iMage: aaminanizar
දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ පැලැන්තියේ මුස්ලිම්වරුන් සහ ආගමික හා දේශපාලන නායකයින් දැන් ඔවුන්ට ප්‍රතිසංස්කරණ වුවමනා බව කියා සිටීම විශ්වාසයට ගතයුත්තේ සැලකිල්ලෙනි. සමහර පිරිමි නායකයින් මේ වනවිට මෙම පනතට යම් වෙනසක් කිරීමේ අවශ්‍යතාවය පිළිගෙන ඇතත්, පනත සංශෝධනයේ කොටසක් ලෙස බහුවිවාහය සහ කාති අධිකරණ අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් ගත් තීරණයට එරෙහිව දැඩි විරෝධයක් ඇති වී තිබේ. ඇතැම් අය සාමාන්‍ය විවාහ ආඥාපනත යටතේ විවාහවීමට මුස්ලිම්වරුන්ට කළහැකි තෝරාගැනීම සම්බන්ධයෙන් පවා විරෝධතාවය පල කරති. මුස්ලිම් කාන්තාවන් හා දරුවන් මුහුණදෙන දුෂ්කරතා සහ ඔවුන්ගේ ජීවන අත්දැකීම් දෙස බලන කල, ඔවුන් විඳින අනේකවිධ දුක්ගැහැට සඳහා ප්‍රධානතම හේතු වී ඇත්තේ මෙම පනතෙන් සංවරණ නොමැතිව බහුවිවාහය සඳහා විධිවිධාන සැලසීම, අනුබලදීම හා එය ආරක්ෂා කිරීමත් සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් පිටස්තරව පිහිටන කාති අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාමත් වේ. බහුවිවාහය සහ කාති අධිකරණ සම්බන්ධයෙන් යෝජිත සංශෝධන සෑහෙන උද්වේගයකින් ප්‍රතික්ෂේප කරන බොහෝ මුස්ලිම් පිරිමි තම උරුමය සහ අනන්‍යතාවය මේ බහුවිවාහ සංකල්පයට සහ කාතිවරුන්ට පමණක් ලඝු කිරීම පුදුම සහගත මෙන්ම අභාග්‍යසම්පන්න තත්වයකි! යෝජිත ප්‍රතිසංස්කරණවලට එරෙහි පුද්ගලයින් ඒ සඳහා පදනම කරගෙන ඇත්තේ කුරානයේ යල්පිනූ අර්ථනිරූපණ වන අතර මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය දිව්‍යමය නීතියක් බවටත්, එබැවින් එහි එන ෂාරියා වගන්ති අර්ථනිරූපණය සඳහා විශේෂ ක්‍රමවේදයක් අවශ්‍ය බවටත් සමස්ථ ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානයේ කීම සමගින් ඔවුහු එකඟ වෙති. මෙම අදහස් තුළින් ඉස්ලාම් දහම අසමානත්වය සහ අයුක්තිය සඳහා අනුබල දෙන ආගමක් සේ පිළිබිඹු වේ. කුරානයේ දේශනා වන යුක්තියේ සහ සාධාරණත්වයේ මූලික මූලධර්ම පහසුවෙන්ම අමතක කොට ඇත.
මේ වත්මන් මතභේදය ඉස්මතු වන්නේ, මෙම රජය ක්‍රියාත්මක කළ ඒකාධිපතිවාදී, පීඩාකාරී සහ සුළුතර-විරෝධී ක්‍රියාමාර්ග කිහිපයකටම එරෙහිව අප සමහරුන් අධිකරණවල සහ විවිධ දේශීය හා විදේශීය වේදිකා මත සටන් වැදෙමින් සිටින කාලයක ය.
මානව හිමිකම් ක්ෂේත්‍රයේ මගේ සගයින් බොහෝදෙනා අපට පවසන්නේ අද පවතින්නේ මෙවැනි ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමට සුදුසු රජයක් නොවන බවයි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය පිළිබඳව අප කථා කරන ඕනෑම අවස්ථාවක බොහෝ ස්ත්‍රී-විරෝධී ඉහළ පැළන්තියේ මුස්ලිම් පුරුෂයින් අපට ගෙනහැර දක්වන්නේ ද මේ තර්කයම ය. ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලය චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ සිට අනුපිළිවෙලින් බලයට පත්වූ රජයන් අවම වශයෙන් හතරක් තුළ සිදු වී තිබේ. ඒ සෑම වරකම අපට දිගින් දිගටම ඇසෙන්නේ ඒ සඳහා සුදුසු කාලය මෙය නොවන වගකි. එසේනම්, මෙයට සුදුසු කාලය එළඹෙන්නේ කවදාද? එතෙක්, තවත් ළමයින් සහ යෞවනියන් කී දෙනෙකු මේ පද්ධතියේ ග්‍රහණයට හසුවී පීඩා විඳිය යුතු ද? තවත් කාන්තාවන් කී දෙනෙකු අසාධාරණ ලෙස දඬුවමට ලක් වී මහමගට වැටී සිඟා කෑ යුතු ද? තවත් ළමයින් කී දෙනෙකු කුරානය පමණක් කටපාඩම් කිරීමට උගන්වන මද්‍රාසාවලට ඇතුළත් විය යුතුද? පැහැදිලිවම, මෙය නිහඬව සිටීමට කාලය නම් නොවේ.
කණගාටුදායක ලෙසින් වසර ගනනක සිටම මෙම පනතේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් වදින කාන්තාවන්ට තමන්ට එරෙහි වාචාල වාග් ප්‍රහාර නිහඬව විඳදරාගැනීමට බල කෙරී ඇත. මීට හේතුව නම්, මුස්ලිම් පුරුෂයින්, සහ ඇතැම් මුස්ලිම් කාන්තාවන් පවා මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ යනු ජාතිවාදී රජයක න්‍යායපත්‍රයක් පමණක් වශයෙන් පිළිබිඹු කිරීමට වෑයම් දැරීමයි. ඔවුන් මෙසේ නිරුත්සාහයෙන් හා පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්නේ හෝ පිළිනොගන්නේ විශේෂයෙන්ම මෙම පනතේ සහ කාති අධිකරණ පද්ධතියේ වින්දිතයින් ඇතුළුව, මුස්ලිම් කතුන් දිගු කලක සිට දරන මේ වෙහෙසකර වෑයමයි. දිගු කලක් පැවති මෙම අරගලය පිළිගැනීමට හෝ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අදාළව ඇගයීම් කිරීමට හෝ උනන්දුවක් ඔවුන්ට නැත. වර්තමානයේදී මෙය නිවැරදි කර නොගතහොත්, අපට මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්පූර්ණයෙන්ම අහිමිවී යාමේ අවදානමක් පවතින බව ඔවුන්ගේ සැලකිල්ලට යොමු වූ වගක් නොපෙනේ. ඇතැම් ‘උගත්’ මුස්ලිම්වරුන්ගේ අහංකාරය සහ මමත්වය, විවිධ කණ්ඩායම්වල සටන්කාමී ක්‍රියා, ACJU සංවිධානයේ මැරවරකම් හා හිතුවක්කාරකම, සහ පුද්ගලික වාසි සොයන දේශපාලඥයින් මෙම පනත අදටත් ප්‍රතිසංස්කරණය නොවී තිබීමට හේතු ය.
ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නැගූ සහ මර්ධනයට ලක් වූ වින්දිතයින්ගේ හඬ ඉස්මතු කළ බොහෝ මාගේ සගයෝ 2016 සහ 2017 කාලයේ දී ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් (SLTJ) යන සංවිධානවල පළිගැනීමට ලක්වූහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ලාල් විජේනායක මහජන අදහස් විමසීමේ කොමිසමේ සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ හා අනුකාරක සභාවල ඔවුන් සාක්ෂිදීමත් සමගින් මෙම ප්‍රහාර වඩාත් උග්‍ර විය. පාර්ලිමේන්තු කාරක සභා ඉදිරියට ගොස්, දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර දී ඇතැයි කියන කාන්තා හා ළමා අයිතීන් ඉල්ලා සිටීමේ අපරාධය වෙනුවෙන් මගේ සගයෙකුත් මාත් මරා දමා ‘සැබෑ ඉස්ලාම් දහම’ උගන්වන මෙන් එක්තරා NTJ සාමාජිකයකු වීඩියෝ බයාන් (දේශනාවක්) හරහා පුත්තලමේ මුස්ලිම් තරුණයින්ගෙන් ඉල්ලා සිටියේ ය. 2016 නොවැම්බර් 3වැනි දින SLTJ සංවිධානය කොටුව දුම්රිය ස්ථානයට බස් රථ පුරවා ජනතාව ගෙනැවිත්, යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් වෙළඳ සහන ලබාගැනීමට කොන්දේසියක් වශයෙන් විවාහවීමේ අවම වයස නියම කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් සිදුකරන ලදී. එම විරෝධතාවයේ දී SLTJ ලේකම් අබ්දුල් රාසික් කාන්තා කණ්ඩායම් නම් කරමින් ඔවුන් බටහිර රටවල ඉත්තන් සහ ද්‍රෝහීන් වශයෙන් පවසා සිටියේ ය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රජාවේ ළමා විවාහ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන එකතුකළ මගේ සගයකු ප්‍රදේශයේ මුල්ලාහ්වරුන් සහ රිල්වාන් නැමැත්තකු විසින් නිහඬ කරවනු ලැබිනි. පසුව, එම පුද්ගලයා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව දැනගන්නට ලැබුණි. විකල්ප මත දැරූ මධ්‍යස්ථ සහ ප්‍රතිසංස්කරණවාදී කාන්තාවන්ට එරෙහිව බියවැද්දීම් සහ මැරවරකම් කරන්නට මේ කණ්ඩායම් යොමු වූහ. දේශපාලඥයින් සහ බලධාරීන් අපේ පැමිණිලි තඹ සතයකට මායිම් කළේ නැත. දැනටත්, බොහෝ මුස්ලිම් පුරුෂයින් සහ ඇතැම් මුස්ලිම් කාන්තාවන් ප්‍රතිසංස්කරණවාදීන් වෙත ද්වේෂය පල කරමින් කියා පාන අදහස් 2016 අවසාන භාගයේ සහ 2017 මුල් කාලයේ මෙකී රැඩිකල් කණ්ඩායම් දේශනා කළ දේවල් සමගින් භයංකර ලෙස සමාන අදහස් ය.
මේ ගැටළුව දෙස සැලකිල්ලෙන් බලන මෙන් අනෙක් ආගම්වල කාන්තාවන්ගෙන් මම ඉල්ලා සිටිමි. අපේ නිදහස වෙනුවෙන් සටන් කරනු පමණක් නොව සත්‍ය පැවසීමෙන් අන්‍යයින් ආරක්ෂා කිරීමට අප උත්සාහ දරන මේ මොහොතේ ඔබේ මේ මුස්ලිම් සොයුරියන්ට ඔබේ සහය වුවමනා කර තිබේ.
ප්‍රතිසංස්කරණය නොකළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතක් සහ කාති අධිකරණ පද්ධතියක් හරහා මුස්ලිම් කතුන් දිගින්දිගටම පීඩාවට පත්වීමෙන් පිළිබිඹු වන්නේ මුස්ලිම් ප්‍රජාවේ මුල් බැසගෙන ඇති පීතෘමූලිකත්වය (patriarchy) සහ පුරුෂෝත්කර්ෂවාදයයි (male chauvinism). මෙම ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගෙනහැර පාන කියමන් අතර මෙය ‘කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා’ කරන්නක් බව, ‘අපේ කාන්තාවන්ට දුෂ්කර’ බව, සහ ‘(සංශෝධිත පනත සාමාන්‍ය අධිකරණ පද්ධතිය යටතට ගෙන ආහොත්) අපේ කාන්තාවන්ට අනෙක් අය සමගින් ගැවසෙන්නට වන’ බව ඇතුළත් ය. මේවායින් හෙළිවන්නේ තමන්ගේම කියා පැවැත්මක් නොමැති අජීවි වස්තූන් වශයෙන් මුස්ලිම් කාන්තාවන්ට සලකන මානසිකත්වයයි. ප්‍රතිසංස්කරණවලට විරුද්ධවන අයට ඒ සඳහා තාර්කික සාධාරණීකරණයක් නොමැත. ඉස්ලාම් දහමේ නියම කර ඇති පරිදි කාන්තාවන්ට සමානයින් ලෙස සැලකීම මෙසේ දිගින්දිගටම ප්‍රතික්ෂේප කිරීම සංස්කෘතික මූලයකින් මිස ආගමික මූලයකින් පැමිණෙන්නක් නොවන අතර කාන්තාවන් සවිබලගැන්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ආනාරක්ෂිත හැඟීමෙන් පැනනගින්නකි. එවන් පසුබිමක් තුළ මුස්ලිම්වරුන්ට සමාන සැලකුම් ලබාදෙන මෙන් සහ රජයෙන් වරප්‍රසාද ලබාදෙන මෙන් ඔවුන් කරන ඉල්ලීම් හිස් සහ කුහක ඉල්ලීම් බවක් හැඟේ.
යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැතිරයන ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු ද, මෙම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කරන කාන්තාවන් බියගැන්වීමට දරන වෑයම් ද ක්‍රමයෙන් වැඩිවන්නට ගෙන ඇත. 2021 සැප්තැම්බර් 16 වැනිදින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක නායකවරයා අනුස්මරණය අවස්ථාවේ සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසා සිටියේ වත්මන් ප්‍රතිසංස්කරණ යෝජනාවල අරමුණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ මූලික අඩිතාලම අහෝසි කර දැමීම බවයි. ඔහු මෙහිදී අදහස් කරන්නට ඇත්තේ බහුවිවාහය සහ කාති අධිකරණ පද්ධතිය අහෝසි කිරීම සඳහා රජයෙන් ගෙන ආ යෝජනා විය යුතු ය. එම ප්‍රතිසංස්කරණ සඳහා සහය දක්වන අය අන්තවාදීන් යැයි ඔහු කියා සිටියි! ඔහුගේ දේශපාලන බංකොලොත්භාවයේ තරම ඉන් පැහැදිලි වේ. හකීම් මහතා 2010 සිට 2014 දක්වා කාලයේ අධිකරණ අමාත්‍යවරයා වී සිටියේ ය. ඔහු අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ, පීඩාවට ලක්වූ කතුන් ඇතුළුව කාන්තා කණ්ඩායම් කිහිපයක් ඇමතිතුමා සමගින් පැවති රැස්වීම් ගණනාවකදී තමන්ට විඳින්නට වී ඇති දුක්ගැහැට පැහැදිලි කර දුන්හ. ප්‍රතිසංස්කරණ සඳහා තමන්ගේ සහය ලැබෙන බවට ඔහු ලබාදුන් අවංකත්වයෙන් තොර සහතික කිරීම් සමගින් ඔවුහු දිගින් දිගටම ඇමතිතුමා සමගින් සම්බන්ධ වූහ. කෙසේනමුත් වරින් වර කළ යම් අනුශාසනා සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදෙන බව කියාපෑම හැර මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ සඳහා අනුබලදීමට ඔහු යමක් කළ බව පෙන්විය හැකි කිසිවක් නැත. ඊට ප්‍රතිවිරුද්ධව ඔහු, ACJU සංවිධානයෙන් මීට විරෝධය දක්වන්නන් සමගින් එකඟ වෙමින් ඔවුන්ට මුවා වී ඇත.
2019 පෙබරවාරි මාසයේදී අගමැතිවරයාගේ බිරිඳ තමන්ගෙන් සහරාන් සහ ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ ඔහුගේ ප්‍රචණ්ඩ සටන්කාමීත්වය සම්බන්ධයෙන් ඇයට ලැබී තිබූ සිත් කළඹවන වාර්තා පිළිබඳව විමසූ බව හකීම් මහතා මෑතකදී පිළිගත්තේ ය. බලවත් ඇමතිවරයකු වශයෙන් සිටි කාලයේ දැක්වූ ප්‍රතිචාරය හෝ ගත් ක්‍රියාමාර්ග කවරේදැයි හකීම් මහතා හෙළිදරවු නොකළ අතර, සහරාන් සහ ඔහුගේ කණ්ඩායම තම කුරිරු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයට දැනුම් දෙමින් කල් තබා අනතුරු ඇඟවූයේ මුස්ලිම් කාන්තාවන් බව ද ඔහු සඳහන් නොකළේ ය. එම තොරතුරු හෙළිදරවු කෙරුනේ කාන්තාවන් විසින් බැවින්, එම තොරතුරුවල සාක්ෂිමය වටිනාකමක් නොමැත්තේය යන පදනමින් ඔහු එය නොසලකා සිටියා විය හැකිය.
වර්තමානයේදී, දැඩි අවශ්‍යතාවයක්ව පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ සඳහා විරුද්ධ තැනැත්තන් එකට එක්වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් ඔවුන් පැවැත්වූ පළමු රැස්වීමේ කථිකයින් වශයෙන් පුරුෂයින් පමණක් ඇතුළත් කරගෙන තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සෑහෙන විවේචන ඇති වීමෙන් පසුව, ‘සමස්ත ලංකා මුස්ලිම් තරුණයින්’ යැයි කියා ගන්නා කණ්ඩායමක් 2021 සැප්තැම්බර් 19වැනිදා තමන්ගේ දෙවන ඔන්ලයින් හමුව පැවැත්වූහ. ජාතික වැදගත්කමකින් යුත් මාතෘකාවක් සම්බන්ධයෙන් දැනුවත්භාවය වර්ධනය කිරීම සහ ඒ පිළිබඳ විවිධ අදහස් දැක්විය හැකි මධ්‍යස්ථ අවකාශයක් ලබාදීම වෙනුවට මෙම කණ්ඩායම, යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තරයේ විරුද්ධ මතයක සිටියහ. කථිකයින් වශයෙන් සම්බන්ධ වූ කාන්තාවන් සහ විරුද්ධ මත දැරූ අනෙක් අය සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ හැසිරීම සහ ක්‍රියාකලාපය ඇතැම් තරුණයින් තුළ පවතින ආගමික නොඉවසීම කොතරම්දැයි පිළිබිඹු කළේ ය. තෝරාගත් අන්තවාදී පුරුෂයින්ට බියවැද්දවීම සහ අශිෂ්ට ලෙස හැසිරීම සඳහා ඔවුන් ඉඩදුන් අතර කාන්තා කථිකාවියන්ට ලබාදුන් කාලය අඩුකිරීමත් තමාගේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරදෙන මෙන් යළි යළිත් කළ ඉල්ලීම් නොතකා කාන්තාවන්ගේ මයික්‍රෆෝන අක්‍රිය කර තැබීමටත් ඔවුහු කටයුතු කළහ. ඔවුහු බහුවිවාහය සහ කාති අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රැඩිකල් මතවාද ප්‍රවර්ධනය කළ අතර අන්‍යයින්ට සහභාගිවීමේ අවස්ථාව අහිමි කළහ. තමන් මුස්ලිම් කාන්තාවන්ට සමානව නොසලකමින් සහ ඔවුන් ඉවසීම ප්‍රතික්ෂේප කරමින් මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධිපතිවාදී රාජ්‍යය වගවියයුතු යැයි කියා සිටීම කුහක ක්‍රියාවකි. බහිෂ්කරණවාදී (exclusionary) මතවාදයකට යොමුවූ මෙම කණ්ඩායමේ දෘෂ්ටිය, විවෘතවම නොඉවසනසුළු (intolerant) සහ ආක්‍රමණකාරී පිරිමිකම (aggressive masculinity) සමගින් එකතු වූ කල, සෑම අතකින්ම එය අන්තවාදය පෝෂණය කරන්නක් වීම සැලකිල්ල යොමු කළ යුතු කාරණයකි. තවත් රැඩිකල්කරණ විනාශයක් වලක්වාගැනීමට නම්, ඕනෑම ආකාරයක අන්තවාදයක් ළපටි අවධියේදීම මුලිනුපුටාදැමීම සඳහා මුස්ලිම් ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු ය.
බහුවිවාහය සහ කාති අධිකරණ පද්ධතිය අහෝසි කිරීම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇතිවූ විවාදවල කොටසක් වී නොමැති බවට වැරදි අදහසක් පල වී තිබේ. ඇත්තෙන්ම, මේ කාරණා දෙකම සම්බන්ධයෙන් වසර 9කට අධික කාලයක් තිස්සේ විස්තීර්ණ ලෙස සාකච්ඡාවට ලක් වී ඇති අතර විනිසුරු සලීම් මර්සුෆ් කමිටු වාර්තාවේ (JSM) මේ පිළිබඳව සලකා බලා තිබේ. ඇත්තෙන්ම JSM කමිටු වාර්තාවේ ඒකමතික එකඟත්වය සහ නිර්දේශය වී ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණය කරන සංඛ්‍යාවක් දක්වා කාතිවරුන්ගේ සංඛ්‍යාව අඩුකිරීමත් සමගින් කාති අධිකරණ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ අත්‍යන්ත කොටසක් බවට උසස් කිරීම සඳහා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කළයුතු බවයි.
රුදුරු පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව ජාතික ආරක්ෂාව සඳහා මුල්තැන දෙන ලදී. පෙර පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සඳහා වූ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ SLMC පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටි අතර, එමගින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යනු ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නීතියක් බව හඳුනාගන්නා ලදී. එම පනත සංශෝධනය වියයුතු බව කාරක සභාවේ ඒකමතික නිර්දේශය වූ අතර ප්‍රතිසංස්කරණය වියයුතු අංශ පවා එහිදී හඳුනාගන්නා ලදී. තවද, මෙම පනත දිස්ත්‍රික් අධිකරණවල අධිකරණ විෂයපථය යටතට ගෙන ආ යුතු බව එහිදී තවදුරටත් නිර්දේශ විය. ව්‍යාජ හේතු පදනම් කරගනිමින් ප්‍රජාවේ හැඟීම් අවුස්සාලීම වෙනුවට, මෙම වාර්තාවේ අන්තර්ගතය තක්සේරු හා ඇගැයුම් කර, හැකිතාක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ආකාරයට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු ය.
අයිසිස්, බොකෝ හරාම්, දෙවියන්ගේ ප්‍රතිරෝධ හමුදාව, බජ්රංග් ඩාල්, රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංග්, අල් කයීදා, අල්-ෂබාබ් හෝ දෙවියන් වහන්සේගේ හමුදාව වේවා, ආගමක් වෙනුවෙන් යැයි කියාගනිමින් ප්‍රචණ්ඩත්වය වපුරුවන සියළු කණ්ඩායම් සිය වැඩකටයුතු ආරම්භ කළේ කාන්තාවන් සහ ළමයින් තම අන්තවාදී දේශපාලනයේ ඉලක්ක බවට පත් කරගැනීමෙන් ය. කාන්තාවන් පාලනයට නතුකිරීම යම් ප්‍රජාවක් රැඩිකල්කරණයේ පළමු පියවරයි. රැඩිකල්වාදීන්ගේ මෙන්ම ‘එක් රටක් එක් නීතියක්’ යන භයානක මිථ්‍යාව වෙනුවෙන් හඬ නගන ජාතිවාදී දේශපාලඥයින්ගේ ගොදුරු බවට පත් නොවීමට නම්, බහුතරවාදී රාජ්‍ය පාලනයෙන් සුළුතර කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරේම අප ප්‍රජාවන් තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වී සිදුකෙරෙන වෙනස්කොට සැලකීම් සම්බන්ධයෙන් පවතින බරපතළ ගැටළු ඉස්මතු කළයුතු ය.
ශ්‍රීන් අබ්දුන් සරූර් | Shreen Saroor
(කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනී)