iMage: socialistproject.ca

අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී ක්වින්ටන් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළ එන ජවනිකාවක් සිහිපත් කරයි (ශිෂෙක්, 2020: 40). එහිදී කිල් සමග සටන් වදින බියට්‍රික්ස් ඔහුව අඩපණ කොට සටන් කලාවේ ඇති මාරාන්තිකම පහරක් ඔහුට එල්ල කරයි. එම පහර හැඳින්වෙන්නේ “පංච නිල ඔස්සේ හෘදය පිපිරවීමේ තාක්ෂණය” ලෙසයි. එහිදී සිදු කෙරෙන්නේ තම ඇඟිලි තුඩුවලින් ප්‍රතිවාදියාගේ ශරීරයේ නිල පහක් තෙරපීමය. පහර කෑමට ලක් වන ප්‍රතිවාදියා පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී ගොස් ඔහු මරුමුවට පත් වේ. ශිෂෙක් පවසන පරිදි “Kill Bill” චිත්‍රපටයේ වඩාත් සිනමාත්මක අත්දැකීමක් වන්නේ බියට්‍රික්ස්ගේ මාරාන්තික පහරට පසුව බිල් සන්සුන්ව ඇය සමග පිළිසඳරක යෙදෙන දර්ශනයයි. ඒ වනාහී පහර කෑමට ලක් වූ මොහොතත් මරණයේ මොහොතත් අතර ගෙවෙන කෙටි කාල පරාසයයි. තමන් නැගිට පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට තම හදවත පුපුරා යන බව බිල් දනී.

වත්මන් ගෝලීය වසංගතය යනු ගෝලීය ධනවාදී ක්‍රමයටම එල්ල වූ “පංච නිල ඔස්සේ හෘදය පිපිරවීමේ” ප්‍රහාරයක් නොවේදැයි අපේ කාලයේ විශිෂ්ටතම විවේචක දාර්ශනිකයා ප්‍රශ්න කරයි. වසංගතයේ ප්‍රහාරයට ලක්ව අප ගත කරන නිරෝධායන කාල පරිච්ජේදය තුළ ප්‍රහාරයේ මාරාන්තික විපාක අපට මදක් හෝ මග හැර සිටිය හැකිය. නමුත්, රටවල් හා ප්‍රදේශ මුළුමනින්ම විවෘත කොට යළිත් ක්‍රමය ක්‍රියාත්මක වන්නට පටන් ගත් පසුව ක්‍රමයෙහි හෘදය පිපිරී යාම ආරම්භ වනු ඇති බව ශිෂෙක්ගේ අදහසයි.

මේ මොහොතේ ලාංකීය සමාජ දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමට ඉහත උපමාව කදිමට ගැලපේය යන්න මගේ හැඟීමයි. දැන් පාලනාධිකාරය වසංගතයේ වඩාත්ම දරුණු ප්‍රහාරයකට පසුව යළිත් රට විවෘත කරන්නට තීරණය කොට තිබේ. එය දුෂ්ට බිල් නැගිට පියවර පහක් ඇවිද යාමට තීරණය කිරීම හා සමානය. රට විවෘත කළ පසුව බහු-විධ සමාජ ආර්ථික අර්බුදයන්ගේ සැබෑ පරිමාව අපට දැක බලා ගන්නට හැකි වනු ඇත. නිසැකවම ප්‍රචණ්ඩ දේශපාලන කුණාටුවල කාල පරිච්ජේදයකට අප දැන් සූදානම් විය යුතුය. 2024 දී බලයට පත් වනු ඇත්තේ කවරෙක්ද වැනි ප්‍රශ්නවල ගිලී සිටින පටු දේශපාලන විශ්ලේෂණවල සීමාවද එවිට කාට කාටත් පසක් වනු ඇත. බොහෝ විට 2024 ට පෙරම බොහෝ දේ සිදු විය හැකිය.

කුණාටුවක පෙර නිමිති

රට විවෘත කළ පසුව වත්මන් පාලනාධිකාරයට මුහුණ දෙන්නට සිදු වන අභියෝගයේ තරම පසුගියදා සරල සිංහලෙන් තේරුම් කළේ අන් කිසිවෙකුත් නොව රාජපක්ෂ ව්‍යාපෘතියේ ප්‍රධානතම ඓන්ද්‍රීය බුද්ධිමතෙකු වන නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට හිතවත් “ලංකා සී නිව්ස්” මෙසේ වාර්තා කරයි;

“මේ යන ගමන මේ ආකාරයෙන්ම ගිය හොත් රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනයේ අවසානය සිදු වන බව තම නිගමනය බවද උන්වහන්සේ තවදුරටත් එහිදී කියා සිටියහ”. (ලංකා සී නිව්ස්, 20/10/2021).

පාලනාධිකාරයේ අභ්‍යන්තර බල කවයට වෙනස්ව එහි ආගමික සහ ජනවාර්ගික ජාතිකවාදී දෘෂ්ටි වාහකයින් හට පොදු ජන සමාජය සමග ඓන්ද්‍රීය බැමි තිබේ. එබැවින් ජන විඥානයේ ඇති වන වෙනස්වීම් ගැන ඔවුන් සංවේදීය. ඉහත අනතුරු හැඟවීම එන්නේ එවන් කණ්ඩායම් වෙතිනි. එසේම ප්‍රාදේශීය ජන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හටද තම ජන්දදායක ප්‍රජාවන් සිතන පතන ආකාරය ගැන කිසියම් අවබෝධයක් තිබේ. දැන් දැන් ආණ්ඩු පක්ෂ සන්ධානයේ මන්ත්‍රීවරුන්ම වත්මන් පාලනාධිකාරයේ අදුරදර්ශී, අප්‍රායෝගික සහ නිසි සැලසුමකින් තොර පොහොර ප්‍රතිපත්තියේ භයානක ප්‍රති විපාක ගැන එළිපිට කතා කරන්නට පටන්ගෙන තිබෙන්නේ එහෙයිනි.

වත්මන් පොහොර ප්‍රතිපත්තිය විවේචනය කරන බොහොමයක් දෙනා කාබනික පොහොර කරා මාරු වීමේ වැදගත්කම මූලධාර්මිකව ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත්, වසංගතය හමුවේ දේශීයව මෙන්ම ගෝලීයවද ආහාර අර්බුදයක් පැන නැගීමේ තර්ජනයක් එල්ල වී තිබියදී නිසි සැලසුමකින් තොරව හදිසියේ ක්‍රියාත්මක කරන්නට ගිය කාබනිකකරණයේ ප්‍රතිපලය වී ඇත්තේ කුමක්ද? දැනටමත් ආර්ථික දරිද්‍රතාවේ ගිලී සිටින කෘෂිකාර්මික ප්‍රජාව තවත් අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටීමය. ඉදිරි කන්නයේ විශාල වශයෙන් අස්වනු පහත යාම හමුවේ නාගරික කම්කරු සහ දිළිඳු ප්‍රජාව වෙතද මේ අර්බුදයේ ප්‍රහාරය පතිත වනු ඇත. “මේ යන ගමන මේ ආකාරයෙන්ම ගිය හොත්” මෙරට මෙතෙක් දැක නොමැති ආහාර කැරළි (food riots) පවා ඉදිරියේදී නිර්මාණය වීමට ඉඩ තිබේ. තවමත් සුළි කුණාටුව ඇරඹුණා පමණි. ඉදිරි කාලය නිසැකවම වඩා පීඩාකාරී මෙන්ම වඩා ප්‍රචණ්ඩකාරී එකක් වනු ඇත.

ආණ්ඩුව සහ පාලනාධිකාරය

වත්මන් දේශපාලන අර්බුදයේ ප්‍රධාන පැතිමානයක් වන්නේ ජනතා ජන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවත් (government) සැබෑ විධායක බලය හසුරුවන පාලනාධිකාරයත් (regime) අතරැති දුරස්තභාවය වේගයෙන් වර්ධනය වීමයි. වසංගතයේ අර්බුදය විසින් නිර්මාණය කෙරුණු ව්‍යතිරේඛීය තත්ත්වය පැහැදිලිවම පාලනාධිකාරයේ බලයට වාසි සහගත විය. සරලව, දැන් රාජ්‍ය පාලනයට අදාළ බොහෝ වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවේ දැනුවත්භාවයක් පවා නොමැතිවය.

ආණ්ඩුව සහ පාලනාධිකාරය අතර පරතරයක් පැවතීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම ජේ.ආර් ජයවර්ධනගේ අධිකාරීවාදී පාලන ආකෘතිය තුළ එය වඩාත් වර්ධනය විය. නමුත්, කවර ආකාරයකට හෝ මේ ව්‍යුහයන් දෙක අතර කිසියම් බල තුලනයක් පවත්වාගෙන යන්නට මින් පෙර බලයට පත් සෑම පාලකයෙකුම පාහේ ප්‍රවේසම් විය. ගෝඨාභය පාලනය තුළ ගිලිහෙමින් පවතින්නේ එම බල තුලනයයි.

පාලනාධිකාරය ආණ්ඩුවෙන් දුරස්ත වනවා යනු එය ජනතාවගෙන්ද දුරස්ත වනවාය යන්නයි. එබැවින් වත්මන් පාලනාධිකාරයට ආරම්භයේදී හිමිව තිබූ ජනතා නියෝජනයේ මානය දැන් එයට අහිමි වී යමින් තිබේ. ජනතා ඉල්ලීම්, විරෝධතා, අභිලාෂයන් සහ දුක් ගැනවිලි එයට නෑසී යමින් පවතී. නමුත් පාලනාධිකාරය විසින් ගනු ලබන තීන්දු තීරණවල සෘජු බලපෑමට ලක් වන්නේ පොදු මහා ජනතාවය. එම ජනතාව අතර මෝදු වන විරෝධය කෙතරම්දැයි පාලනාධිකාරයේ තාක්ෂණ-කළමනාකරණ ශ්‍රේණීන්වලට නොදැනුනද පාර්ලිමේන්තු නියෝජිතයන් හට දැනේ. වත්මන් ආණ්ඩු පක්ෂ සන්ධානයේ පරිවාරයේ සිටින කොටස් දැන් දැන් එම ජනතා විරෝධයේ ප්‍රකාශකයින් බවට පත් වීමට ප්‍රයත්න දරනු පෙනේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පාලනාධිකාරයෙන් කිසියම් දුරක් පවත්වා ගන්නට දැනුවත් ප්‍රයත්නයක යෙදෙමින් සිටින බව පැහැදිලිය. එහි ප්‍රකාශකයින් ඊනියා කාබනිකකරණ වැඩ පිළිවෙල ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන අතර යුගදනවි බලාගාරය ඇතුළු වෙනත් මතබේදාත්මක ගැටළුවලදීද පාලනාධිකාරය සමග අනන්‍ය නොවී සිටීමට ප්‍රයත්න දරයි. පක්ෂයේ ප්‍රාදේශීය සංවිධාන ජාලය නැවත පන ගන්වන්නට දැරෙන ප්‍රයත්නයක්ද නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දේශපාලන කුණාටු සමයේදී වඩා තීරණාත්මක වන්නේ පුද්ගල සාධකවලට වඩා සංවිධානාත්මක මැදිහත්වීම් කිරීමේ හැකියාව බව ශ්‍රීලනිපයේ පළපුරුදු දේශපාලන නායකයින් හොඳින්ම දන්නවා ඇත.

අනෙක් කැපී පෙනෙන ප්‍රවණතාව වන්නේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ පොහොට්ටු සන්ධානයට සම්බන්ධ පක්ෂ එකොළහක් අතර ගොඩ නැගෙමින් යන එකතුවයි. ජාතික සංවිධාන එකමුතුව ඇතුළු සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධි ශ්‍රේණීන් දැන් පැහැදිලිවම ගොනුවෙමින් සිටින්නේ ආණ්ඩුවේ මෙම ‘අභ්‍යන්තර විපක්ෂය’ වටාය. මෙය තවදුරටත් පාලනාධිකාරය වෙතින් ගිලිහෙන ජනතා ප්‍රසාදය නැවත දිනා ගැනීමේ දෘෂ්ටිවාදී මෙහෙයුමක් ලෙස හෝ ඊනියා මාධ්‍ය සංදර්ශනයක් ලෙස හෝ පමණක් දැකීම සදොස් ය. අඩු තරමින් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ කාලයේ පටන්ම නිරීක්ෂණය කළ හැකි වූ ආණ්ඩු පක්ෂ සන්ධානයේ අභ්‍යන්තර ඉරි තැලීමක විකාශනයක් අපට එතුළින් පැහැදිලිව දෘෂ්‍යමාන වන්නට පටන්ගෙන තිබේ.

එම ඉරි තැලීමට හේතු වී ඇත්තේ මා කලින් පැහැදිලි කළ පාලනාධිකාරය සහ ආණ්ඩුව අතර වර්ධනය වන පරතරය පමණක් නොවේ. වත්මන් වසංගතය හමුවේ ධනවාදය නැවත සකස් කිරීම (reset) සඳහා පාලනාධිකාරය විසින් අනුයනු ලබන ප්‍රවේශය මේ ඉරි තැලීමට හේතු වන ප්‍රධාන සාධකයක් බව මගේ අදහසයි. එම ප්‍රවේශය හැඩ ගැසී ඇත්තේ මා පසුගිය කොටසේදී පැහැදිලි කළ ආපදා ධනවාදී තර්කනයට අනුවය. සමාජයේ වඩාත්ම දරිද්‍ර සහ පීඩිත කොටස් වෙත වසංගතයේ ව්‍යසනය වැඩියෙන් ගලා යන ආකාරයටත්, කතිපයාධිකාරී සමාගම්වල ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලියට වාසිදායක වන ආකාරයටත් රාජ්‍ය ප්‍රතිපත්ති හැසිරවීම ආපදා ධනවාදයේ ප්‍රධාන ලක්ෂණයකි. මෙය පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන් වන සමානාත්මතාව සේම ජනතා නියෝජනයද නොතකා හැරෙන ප්‍රවේශයකි.

ජනවාර්ගික ජාතිකවාදීන් සමානාත්මතාව ගැන සැලකිලිමත් නොවූවද ජනතා නියෝජනය යන්න ඔවුනට මග හැර සිටිය නොහැකිය. මන්ද යත්, ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍යය පදනම් වන සමාජ ගිවිසුම සකස්ව ඇත්තේ ජනවාර්ගික සහ ආගමික බහුතරයේ පොදු අභිලාෂයන් නියෝජනය කිරීම පදනම් කොටගෙනය.

ලාංකීය ආපදා ධනවාදී විසඳුම්

කෙසේ වුවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය ගැන රාජපක්ෂ පාලනාධිකාරයට අවබෝධයක් නැතැයි කිව නොහැකිය. සැබවින්ම තම ජනප්‍රියත්වය වේගයෙන් කඩා වැටෙමින් පවතින බව එහි ප්‍රධානීන් පවා දනී. මෑතකදී ජනාධිපතිවරයාම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. සාම්ප්‍රදායිකව තම නායකත්වය පිළි ගත් සැලකිය යුතු සමාජ කණ්ඩායම් ප්‍රමාණයක් දැන් තමන්ගෙන් දුරස්ත වෙමින් සිටින බව අන් කාටත් වඩා හොඳින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දන්නවා ඇත.

ග්‍රාම්ස්චි පැවසූ ලෙස මෙවන් දේශපාලන අර්බුදයක් තුළ තම නායකත්ව ශ්‍රේණීන් වෙනස් කරමින්, සංවිධාන ආකෘති වෙනස් කරමින්, උපාය උපක්‍රම සහ වැඩ පිළිවෙලවල් නවීකරණය කරමින් සහ පෙර නොවූ විරූ ආකාරයේ සන්ධාන ගොඩ නගමින් නව තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙන්නට අසමත් වන පක්ෂ දිරාපත් වී යාමට නියමිතය (ග්‍රාම්ස්චි, 1971: 147-157). ශ්‍රී ලාංකීය සුවිශේෂත්වය තුළ ඉහත කාරණාවලට තවත් වැදගත් දෙයක් එක් කළ යුතු බව මගේ අදහසයි. එනම්, පක්ෂයේ අනුග්‍රාහක-සේවාදායක ජාලය නැවත බල ගැන්වීම සහ පුළුල් කිරීමයි. දැනට පෙනෙන්නට තිබෙන පරිදි වත්මන් පාලනාධිකාරයේ බිඳ වැටෙන ජනප්‍රියත්වයට ප්‍රධාන විසඳුමක් ලෙස පෙරට ගන්නට යන්නේ අනුග්‍රාහක දේශපාලනයයි. එහි ඉංජිනේරු ශිල්පියා බැසිල් රාජපක්ෂය.

මේ කාරණය වටහා ගන්නට කිසියම් ඉඟියක් ඉදිරි වසරේ අයවැය යෝජනා පිළිබඳ සංවාදය තුළින් ලැබේ. 2022 වසර සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 07 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එහි අන්තර්ගතය පිළිබඳ සංවාදවලදී බොහොමයක් දෙනාගේ කුතුහලය ඇවිස්සූ ගැටළුවක් වූයේ රාජ්‍ය වියදම් කපා හැරීම ප්‍රධාන අරමුණක් වූ අයවැය යෝජනාවලියක් තුළ මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 250.1 ක් වෙන් කර තිබෙන්නේ මන්ද යන්නයි. වසංගතය තවමත් අවසන් වී නොමැති වාතාවරණයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල පසුගිය වසරට වඩා බිලියන 06 කින් අඩු කරන අතර මාර්ග සංවර්ධනයට මෙතරම් ප්‍රමුඛතාවක් හිමි වන්නේ මන්ද? මේ මුදල් බොහෝ විට යෙදවෙනු ඇත්තේ දැනට ප්‍රකාශිත කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධනය ඇතුළු මහාමාර්ග ඉදිකිරීම්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඇවිදින මංතීරු යනාදිය සඳහාය. මේ වනාහී පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා විහිඳුණු අනුග්‍රාහක දේශපාලන ජාලය සක්‍රීය කිරීමේ ප්‍රධාන මාධ්‍යයක් බව නොදන්නෝ කවරහුද?

අනුග්‍රාහක දේශපාලනයේ දේශපාලන-ආර්ථිකය

දේශපාලන අනුග්‍රාහක ජාලයන් ඔස්සේ ප්‍රාග්ධනය පහළට ගලා යන්නට සැලැස්වීමේ මෙම ක්‍රමය ආයතනගත කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ශ්‍යාමිකා ජයසුන්දර-ස්මිට්ස් කදිමට පෙන්වා දෙන පරිදි, ජයවර්ධනගේ ආර්ථික විවෘතකරණ වැඩ පිළිවෙළ මෙරට දේශපාලනය තුළ එතෙක් ස්ථාපිතව පැවති අනුග්‍රාහක-සේවාදායක සබඳතාවල කැපී පෙනෙන පරිවර්තනයක් ඇති කළේය (ජයසුන්දර-ස්මිට්ස්, 2013:100-106). ඒ දේශපාලන අනුග්‍රාහක ජාලයන් දුබල කිරීමෙන් නොව ඒවා නව ආර්ථික රාමුවට අනුව වඩාත් පුළුල් හා ගැඹුරු ලෙස ප්‍රතිස්ථාපනය කිරීම මගිනි. සුභසාධක රාජ්‍යය දුර්වල කරන අතරම විදේශ ආයෝජන ඔස්සේ ගලා ආ ප්‍රාග්ධනයෙන් කොටසක් (බොහෝ විට කොමිෂන්, අල්ලස් සහ කොන්ත්‍රාත්වල ස්වරූපයෙන්) බෙදා හැරීමේ යාන්ත්‍රණයක් බවට අනුග්‍රාහක දේශපාලනය පරිවර්තනය විය. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සහ නිවාස වැඩ පිළිවෙළ යනාදිය නව අනුග්‍රාහක දේශපාලනයේ සරු බිම් බවට පත් විය. 1981 දී ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් සංවර්ධන සභාවල ප්‍රකාශිත අරමුණ ප්‍රාදේශීයව බලය විමධ්‍යගත කිරීම වුවත්, ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක වූයේ විධායක බලය සංකේන්ද්‍රණය වීමේත් පාලක පක්ෂයේ අනුග්‍රාහක දේශපාලන ජාලයන් ගම් මට්ටමට ව්‍යාප්ත වීමේත් යාන්ත්‍රණයක් ලෙසයි. (දිස්ත්‍රික් සංවර්ධන සභාවක විධායක කමිටුවේ ප්‍රධානියා වූයේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන දිස්ත්‍රික් අමාත්‍යවරයාය). මීට අමතරව අදාළ පළාතේ මන්ත්‍රීවරයාගේ “චිට්” එකෙන් රැකියා ලබා දීමේ ක්‍රමය සාමාන්‍යකරණය වූයේද ජයවර්ධන යුගයේදීය.

ඉන්පසුව බලයට පත් සෑම පාලනාධිකාරයක්ම මේ ක්‍රමය ඉදිරියට ගෙන ගිය බව අපි දනිමු. එබැවින්, මෙරට සැබවින්ම ක්‍රියාත්මක වූයේ අනුග්‍රාහක දේශපාලනය සමග අතිනත ගත් ආර්ථික ලිබරල්කරණයකි. දිස්ත්‍රික් සංවර්ධන සභා, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන බලය විමධ්‍යගතකරණය කිරීමේ ව්‍යුහයන් ඔස්සේ සැබවින්ම විමධ්‍යගත කෙරුණේ මෙම අනුග්‍රාහක දේශපාලනයයි. ප්‍රධාන හේතූන් දෙකක් නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මෙම “අනුග්‍රාහකවාදී ආර්ථික ලිබරල්කරණයේ” බලපෑම් එල්ල වූයේ අඩුවෙනි. එක් හේතුවක් නම් යුද්ධය හමුවේ ආර්ථික විවෘතකරණයේ ප්‍රවාහය එම පෙදෙස්වලට ප්‍රමාද වී ගමන් කිරීමයි. දෙවන හේතුව වන්නේ දෙමළ ප්‍රජාව වෙත අනුග්‍රාහක ජාලයන් ව්‍යාප්ත කිරීමෙන් ලබා ගත හැකි විශේෂ වාසියක් සිංහල ආධිපත්‍ය සහිත කිසිදු පාලනාධිකාරයකට නොතිබීමයි.

මෙයින් ගම්‍ය වන වැදගත් දේශපාලන ආර්ථික කාරණය වන්නේ මෙයයි. 1977 න් පසුව ආර්ථික විවෘතකරණයේ අවස්ථාවන් අත්පත් කරගෙන වර්ධනය වූ නව ධනේශ්වර කණ්ඩායම් බොහොමයක් අනුග්‍රාහක දේශපාලනයේ ආශීර්වාදය ලැබූ අය වන අතර එයින් බහුතරයක් (අපේක්ෂා කළ හැකි පරිදිම) සිංහල-බෞද්ධ පසුබිමක් සහිත වූවන්ය. එනයින්, එය අපට සිංහල බෞද්ධ නව-ධනේශ්වරයක් ලෙස හැඳින්විය හැකිය. ඊට අමතරව, බලය විමධ්‍යගතකරණයේ ප්‍රතිපලයක් ලෙස ප්‍රාදේශීය තලය දක්වා ව්‍යාප්ත වූ ඉතාම පුළුල් සුළු-ධනේශ්වර ස්ථරයක්ද මෙලෙස නිර්මාණය වී තිබේ. ප්‍රාදේශීය නගරවල අරක්කු තැබෑරුම්, වෙළඳ මධ්‍යස්ථාන, සම්බාහන ආයතන, ණය දෙන ආයතන, වී මෝල්, ගල් වැලි සපයන්නන්, ප්‍රවාහන සහ සෙසු සේවා ආයතන යනාදිය පිරික්සා බැලුවහොත් කෙනෙකුට මග හැරී නොයන නිරීක්ෂණයක් වනු ඇත්තේ ඒ සියල්ලට ප්‍රාදේශීය දේශපාලකයින් සමග කවර හෝ සම්බන්ධයක් පවතින බවයි.

මෙයට එකතු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, අඩු තරමින් මේ සියවසේ මුල් වසර කිහිපයේ පටන් ප්‍රවණතාත්මකව නැග ආ සිංහල-බෞද්ධ නව ජාතිකවාදය පදනම් වූයේ ඉහත විග්‍රහ කළ “අනුග්‍රාහකවාදී ආර්ථික විවෘතකරණයේ” පල නෙලූ කොන්ත්‍රාත්කාර ධනේශ්වරය මත බවයි. එබැවින් මෙම නව-ජාතිකවාදය 1980 දශකය දක්වා අධිපතිව පැවති “සිංහල වාම ජාතිකවාදයෙන්” වෙනස්ය. ’56 පෙරළියෙන් ඔද ගැන්වුණු “සිංහල වාම ජාතිකවාදීන්” ආර්ථික විවෘතකරණයට සේම ඊනියා බටහිර සංවර්ධන මොඩලයටද එරෙහි ප්‍රචාරකයින් වූහ. නමුත්, රාජපක්ෂ ව්‍යාපෘතිය තුළ ගොණු වී සිටින සිංහල බෞද්ධ නව-ජාතිකවාදීන් ආර්ථික විවෘතකරණයේ දරුවන්ය. ඔවුන් සැබවින්ම අනුග්‍රාහක දේශපාලනය සමග අතිනත ගත් ලාංකීය ප්‍රවර්ගයේ ආර්ථික විවෘතකරණයට මුළුමනින්ම පක්ෂය. එබැවින්, ඔවුන් වඩාත් සමීප වන්නේ නව-ලිබරල්වාදයේ අර්බුදය සමග සමකාලීන ලෝකයේ පැන නැගුණු අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රවණතා සමගය.

ටකරමේ විකල්පය

ඉහත විශ්ලේෂණයෙන් ගම්‍ය විය යුතු පරිදි, මෙරට වත්මනෙහි අධිපතිව පවතින බහුතරයේ ජාතිකවාදයත් අනුග්‍රාහකවාදී ධනවාදයත් අතිනත පටලාගෙන යයි. මෙම අංගයන් දෙකෙහිම ප්‍රධාන ප්‍රකාශකයා වීමට මෙතෙක් රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය සමත් විය. පළමුවැන්නෙහි ප්‍රතිමූර්තිය වූයේ මහින්ද රාජපක්ෂ නම්, දෙවැන්න බැසිල් රාජපක්ෂ කෙරෙන් මූර්තිමත් විය. ඉදිරි දිනෙක දීර්ඝකාලීන නිරෝධායන සමය නිමා කොට යළිත් රට අරින්නේ නම්, වත්මන් පාලනාධිකාරය එය කරනු ඇත්තේ බොහෝ විට පොහොට්ටු පක්ෂයේ අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලය පණ ගැන්වීමේ විශාල මෙහෙයුමක්ද සමගය. වසංගතයෙන් බිඳ වැටුණු රට නැවත ගොඩ නැගීමේ මාධ්‍ය මෙහෙයුමක් සමග එම අනුග්‍රාහක ප්‍රවේශය එකට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

දරිද්‍රතාවෙන් මදිවාට වසංගතයෙන්ද බැට කා සිටින ජනයාට යළිත් වරක් තම ප්‍රාදේශීය දේශපාලක ව්‍යවසායකයා මුණ ගැසෙනු ඇත්තේ මැතිවරණ කාලයකදී මෙන් සහනාධාර මුදලක් හෝ ටකරමක් ප්‍රදානය කරන්නෙකු ලෙසයි. නමුත්, දැන් අර්බුදය ඔඩු දුවා ඇති පරිමාව අනුව ටකරමකින් වැඩේ ගොඩ දා ගැනීම එතරම් පහසු වෙතැයි සිතිය නොහැකිය. අනෙක් අතින්, ප්‍රධාන පෙළේ ජාතිකවාදී බුද්ධිමතුන්ගේ දෘෂ්ටිවාදී රුකුලකින් තොරව අනුග්‍රාහකවාදී සංකේත යථාර්තයට පැවතිය හැකිද යන ප්‍රශ්නයද පවතී. වත්මන් සමාජ විරෝධතාවල බහු-විධත්වය හා පෘථුලත්වය දෙස බැලූ විට යළි පණ ගන්වන අනුග්‍රාහක දේශපාලනයකින් තම අහිමි වූ ජනප්‍රියත්වය යළි දිනා ගැනීම වත්මන් පාලනාධිකාරයට කෙසේවත් පහසු ඉලක්කයක් නොවනු ඇති බව පැහැදිලිය.

ග්‍රාම්ස්චිගේ ප්‍රචලිත ප්‍රවාදය වනුයේ කැමැත්ත මගින් කරන පාලනය අසමත් වන තරමට බලහත්කාරයේ සහ හිංසනයේ පාලනය වඩා පෙරට එනු ඇතිය යන්නයි. ඇතැම්විට, මෙවර අයවැයෙන් කැමැත්ත (අනුග්‍රහය) ගොඩ නැගීම සඳහා වැඩි කළ මුදලටත් වඩා වැඩි මුදලක් මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වෙන් කිරීමෙන් සංකේතවත් වන්නේ එය විය හැකිය. (මෙවර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18 කින් වැඩි කිරීමට අපේක්ෂිතය). නමුත්, වත්මන් වාතාවරණය තුළ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ නාට්‍යමය ලෙස මුදා හැරීම සඳහා දේශපාලන නාට්‍යයක්ද වුවමනා වේ. ආපදා ධනවාදයේ තර්කනය වන්නේ එයයි.

#
වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?
[පළමු කොටස]

# ‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’
| වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]

සුමිත් චාමින්ද | Sumith Chaaminda

පරිශීලන

Gramsci, Antonio, 1971, Selections from the Prison Notebooks, (eds. Quintin Hoare and Geoffrey Nowell Smith), International Publishers, New York.

Jayasundara-Smits, Shyamika, 2013, In Pursuit of Hegemony: Politics and State Building in Sri Lanka, International Institute of Social Studies, Netherlands.

Zizek, Slavoj, 2020, Pandemic! Covid-19 Shakes the World, OR books, New York-London.

LankaCNews