iMage: theweek.in/

ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක්‍රමය පොල්ලකින් තඩිබෑම වීම අපේ අභාග්‍යයකි. මේ ලිපියේ අරමුණ, මොළේ පෑදූ අගාධය ගැන කතා කිරීමට වඩා, මොළේට ඇති වී ඇතැයි පෙනෙන සෙත ගැන කතා කිරීමයි.

ඊට අදාළ ඉසව් කිහිපයක් මෙසේ ය:

1. ජාතිකවාදයකින් ඉදිරියට යාමට රටකට හැකියාවක් ඇති බවට මෙතෙක් තිබූ විශ්වාසය.

2. හමුදාමය චින්තනයක් රටක සංවර්ධනය කෙරෙහි දායක කරගත හැකි බවට සහ සිවිල් චින්තනයකට වඩා හමුදා චින්තනයක් තුළ කටයුතු කිරීමෙන් ආණ්ඩුකරණයේ සහ සංවර්ධනයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බවට තිබූ විශ්වාසය.

3. දූෂණය සහ නාස්තිය යනු, අධිෂ්ඨානය සහ මඟපෙන්වීම ඇතොත්, ඉතා පහසුවෙන් තුරන් කරගත හැකි දෙයක් බවට තිබූ විශ්වාසය.

4. මෙතෙක් කල් රට අගාධයට ගියේ, විද්වතුන්ගේ අඩුවක් තිබුණු නිසා බවට පැවති විශ්වාසය.

5. හරි නායකත්වයක් තිබුණොත්, නීතිය අකුරට ක්‍රියාවේ යෙදෙතැයි තිබුණු විශ්වාසය.

අපේ වර්තමාන සාකච්ඡාව තුළ ජාතිකවාදය යනුවෙන් අදහස් කරන්නේ මෙවැනි දෙයකි: දැනට ලෝකයේ තිබෙන රටවල් 200 ට ආසන්න සංඛ්‍යාව තුළ සිටින යම් රටකට, දේශප්‍රේමීව සිතුවොත්, තනියෙන් පැවතිය හැකිය. එම රටේ සංවර්ධනය, දේශප්‍රේමීව සිතුවොත්, තනියෙන් ඇති කරගත හැකිය. එම හැකියාව ලැබෙන්නේ, එම රටේ ප්‍රෞඪ ඉතිහාසය, අභිමානවත් ජාතිය, විශිෂ්ට සංස්කෘතිය, භූගෝලීය පිහිටීම, ස්වාභාවික සම්පත් සහ එම රටේ වර්තමානයේ තිබෙන දියුණු මිනිස් සම්පත නිසා ය. එබැවින්, ලංකාව සම්බන්ධයෙන් ගත්තොත්, ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව සහ යුරෝපය ආදී සෙසු ලෝකයාගේ කොන්දේසිවලට යටත් නොවී, අපේම කොන්දේසි සහ වෙරවීරිය යටතේ, දේශප්‍රේමීත්වය ඇතොත්, අපට නැඟී සිටිය හැකිය.


හතරවටේ ගොස් අවසානයේ IMF

පසුගිය (16) ගෝඨාභය රාජපක්ෂ අලුත් තීරණයක් ගෙන ඇති බව රටට කීවේය. එනම්, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ (IMF) සමග සන්ධානගත වීමේ තීරණයයි. ඔහු කී පරිදි, සියලූ වාසි අවාසි සලකා බලා අවසානයේ ඔහු ඒ තීරණයට පැමිණ ඇත. මේ මොළේ ඔහුට පෑදෙන්නට අවුරුදු දෙකක් ගියේය. මීට කලින්, පොහොර මොළේ පෑදෙන්නට ඔහුට මාස හයක් ගියේය. ඒ අවස්ථා දෙකේදීම ඔහු යමක් ඉගෙනගත්තේ මුළු රටම හොම්බෙන් යැවීමෙන් අනතුරුවයි. ඔහු ගුරා ය. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව 69 ලක්ෂයකි. පාඩුව ඔහුට නොව, ඔහුගේ ශිෂ්‍ය පරම්පරාවටත්, ඔහුගේ පංතියට නොගිය තවත් හැට ලක්ෂයකටත් ය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ යනු, අපේ දේශප්‍රේමීන්ගේ කල්පනාව අනුව, අධිරාජ්‍යවාදී බළල් අතකි. මේ අරමුදලට ගොස් ආධාර ලබා ගැනීමකින් තොරව වර්තමාන ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මඟක් නැතැයි, මෙරටේ පිළිගත් ආර්ථික විද්‍යාඥයන් දැන් අවුරුදු දෙකක් තිස්සේ කියා තිබේ. එහෙත්, ධම්මික පැණිය රාජපක්ෂලාට පෙවූ වර්ගයේම පිරිසක්, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්’ භීතිකාවත් රාජපක්ෂලාට පොවා තිබුණි. රාජපක්ෂ සහෝදරයන් කිසිවෙකුට පොතපත කියවීම සහ දැනුම ලබාගැනීම වැදගත් කොට සලකන පුරුද්දක් නැති නිසා, කවදත් වෙනත් කාගේ හෝ අදහසක් අන්ධ භක්තියෙන් ගැනීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බව පෙනේ. කෙසේ වෙතත්, ඉහමොළ රත්වන ගානට රට වැටී ඇති තත්වය තුළ, දේශප්‍රේමීන්ව පැත්තකින් තියා, ඉන්දියාව දෙසට එක පැත්තකිනුත්, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ දෙසට තවත් පැත්තකිනුත් හැරීමට අවසානයේ රාජපක්ෂලා හිත හදාගෙන තිබේ. ජාතිකවාදය නමැති පුස්ස, ගෝඨාභය රාජපක්ෂ විසින් 69 ලක්ෂයට මෙසේ කියාදෙනු ලැබීම ඇත්තෙන්ම අගේ කළ යුතුය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ එම්.සී.සී. නමින් හැඳින්වුණු ගිවිසුමක් ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබුණි. එය, මේ රට යටත් කරගැනීම අරමුණු කරගත්, ඇමරිකානු අධිරාජ්‍යවාදී කෙමක් වශයෙන් එදා විපක්ෂය හඳුන්වා දුනි. අපේ ස්වෛරීත්වය ඒ මගින් අවදානමට ලක්වන බව කියැවුණි. ඉතිං, වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු ඒ ගිවිසුම නතර කෙළේය. එයින් දේශප්‍රේමියෝ පිනාගියෝය. එහෙත් මේ මාසයේ ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතයෙකු එම ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට යළි පැමිණෙන බව දැන් වාර්තා වී තිබේ. ඒ එන්නේ මේ ආණ්ඩුවේ ආරාධනය පරිදි ය. ඉතිං, තවත් ජාතික අභිලාෂයක් ළඟදීම නෂ්ට වීමට නියමිතයි.

මේ කියන ජාතිකවාදය තුළ, විටෙක ඉන්දියාව ඉලක්ක වෙයි. එවිට ඉන්දියානු විරෝධයක් සමාජයේ ගොඩනැෙඟයි. විටෙක චීනය ඉලක්ක වෙයි. එවිට එන්නේ චීන විරෝධයයි. ඒ දෙකට අමතරව, ඇමරිකානු සහ බටහිර විරෝධය හැමදාමත් තිබේ. මේ විරෝධතා, සාධාරණ සහ අසාධාරණ යන හේතු දෙවර්ගයම මිශ්‍ර කරගත් විරෝධතා ප්‍රභේදයන් ය. පිටත සිට බලන කෙනෙකුට, ඇතැම් විරෝධතා සාධාරණ ලෙසත්, තවත් විරෝධතා අසාධාරණ ලෙසත් පෙනෙතත්, ඉහත කී ජාතිකවාදියාට ඒ සියල්ල පෙනේනේ දේශප්‍රේමී සාධාරණ විරෝධතාවන් වශයෙනි.

සුදෝසුදු ජාතිකවාදය
ටිකෙන් ටික කිළිටි වීම

රාජපක්ෂලා විපක්ෂයේ සිටියදී නියෝජනය කෙළේ ඒ කියන සුදෝසුදු ජාතිකවාදයයි. එහෙත් ඔවුන් බලයට පත් වූ පසු අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබේ. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි දශක ගණනාවක් කැලේට ගොස් තිබුණි. මේ මෑතකදී ඒවා ප්‍රතිසංස්කරණය කොට ආයෝජන සේවා සඳහා උපයෝගී කරගැනීමට රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව සමග මේ වන විට ගිවිසුම්ගතව සිටී. අර ජාතිකවාදී උද්ඝෝෂණය අදත් ඊට එරෙහිව දියත් වෙයි. (එම ටැංකි කැලේට ගොස් තිබූ දශක ගණනාව තිස්සේ, ඒවා දේශීය වශයෙන් සංවර්ධනය කොට පාවිච්චියට ගැනීමට ඉල්ලා එවැනි ජාතිකවාදී උද්ඝෝෂණ ඇති වී නැත). කෙසේ වෙතත්, ඉන්දියාව සමග ඒ ගිවිසුම අහෝසි වුණේ නැත. තෙල් ටැංකි ඉන්දියාවට බදු දුනි. එය දැන්, කාටත් පිළිගැනීමට සිදුවන ‘යථාර්ථයකි.’

යහපාලන ආණ්ඩුවෙන් විදේශයන්ට විකුණන ලදැයි කියූ සම්පත් ආපසු පවරා ගැනීමට බලයට පැමිණි ජාතිකවාදී ගෝඨාභය රාජපක්ෂ, යුගදනවි බලාගාරයෙන් පදාසයක් හොර රහසේ දවසක්දා මහ රෑක ඇමරිකානු සමාගමකට පවරා දුනි. එය කැබිනට් මණ්ඩලයටත් නොදන්වා සිදු කිරීම ගැන ආණ්ඩුවේම ඇමතිවරුන් තිදෙනෙක් අධිකරණය ඉදිරියටත් ගියහ. එහෙත් අධිකරණය එය විමසා බැලීමක්වත් නොකොට වීසි කෙළේය. දැන් ඒ විකිණීමත් ‘යථාර්ථයකි.’

මොහොතක් නතර වී ටිකක් කල්පනා කරන්න: විදේශිකයන්ට විකුණා ඇතැයි කී සම්පත් ආපසු පවරා ගැනීම විදේශිකයන් දෙන්නෙකුටම පවරන දේශප්‍රේමියා මොන විදිහේ කෙනෙකු විය හැකිද? එබැවින් එක නිරීක්ෂණයක් කරනු කැමැත්තෙමි. රාජපක්ෂලා, තමන් දේශප්‍රේමී යැයි කිසි දවසක සැබවින් සිතා නැත. විමල් වීරවංශ සහ ගම්මන්පිල වර්ගයේ මිනිසුනුත් තමන් දේශප්‍රේමී යැයි කිසි දවසක සැබවින් සිතා නැත. එහෙත්, එසේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් ඔවුන් හැමෝටම තිබුණි. ඒ, බලය ලබාගැනීම සඳහා ය. එහෙත්, ඔවුන්ගේ අනුගාමිකයන් ඊට වෙනස් ය. ඔවුන් සැබවින්මත්, මෝඩ විදිහටත්, ජාතිකවාදයක් ගැන විශ්වාස කළෝය. එම ජාතිකවාදය හොඳටම නියෝජනය කරන්නේ රාජපක්ෂ කඳවුර යැයි විශ්වාස කළෝය. දැන්, ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තුළ මොළේ පෑදී ඇත්තේ ඔවුන්ගේ ය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ නොයාමට මේ ආණ්ඩුව මෙතෙක් කල් තීරණයක් ගෙන සිටි බැවින්, ඊට අනුගතව දේශීය වශයෙන් රුපියලේ අගය ආරක්ෂා කරගැනීමේ මහාමේරු ප්‍රයත්නයක් ගැනීමට අජිත් නිවාඞ් කබ්රාල්ට සිදු විය. (ඩොලර් හිඟ වන විට, ස්වාභාවිකවම රුපියලේ අගය බාල්දු වෙයි. එහෙත්, ‘‘එසේ වීමට මම නම් ඉඩ නොදෙමි’’ යි මහබැංකු අධිපතිවරයා දිව්රා කියා සිටියේය). ඉතිං, ගිය සතිය වන තෙක්, ඩොලරයේ වටිනාකම රුපියල 200 ක් පමණක් යැයි මහබැංකුව විසින් නියෝගයක් නිකුත් කර තිබුණි. එහෙත් කොළඹ කොටුවේ ඩොලරයක් සඳහා රුපියල් 250 ක් ගෙවන නිසා, රටට පැමිණෙන ඩොලර් කොටුවේ මහබැංකුවට නොගොස් කොටුවේ කෙලින් වීදියට ගියේය. ප්‍රතිඵලය? ගෝඨාභය රට භාරගන්නා අවස්ථාවේ ඩොලර් බිලියන 7 ක් වශයෙන් තිබූ අපේ විදේශ විනිමය සංචිතය අද වන විට බිලියන එකක්වත් නැති තත්වයට පහළ වැටී ඇත. එම ප්‍රතිපත්තිය, එනම් මහබැංකුව බලහත්කාරයෙන් එසේ ඩොලරය අල්ලාගෙන සිටීමේ ප්‍රතිපත්තිය ගිය සතියේ අතහැරියේය. (එයට කියන්නේ, ඩොලරය-රුපියල අතර අගය පාවෙන්නට ඉඩ හැරීම කියා ය). ඒ අනුව, අද වන විට ඩොලරය රුපියල් 280 ට ආසන්නව තිබේ. (ගෝඨාභය රාජපක්ෂ බලය ගන්නා අවස්ථාවේ මේ ඩොලරයේ මිල රුපියල් 180 කි.)

මෙකී ජාතිකවාදී මූල්‍ය අත්හදාබැලීම පවත්වාගෙන යාම සඳහා අවසානයේ මහබැංකුව රටට අත්කර දී ඇති පාඩුව ඩොලර් බිලියන 4 ක් යැයි දැනට ගණන් බලා ඇත. අවසානයේ අද වන විට ආණ්ඩුව පත්ව සිටින තත්වය කුමක්ද? නටපු තොවිලෙකුත් නැති බෙරේ පලූවකුත් නැති තත්වයකි. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ දෙවැනි වටයේ සාකච්ඡා, අප්‍රේල් 11 වැනිදා වොෂින්ටන් නුවරදී පැවැත්වෙනු ඇත. 21 වැනි සියවසේ අප සමස්ත ලෝකයා සමග පෙකෙණිවැලෙන්ම ගැටගැසී ඇති නිසා, ‘ජාතිකවාදී’ වීමට ඉස්සර තිබුණු ඉඩකඩ සහ හැකියාව දැන් නැති බව මෙවැනි අත්දැකීම් තුළින් උගත හැකි පාඩමයි.

තේරෙන භාෂාවෙන් කිව්වොත්?

එහෙත් ජාතිකවාදියාට එවැනි කාරණා නොතේරෙයි. එනිසා මෙසේ කියමු: ඊයේ රුපියල් 177 ක් වූ පෙට්‍රල් ලීටරයක් අද රුපියල් 254 යි. (පැය 24 ක් තුළ සියයට 100 කින් වැඩිවීමක්!) අපට කාර්බාර් නැතැයි දැන් සමහරු කියාවි. එසේ නම් මෙසේ කියමු: බෙහෙත් වර්ග සියයට 29 කින් මිල ඉහළ ගොසිනි. පාන් ගෙඩිය රුපියල් 30 කින් ඉහළ ගොසිනි. බත් පාර්සලය රුපියල් 30 කින් ඉහළ ගොසිනි. 2019 තිබූ මිලට සාපේක්ෂව රුපියල් 1937 කින් ගෑස් මිල ඉහළ ගොසිනි. (එය, සියයට 100 ටත් අධික වැඩිවීමකි). තවම පෙරහැර ඉවර නැත. ඊළඟ සතියේ ඔබේ අතට පත්වනු ඇත්තේ සියයට 25 කින්වත් ඉහළ ගිය විදුලි බිලකි. මේ සියල්ල, රාජපක්ෂ-කබ්රාල්ගේ ‘ජාතිකවාදී’ මූල්‍ය ප්‍රතිපත්තිය සමග ගැටගැසී ඇත. (ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත්, අප කතා කරන මේ ප්‍රශ්නය තවත් උග්‍ර කළ සාධකයක් බවත් ඇත්තයි. එහෙත් ඊයේ (16) වන විට තෙල් බැරලයක ලෝක වෙළෙඳ පොළේ මිල ඩොලර් 130 සිට 96 දක්වා පහළ බැස තිබුණි. ඉතිං, ගිය සතියේ වැඩි කළ අපේ තෙල් මිල එන සතියේ අපේ ආණ්ඩුව අඩු කරයිද? නැත!)

ඊළඟ පාඩම වන්නේ, හමුදාමය චින්තනයකින් රටක් ගොඩගත හැකි බවට තිබූ විශ්වාසයයි. මෙයත් මොන තරම් ව්‍යාජයක්ද යන්න, අපේ සාක්කුවෙන් වියදම් කර නොගෙන ලෝකය දිහා බැලූවොත් ඉගෙනගන්නට පුළුවනි. ඒ මතය සත්‍යයක් නම්, අපේ කලාපයේ මියන්මාරය (බුරුමය) නමැති රට මේ වන විට සෞභාග්‍යයෙන් පිරී ඉතිරී ගොස් තිබිය යුතුය. කෙසේ වෙතත්, අනුන්ගේ පාඩම් නොමිලේ ඉගෙනගැනීමේ පුරුද්දක් නැති අප, ගෝඨාභය රාජපක්ෂගෙන් දැන් එම පාඩම විශාල වියදමක් දරමින් ඉගෙනගනිමින් සිටිමු. ඔහු බලයට පත් වූ දා සිට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වෙනත් සිවිල් ආයතන ප්‍රධානීන් වශයෙන් පත් කළ සියලූ නිලධාරීන් ඒ තැන්වල අසාර්ථක වී තිබේ. (මේ ලිපියේ ඉඩකඩ ප්‍රශ්නය නිසා ඒ එකිනෙක ආයතනයේ කාර්යක්ෂමතාවත්, සමස්ත පරිපාලනයට එයින් අපේක්ෂා කළ ප්‍රතිලාභ පුස්සක් වී ඇති සැටිත් විස්තර කළ නොහැක.)

තුන්වැනි පාඩම වන්නේ, නිවැරදි නායකත්වයක් ඇති කරගත් පමණින්, දූෂණය සහ නාස්තිය නැති කරගත හැකි බවට පැවති විශ්වාසයයි. මහින්ද රාජපක්ෂගේ කාලයේ එවැනි සොරකම් සහ වංචා සිදුව ඇතත්, ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙකු සමග ඒ සෙල්ලම් කොහේද වැනි මානසිකත්වයක් 69 ලක්ෂයේ ඔළුවල තිබුණි. විවිධ සිදුවීම් පිළිබඳ දීර්ඝ විස්තරවලට නොගොස් සිද්ධි දෙකක් පමණක් සඳහන් කරමි: මහජන බැංකුව වසරකදී ලබාගෙන ඇති මුළු ලාභයට සමාන මුදලක් පුද්ගලයන් දෙන්නෙකු විසින් සීනිවලින් සොරකම් කර තිබේ. ඒ පුද්ගලයන් දෙන්නා ගෝඨාභය රාජපක්ෂ හිරේ දමා ඇත් ද? නැත. ගත වූ දෙවසර තුළ, අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පවරා තිබූ නඩු 38 ක්, තාක්ෂණික කරුණු මත ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ කිසි නඩුවක් තාක්ෂණික කරුණු නිවැරදි කරගෙන ආපසු පවරා තිබේද? නැත.

හතරවැනි සිහිනය වුණේ, රටේ සංවර්ධනය සම්බන්ධයෙන් විද්වතුන්ගේ අඩුවක් රටේ තිබුණු බවත්, ‘වියත් මඟ’ ඒ අඩුව පුරවනු ඇති බවත් ය. පොහොර ලනුව දුන්නේ ඒ විද්වතුන් ය. එන්නත් වෙනුවට පැණි බීම ප්‍රවර්ධනය කෙළේ, විද්වත් මහාචාර්යවරයකු යැයි කියන චන්න ජයසුමන ය. තමාගේ නිවස පිහිටා ඇති පාරේ ගෙවල් 12 න් එකකවත් කිසි පිපිරීමක් වාර්තා වී නැති නිසා, රටේ ගෑස් සිලින්ඩර් පිපිරීමක් සිදුව ඇතැයි විශ්වාස කළ නොහැකි බව කීවේ, ‘වියත් මෙඟ්’ තවත් මහාචාරියෙකි.

අවසාන වශයෙන්, යකඩ නායකත්වයක් රටට තිබුණොත්, රටේ නීතිය අකුරට ක්‍රියාවේ යෙදවෙනු ඇති බවට පැවති විශ්වාසය සලකා බලන්න: රටේ නීතියේ තත්වය සොයා බලා ප්‍රතිසංස්කරණ කිරීමේ ප්‍රාරම්භක කාර්යය ගෝඨාභය රාජපක්ෂ පවරන්නේ, නීතියේ දෙවඟන යැයි සැලකෙන අධිකරණයටම අපහාස කිරීම සම්බන්ධයෙන් බරපතල වැඩ සහිතව හිරේට ගොස් සිටි ගලගොඩඅත්තේ ඥනසාරට ය. සිව් පුද්ගල මිනීමැරුමකට වරදකරු වී මරණීය දණ්ඩනයට නියම වූ දුමින්ද සිල්වාට සමාව දුන්නා පමණක් නොව, සියලූ සදාචාරමය ප්‍රමිතීන් ද උල්ලංඝණය කරමින් රාජ්‍ය ආයතනයක ප්‍රධානියා බවට ද පත්කෙළේ, එම ජනාධිපතිවරයාමයි.

දැන්, මේ සියලු ෆේල් වීම්, ඉහතින් කී අතාත්වික, මනෝරාජික, බොළඳ ප්‍රතිපත්ති සහ විශ්වාස නිසා සිදුවූවක් බව පැහැදිලියි. ඒවාට වගකිව යුත්තෝ, ‘මහින්ද සමග නැඟිටීමට’ පටන්ගෙන, 69 ලක්ෂයක් ජනතාව අන්දවා, බල ලෝභය සඳහාම ගෝඨාභය රාජපක්ෂව බලයට පත්කිරීම කරට ගත් සියල්ලෝම ය. මෙය ඒ සියල්ලන්ගේ සාමූහික අසාර්ථකත්වයකි. එසේ තිබියදී, බැසිල් රාජපක්ෂ පමණක් සාතන් කෙනෙකු කරමින්, ගෝඨාභය-මහින්ද-නාමල් ත්‍රිත්වය හෙට දවසට ආරක්ෂා කරගැනීමට තවමත් තටමන වීරවංශ-ගම්මන්පිල-වාසුදේව ත්‍රිත්වය නැවතත් බලන්නේ, අර 69 ලක්ෂයේ ජනතාවට පුන්නක්කු කැවීමටයි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda