iMage/Video;VIKALPA.ORG

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්කර ඊයේ(24) දිනට වසර 12ක් ගත විය. මේ වසර 12 පුරාවටම කිසිදු ආණ්ඩුවක, කිසිදු බලධාරියෙක්ට ප්‍රගීත් සොයාගැනීමටවත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටවත් හැකියාවක් ලැබුණේ නැත. එසේ තිබෙන බවවත් නිශ්චිතවම පෙන් වූයේ ද නැත. එම නිසා ප්‍රගීත් අතුරුදහන් කළ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටිනු ඇතැයි කවුරුන් හෝ කීවත් එය ප්‍රතික්ෂේප කිරීමට ද හැකියාවක් නැත. කෙසේ නමුත්, මේ වසර 12 පුරාවටම ප්‍රගීත්ගේ බිරිද සන්ධ්‍යා එක්ණැළිගොඩ, ප්‍රගීත් සොයාගැනීමට දැරූ වෙහෙස අපමණය. ඒ ධෛර්යවන්ත ගැහැණිය තමන්ට හැකි සෑම තැනකම ඇවිද්දාය. හැකි සෑම කෙනෙක්ටම කතා කළාය. එහෙත් තවමත් ප්‍රගීත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

නමුත් ප්‍රගීත් අතුරුදහන් කර වසර 12ක් පිරෙන විට සන්ධ්‍යා නම් ඇය සිය හිස මුඩු කර දෙවියන් ඉදිරියට ගොස් සිය සැමියාට යුක්තිය යාදින්නීය. වසර 12කට පසුවත් ලංකාවේ පාලකයන් ඇයට සේම ඇය වැනි සිය ගනන් මිනිසුන්ට සහ ගැහැණුන්ට යුක්තිය ලගා කර දී නොමැති මොහොතක, නොපෙනෙන දෙවියන් ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටින්නේ ඇය තුළ නොසිදී ඇති උතුම් බලාපොරොත්තුව නිසාය. හදවතක් ඇති කිසිවෙක්ට ඒ බලාපොරොත්තු පිරී දැස් දෙස නොබලා සිටීමට නොහැකිය. නමුත්, අද දවසේ ද උතුරේ ද දකුණේ ද යුක්තිය ඉල්ලන ඒ බලාපොරොත්තු පිරි දෑස් බලාපොරොත්තු අතනොහැර බලා සිටීයි. තමන්ට කළ හැකි උපරිමය සිදුකරයි. නමුත් ලංකාවේ කිසිදු පාලකයෙක්ට ඒ දෑස් ඉල්ලා සිටින යුක්තිය ලගා කර දෙන්නට තරම් ශීලාචාරබවක් පෙන්වා සිටියේ නැත.

අද ද, සන්ධ්‍යා එක්ණැලිගොඩ සිය හිස මුඩු ගා, ‘දෙවියන්ගෙන්’ ඉල්ලා සිටියේ ප්‍රගීත්ට යුක්තියයි. යාදිමින් ඉල්ලා සිටියේ අපරාධකරුවන්ට හෙළි කර, ප්‍රගීත්ට යුක්තිය යි.

මේ ඒ යාදින්නේ කොටසකි…

පතල විරු ගුණ කාලී
මහා දේවතාවියේ
විපත සිදු වුණේ
අදින් දොළොස් වසරකි
ඒ රැයේ…..

මගේ පුතු එක්ණැලිගොඩ
හොරා ගත්තේ ඒ මහ රැයේ
එදා පටන් දියණි සන්ධ්‍යා
කරයි කන්නලව්ව හැම දිනේ….

මලින් පිදුවා පැනින් පිදුවා
පේ වුණා පලි ගසා ඉකිගසා
තවත් නෑ ඒ පුතු තතු
මරා ගත් උන් දැන්………..

ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කර දින 500ක් පිරුණු 2011 ජූනි 08 සන්ධ්‍යා එක්නැළිගොඩ මෙසේ කීවාය.

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු දාලා. මම අද අහන්නේ ඇයි ඕගොල්ලන් නිහඬ. මට උත්තරයක් ඕන. ජනාධිපති ආර්යාවගෙන් මට උත්තරයක් ඕන. මොකද එතුමිය දන්නවා 88/89 කාලේ අතුරුදහන් වූවන් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් තමයි අද ජනාධිපතිතුමා වෙලා ඉන්නේ. මම ඒක නිසා ඉල්ලන්නේ මගේ ගෙදරටත් සතුට ඕන. ඔබේ ගෙදර සතුට වගේ මගේ ගෙදරටත් සතුට ඕන. මගේ සතුට ප්‍රගීත්. මට ප්‍රගීත් දෙන්න. මට මගේ දරුවො ජීවත් කරන්න මට මගේ ප්‍රගීත් දෙන්න.’’

ප්‍රගීත් අතුරුදහන් කර දින 4380ක් ගෙවෙන මොහොතේද ඒ ඉල්ලීම ම සිදුකරන්නට සිදුවීම ඛේදවාචකයක්ම නොවන්නේද?