iMage: UNframed Photography Exhibition

[ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.]

ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි රාජපක්ෂ සොහොයුරෝ අපනයන ප්‍රවර්ධන කලාපවල ඇඟලුම් සමාගම්වල සේවය කරන්නන්, තේ වතුවල කම්කරුවන් ආදී සමාජයේ වැඩිම සූරා කෑමට ලක්වන ජන කොටස්වල ජීවන තත්ත්වයන් අධ්‍යයනය කිරීමට නූතන වහල්භාවයේ විවිධ ආකාර සමඟ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇරයුම් කළහ. මෙම තීක්ෂණ මුල පිරීම සිදු කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවේ ආදර්ශයට අනුව කටයුතු කරනු ඇතිද? 
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, ටොමෝයා ඔබොකාටා, ගැටළු පවතින ස්ථානවලදීම ඒවා අධ්‍යයනය කිරීම සඳහා නොවැම්බර් 26 වැනි සහ දෙසැම්බර් 3 වැනි දින අතර කාලයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර කම්කරුවන්, රජයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ මෙම විෂයය හා සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන යන පුද්ගලයන්ගේ හා ආයතන වල හරස් කඩක් හමු වීය. එම වාර්තාකරු නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමකදී මූලිකව හෙළි කරගත් කරුණු ඉදිරිපත් කළේය. අවසාන වාර්තාව 2022 සැප්තැම්බර් මස දී එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.


තේ වතුවල කම්කරුවන්, ඉන්දීය දෙමළ සම්භවයක් ඇත්තවුන්ය. ඒක පුද්ගල ආදායම, ජීවන තත්ත්ව, ආයු කාලය, අධ්‍යාපනික ජයග්‍රහණ සහ කාන්තාවන්ගේ තත්ත්වය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ඔවුන් සිටින්නේ අන්තිම අඩියේය. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මෙසේ අවධාරණය කර ඇත: “නූතන වහල්භාවයේ විවිධ ආකාරවලට වාර්ගික මානයක් ඇත. විශේෂයෙන්ම, වසර 200 කට පෙර වැවිලි අංශයේ වැඩ කිරීම පිණිස ඉන්දියාවෙන් ගෙන එනු ලැබූ කඳුරට දෙමළ ප්‍රජාව ඔවුන්ගේ සම්භවය මත පදනම් වූ බහුවිධ ආකාරයේ වෙනස්කොට සැලකීමට දිගින් දිගටම මුහුණ දෙති.”

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිය තේ කර්මාන්තයෙහි 150 වැනි සංවත්සරය සැමරුවේය. ආර්ථිකය තුළ තේ කර්මාන්තයෙහි භූමිකාව, එම අංශය තුළ නිෂ්පාදනය වැඩි කරන ආකාරය සහ එය නවීකරණය කරන ආකාරය අවධාරණය කිරීම පිණිස රජය සහ වැවිලි කරුවෝ සම්මන්ත්‍රණ සහ සමුළු ගණනාවක් සංවිධානය කළහ.

ලොව පුරා මිලියන ගණනක් දෙනා උදෑසන ප්‍රීතිමත් කරවන කොළ දෙක හා ලා දල්ල (Two leaves and a Bud ආචාර්ය මුල්ක් රාජ් ආනනද් විසින් රචිත නවකථාවකි) නිපදවන්නන් පිළිබඳව සම්මන්ත්‍රණයක් කැඳවූ එකම සංවිධානය වූයේ මහනුවර සමාජ සංවර්ධන ආයතනයයි.
 වැවිලි කරුවන්ගේ හා කම්කරුවන්ගේ එකිනෙකට පරස්පර ජීවිත අවධාරණය කරනු ලැබිය යුතුය. පහත දැක්වෙන්නෙ මෙම පරස්පර විරෝධී බව විස්තර කරන උද්ධෘතයන් දෙකකි.

2005 දී BBC ආයතනය How the British Reinvented Slavery ( බ්‍රිතාන්‍යයන් වහල් සේවය යළි නිර්මාණය කළ ආකාරය) යන මැයෙන් රූපවාහිනී වාර්තා වැඩසටහනක් විකාශය කළේය. එම වාර්තා වැඩසටහන වැවිලිකරුවන්ගේ ජීවිත පහත දැක්වෙන ආකාරයට නිරූපණය කරයි⁚ “ඔබට ඔබේ ආලින්දයේ වාඩි වී ලෙමනේඩ් තොල ගාන අතරේ මෙහෙකරුවකු ලවා පවන් සලවා ගැනීමට ද ඒ අතරම යම් කුලීකරුවකු ලවා ඔබේ පා නිය කප්පවා ගැනීමට ද හැකිය. එමෙන්ම ඔබේ කම්කරුවන් වැඩ කරන ආකාරය ඔබට බලා සිටිය හැකි අතර, ඔබ කැමති ඕනෑම ගැහැණියක සමඟ ඔබට යහන්ගත වීමට ද හැකිය. කොටින්ම කිවහොත් ඔබ අවදි වූ මොහොතේ සිට නින්දට යන තෙක්ම ඔබේ සෑම කාර්යයක්ම ඔබ වෙනුවෙන් ඉටු කෙරෙනු ඇත. මිනිස්සු ඔබේ උවමනා එපාකම් ඉටු කරති, ඔබට කීකරු වෙති, ඔබට බිය වෙති, වතු හිමියකු ලෙස ඔබේ එක වචනයකට ජීවිතයක් අහිමි කළ හැකිය.”

කඳුරට දෙමළ තරුණ කවියකු වන වනචිරාහු වාර්ගික ගැටුම් පවතින කාලවල ඔහුගේ ජනතාවගේ ඇතුළු හදවත්වල හැඟීම් වචන බවට හැරවීය. Dawn (අරුණෝදය) මැයෙන් රචනා කළ පැදි පෙළක කවියා මෙසේ ලියයි⁚

“අපගේ රාත්‍රීන් අවිනිශ්චිතය, ප්‍රියයාණනි, යහනට යාමට පෙර එකිනෙකා දෙස බලමු, මෙය අපේ අවසන් අරුත්බර මොහොත විය හැකිය. අවසන ඔබේ දෙතොල් අපේ දරුවන්ගේ කොපුල් මත හොවන්න. ඉක්බිති අපේ නෑයන් මොහොතක් සිහි කරමු. අවසානයේදී අපි අපේම කඳුළු පිස ලමු.”


කඳුරට දෙමළ ජනතාවගේ වැදගත්ම ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ජනගහනය තියුණු ලෙස අඩු වීමයි. 1948 දී නිදහස ලබන කාලයේදී ඔවුන් සංඛ්‍යාත්මකව ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වැඩි විය. කොළඹ සහ නව දිල්ලිය අතර 1964 දී හා 1974 දී අත්සන් තබන ලද ගිවිසුම් දෙක හේතුවෙන් හා ඉන්දියානු පුරවැසියන් ලෙස ජනතාව විශාල සංඛ්‍යාවක් ආපසු සිය රට ට යැවීම හේතුවෙන්, ඔවුන්ගේ සංඛ්‍යාව අඩු විය. වර්තමානයෙහි, ජන සංඛ්‍යා ලේඛන අනුව, ඔවුන් ජනගහනයෙන් 5.5% ක් පමණි.


නිදහසින් පසු මුල් දශක කිහිපයක් තිස්සේ ඉන්දියානු දෙමළ ජනතාවට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ගැටළුව වූයේ පුරවැසිභාවය නොමැති වීමයි. පාර්ලිමේන්තුවේ හා පාර්ලිමේන්තුවෙන් බැහැර අරගලවල ප්‍රඥාවන්ත සංකලනයකින්, මෙම ප්‍රජාවට සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ නායකත්වය යටතේ සිංහල ආධිපත්‍යය සහිත විරුද්ධ මතධාරී ආණ්ඩුවකින් පුරවැසි හිමිකම් ලබා ගැනීමට හැකි විය.1964 ඔක්තෝබර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ උපන් සියළුම දෙනාට පුරවැසිභාවය ප්‍රදානය කරන ලද අතර සිරිමාවෝ – ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට ආපසු යවනු ලැබීමට ඉතිරිව සිටියවුන් ද එයට ඇතුළත් විය. 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදීමත් සමඟ තම නියෝජිතයන් වැඩියෙන් පාර්ලිමේන්තුවට යැවීමට මෙම ප්‍රජාවට හැකියාව ලැබිණි.

දැන් මෙම ප්‍රජාව සමානාත්මතාව සහ අභිමානය වෙනුවෙන් අරගලයක නිරතව සිටී. ජීවන තත්ත්වයන් වැඩි දියුණු වෙමින් පවතින නමුත් ඔවුනට පූර්ණ සමානාත්මතාව අත්විඳීමට හැකි වනු පිණිස කළ යුතු තවත් බොහෝ දේ ඉතිරිව පවතී. ප්‍රමුඛතම කරුණ වන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් තව දුරටත් සිදු වීමයි. කඳුරට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිසිදු අවස්ථාවක වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ඉල්ලීමට දායක නොවූ නමුත් 1977, 1981 සහ 1983 වර්ෂවලදී ඔවුහු සිංහල ලුම්පන් පිරිස්වල කෲර සහ ම්ලේච්ඡ ප්‍රහාර වලට ලක්වූහ. 2006 බිඳුනුවැව සංහාරයෙන් පසු මම හැටන් හී සිටියෙමි. ඉන්දිරා නම් තරුණියක මා හා පැවසුවේ අනාරක්ෂිතබව නිසා හැටන් අවට ගමන් බිමන්වල යෙදීමට තමන් බියෙන් පසුවන බවය. රෑ බෝවී කිසිදු බියකින් තොරව චිත්‍රපට දර්ශන නැරඹීමට යා හැකි වූ චෙන්නායිහි පෙරම්බූර්හි සිය සොහොයුරා සමඟ ගෙවූ ජීවිතය හා මෙහි ජීවිතය අතර වෙනස පිළිබඳව ඈ කථා කළාය. දෙවනුව, තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප ශ්‍රී ලංකා රුපියල් 1,000 ක් පමණ වන අතර එය ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. එබැවින් බොහෝදෙනෙකු වතුවල වැඩට නොගොස් උදෑසන හා දිවා ආහාරයට අමතරව එමෙන් දෙගුණයක් වැටුප් ලබා ගතහැකි එළවළු ගොවිපල වල වැඩට යති. අවසාන වශයෙන්, සෑම පිරිමි සහ ගැහැණු ළමයෙකුම පාසල් යන නමුත් බොහෝ දෙනෙකු අතරමඟදී අධ්‍යාපනයෙන් ගිලිහෙති. විශ්ව විද්‍යාලවලට ප්‍රෙව්ශ වන්නේ ඉතා සුළු පිරිසකි. 2006 වසරේදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දකුණු ආසියා කලාපීය සහයෝගීතා සංවිධාන මහාචාර්යවරයකු ලෙස මම පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වී සිටියෙමි.

ශාස්ත්‍රෙව්දී අවසන් වසර දෙමළ මාධ්‍ය පංතියේ සිසුන් 10 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් අට දෙනෙකු මුස්ලිම් ගැහැණු ළමුන් විය, මඩකලපුවෙන් එක් පිරිමි ළමයෙකු ද වූ අතර වතුකරයෙන් එක් ගැහැණු ළමයෙක් සිටියාය. එම වසරේම, විශ්ව විද්‍යාලයේ සිටි ඉන්දීය දෙමළ ප්‍රජාවට අයත් ආචාර්යවරුන් සංඛ්‍යාව 10 ට අඩුවෙන් පැවතිණි.


දෙරට අතර වැඩියෙන් අධ්‍යාපනික හුවමාරු තිබිය යුතු බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය වසර තුනක ක්‍රියාකාරී සැලැස්මෙහි අවධාරණය කර ඇත. උදාහරණයක් ලෙස, ගෝලීය අධ්‍යයන වෙනුවෙන් චෙන්නායි මධ්‍යස්ථානය මේ සඳහා ඉදිරිපත් වී කඳුරට දෙමළ ළමුන්ට දවිතීයික සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට සහාය වීමට දැඩි උනන්දුවෙන් පසුවන අතර ඔවුන්ගේ සියළු වියදම් දැරීමටත් ඔවුනට ශිෂ්‍යත්ව පිරිනැමීමටත් සූදානමින් සිටී. මෙම ප්‍රජාවට දියුණුව අත් කර ගත හැක්කේ ඔවුනට මනා වටිනාකම් පාදක අධ්‍යාපනයක් ලැබෙන්නේ නම් පමණි. තමිල් නාඩුවට මේ වෙනුවෙන් දයාන්විත කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව ඇත.

යාපනයේ වෙල්ලාල ජනයා විසින් භාවිතා කරන ලද අවමන් සහගත යෙදුමක් වූ “තෝට්ටකට්ටන්”(වතුකරයේ ම්ලේච්ඡයන්) වෙතින් ”මලයග තමිල්” එනම් කඳුරට දෙමළ යන ගෞරවනීය නාමයට පරිවර්තනය වීම කඳුකරයේ ඇතිව තිබෙන ගුණාත්මක වෙනස පැහැදිලි කරන්නකි. එනමුත් ඔවුන් සමාන අවස්ථා භුක්ති විඳින සමාන පුරවැසියන් බවට පත්වීමට තවත් කළ යුතු බොහෝ දේ ඉතිරිව පවතී. 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මට හඳුනා ගැනීමේ භාග්‍යය උදා වූ එම්. ඒ. නුහුමාන් විසින් ලියන ලද කවියකින් මෙය අවසන් කරමි:

“සමානාත්මතාව නැත්තේ කොතැන ද, නැත, එතැන සාමය, සාමය නැත්තේ කොතැන ද, නැත එතැන නිදහස, මේය අවසන් වදන් මා පවසන, සමානාත්මතාව, සාමය, නිදහස.”

වී. සූර්යනාරයන් [
ජ්‍යෙෂ්ට මහාචාර්ය (විශ්‍රාමික) දකුණු සහ ගිනිකොනදිග ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානය,මදුරාසි විශ්වවිද්‍යාලය (කතුවරයා මදුරාසි විශ්ව විද්‍යාලයේ මෙම මධ්‍යස්ථානයෙහි ආරම්භක අධ්‍යක්ෂවරයා විය]