ්ඩායම් සමග සාමූහිකව කටයුතු කිරීමට මුස්ලිම්වරුන්ට කාලය පැමිණ තිබේ.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතින් ඉවත් වීම මූලික අයිතිවාසිකමකි

ශ්‍රී ලංකා රජය මෙම වෙනස් කොට සලකන ක්වාසි අධිකරණයේ චිරස්ථිතිය සඳහා ආධාර කිරීම සහ අනුබල දීම පමණක් නොව, ක්‍රියාකාරීව මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීම ද සිදුකරයි. සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ මුස්ලිම්වරුන්ට විවාහ වීමට සහ/හෝ දික්කසාද වීමට අවසර නැති අතර, විවාහ කටයුතු සඳහා ඔවුන්ට සාමාන්‍ය උසාවිවල ආධාරය ලබා ගැනීමට ද නොහැකි ය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට විවාහ වීමට අවශ්‍ය නම්, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ පමණක්ම විවාහ වීමට බල කෙරී තිබේ.

දිවයින පුරා මුස්ලිම් කාන්තාවන් විඳින දුක් ගැහැට සියැසින්ම දැක, ඒත්තු ගැන්වී, මුස්ලිම් පුරුෂයින් අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සපයන්නේ නැති බව වටහාගෙන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් විවාහය සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කළාය. ඒවා අතර, විවිහයට පොදු අවම වයස් සීමාවක් නියම කිරීම, මුස්ලිම් ජාතිකයින්ට සාමාන්‍ය විවාහ නීතිය (GMRO) අනුව විවාහ වීම, මුස්ලිම්වරුන්ට දිස්ත්‍රික් උසාවි හෝ ක්වාසි උසාවි දෙකින් එකක් තෝරා ගැනීමට ඉඩ ලබා දීම, සහ දික්කසාදවීමේ දී පිළිසරණ ලබා ගැනීම ආදී කරුණු ආවරණය කරමින් පෞද්ගලික පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබුණි. ඒවා දෙවන වර කියවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත් ඉදිරියට ගෙන යෑමට නොහැකි විය. වර්තමාන පාර්ලිමේන්තුවේ මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ද එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ හා සමාන පෞද්ගලික පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. ඒවා පළමුවර කියවීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු විය. මෙම පනත් කෙටුම්පත් දෙකෙන් එකක්වත් වත්මන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනුවෙන් පෙනී සිටින්නෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට නොමැත.

තමන්ගේම සාමාජිකයෙකු විසින් වැරද්දක් නිවැරදි කිරීමට කටයුතු කරන බව වටහාගෙන ඇති බව පෙනෙන්නට ඇති නිසා, එම පෞද්ගලික පනත් කෙටුම්පත් හරහා ඉල්ලා සිටි කරුණු රජය භාරගෙන ඇති බව පෙනේ. සාමාන්‍ය නීතිය යටතේ මුස්ලිම්වරුන්ට විවාහ වීමට අවසර දීමට පවතින නීතියේ අවශ්‍ය සංශෝධනයන් අනුමතකර ඇති බව වාර්තා වේ.

ප්‍රතිසංස්කරණ වැළැක්වීමේ උත්සාහයන්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම වැළැක්වීමට දැඩි උත්සාහයක් දරන අයගේ උත්සාහය නම්, මුස්ලිම්වරුන්ට විවාහ විය හැකි නීතිය තෝරා ගැනීමට අවසර දීමේ නීති සංශෝධන වළකාලීමයි. මුස්ලිම් ප්‍රජාව බලවත් සේ පීඩාවට පත් කරනා තොණ්ඩුව අත් නෑර තබා ගැනීමට ඔවුන්ගේ සදාචාර විරෝධී, අශික්ෂිත ප්‍රයත්නය හා අධිෂ්ඨානය එබඳුය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සුදුසු හා ප්‍රමාණවත් පරිදි ප්‍රතිසංස්කරණය නොවී, තමන්ට විවාහ විය හැකි නීතිය තෝරා ගැනීමට වරණයක් මුස්ලිම්වරුන්ට ලබා දුනහොත්, බොහෝ දෙනා මුස්ලිම් විවාහ නීතිය මග හරිනු ඇතැයි යන්න විශ්වාස කිරීමෙන්ම, මුස්ලිම් විවාහ නීතියේ ඇති දුර්දාන්ත බව ඔවුහු පිළිගනිති.

මින් පෙර පැවති කමිටු තම වාර්තා සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර මුස්ලිම් ප්‍රජාවේ පුළුල් කොටස් සමඟ විස්තීරණව සාකච්ඡා කර තිබේ. ඔවුන්ගේ වසර නවයක විචාරණයන්ගෙන් වැඩි කොටසක් පුරාවට විනිසුරු මාසූෆ්ගේ කමිටුව ප්‍රජාවේ විවිධ තරාතිරම්හි සාමාජිකයන්ගේ අදහස් විමසා ඔවුන්ට ඇහුම්කන් දෙන ලදි. දැන් දැන් කරළියට එන දුෂ්ඨ ස්ත්‍රී විරෝධී පිරිමින් ඉල්ලා සිටින දෙයක් නම්, ඕනෑම ප්‍රතිසංස්කරණයක් ප්‍රජාවේ අදහස් විමසීමෙන් පසුව ප්‍රජාව තුළින් පැමිණිය යුතු බවයි.

ඔවුන්ගේ අරමුණ ප්‍රතිසංස්කරණ නැවැත්වීමම පමණි. යථාර්තය නම් වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් පැමිණියේ ප්‍රජාව තුළින් මිස බාහිරින් නොවීමයි. එසේම, මේ පිරිමින් “ප්‍රජාව” යන්නෙන් අදහස් කරන්නේ පිරිමින්ම පමණි. 50% කට වඩා වැඩි වූ කාන්තාවන් ප්‍රජා උපදෙස් විමසීම්වලට සහභාගීවීම ද්වේශසහගත ලෙස අවහිරකර තිබේ.

මෙම අනුකම්පා විරහිත, ආත්මාර්තකාමී, ස්වෝත්තමවාදී සහ අවමන්කාරී පිරිමින් ගුප්ත විශ්වාස ඉදිරියට දමා, අහිංසක සහ සැක නොසිතන ජනතාව නොමඟ යවමින්, ඔවුන්ගේ අත්සන් එකතු කිරීම් පෙත්සම් බලමුලු ගන්වමින් සිටී. කරුණාකර ඔබගේ මව්වරුන්, බිරින්දෑවරුන් හා දියණිවරුන් පිළිබඳව මඳක් සිතන්න.

කරුණාකර ඔවුන්ගේ නාමයෙන් දැනට සිදු කිරීමට යෝජිත ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ වැළැක්වීමට කටයුතු නොකරන්න, ඒ සඳහා උපක්‍රම නොයොදන්න. එම ප්‍රතිසංස්කරණ මුස්ලිම් කාන්තාවන් විසින් අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ මහත් ඕනෑකමින් හා අභිලාශයකින් බලාපොරොත්තු වූ දෙයයි.

පස්ස දොරෙන් අනුග්‍රහයන් සොයා නොගොස් මෙම අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම සාමූහිකව ඉදිරියට ගෙනයාම සඳහා මුස්ලිම් දේශපාලනඥයින් සහ ‘ආගමික නායකයින්’ යැයි කියා ගන්නා කොටස් සෙසු පුරවැසියන් සමඟ එකතු විය යුතු කාලය පැමිණ තිබේ. ඉස්ලාම් ආගමට මුවා වී මුස්ලිම් කාන්තාවන්ට සිදුකර ඇති අසාධාරණය නිවැරදි කිරීමට පමණක් නොව ඔවුන්ට සිදුවන අසමානකම් ඉවත් කිරීමට අලි සබ්රි අමාත්‍යවරයාගේ උත්සාහයන් අගය කළ යුතුය‍. අනෙකුත් මුස්ලිම් දේශපාලනඥයින් තමන්ට එය කළ හැකිව තිබූ විට එය ඉටු නොකිරීම ගැන පසුතැවිලි නොවී දැන් අලි සබ්‍රි අමාත්‍යවරයාට සහයෝගය දැක්වීමට කාලය පැමිණ තිබේ.

රජය සහ කැබිනට් මණ්ඩලය ස්ථිරව සිටිය යුතුය. ඔවුන් දේශපාලන වාසි තකා යුක්තිය පාවාදීම සිදු නොකළ යුතුය. මෙම ප්‍රතිසංස්කරණ නීතියට ඇතුළත් විය යුතුය. ඒ සඳහා දැනටමත් කල් පසු වී වැඩිය. ඒ මගින් මුස්ලිම්වරුන් හට නිදහස ලබා දී සෑම දෙනාටම යුක්තිය සඳහා සමාන ප්‍රවේශයක්, සෑම පුරවැසියෙකු සඳහාම වෘත්තීයමය විනිශ්චයනය, රාජ්‍යයේ වගවීම ලබා දීමට හැකි වනු ඇත.

A.ෆායිස් | A.Faaiz