iMage: Vikalpa
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි.
මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින් ඇළලී ගොසිනි. දැන් මාසයක, දෙකක කාලයක් තිස්සේ නගරබදව සහ විශේෂයෙන් මධ්‍යම පංතිකව සහ සංවිධිතව පැවත්වෙමින් තිබුණු නිහඬ උද්ඝෝෂණ ක්‍රියාවලියක් මිරිහානෙන් අලුත් මඟකට පිවිසුණි. මෙතෙක් කල් නිහඬව සිටීමේ වාඩුවත් පිරිමසාගැනීමට මෙන් එදා විරෝධයට එක් වූ ජනතාව විශාල ශබ්දයක් සහ වෙනස් ගතිකත්වයක් ඊට එකතු කළෝය. එතැන් සිට, තවදුරටත් එය, නගරයට හෝ මධ්‍යම පංතියට පමණක් සීමා වන සංවිධිත අරගලයක් නොවුණි. මුළු රටම, සමස්ත ජනතාව ස්වීයව ඒකරාශී කරගන්නා තනි අරගල භූමියක් බවට පත්වුණි. අද වන විට එහි ප්‍රධාන පාර්ශ්වකාර භූමිකාව දරන්නේ මේ රටේ තරුණ පරම්පරාවයි. එය, මීට කලින් දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට අයත් තරුණ පරම්පරාවේ විරෝධතා රැල්ලෙන් මුළුමණින් වෙනස් තරුණ සහභාගීත්වයකි. විශ්වවිද්‍යාල පරම්පරාව මෙහෙයවනු ලැබුවේ සහ ලබන්නේ පක්ෂ-දේශපාලනික පටු න්‍යායපත්‍රවලිනි. එහෙත් අද පාරේ සිටින තරුණ පරම්පරාව, ඒ පක්ෂ-දේශපාලනික පටු න්‍යායපත්‍ර පෙරලාගෙන, ඒ සියල්ලට උඩින්, පෘථුල පොදු මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී සිටී.
ගෝඨාභය අද්විතීයයි
ගෝඨාභය රාජපක්ෂ ‘ෆේල්’ වී නැති එකම ක්ෂේත්‍රය වන්නේ එයයි. නිදහසෙන් පසු දශක හතකටත් වැඩි කාලයක් තිස්සේ බලයට පත් කිසි දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට හෝ සාර්ථක විය නොහැකි එක් මුඛ්‍ය ඉසව්වක් තිබුණි. එනම්, ඔවුන් අතහදාබැලූ කිසිවක් මුළු රට ලවා එක විට පිළිගැන්වීමට ඔවුන්ට නොහැකි වීමයි. උදාහරණයක් වශයෙන්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙන විට රටේ එක කොටසක් ඊට විරුද්ධ විය. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනෙන විට, රටේ තව කොටසක් ඊට විරුද්ධ විය. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය ගෙනෙන විට තවත් කොටසක් ඊට විරුද්ධ විය. එහෙත් අද වන විට ගෝඨාභය රාජපක්ෂ නමැති නායකයාට, මුළු රටම, තමන්ටත්, තමන්ගේ පවුලට සහ තමන්ගේ ප්‍රතිපත්තිවලටත් එක සේ විරුද්ධ වන සමස්ත රටක් සහ සමස්ත ජනතාවක් ඉතා කෙටි කාලයක් තුළ සක්‍රීය ආකාරයකින් ගොඩනැඟීමට හැකි වී තිබේ. ඒ විරෝධය තුළ පක්ෂ භේද නැත. පංති භේද නැත. ජාතිභේද නැත. ආගම් භේද නැත. ස්ත්‍රී-පුරුෂ භේද නැත. සියල්ලන්ම එක කාරණයකින් එක්සත් ය. එක්සිත් ය. ඒ, ‘ගෝඨා ගෝ හෝම්’ ය. තවත් විදිහකින් කිවහොත්, ගෝඨාභය ‘ෆේල්’ වීම තුළින්, පෙර නොවු විරූ පොදු සමාජ සවිඥනකත්වයක් බිහි කොට, එය මහපාරට ගෙනැවිත් ඇති බවයි.
වර්තමාන අර්බුදය, ක්ෂණික විසඳුමක් ඉල්ලා සිටින මොහොතකි. රට පුරා මිනිසුන් පාරට බසින්නේ මන්ද යන ප්‍රශ්නය වටහාගැනීම, එම ප්‍රශ්නයට ක්ෂණික විසඳුමක් ලබා දීම පිළිබඳ අදහසක් ඇති කරගැනීමට උපකාරී විය හැකිය. එම ප්‍රශ්නය මෙසේ ගොනු කළ හැකිය:
1. ගෑස් නැති කම
2. පෙට්‍රල්-ඞීසල්-භූමිතෙල් නැති කම
3. විදුලිය නැති කම
4. මේවා සමග අන් සියල්ලත් එකට කුළුගන්වන, මහා උද්ධමනය.
මේ සියල්ල, ආර්ථිකමය වන්නේය. හෙවත්, බඩට සම්බන්ධ ය. එහෙත්, ‘ගෝඨා ගෝ හෝම්’ යන ඉල්ලීම තුළ ඇත්තේ, දේශපාලනික කාරණයකි. ඉහත කී ආර්ථික කරුණු සමග ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල බද්ධ වී තිබීම නිසා, ජනතාව ඉතා දැනුවත්ව ‘ගෝඨා ගෝ හෝම්’ නමැති දේශපාලනික ඉල්ලීම වෙත පැමිණ සිටිති. ඒ අතින් ගත් විට මෙය වනාහී, වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් නිසා ඇති කොට තිබෙන දේශපාලනික අර්බුදයකි. එබැවින්, ඒ ප්‍රශ්න දෙකටම (ආර්ථික සහ දේශපාලනික) එක විට ආමන්ත්‍රණය කළ යුතුව තිබේ.
ඉදිරි සතිය හෝ දෙක තුන තුළ මුලින් කී කාරණා තුන යම් දුරකට විසඳාගැනීමට හැකි වීමේ යම් ඉඩකඩක් තිබේ. දැනට පෙනෙන්ට ඇති විදිහට, ඉන්දියාවෙන් සහ චීනයෙන් ඩොලර් බිලියන 4-5 අතර ප්‍රමාණයක ණයක් (විවිධ ස්වරූපයෙන්) ගැනීමේ හැකියාව ඇති බැවිනි. ගෑස්-පෙට්‍රල්-විදුලිය සැපයීමේ හැකියාව ඉතා කෙටි කාලයක් සඳහා ඒ මුදලින් සලසාගත හැකිය. එහෙත් එම කෙටි කාලයට පවා, හතරවැනි ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිවන්නේ නැත. එනම්, අහස උසට ගොස් ඇති භාණ්ඩ සහ සේවා මිල, ආපසු පොළොවට බැස්සවීමට එයින් හැකිවන්නේ නැත. අද වන විට රටේ සැබෑ උද්ධමනය සියයට 59 ක් වෙතැයි ස්වාධීන සමීක්ෂණවලින් හෙළී වී තිබේ. එහිදී නැවතත් ජනතාවට මතක් වන්නේ ගෝඨාභයවයි. ඔහුගේ කෙටි කාලය තුළ, අලුතෙන් අච්චු ගසා ඇති රුපියල් ට්‍රිලියනයකට (1000,000,000,000) අධික මුදල, ඊට සමාන රටේ නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක් සමග සමාන්තරව සමාජයට මුසු වී නැති නිසා, මිනිසුන්ට දෛනික ජීවිතය ගැටගසාගැනීමේ සටන මීටත් වඩා නරකට දිගටම කරගෙන යාමට සිදු වෙනවාට කිසිම සැකයක් නැත. එහි අදහස වන්නේ, ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම් සහ විදුලිය ප්‍රශ්නය දැනට විසඳාගත්තත්, ප්‍රශ්නය නොවිසඳෙන බව ය.
අර්බුදයේ දේශපාලනය
වර්තමාන මහජන අරගලයේ දේශපාලනික වපසරිය දිනෙන් දින පුළුල් වෙමින් තිබේ. ඊට, අර්බුදයට සෘජු සම්බන්ධතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන මුත්, සත්‍ය වශයෙන් ගත් විට, වර්තමාන අර්බුදයට අවශ්‍ය කරන විසඳුම, පක්ෂ-දේශපාලනයට ලඝු කරනු ලබන දිසානතීන් වෙත ගමන් කරනු පෙනේ. ඒවා කිහිපයක් ඉතා කෙටියෙන් හෝ සලකා බැලීම සමස්ත චිත‍්‍රය අවබෝධ කරගැනීමට වැදගත් ය.
ඉන් පළමුවැන්න වන්නේ, 74 වසරක ශාපය පිළිබඳ සටන් පාඨයයි. මෙයින් අදහස් කරන්නේ, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ මේ අර්බුදයට වගකිව යුතු බවට නැෙඟන චෝදනාවයි. එම චෝදනාව ගැන කෙනෙකුට විරුද්ධ විය නොහැක. එහෙත් ඒ කාරණය ගැන තවදුරටත් සිතා බැලීම වටී: රිය අනතුරු සිදුවන්නේ රියැදුරන් අතිනි. කිසි දවසක වාහනයක් පදවා නැති කෙනෙකු අතින් රිය අනතුරක් සිදුවන්නේ නැත. එහෙත්, හැම රිය අනතුරක්ම, රියැදුරාගේ වරදක් නිසා පමණක්ම සිදු නොවන බව අපි දනිමු. රථය ධාවනය කෙරෙන මාර්ගයේ ස්වභාවය, එම මාර්ගයේ ගමන් ගන්නා වෙනත් අයගේ හැසිරීම, හිටිඅඩියේ (ගවයන්, බල්ලන් ආදී) සතුන් ධාවන පථයට පැමිණීම සහ වර්ෂාව ආදිය වැනි, රියැදුරාට පමණක් වගකීම පැවරිය නොහැකි කරුණු තවත් රාශියක් හදිසි අනතුරුවලට හේතු වෙයි. මේ සියලූ කරුණු සැලකිල්ලට ගෙන රිය පදවන්නැයි රියැදුරාට උපදෙස් දීමට බැරිකමක් නැත. එසේ උපදෙස් දී ඇති පමණින්, අනෙක් සාධක අමතක කළ හැකි නොවේ. ඒ අර්ථයෙන් ගත් විට, මෙතෙක් රට පාලනය කළ පිරිස් (රියැදුරන්) පමණක් නොව, ඒ පාලකයන් (රියැදුරන්) බලයට ගෙන ඒමට කටයුතු කළ, නිසි අවස්ථාවේදී ඔවුන් බලයෙන් පහ කිරීමට කටයුතු නොකළ සියලූ බලවේගත් වසර 74 ශාපයට වගකිව යුතුය.
උදාහරණයක් වශයෙන්, රාජපක්ෂලා ගෙදර යා යුතු යැයි දැන් අප කියන විට, ඒ රාජපක්ෂලාගේ සම්ප්‍රාප්තිය සිදුවන 2005 වසර ගන්න: තනි පුද්ගලයෙකු විසින් සියල්ල පාලනය කරනු ලබන සහ එක පවුලක් විසින් සියල්ල පාලනය කරනු ලබන සහ කොල්ලකනු ලබන එකී කාල පරිච්ෙඡ්දය ඇති කිරීමට 2005 දී උරදුන් එක් පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. තවත් උදාහරණයක් ගන්න: මේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ගෙන ඒම එක දිගටම අඩාල කෙළේ, රාජ්‍ය කරවූ පිරිස් පමණක් නොව, රාජ්‍යයට පිටස්තරින් සිටි පිරිස්ද (‘ජාතික චින්තනය‘ වැනි) ඊට දායක වූහ. තවත් උදාහරණයක් ගන්න: මේ රටේ තරුණ ප්‍රචණ්ඩත්වය, දෙවතාවක් (1971 සහ 1987-89) දකුණේ ද, තව දශක තුනක් උතුරේ ද ඇති විය. අද අප ඉදිරියේ ඇති අති නවීන සන්නද්ධ රාජ්‍යය ගොඩනැඟීමේ විශාල වගකීමක් එකී අසාර්ථක නැඟිටීම්වලටත් පැවරේ. මේ කාරණය තවත් විදිහකින් කිවහොත්, උතුරේ කැරලිකරුවා දකුණ විසින් නිර්මාණය කළා සේම, දකුණේ රණවිරුවා උතුරේ අසාර්ථක කැරලිකරුවා විසින් නිර්මාණය කළ බව, ආපසු හැරී බැලුවොත් අපට පෙනේ.
සියල්ල එකිනෙකට ඈඳී තිබේ
මෙකී සියලූ සිද්ධීන් එකිනෙකට සහසම්බන්ධී ය. මා මතු කිරීමට තැත් කරන කාරණය වන්නේ, දීර්ඝ ඉතිහාසයේ වැරදිකරුවා සෙවීමකදී, (එවැන්නක් ඇත්තෙන්ම අවශ්‍ය නම්) වගකීම පැවරීම සඳහා එක පාර්ශ්වයක් පමණක් වෙන්කොට ගැනීම යථාවාදී නොවන බවයි. පක්ෂ අවශ්‍යතා මත පමණක් පදනම්ව ඉදිරිපත් කරන මෙවැනි ආකර්ශණීය සටන්පාඨ, නිර්නාමික සහ අසංවිධිත මහජන නැඟිටීම්වලට උරාගැනෙන්නේ, ඊටත් වඩා තවත් විශාලනය වෙමින් සහ අතාත්වික වෙමිනි.
උදාහරණයක් ගන්න: වසර 74 ශාපය පිළිබඳ කතාව, මේ වන විට, 225 ම එපා යන සටන් පාඨය දක්වා දිග්ගැස්සී තිබේ. එනම්, ඒ ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණත් මේ මොහොතේ ගොදුරු කරගෙන ඇති බවයි. මේ මනෝරාජික ඉල්ලීම පාරට හොඳ වුණත්, රටකට වැඩක් ඇති, ප්‍රායෝගික කතාවක් නොවේ. මහපාර යනු, අසාධාරණයට එරෙහි ඉවසීම ඉක්මවා ගිය සීමාවක දී මුණගැහෙන, විවෘත මණ්ඩපයයි. එය, ඇසෙට පෙනෙන තාර්කිකත්වය තුළ ඇසට නොපෙනෙන බරපතළ අතාර්කිකත්වයක් තිබිය හැකි වේදිකාවකි.
එතැන ආරක්ෂාව සේම අනාරක්ෂාවත් තිබේ. පසුගිය දින කිහිපයේම මෙවැනි විරෝධතාවන්ට සහභාගී වූ කෙනෙකු වශයෙන් මේ ද්වන්ධ ස්වභාවය මම අත්දැක්කෙමි. අංක තහඩු නැති මෝටර් සයිකල්වල නැඟී කළු හැඳගෙන සිටි සන්නද්ධ හමුදා භටයන් විරෝධතාකරුවන් මැද්දට මුදාහැරීමට බලධාරීන් තීරණය කළ තර්කණයත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලීසිය විසින් එම සන්නද්ධ භටයන් ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් පොලීසියට විරුද්ධව හමුදා අංශ විසින් දැන් ක්‍රියාත්මක කිරීමට යන පිළිවෙතත් පෙන්නුම් කරන්නේ අඳුරු චිත්‍රයකි.
ඉඩකඩ මදි කම නිසාත්, කාරණයේ හදිසි භාවය නිසාත්, ඉතා කෙටියෙන් මුඛ්‍ය කාරණයට ප්‍රවිශ්ඨ වෙමි.
ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති
ප්‍රජාතන්ත්‍රීය විසඳුම
ගෝඨාභය රාජපක්ෂට තේරීම් තුනක් නැත. ඇත්තේ දෙකකි. එකක් ප්‍රජාතන්ත්‍රවාදී ය. 69 ලක්ෂයක් ගැන කතා කිරීමට දැන් ඔහුට නුපුළුවන. ඔහු වෙනුවෙන් එක දිගටම පෙනී සිටි, රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවන් සහ ටියුෂන්කාරයන් පවා පෝලිමේ ඇවිත් ජාතියෙන් සමාව ගන්නා දර්ශන පේළිය, තමාගේ මාධ්‍ය අංශයට කිව්වොත්, ඔහුට පෙළගස්වා බැලිය හැකිය. ‘රට රකින විරුවා’ ගීය ඔහු වෙනුවෙන් රචනා කළ පුද්ගලයාගේ පාපෝච්චාරණයත් එහිදී ඔහුට හමු වනු ඇත. 69 ලක්ෂයේ ඒ ඛාදනය, සමස්ත සමාජයෙන් සහ පාරෙන් බලාගැනීමට කැමැත්තක් නැත්නම්, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ කඳවුර තුළින්මත් බලාගැනීමට බැරිකමක් නැත. ඒ 69 ලක්ෂය අතරින්, මුදල් ඇමති තනතුර භාරගැනීමට සූදානම් කෙනෙකු මේ මොහොතේ පවා (අප්‍රේල් 7 වැනිදා දහවල් වන විටත්) සොයාගැනීමට ඔහු අසමත්ව සිටී. හදිසි නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට අසමත්ව, තමන් විසින්ම එය ඉවත් කරගැනීමට ඔහු තල්ලූ වී සිටී. (කෙසේ වෙතත්, මෙහිදී පාර්ලිමේන්තුව නිවැරදි උෂ්ණත්ව මාපකයක් වශයෙන් නොගැනීම මැනවි. එහිදී, ඇතැම් තත්වයන් යටතේ, රටේ සැබෑ පිළිබිඹුව වෙනුවට, වෙනත් පටු අවශ්‍යතාවන්ගේ නිරූපණයකුත්, හෙට දවසේ එහිදී දැකගැනීමට බැරිකමක් නැති බැවිනි).
ප්‍රශ්නයේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රශස්ත විසඳුම පටන්ගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජනත්වයෙන්, අවුරුද්දක හෝ දෙකක කාලයක් සඳහා, කුඩා ඇමති මණ්ඩලයක් සහිත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවාගත යුත්තේය. එම අන්තර්වාර ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරමින්, ඉන්දියාවට සහ චීනයට සීමා නොවී සමස්ත ලෝකයාටම විවෘත වෙමින්, දේශපාලනික ස්ථාවර භාවය සහ ආර්ථික සහයෝගීත්වය පිළිබඳ සුජාත විශ්වසනීයත්වය ලෝකයා ඉදිරියේ තහවුරු කරගත යුතුය. අද ජනතාව මහපාරට ඇද දමා තිබෙන හදිසි දෛනික ආර්ථික අවශ්‍යතා (ගෑස්, පෙට්‍රල්-ඞීසල්, කිරිපිටි, විදුලිය) මේ අන්තර්වාර ආණ්ඩුව මගින් නොපමාව සාධනය කළ යුතුය. ඒ සමගම, මේ ආර්ථික අර්බුදය සහ දේශපාලනික අස්ථාවරත්වය කෙරෙහි හරිහරියට බලපෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තත්පර විය යුතුය. පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉතා වැදගත් ය. කාලෝචිත ය. එම ප්‍රකාශය බරසාරව ගනිමින්, ආර්ථිකය හැරුණු විට මේ මොහොතේ රටේ මුඛ්‍යතම ජාතික සහ දේශපාලනික අවශ්‍යතාව වශයෙන් එය සලකමින්, ඒ සඳහා වන අවශ්‍ය ප්‍රවේශයක ආරම්භය ගත යුතුව තිබේ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, තවදුරටත් ඔහු වෙනුවෙන් විවෘතව තිබෙන තවත් ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තිබේ. එනම්, ඔහු ජනාධිපති තනතුරේ සිටියදීම, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හරවන, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති හිල් වසන, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් වහා සම්මත කරගනිමින්, ඉහත කී සර්ව-පාක්ෂික අන්තර්වාර පාලනය පිහිටුවීමයි. මෙය සර්ව-පාක්ෂික විය යුත්තේ වෙන කිසිවක් නිසා නොව, පවතින ජාතික අගාධයෙන් ගොඩඒමේ වගකීම සහ වගවීම සියල්ලන් විසින් එක සේ භාරගත යුතු බැවිනි. එසේම, එහි අවසාන සාර්ථකත්වයක් වෙතොත්, එය සියල්ලන්ගේ සාමූහික සාර්ථකත්වයක් වශයෙන් ගැනීමටත්, යම් අසාර්ථකත්වයක් වෙතොත් සියල්ලන් ඊට වගකීමටත් බැඳී සිටිය යුතු බැවිනි. ඒ සමග සමගාමීව 20 වැනි සංශෝධනය ආපසු හැරවිය යුතුව ඇත්තේ, අන්තර්වාර පාලනය, අධිකතර විධායකයෙන් ස්වායත්ත කරගැනීම සඳහා ය. එසේ නොවුණොත්, මේ වසර දෙකහමාර තුළ තමන්ගේ පැත්තෙන් සිදු වූ අසාර්ථකත්වය, අන්තර්වාර පාලනය තුළිනුත් සිදුවන බවට, හැකි සෑම ආකාරයකින්ම ඔහු වගබලාගනු ඇති බැවිනි.
ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති
ප්‍රජාතන්ත්‍රීය නොවන තේරීමක්?
අවසාන වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ, ප්‍රජාතන්ත්‍රවාදී නොවන තේරීමක්ද තිබේ. එය වන්නේ, තමා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී, ව්‍යවස්ථා සංශෝධනයක් සහිත අන්තර්වාර පාලනයකටත් යොමු නොවෙමින්, මහජන අරගල භූමිය තව තවත් වර්ධනය වීමට හිතාමතා ඉඩ හැරීමයි. එවැනි චින්තනයක් පසුපස තිබිය හැක්කේ හමුදාමය ‘විසඳුම්’ ය. ලේ වැගිරීම සහ මර්දනය එහි ගමන් මාර්ගයයි. වතුර ඉල්ලා සිටි රතුපස්වල මිනිසුන්ට වෙඩි තබා ඝාතනය කළ ඉතිහාසයක් ඇති, භූමිතෙල් ඉල්ලා සිටි හලාවත ධීවරයන්ට වෙඩි තබා ඝාතනය කළ ඉතිහාසයක් ඇති, කටුනායක සේවකයන්ගේ අර්ථසාධක ආරක්ෂා කරගැනීමේ අරගලයට වෙඩි තබා ඝාතනය කළ ඉතිහාසයක් ඇති, නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කළ ඉතිහාසයක් ඇති මොහු, ඉල්ලා අස්වීම තවදුරටත් පමා කරමින් හෝ හදිසි ප්‍රතිසංස්කරණවලට ඉඩ නොතබමින් හෝ කල්මරන දිනයක් පාසා සැලසුම් කරනු ඇත්තේ බිහිසුණු ක්‍රියාවලියක් මිස අහිංසක එකක් විය නොහැකිය.
මහජනතාව වඩාත් සබුද්ධික විය යුත්තේ මෙහිදී ය. තමන්ගේ දුක පීඩාව මහපාරේ උස් හඬින් නංවන තරමටම, තමන්ට පිටතින් මෙන්ම තමන් ඇතුළතින්මත්, ඉහත කී අනතුර ඇති කිරීමට දඩමීමා කරගත හැකි කිසිදු අවසරයක් නොසැපයීමටත්, සෑම මොහොතකම මතු විය හැකි සකල අනතුරු සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීමටත් උද්ඝෝෂණික ජනතාව වඩ වඩාත් සැලකිලිමත් විය යුතුය. ඔවුන් සංවිධිත පක්ෂවල නායකත්වය ප්‍රතික්ෂේප කරන බවක් පෙන්නුම් කරන නිසා, මේ වගකීම ඔවුන් තනියෙන් දැරිය යුතුව තිබේ. එම වගකීම දැරීම දුෂ්කර වෙතත්, කළ නොහැකි දෙයක් නොවේ.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda