iMage;unframedsl

මම මෙහෙම පටන් ගන්නම්. ලංකාවේ යුද්ධයට පෙර මම ගැන ඒ කියන්නේ ‘සාමය’ ගැන ගොඩාක් දේවල් කතා කරා. ඒවා සාමය සංඛේතවත් කරන පරෙවියාගේ සිට, සාම වැඩමුලු, සම්මන්ත්‍රණ, ආදී දේවල් සිට සාම පාද යාත්‍රා, සාම සංගීත, සිට සාම කතා, සාම සාකච්ඡා දක්වා විවිද හැඩයන් ගනු ලැබුවා. නමුත් මේ කිසිදු එකකින් වත් මාව දිනාගන්න ඒ කියන්නෙ ‘සාමය’ දිනා ගන්න බැරි උනා. ඒ වෙනුවට ‘ජයගණු’ ලැබුවේ ‘යුද්ධය’යි. නමුත් ඕනෑම යුද්ධයක් ජයග්‍රහණය කිරීම යනු ම මාව හෙවත් සාමය මරා දැමීම බව ලෝකයේ අනිත් රටවල්වල වගේම ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ටත් තේරුම් ගියේ නැහැ. නමුත්, ලෝකයේ වගේම ‘යුද්ධය ජයග්‍රහනය’ කිරීමට නොව, ‘යුද්ධය නවතා’ සාමය ලගා කර ගැනීමට ලෝකයේ මෙන්ම, ලංකාවේ මිනිසුන් සුලුතරයක් ජීවිත පරදුවට තබා වැඩකරා. ඔවුන්ට අපේ ආදරණීය ගෞරවය හිමි විය යුතුයි.

නමුත්, යුද්ධය අවසන් කිරීමෙන් පසු එළඹෙන මොහොත සාමය යනුවෙන් අර්ත ගැන්වීමේ තත්ත්වයක් ලංකාවේ දී දක්නට ලැබුණා. එය ඉබේ හටගනු ලැබු තත්ත්වයක් නොවේ. දේශපාලන ප්‍රශ්ණයකට ඇති එකම විසදුම යුද්ධය යැයි විශ්වාස කළ පාලක පිරිසකගේ කැමැත්ත විසින් නිශ්පාදනය කරන ලද තත්ත්වයක්. ඒ නිශ්පාදනය කළ තත්ත්වය අද දක්වාත් මුල්බැසගෙන තිබෙනවා. එය තවත් පැත්තකින් විගහ කළහොත්, තුවක්කු කටවල් කතා නොකරන, බෝම්බ පත්තු නොවන ආදී තත්ත්වයන් නැවතුන අවස්ථාව ‘සාමය’ යැයි අර්ථ ගැන්වීමේ තත්ත්වය යි. ‘සාමය’ යනු දේශපාලනික අර්ථයෙන් විග්‍රහකර ගැනීමට අසමත් සමාජයක මෙවැනි තත්ත්වයන් වඩා ගැඹුරින් නිර්මාණය වෙයි. එම නිසා සාමය කියවා ගත යුත්තේ දේශපාලනිකවයි. සාමය දේශපාලනිකව කියවා ගනු ලැබූ විට යුද්ධයෙන් පසු එළඹෙන මොහොත ඉතාමත් සංකීර්ණ වැදගත් කමක් ගනු ලබනවා.

විශේෂයෙන් ‘යුද ජයග්‍රහණයෙන්’ ඉයවහා ගිය සමාජයකට ‘දේශපාලන සාමය’ ගැන අවබෝධ කිරීම ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. නමුත් සාමය යළි දිනා ගැනීමට නම් කළ යුත්තේ පශ්චාත් යුද තත්ත්වය තුළ ‘සාමය’ දේශපාලනිකව තේරුම් ගැනීමයි. යුද්ධය අවසන් කිරීමේ මොහොත සාමය ම නොවන බව අවබෝධ කර ගැනීමයි. සාමය යනුම අයිතිවාසිකම් මත ගොඩ නැගෙන්නක් බව අවබෝධ කර ගැනීමයි.

යුද්ධයෙන් පීඩාවට පත්කරන ලද මිනිසුන්ට යුක්තිය ලගා කර දීමයි. ඔවුන්ගේ අයිතිවාසිකම් රාජ්‍ය විසින් පිළිගැනිම පමණක් නොව එසේ පිළිගන්නා බව ප්‍රායෝගිකව පෙන්වා දීමයි. නමුත් එවන් තත්ත්වයක් නොමැති අවකාශයක් සාමය යැයි මම කෙසේ නම් කරන්නද?

අපි ආසන්න උදාහරණ කිහිපයක් ගමු.

යුද්ධය ‘අවසන්කරලා’ අවුරුදු 12කට වැඩියි. මේ ගත වී ඇති අවුරුදු 12ට වඩා වැඩි අවුරුදු ගානක් දෙමළ දේශපාලන සිරකරුවන්, තවමත් කිසිදු චෝදනාවක්
නොළඹා ම සිරගෙවල්වල ගාල් කර සිටිනවා නම්,

එසේ ගාල්කර සිටින දෙමළ සිරකරුවන්ගේ ඔලුවට පිස්තෝල තබා තර්ජනය කරන ඇමතිවරු සිටිනවා නම් යුද්ධය අවසන් කිරීමේ මොහොත සාමය යැයි අපිට කිවහැකිද?

යුදමය අවශ්‍යතාවයන් සදහා යැයි කියමින් උතුරු නැගෙණහිර මිනිසුන්ට අයිති ඉඩම්, හමුදා ක්‍රියාකාරකම් සදහා ලබාගෙන තවදුරටත් ඒවා හමුදාව සන්තකයේ තබාගෙන සිටිනවා නම් යුද්ධය අවසන් කිරීමේ මොහොත සාමය යැයි අපිට කිවහැකිද?

යුද සමයේ ලංකා හමුදාවට බාර දුන් සිය දරුවන්ට කුමක් සිදුවූවාදැයි අසමින් මහපාරේ මාස ගණනාවක් සත්‍යගහයේ ඉන්න උතුරේ දෙමාපියන්ට තවමත් පිළිතුරක් නැත් නම් යුද්ධය අවසන් කිරීමේ මොහොත සාමය යැයි අපිට කිවහැකිද?

මේ ආකාරයට සාමය යනු හෝ සාමය කියවා ගැනීම පිළිබද වන පවතින යාතාර්තමය තත්ත්වයේ ලැයිස්තුව තවත් ඕනෑ තරම් දිර්ඝව ලිවිය හැකිය. නමුත් මාව තේරුම් ගන්නවා නම්, ඒ කියන්නේ සාමය තේරුම් ගන්නවා නම්, තේරුම් ගත යුත්තේ ‘දේශපාලනිකව, අයිතිවාසිකම්’ පදනමින්ය. එසේ නැතිව හුදු ‘යුද්ධය අවසාන කිරීම’ යන අදහසින් තේරුම් ගතහොත් ලංකා සමාජය තව දුරටත් ඇදවැටෙන්නේ පසුගාමීත්වය දෙසටය.

එබැවින් අවම වශයෙන් එක් අදහසක් සටහන් කරමි. ප්‍රජාතන්තවාදී ලක්ෂණ ඉතාමත් සීගයෙන් සෝදාපාලුවට ලක්වන මෙවන් මොහොතක ජාත්‍යන්තර සාම දිනයේදී මේ කරුණ ගැනවත් සැලකිලිමත් වීම අනාගතයට වැඩදායක වනු ඇත. එය නම්, සාමය යනු ‘මූලික මිනිස් අවශ්‍යතා’[basic human needs] ඉටු කර ගැනීමට පරිසරයක් නිර්මාණය වීමය/නිර්මාණය කිරීම පිළිබද අදහසය. එහිදී කරුණු 4ක් පිළිබද අවධානයට ලක් කරමි.

1. පැවැත්ම
2. යහ-පැවැත්ම
3. අනන්‍යතාවය
4. නිදහස

අවම ලෙස ලංකා සමාජය මේ කරුණු 4 පිළිබද වඩා වැඩි අවධානයක් යොමුකර සිය දේශපාලන දිශානතිය විග්‍රහ කර ගන්නේ නම් සාමය පිළිබද, ප්‍රජාතන්තවාදය පිළිබද, මිනිස් අයිතිවාසිකම් පිළිබද සහ වගවීමක් ඇති රාජ්‍යක් පිළිබදව වන සිහිනය යථාර්තයක් බවට පත් කර ගත හැකිය.