iMage: VIKALPA/File
සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම් ගැනීමට අසීරු වන හෙයින්ම, අයවැය පවතින්නේ සාමාන්‍ය ජනසමාජයෙන් ඔබ්බෙහි සංකල්පීය දෙයක් ලෙස ය. සෑම වසරකම මෙන්, මේ වසරේ ද අයවැය ඉතා මිහිරි වදන් භාවිතා කරමින් අගනා ලෙස ලියැවුණු ලියවිල්ලකි. වසර 73ක් තිස්සේ පවතී ආණ්ඩු විසින් ගෙන ගිය ආර්ථික උපාය මාර්ගවල අසමත්බව මෙම අයවැය තුළ මැනවින් විග්‍රහ කොට තිබේ. එහෙත් ඇත්තෙන්ම මේ කිසිම අයවැයක් රටේ ජනගහණයෙන් 52%ක් වන ස්ත්‍රීන්ට බලපාන්නේ කෙසේද, මේ අයවැය අපට සරලව තේරුම් ගත හැක්කේ කෙසේද යන්න ඉතා අඩුවෙන් අවධානයට යොමු කරනු ලැබූ ක්‍රමයකි. එබැවින් මේ ලිපියෙහි අරමුණ හැමදාමත් කතා කරන අය වැය ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කරමින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි.
මේ සඳහා අයවැයෙහි අංශ කිහිපයක් තෝරා ගෙන තිබේ. ඉන් පළමුවැන්න නම් මූලිකවම අමාත්‍යාංශ සඳහා අයවැය තුළින් කරනු ලැබූ වෙන්කිරීම් ය. මෙවර අයවැය ගත් විට ඉතා කැපී පෙනෙන කරුණක් වන්නේ කාන්තා සහ ළමා කටයුතු, සෞඛ්‍ය, කෘෂිකර්මය, ප්‍රවාහනය සහ කම්කරු යන සියලු අංශවලට සමස්තයක් ලෙස රුපියල් බිලියන 525 ක් වෙන් කරන අතර, ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 529ක් වෙන් කරනු ලැබීමයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් පමණක් අන් සියලු අංශවල ඒකාබද්ධ වෙන් කිරීමට වඩා රුපියල් බිලියන 4කට වැඩි ප්‍රමාණයක් වෙන් වී තිබේ. යුද්ධය නිමා වීමෙන් වසර 13කට පසු ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද වෙන්කිරීම පෙර වසරට සාපේක්ෂව 21% කින් ඉහළ යන විට, පසුගිය වසර දෙක තුළ දැඩි අර්බුදයකට ලක් වූ අධ්‍යාපනය වෙනුවෙන් කළ වෙන් කිරීම ඉහළ යන්නේ 1%කින් පමණි. මෙහි කණගටුදායක කරුණ නම්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කරන ලද වෙන් කිරීම් පෙර වසරට සාපේක්ෂව 25%කින් පහළ ගොස් තිබීමයි. සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද වෙන් කිරීම් 4%කින් ද දේශීය වෛද්‍ය සහ ආයුර්වේදය වෙනුවෙන් කරන ලද වෙන් කිරීම් 14%කින් ද පහළ ගොස් තිබීම ගෝලීය වසංගත තත්ත්වයක් තුළ කිසිසේත්ම තේරුම් ගත නොහැකි තත්වයකි.
මේ වෙන් කිරීම්වල වෙනස තීරණය කරනු ලබන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් ඊට ලබා දෙන ඊනියා වැදගත්කම අනුව බව නොරහසකි. මෙම හැගීම් විරහිත සංඛ්‍යා ස්ත්‍රීන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද? නිදසුනක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව දරන්නට වන බර අවසානයේ පැටවෙන්නේ පවුල වෙතය. විශේෂයෙන්ම දරුවන් රැක බලා ගැනීම, වයෝවෘද්ධ වැඩිහිටියන් රැක බලා ගැනීම, ආහාර නිෂ්පාදනය සහ එදිනෙදා වැටුප් නොලබන සියලු අංශවලට යොදවන රාජ්‍ය පිරිවැය අවම වන විට, එහි බර පැටවෙන්නේ ස්ත්‍රිය මතය. දරුවන් සහ වැඩිහිටියන් සඳහා නිසි සමාජ ආරක්ෂණයක් නොමැති වීමෙහි අඩුව පුරවන්නේ, ස්ත්‍රිය පවුල තුළ ඉටු කරන වැටුප් නොලබන ශ්‍රමය හරහා ය. මෙම ගෘහස්ත ශ්‍රමය ජාතික ආර්ථිකයේ කොටසක් ලෙස නොසලකනු ලැබීම වූ කලී, ඇත්තෙන්ම ධනවාදය තුළ ලාභය ඉපයීම වෙනුවෙන් කරනු ලබන සාහසික වෙන් කිරීමකි. මෙම ශ්‍රමය ඇත්තෙන්ම සමාජ ප්‍රතිනිෂ්පාදනය ලෙස ජාතික ආර්ථිකයෙන් සඟවනු ලැබේ. උදාහරණයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ ශ්‍රම වෙළෙඳ පොළෙහි දායකත්වය 30%-40%ක අගයක් ගනී. ඇත්තෙන්ම මින් අදහස් වන්නේ ස්ත්‍රීන් ශ්‍රම වෙළඳ පොලෙහි නොමැති බව ද? නැත. එමගින් අදහස් වන්නේ ස්ත්‍රීන් ඊනියා විධිමත් ශ්‍රම වෙළෙඳ පොළෙහි නොමැතිවීමයි. එහෙත් ස්ත්‍රීන් ගෘහය සහ පවුල තුළ වැය කරන ශ්‍රමය මෙන්ම, නිවසේ සිට කරනු ලබන සාමාන්‍ය ස්වයං රැකියා, කෘෂිකාර්මික සහ ව්‍යාපාර කටයුතු සඳහා ලබා දෙන දායකත්වය මේ ආකාරයෙන්ම ජාතික ආර්ථිකය වෙත ගණනය කරනු නොලැබේ. එබැවින් ආරක්ෂක අමාත්‍යංශයට සාපේක්ෂව අනෙකුත් අමාත්‍යාංශවලට, විශේෂයෙන්ම සමාජ ප්‍රතිනිෂ්පාදනයට දායක වන කටයුතු පරිපාලනය කරන අමාත්‍යාංශවලට අඩුවෙන් මුදල් වෙන් කිරීම ස්ත්‍රීන්ගේ ජීවිත මත දැඩි සෘණාත්මක බලපෑමක් ඇති කරයි.
දෙවැනි කරුණ නම් මෙම අය-වැය තුළින් ජනතාව මුහුණ දෙන බරපතළ එදිනෙදා ගැටලු අමතක කර දැමීමයි. නිදසුනක් ලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන බඩු මිල පාලනය කිරීමේ ක්‍රමවේද කෙරෙහි මේ අයවැයෙන් ප්‍රතිපාදන සකස් කොට නැත. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ ගොවීන්ගේ පොහොර ගැටලු, වගාබිම් විනාශ වීම්, අස්වැන්න අඩු වීම් ආදිය විසඳීම සඳහා කිසිදු ප්‍රතිපත්තියක් මේ අය වැයෙන් ඉදිරිපත් කොට නොමැත. එමගින් ඇතිවන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව පොදු ගැටළුවට වැඩිපුරම මුහුණ දෙන්නේ ස්ත්‍රීන් සහ දරුවන් ය. විශේෂයෙන් පවුලෙහි ආහාර පරිභෝජනයේදී ස්ත්‍රීන්ට හිමිවන අඩු ප්‍රමුඛත්වය දකුණු ආසියාතික සංස්කෘතික පරිචයන් තුළ අපි පොදුවේ දකිනු ලබන කරුණකි. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ සහ ස්ත්‍රීන්ගේ මන්දපෝෂණය මෙහි ප්‍රතිඵලයක් වේ. අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ගැබිණි මව්වරුන්ට වසර දෙකක් පෝෂණ මල්ලක් ලබා දීමෙන් මෙම බරපතල ගැටලුවට විසඳුම් සෙවිය නොහැකිය. ඉඩම් සඳහා ප්‍රවේශය, ඒ සඳහා ඇති නීතිමය සහ මූල්‍ය පසුබිම සැකසීම, බීජ සුරක්ෂිතභාවය, පොහොර සහ ජල සම්පාදනය, නිෂ්පාදන බෙදා හැරීමේ යාන්ත්‍රණය යන සියලු අංශවල විධිමත් කළමනාකරණයක් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය වේ. නිෂ්පාදන ආර්ථිකයක් රටෙහි ඇති කළ යුතු බව අයවැය තුළින් පුනපුනා පැවසුව ද නිසි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නිසි පියවර සහ ප්‍රතිපත්ති අයවැය තුළින් ඉදිරිපත් කර නොමැත.
ඊළඟ කරුණ නම්, ශ්‍රමය ස්ත්‍රීකරණය වීම හේතුවෙන් විශේෂයෙන්ම කම්කරු ස්ත්‍රීන් මුහුණ දෙන ප්‍රශ්නයට නිසි විසඳුම් මෙම අයවැය තුළින් ඉදිරිපත් කර නොතිබීමයි. අප දන්නා පරිදි කොවිඩ් වසංගතය හේතුවෙන් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරමින් සිටි දහස් ගණනක රැකියා අහිමි වූ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳ වැටීම නිසා තවත් බොහෝ ප්‍රමාණයක ජීවනෝපාය අහිමි විය. යම් ආකාරයකට ස්ථාවර වෙළඳපොලක් පවත්වාගෙන් ගිය ඇඟලුම් කර්මාන්තයේ පමණක් 30%ක පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි ගණන් බලා තිබේ. අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා ගත්විට ද ඒවායේ වැඩිපුරම නිරත වන්නේ ස්ත්‍රීන්ය. විශේෂයෙන් දේශීය ගෘහ සේවයේ සහ සංක්‍රමණික ගෘහ සේවයේ යෙදී සිටින ස්ත්‍රීන්ට මෙම අයවැය තුළින් කිසිදු සහනයක් හිමි කර දී නැති වීම කණගාටුදායක තත්වයකි. මෙයට සමගාමීව කම්කරු අමාත්‍යංශය වෙනුවෙන් කරන ලද වෙන් කිරීම පසුගිය වසරට සාපේක්ෂව 30%කින් අඩු කර තිබේ.
ගෘහ ආර්ථිකය නැංවීමට පියවර ගන්නා බව අයවැය තුළ පැවසුවද ගෘහ ආර්ථිකය යනු කුමක්ද යන්න ගැන නිසි දැක්මක් අපට මෙම අයවැය තුළ නොපෙනේ. ඇත්තෙන්ම රටට අවශ්‍ය වන්නේ ගෘහ ආර්ථිකය ජාතික ආර්ථිකයේ කොටසක් ලෙස සලකමින් ඒ හා සමාන වැදගත්කමකින් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරනු ලබන නව දැක්මකි. නිදසුනක් ලෙස ග්‍රාමීය ස්ත්‍රීන් ලක්ෂ ගණනක් පීඩා විදිමින් සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීම සඳහා අංශු මාත්‍රයක හෝ අවධානයක් මෙම අයවැය තුළින් යොමු කර නොමැත. කොවිඩ් නිසා ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ, සංචාරක කර්මාන්තයේ යෙදුණ ව්‍යාපාර සහ විනෝදාස්වාද කර්මාන්තවල යෙදුනු තැනැත්තන් වෙත එක් වරක් ලබා දෙන සුළු මුදලක්, මෙම තැනැත්තන් එරී සිටින දැවැන්ත ණය මඩ වගුරෙන් ඔවුන් ගොඩ ගැනීමට සමත් වන්නේද?
අවසාන කාරණය නම් සමාජ ආරක්ෂණය පිළිබද ගැටලුවයි. සමාජ ආරක්ෂණය යනු සමාජයේ සියලු කොටස්වලට එක සමාන ලෙස නීතියේ, යුක්තියේ සහ අනෙකුත් සේවාවන්හි ප්‍රවේශය හිමි, සුරක්ෂිත ජීවිත ගත කිරීමට ඇති හැකියාවයි. එක් අතකින් බිඳ වැටෙමින් පවතින නීතියේ ආධිපත්‍යය සහ අත්තනෝමතික ලෙස අධිකරණයට අත පෙවීමෙන් යම් යම් ජනකොටස්වල සමාජ ආරක්ෂණය මේ රජය විසින් මේ වන විටත් අහිමි කර තිබේ. අනෙක් අතට විවිධ හේතු නිසා ජීවනෝපාය අහිමි වීම්, අතුරුදහන් වීම්, අවතැන් වීම් සහ හා ප්‍රචණ්ඩත්වය මුහුණ දුන්ට ළමයින්, ස්ත්‍රීන්, සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් ද ඇතුලූ සියලූ ජනකොටස්වලට ලබා දෙන සමාජ ආරක්ෂණය කවරේ දැයි අප නැවත නැවතත් ප්‍රශ්න කළ යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ මෙම අයවැය බැසිල් රාජපක්ෂ සිය අයවැය කතාවේදී සඳහන් කළ ආකාරයටම ධනපති තැනැත්තන් සහ සමාගම් දිනෙන් දින පොහොසත් වන, එහෙත් දුප්පතුන් දිනෙන් දින දුප්පත් කරවන අය-වැයක් මිස වෙනත් කිසිවක් නොවේ.
කෞශල්‍යා ආරියරත්න | Kaushalya Ariyarathne
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව