iMage:lmd.lk

නව වසර පැමිණ ඇත්තේ නව ගැටළුවක්ද රැගෙනය. මෙම නව ගැටළුව නම් ආහාර හිඟයක ලකුණු පෙන්නූම් කරන තර්ජනයකි. පසුගිය වසරේ සිදු වූ පොහොර ප්‍රතිපත්තියේ හදිසි වෙනස් වීම් වලින් රටේ කෘෂිකාර්මික ක්‍රියාවලියට ඇති වූ බාධා නිසා අස්වැන්නේ අඩුවීමක් ඇතිවීම එතරම්ම පුදුමයකට කාරණයක් නොවේ. කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ආනයනයට බාධාවක් විය හැකි ආකාරයේ මුදල් හිඟයක් ද එයට සමගාමීව ඇති වේ යැයි කිසිවෙක් ඒ වනවිට අපේක්ෂා කළේ නැත. දැන් මේ ප්‍රශ්න දෙකම ඔවුන්ගේ පුරෝකථන අවධිය පසුකර යථාර්ථයන් බවට පත්ව ඇත. මෙම සන්දර්භය තුළ, ආහාර හිඟයක් ඇතිවීමේ සම්භාවිතාව පුදුමයට කරුණක් නොවූවත්, එය කෙතරම් දරුණු විය හැකිද යන්න තවමත් කිසිවෙක් නොදනී.

ඕනෑම හිඟයකදී, එහි ප්‍රායෝගික පීඩාවට වඩා අපට බලපාන්නේ ඉන් ඇතිවන මානසික ආතතියනි. ආහාර හිඟයක් පිළිබඳ අපගේ භීතිය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ නුදුරු අනාගතයේදී අප පරිභෝජනය කිරීමට පුරුදුව තිබූ ප්‍රමාණවලින් හෝ ගුණාත්මක භාවයෙන් ඒවා තවදුරටත් භුක්ති විඳීමට නොහැකි වනු ඇතැයි ඇතිවන හැඟීමයි. මෙම මනෝවිද්‍යාත්මක අවුල මධ්‍යයේ, අපට පහසුවෙන්ම අමතක වන එක් දෙයක් නම්, සාමාන්‍ය වර්ෂයක අපගේ පෙනෙන පරිභෝජනය හෝ වින්දනය තුළ ගැබ් වී ඇති අති විශාල නාස්තියයි. සෑම දිනකම, සෑම වසරකම අප අතින් නාස්ති වන ආහාර ප්‍රමාණය මුළු පරිභෝජනයෙන් තුනෙන් එකකි. එහි සැබෑ බිහිසුණු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා මෙම නාස්තිය ක්‍රම ගණනාවකින් විග්‍රහ කළහැක. උදාහරණයක් ලෙස, මෙයින් අදහස් කරන්නේ 2021 දී ලංකාවේ අප නාස්ති කරන ලද ආහාර ප්‍රමාණය, ඇත්ත වශයෙන්ම තවත් මිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් බවයි. තවත් අතකින් බලනකළ, සාමාන්‍ය වර්ෂයක දී අප රට තුළ විනාශ වන ආහාර පරිමාව ඇත්ත වශයෙන්ම එම ජනගහනයම තවත් මාස 6 ක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ව බව ද මින් අදහස් වේ.

ආහාර නාස්තිය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. මෙය ඇත්ත වශයෙන්ම ගෝලීය ගැටලුවකි. ආහාර නාස්තියේ ගෝලීය සාමාන්‍යය 30-40% පමණ වේ. සමහර රටවල එය 50% ඉක්මව යයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත වලට අනුව මෙම නාස්තිය නිසා වසරකට එකතුවන ඝණ අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3ක් වන අතර ඉන් වන ආර්ථික පාඩුව ඩොලර් බිලියන 1 කි. ගෝලීය පරිමාණයෙන් සෑම වසරකම පලතුරු/එළවළුවලින් අඩක් සහ මාළු/මුහුදු ආහාර/ධාන්‍යවලින් තුනෙන් එකක් පමණ අපතේ යයි. කිරි නිෂ්පාදන, මස් සහ කුකුල් මස් වල නාස්තිය 20% පමණ වේ. ආහාර නාස්තියේ ප්‍රතිශතය හොඳ දර්ශකයක් වුව ද, අප නාස්ති කරන ප්‍රමාණය පිළිබඳ සම්පූර්ණ කතාව එයින් හෙළි නොවේ. ඒ සඳහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කලාපයෙන් කලාපයට වෙනස් වන්නා වූ ඒක පුද්ගල නාස්තිය දෙස බැලිය යුතුය. ඒක පුද්ගල නාස්තිය වැඩියෙන්ම සිදුවන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ වන අතර එය වසරකට එක් පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 300 කට ආසන්න වේ. අඩුම අගය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුලත්වන දකුණු/ගිණිකොනදිග ආසියා කලාපයේය. එය වසරකට එක් පුද්ගලයකුට කිලෝග්‍රෑම් 125ක් පමණ වේ.

මෙම නාස්තිය සිදුවන්නේ කෙසේද සහ කොතැනද යන්න සොයා බැලීම වැදගත් කරුණකි. ආහාර නාස්තිය පිළිබඳව කෙරෙන අධ්‍යයනයන් හි දී එය ආහාර නිෂ්පාදන දාමය ඔස්සේ කොටස් දෙකකට බෙදා වෙන්කෙරේ. ගොවිපලේ සිට සිල්ලර වෙළෙන්දා දක්වා ආහාර ආහාර දාමයේ මුල් කොටසේදී සිදුවන නාස්තිය ඇත්ත වශයෙන්ම “ගිලිහී යන ආහාර (Food Loos)” ලෙස අර්ථ දැක්වේ. මෙහිදී ගොවිපළ යනුවෙන් කෙරෙන පුළුල් නිර්වචනයට සත්ව ගොවිපළ, ඝාතකාගාර සහ ධීවර කර්මාන්තය ද ඇතුළත්ය. කෙටියෙන් කිවහොත්, වෙළඳපොළට සූදානම් කිරීමටත් පෙර විවිධ හේතූන් නිසා එහි වටිනාකම් දාමයෙන් ගිලිහී යන ආහාර මෙම කොටසට අයත් වේ.

සිල්ලර වෙළෙන්දාගෙන් පසුව සිදුවන නාස්තිය “අපතේ යන ආහාර (Food Waste)” ලෙස අර්ථ දැක්වේ. මෙම අපතේ යන ආහාර යන්නෙන් විස්තර කෙරෙන්නේ සිල්ලර වෙළඳසැලත්, ඔබේ නිවස හෝ ආහාර වෙළෙන්දන් සහ ආපන ශාලා වැනි අවසානයේ ආහාර පරිභෝජනය කරන වෙනත් ස්ථානත් අතර දී අප ඇස් ඉදිරියේම සිදුවන නාස්තියයි. හොඳ තත්ත්වයේ ඇති පරිභෝජනයට සුදුසු නමුත් විවිධ හේතූන් මතත, නරක් වීමට පෙර හෝ පසුව අපතේ යන ආහාර මීට ඇතුළත්වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයත් එක්වී මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වුනේ, කොළඹ එකතු වන ඝන අපද්‍රව්‍යවලින් 50% ක් පමණක් පමණ සමන්විත වන්නේ ඉහත අර්ථ දැක්වූ අපතේ යන ආහාර වලින් බවයි. රටේ ඉතිරි ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් දත්ත තිබේදැයි මා නොදන්නා නමුත් මෙම 50% මුළු රටම සඳහා දළ ඇස්තමේන්තුවක් ලෙස භාවිතා කළ හැකිය. විසි කරන්නට තරම් ආහාර නොමැති රටක අපතේ යන ප්‍රමාණය මෙතරම්ම වැඩි වන්නේ කෙසේද? අපට පහසුවෙන් නොපෙනෙන තවත් බොහෝ දේ මේ කතාවේ සැඟවී තිබේ. එක් ආහාර වේලක ඉතුරු වන දේ ඊළඟ ආහාර වේලෙහි නැවත දැකීමට අකමැති බොහෝ දෙනෙක් ලංකාවේ සිටින බව මම දනිමි. එවන් රුචිකත්වයක් ඇත්තන්ගේ මේස මත ඉතිරි වන ආහාර යන්නේ කුණු බක්කියටයි. ඊට අමතරව, විශේෂයෙන් ඉක්මණින් නරක් වන පලතුරු සහ එළවළු වැනි දෑ අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගැනීම වැනි, අපගේම වැරදි කළමනාරණ තීරණ නිසා නොපිසූ ආහාර විශාල ප්‍රමාණයක් අප නොදැනුවත්වම කුණුගොඩට එකතු වේ. අවන්හල් සහ අනෙකුත් භෝජනශාලාවල සිදුවන ආහාර අපතේ යාම අපගේ මුළුතැන්ගෙයි සිදුවන නාස්තියට දෙවෙනි නොවේ. වටිනාකම් දාමයේ සිල්ලර වෙළෙඳපොළ මට්ටමටමේදී ද අති විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යයි. ලස්සන පෙනුමකින් සහ වඩාත් සංවිධිතභාවයකින් යුක්ත සිල්ලර වෙළඳසැලක සිටින විට ඔබට මෙම නාස්තිය ගැන හැඟීමක් ඇති නොවන්නේ, බොහෝවිට මෙම නාස්තිය සිදු වන්නේ ව්‍යාපාරික ස්ථාන පිටුපස හෝ ඔවුන්ගේ ගබඩා තුළ බැවිනි. එහෙත්, ඕනෑම වීථියක විවෘත වෙළඳපොලක් (උදා: සතිපොළ) ළඟම ඇති කසළ ගොඩ දෙස හොඳින් බැලුවහොත්, ආහාර නාස්තියට සාක්ෂි ඇතිපදම් සොයාගත හැක.

ඉහත උදාහරණ සියල්ලෙන්ම මා මෙතෙක් විස්තර කළේ ඔබගේ කුණු බඳුනෙන් අඩක් පුරවන අපතේ යන ආහාර පිළිබඳවයි. නමුත් ප්‍රමාණාත්මකව බලන විට, අපතේ යන ආහාර කොටස ඇත්ත වශයෙන්ම, පාවෙන අයිස් කුට්ටියක වතුරින් උඩට පෙනෙනා පුංචි කෙළවර බඳුය. එනම්, ආහාර වටිනාකම් දාමයෙන් අපට පහසුවෙන් නොපෙනෙන මුලදීම ගිලිහෙන කොටස වඩාත් දෘශ්‍යමාන වන දාමයේ පසු කොටසේදී අපතේ යන ආහාර ප්‍රමාණයට වඩා ඉතාමත්ම විශාල වේ. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, මුලදීම ගිලිහෙන කොටස පසු කොටසේදී අපතේ යන ආහාර ප්‍රමාණයට වඩා 10 ගුණයකින් වැඩි වේ. මෙම ආහාර ගිලිහී යාම, වටිනාකම් දාමයේ නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමේ අවධීන්හි ඇති අකාර්යක්ෂමතාව ඇතුළු හේතු ගණනාවක ප්‍රතිඵලයකි. උදාහරණයක් ලෙස, වැරදි කාළයේ (නියම කාළයට කළින් හෝ ඉතා ප්‍රමාද වී) නෙළන ලද පරිභෝජනයට නුසුදුසු අස්වනු මෙන්ම නෙළීම අතරතුර විනාශ වන හොඳ අස්වනුද දාමයේ අග සිටිනා පාරිභෝගිකයාට නොපෙනේ. විශේෂයෙන්ම, එළවළු/පළතුරු සහ සත්ව ආශ්‍රිත ආහාර, දුර්වල ගබඩා තත්ත්වයන් තුළදී පහසුවෙන් නරක් විය හැක. දාමයෙන් ගිළිහෙන ආහාර සඳහා තවත් පොදු උදාහරණයක් වන්නේ දුර්වල ප්‍රවාහන පහසුකම් නිසා ඇතිවන හානියයි. මිටි බැඳ හෝ ගෝනි වල බහා ලොරි රථවලට පටවන පළතුරු සහ එළවළු, නිසි වාතාශ්‍රය නොමැති වීමෙන් සහ බරින් පීඩනයට ලක් වීමෙන් පහසුවෙන්ම හානියට පත්වේ. මෙවන් වැරදි කළමනාකරණයේ ප්‍රතිඵල සෑම විටම තොග වෙළෙඳ පොළක් යාබද කුණු ගොඩවල්වල ප්‍රදර්ශනය වේ. නිදසුනක් වශයෙන්, දිවයිනේ විශාලතම තොග වෙළඳපොල වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පලතුරු සහ එළවළු වලින් මේ හේතුව නිසා අපතේ යන ප්‍රමණය 30% ක් පමණවේ.

මේ දිනවල කතා බහට ලක්වෙන ආහාර හිඟයක් මැදට ඉහත සංඛ්‍යාලේඛන සියල්ල ගෙන ඒමේ තේරුම ඔබට දැන් වැටහෙනවා ඇතැයි මම සිතමි. මට ඇති ගැටළුව නම්, වසරක් පසා මෙතරම් ආහාර ප්‍රමාණයක් නාස්ති කරන අතරම ආහාර හිඟයක් ගැන කෑගැසීමේ තේරුම කුමක්ද යන්නයි. අවාසනාවකට මෙන්, මෙම ආහාර නාස්තිය වක්‍රෝත්තියෙන් සමාජ සම්මුතියක් වී ඇත. අපගේ එදිනෙදා සැළසුම් පවා සකස් වන්නේ විය හැකි නාස්තියට ගැලපෙන ලෙස මිස එය පිටු දැකීමට නොවේ.

දරුණු ආහාර හිඟයක් පැමිනෙන්නේ නම්, පළමු විසඳුම විය යුත්තේ ආහාර අපතේ යාම අවම කිරීමයි. නියඟයකදී ජලය අපතේ යෑම නැවැත්වීමට හැකියාවක් අපට ඇත්නම්, ආහාර ප්‍රශ්නය උදෙසාද එවන් උනන්දුවක් ඇතිකර ගැනීමට ඇති බාධාව කුමක්ද? ආහාර නාස්තිය සියයට සියයක් දුරලීම ප්‍රායෝගිකව කළ නොහැකි බව සැබෑය. නමුත් අවම වශයෙන්, නාස්තිය අඩකින් අඩු කළහොත්, එයින් ඉතිරිවන ආහාර තවත් මාස තුනක් තිස්සේ මුළු රටම පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් වේ.

ආහාර නාස්තිය අවම කිරීමට අපට කළ හැක්කේ කුමක්ද? ඔබේ නිවසේදී සිදුවන ආහාර නාස්තිය අවම කර ගත හැකි ක්‍රම කිහිපයක් ඔබ දැනටමත් මෙම ලිපිය තුලම කින්නට ඇතැයි මම සිතමි. මෙම ගැටලුවේ එක් කොටසක් වන ආහාර අපතේයාම සිදුවන්නේ පාරිභෝගිකයින් වන අප අතින් නිසා බැවින් මෙහි විසඳුමේ කොටසකුත් ඇත්තේ අප අතේමයි. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපට නිවසේ සිටම කළ හැකි බොහෝ දේ ඇත. නිසි කළමනාකරණ පුරුදු ඇතිකර ගැනීම මෙම ලැයිස්තුවේ ඉහළම අංගයකි. පහසුවෙන් නරක් විය හැකි ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගබඩා කිරීමත්, නැවත නොකන බව දැන දැනම අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පිසීමත් යන දෙකෙන්ම වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ. කිසියම් හේතුවක් නිසා ආහාර ඉතිරි වී ඇත්නම්, එයට නිසි ගෞරවයදී, පසුව ආරක්ෂිතව පරිභෝජනය කිරීමට පියවර ගැනීමත් වැදගත්ය. විශේෂයෙන්ම මංගල හෝ වෙනත් උත්සව අවස්ථාවලදී අරපිරිමැස්මෙන් කෑම සැපයීම අවනම්බුවක් හෝ අගෞරවයක් යැයි සිතමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ දේ සූදානම් කිරීමට අපේ ඇති නැඹුරුව අකමැත්තෙන් හෝ මැඩපවත්වා ගත යුතුය. ඇත්ත වශයෙන්ම ඉතිරි වූ ආහාර විශාල වශයෙන් ඉවත දැමීමට සිදුවීම, එයට වඩා අවනම්බුවකි. මෙය විශේෂයෙන්ම ආහාර වෙළඳසැල්, ආපනශාලා සහ උත්සවශාලා සඳහා එකසේ අදාළ වේ. මේ සම්බන්ධයෙන් කදිම උදාහරණයක් අපේම අසල්වැසි රටක් වන පකිස්ථානයෙන් සොයාගත හැක. ආහාර නාස්තිය අවම කිරීම සඳහා, වසර විස්සකට පමණ පෙර පාකිස්ථානය තුළ නව නීතියක් හඳුන්වාදෙන ලදී. මෙම නීතියට අනුව විවාහ මංගල වැනි උත්සවයකදී පිරිනැමිය හකි කෑම වර්ග ගණන 6 කට සීමා විය යුතුය. බත් වර්ග තුන හතරක්, මස් වරග තුන හතරක් ආදී වශයෙන් කෑම ගොඩගසා තබා පසුව විසි කිරීමට සිදුවීම පාලනය කළහැකි ප්‍රායෝගික විසඳුමක් මෙම නීතියෙන් ලබාදී තිබේ.

ආහාර දාමයෙන් මුළින්ම ගිලිහෙන කොටස මැඩළීමට අප බොහෝ දෙනෙකුට පුද්ගලිකව කළහැකි කාර්යභාරය අල්පය. දැනෙනා වෙනසක් ඇති කීමට නම් රජය විසින් ඊට වැඩි මැදිහත් වීමක් කළයුතුවේ. උදාහරණයක් ලෙස ගතහොත්, ඔබ කෘෂිකර්මන්තයේ නියැලෙන්නෙක් නම්, කෘෂිනිෂ්පාදන ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා එක මත එක ගොඩ ගැසිය හැකි, වාතාශ්‍රය සඳහා සිදුරු ඇති, ප්ලාස්ටික් (හෝ ලී) කූඩ භාවිතය, ඔබට පුද්ගලිකව ගතහැකි එක් විසඳුමකි. මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාව තුළ මෙම පෙරමුණ පිළිබඳව යම් දැනුවත් කිරීමක් සිදු වුවද, මෙය තවමත් ප්‍රධාන ධාරාවේ භාවිතාවක් බවට පත්ව නොමැත. එළවළු සහ පලතුරු වල නැවුම්බව පිළිබඳ කාල සංවේදීතාව පිළිබඳව සැලකිලිමත් වීම මගින් පවා නාස්තියට ඇති ඉඩකඩ ඇසිරිය හැක. සමහර රටවල මේ සඳහා උපයෝගී කරගන්නා එක් විසඳුමක් වන්නේ වගා කරන ලද ආහාර සඳහා ප්‍රාදේශීයව ප්‍රවර්ධනයක් ඇති කිරීමයි. එනම් එක් ප්‍රදේශයක බෝග හැකිතාක් එම ප්‍රදේශය තුළම පරිභෝජනයට ඉඩ සැළැස්වීමයි. මෙමඟින් ප්‍රවාහන අවශ්‍යතාවයත් සහ ඒ නිසා ඇතිවියහැකි හානියත් (අලාභයත්) අවමවේ. තොග ගණුදෙණු දඹුල්ල වැනි ස්ථානවලට මධ්‍යගත කිරීම පහසු විය හැකි නමුත් එම මධ්‍යගත කිරීම නිසා දැනට වන වන දෛනික නාස්තිය සුළුපටු නොවේ. ප්‍රාදේශීය මධ්‍යස්ථාන කිපයක් ඇති කිරීම එක් විසඳුමක් වියහැක. ප්‍රාදේශීය මධ්‍යස්ථාන වැඩි ගණනක් රට තුළ තිබේ නම් ස්ථාන එකකින් හෝ දෙකකින් පමණක් මුළු දිවයිනටම එළවලු පැටවීමේ අවශ්‍යතාවක් ඇති නොවේ.

ඕනෑම හිඟයක් අත්විඳින කාලසීමාව තුළදී නාස්තිය අවම කිරීමට ඇතිවන උනන්දුව, හිඟය අඩු වී හොඳ කාලයක් නැවත පැමිණෙන විට නොදැනුවත්වම අපෙන් ගිලිහී යෑම අවාසනාවකි. ආහාර නාස්තිය, කාලය සමෘද්ධිමත්ද නැත්ද යන්න නොසළකා සැමදා පිටුදැකිය යුතු දෙයකි. ආහාර නාස්තියෙන් අපට අහිමි වන්නේ ආහාර ද්‍රව්‍ය පමණක් නොවේ. ජලය හා බලශක්තිය ආහාර නිෂ්පාදනය හා බැඳී ඇති තවත් වටිනා සම්පත් දෙකකි. සමස්ත ආහාර වටිනාකම් දාමය මෙම සම්පත් දෙකෙන් ද විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන බැවින්, ආහාර නාස්තිය හරහා අපට අහිමිවන ජලයේත් ශක්තියේත් අගය ප්‍රමාණාත්මකව අති විශාලයි. සෑම වසරකම ආහාර අපතේ යාමෙන් සිදුවන සම්පූර්ණ ආර්ථික අලාභය ඔබ දුටුවහොත්, එය නාස්තිය මැඬලීමට අමතර පෙළඹවීමක් ලබා දෙනු ඇතැයි මම සිතමි. මීට පෙර ඉදිරිපත් කළ ඒක පුද්ගල ආහාර නාස්තිය මත පදනම්වූ කළ, ලංකාව තුළ අප විසින් වසරකට අපතේ හරින මුළු ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.75ක් පමණ වේ. මීට පෙර ඉදිරිපත් කරන ලද ගෝලීය දත්ත වලට අනුව, ආහාර මෙට්‍රික් ටොන් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 770ක් පමණ වේ. මෙයින් පෙන්නුම් කෙරන්නේ සෑම වසරකම ලංකාව තුළ සිදුවන ආහාර නාස්තියේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බවයි. මෙම නාස්තිය අවම වශයෙන් 50% කින් අඩු කිරීම ලඟා විය හැකි ප්‍රායෝගික ඉලක්කයක් වන අතර එම ඉතිරියේ ආර්ථික වටිනාකම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 1 කි. මෙම ඉතිරිය රුපියල් වලින් නම් වසරකට බිලියන 200ත් ඉක්මවා යයි. ඉහත සියලු ගණනය කිරීම් දළ ඇස්තමේන්තු බව සැබෑවකි. නමුත් ආහාර නාස්තියේ සත්‍ය චිත්‍රය පෙන්වා දීමට තරම් මෙම දළ ඇස්තමේන්තුව බලවත් යැයි මම සිතමි.

මහාචාර්ය හිරෝෂාන් හෙට්ටිආරච්චි | Prof. Hiroshan Hettiarachchi

සටහන: මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2022 ජනවාරි 12 වන දින groundviews.org වෙබ් අඩවිය මගින් පළකරන ලදී (https://groundviews.org/2022/01/12/cutting-heavy-wastage-to-reduce-food-shortage/).