අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතා දුන් පණිවිඩය එතරම් අවධානයකට ලක් වූයේ නැත. සැබවින්ම ජාතිය ඇමතිය යුතුව තිබුණේ ජනාධිපතිවරයා විසින් නොවේදැයි ඇතැමුන් විමසූහ. නමුත්, ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා ආදේශ වීම ඔවුනගේ පැත්තෙන් ගත් කල ඉතාම නිවැරදිය. එය පාලක හවුලේ ඉතාම සබුද්ධික තෝරා ගැනීමකි. ඒ මන්ද? අග්‍රාමාත්‍යවරයාගේ කතාව නොවැදගත් හරසුන් එකක් යැයි සලකා බැහැර කරන්නවුන් හට පහසුවෙන් මග හැරී යා හැකි ඉතාම වැදගත් කාරණා කිහිපයක් එම කතාවේ ගැබ්ව තිබුණු බැවිනි. එක් අතකින් පාලනාධිකාරය නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා මහජනයා ඉදිරියේ පෙනී සිටීමම එක්තරා පණිවිඩයකි. නමුත්, මගේ අවධානය යොමු වන්නේ එම සංකේතීය පණිවිඩය ගැන නොව ඔහුගේ කතාව තුළ අන්තර්ගත වූ පණිවිඩ ගැනයි.
ජාතිය සහ ගොවිජනයා
තරමක් කුතුහලය දනවන කරුණකින් පටන් ගනිමු. මහින්ද රාජපක්ෂ වත්මන් පාලනාධිකාරයේ පොහොර ප්‍රතිපත්තිය තරමක් ව්‍යංගයෙන් වුවත් විවේචනයට ලක් කළේය. යළිත් ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දෙන බවට පොරොන්දු විය. මතබේදයට ලක්ව ඇති පොහොර ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ කතෘත්වය සහිත එකක් යැයි පිළිගැනෙන බැවින් මේ පණිවිඩය දීමට ජනාධිපතිවරයා සුදුසු නොවේ. දකුණේ ගොවිජන ප්‍රජාවේ සහයෝගය දිගු කලක් තිස්සේ දිනාගෙන සිටි ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ ඒ සඳහා වඩාත් සුදුසුය.
හොඳයි. රාජපක්ෂ පාලනය ගොවිජනයා හට යළිත් වරක් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම කුමක්ද? 2005 සිට මේ දක්වා රාජපක්ෂ පාලනය ගොඩ නැගුණේ ප්‍රධාන සමාජ පදනම් දෙකක් මතය. එනම්, දකුණේ කෘෂිකාර්මික ප්‍රජාවත් නාගරික සහ අර්ධ නාගරික නව මධ්‍යම පන්තික ප්‍රජාවත්ය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ මූලික ආමන්ත්‍රණය එල්ල වූයේ නාගරික මධ්‍යම පන්තික කොටස් වෙතය. දැන් රාජපක්ෂ පාලනයට මේ සමාජ පදනම් දෙකම අහිමි වී යමින් පවතී. පළමුව, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ අප්‍රායෝගික පොහොර ප්‍රතිපත්තිය මගින් අර්බුදයේ බර ගොවිජනයා මත පැටවීමත් සමග සාම්ප්‍රදායිකව රාජපක්ෂ පාලනයට සහාය දෙමින් සිටි දකුණේ කෘෂිකාර්මික ප්‍රජාව පාරට බසින්නට තීරණය කළේය. ගොවිජනයා දේශපාලනීකරණය වීම, මෙරට එතෙක් පැවති දේශපාලන සමතුලනය වෙනස් කරන්නට සමත් විය. දෙවනුව, වේගයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ නාගරික සහ අර්ධ-නාගරික මධ්‍යම පන්තික කොටස්ද රාජපක්ෂ පාලනාධිකාරයෙන් දුරස් වන්නට පටන් ගත්තේය. ඒ අතුරින් බරපතල අපේක්ෂා භංගත්වයකට පත් වූ තරුණ ප්‍රජාව ගෝඨාගෝගම ගොඩ නැගීමේ රැඩිකල් බලවේගය බවට පත්ව සිටී.
මේ බරපතල දේශපාලන අර්බුදය හමුවේ රාජපක්ෂ පාලනාධිකාරයට කළ හැකි තෝරාගැනීම කුමක්ද? නාගරික සහ අර්ධ-නාගරික මධ්‍යම පන්තික කොටස් යළි දිනාගැනීම ඔවුනට එතරම් පහසු නැත. එක් අතකින් මෙම මධ්‍යම පන්තියේ කොටසක් සාම්ප්‍රදායිකව එජාප/සජබ හිතවාදීන් වන අතර සැලකිය යුතු සුළුතර ජනවාර්ගික නියෝජනයක්ද එහි පවතී. අනෙක් අතින්, පවත්නා ආර්ථික තත්ත්වය තුළ මේ සමාජ තීරුවේ විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා අවශ්‍ය අධික වියදම දරන්නට වත්මන් පාලනයට නොහැකිය. එසේ නම්, ග්‍රාමීය ගොවිජන ප්‍රජාව නැවත දිනා ගැනීම සඳහා කිසියම් ප්‍රයත්නයක් දැරිය නොහැකිද? මහින්ද රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ සැඟවුණු අරුත එය විය හැකිය. ජාතිය ඇමතීම සඳහා ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් වූයේ මන්ද යන්නද එයින් පැහැදිලි කෙරේ.
ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය සහ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය
මීට තරමක් සමීප විදේශීය අත්දැකීමක් සමග රාජපක්ෂ උපායමාර්ගය සසඳා බැලීම ඇතැම්විට ප්‍රයෝජනවත් වනු ඇත. විසිවන සියවසේ මුල්භාගයේ ඉතාලියේ පාලකයින් හටද තම සමාජ පදනම් පවත්වා ගැනීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙන්නට සිදු විය. ඉතාලියේ දකුණුදිග ප්‍රදේශය ඒ වනවිටත් පැවතුණේ නොදියුණු කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙසයි. ධනවාදී සංවර්ධනය නාගරික උතුරට සීමා වී පැවතිණ. දකුණේ ගොවි කැරළිද උතුරේ කම්කරු ව්‍යාපාරද හිස ඔසවමින් තිබුණි. මේ අර්බුදකාරී වාතාවරණය තුළ ඉතාලි පාලකයින් විසින් කරන ලද උපායමාර්ගික තෝරාගැනීම් දෙකක් ගැන අන්තෝනියෝ ග්‍රාම්ස්චි කතා කරයි.
පළමු උපායමාර්ගය හඳුන්වන ලද්දේ “කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය” ලෙසයි. එයින් අදහස් වූයේ උතුරුදිග ඉතාලියේ කාර්මික ධනේශ්වරය සහ වෘත්තීය සමිති මගින් නියෝජනය වූ කම්කරු පන්තිය අතර ප්‍රාදේශීය හවුලක් ගොඩ නගා ගැනීමයි. ඒ යටතේ කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම, වෘත්තීය සමිති නිදහස, ළමා ශ්‍රමය තහනම් කිරීම, කාර්මික නිපැයුම් සඳහා බදු සහන සැලසීම, බලය මධ්‍යගත කිරීම වැනි ප්‍රතිපත්ති අනුගමනය කෙරිණ. නමුත්, එම උපායමාර්ගය යටතේ දකුණුදිග ගොවිජන ප්‍රජාව නොතකා හරින ලදී. ගොවි කැරළි මර්දනය කර දැමිණ. දෙවැනි උපායමාර්ගය හඳුන්වන ලද්දේ “ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය” ලෙසයි. එයින් අදහස් වූයේ උතුරුදිග කම්කරු පන්තිය නොතකා හරිමින් උතුරුදිග ධනපති පන්තිය සහ දකුණුදිග ඉඩම් හිමියන් හා ගොවි ජනයා අතර සන්ධානයක් ගොඩ නගා ගැනීමයි. ඒ යටතේ කෘෂිකාර්මික යෙදවුම්වල මිල පහත හෙළීම, පරිපාලන බලය ප්‍රාදේශීයව විමධ්‍යගත කිරීම වැනි ප්‍රතිපත්ති අනුගමනය කෙරිණ. කම්කරු අරගල මර්දනය කර දමන ලදී.
රාජපක්ෂ ව්‍යාපෘතියේ සමාජ කුළුණු බිඳ වැටීම
වත්මන් ශ්‍රී ලංකාව බොහෝ පැතිමානවලින් දැනට සියවසකට පෙර පැවති ඉතාලියෙන් වෙනස් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. මෙරට තුළ ඉතාලියේ පැවතියාක් වැනි කාර්මික උතුර හා කෘෂිකාර්මික දකුණ වශයෙන් වූ බෙදීමක් පවතින්නේ නැත. එසේම මෙරට පවතින්නේ කාර්මික ධනවාදයක් නොව සේවා අංශය සහ වෙළඳාම මුල් කොටගත් පරිවාර ධනවාදයකි. නමුත්, ඉතාලියානු කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය සහ ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය සමග කිසියම් දුරකට සැසඳිය හැකි අත්දැකීමක් අපට ශ්‍රී ලංකාව තුළද හඳුනාගත හැකිය. ඒ, පසුගිය දශක කිහිපය තුළ මෙරට ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික දේශපාලන නායකයින් නාගරික මධ්‍යම පන්තික ප්‍රජාව සමග සහ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව සමග ගණුදෙණු කිරීමේ වෙනස් උපායමාර්ග දෙකක් පැවති බැවිනි.
පාලකයින් ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව සමග ගණුදෙණු කිරීමේදී අනුග්‍රාහක දේශපාලනය ඉතාම වැදගත් භූමිකාවක් රඟ දක්වයි. එම අනුග්‍රාහක දේශපාලනය ප්‍රධාන මාධ්‍යයන් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පළමුවැන්න වන්නේ පාලක පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන ප්‍රභූන් ඔස්සේ සෘජුවම බෙදා දෙනු ලබන අනුග්‍රහයන්ය. දේශපාලන අනුග්‍රහය යටතේ රැකියා ලබා දීමේ පටන් අරක්කු බෝතල් බෙදා දීම දක්වා වූ පුළුල් පරාසයක දේවල් මීට අයත් වේ. මෙම අනුග්‍රහයන් සඳහා බොහෝ විට අවභාවිතා කරනු ලබන්නේ මහජන දේපළය. බොහෝ දුරට මෙකී දේශපාලන අනුග්‍රාහකවාදය පිළිබඳව චෝදනා එල්ල කරනු ලබන්නේ “රාජ-පක්ෂයට” වුවත් මංගල සමරවීර වැනි ඊනියා යහපාලන දේශපාලකයින්ද පෘථුල ලෙස එවන් දුෂිත භාවිතයන්හි යෙදී ඇත. මෙරට රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව ගැන චෝදනා කරමින් පෞද්ගලීකරණය දිරිමත් කරන නව-ලිබරල් යහපාලනවාදී දේශපාලකයින් අපෙන් සඟවන කාරණය වන්නේ රාජ්‍ය ආයතනවලට තම අනුගාමිකයින් දහස් ගණනින් ඇතුල් කොට ඒවා අකාර්යක්ෂම සහ වියදම් අධික තත්ත්වයකට පත් කරන්නට ඔවුන් කොතරම් දායක වී තිබේද යන්නයි. නිදසුනක් ලෙස මංගල වරාය ඇමති ධූරය දැරූ කාලයේදී වරාය මාතර වැසියන්ගෙන් පිරී ගිය බව ප්‍රසිද්ධ කාරණයකි.
අනුග්‍රාහක දේශපාලනයේ වඩාත් සංකීර්ණ සහ වක්‍ර මාධ්‍යය වන්නේ තම පක්ෂවල දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති හැසිරවීමයි. ගොවිජනයාගේ ජන්දය අපේක්ෂාවෙන් ඔවුන් ඉලක්ක කොට ගත් අනුග්‍රහයන් රාජ්‍යය ඔස්සේ ලබා දීම මේ සඳහා නිදසුනකි. මහින්ද රාජපක්ෂ විසින් ගොවිජනයාට ලබා දුන් පොහොර සහනාධාරය එක් අතකින් රාජ්‍ය සුභසාධනයක් වන අතරම අනෙක් අතින් ඉතාම සියුම් අනුග්‍රාහකවාදී ප්‍රතිපත්තියක් ලෙසද කියැවිය හැකිය.
ශ්‍රී ලංකාවේ අනුග්‍රාහක දේශපාලනය ගමට පමණක් සීමා වූ එකක් යැයි මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. විශේෂයෙන්ම 1970 දශකයේ අගභාගයේ ආර්ථික විවෘතකරණයෙන් පසුව මෙරට ප්‍රසාරණය වූ වෙළඳපල ආර්ථිකය වනාහී ආරම්භයේ පටන්ම දේශපාලන අනුග්‍රහයන් මත පදනම් වූ එකක් බව අප අමතක නොකළ යුතුය. නමුත්, පසුගිය දශක හතරක කාල පරිච්ජේදය තුළ ආර්ථික විවෘතකරණය මාධ්‍යය කොටගෙන ක්‍රමානුකූලව ගොඩ නැගුණු නාගරික සහ අර්ධ-නාගරික පුළුල් මධ්‍යම පන්තික තීරුවක් පවතින අතර මේ වනවිට දේශපාලනිකව ඉතාම බලපෑම්සහගත වී සිටින එම මධ්‍යම පන්තික කොටස් හුදෙක් අනුග්‍රාහක දේශපාලනයේ උපායන් මගින් පමණක් දිනාගත නොහැකිය. ඔවුන් එක් අතකින් බරපතල ලෙසම පාරිභෝජනවාදී ජීවන නිෂ්ටාවන් වැළඳගෙන සිටින අතර, අනෙක් අතින් දෘෂ්ටිවාදී දේශපාලනය කෙරෙහි වේගයෙන් ආකර්ෂණය වේ. රාජපක්ෂ ව්‍යාපෘතිය වෙත මෙම නව මධ්‍යම පන්තික කොටස් ආකර්ෂණය වීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ. මන්දයත්, රාජපක්ෂ ව්‍යාපෘතිය ඔවුනගේ පාරිභෝජනවාදී ජීවන විලාසිතාවට පහසුකම් සපයන අතරම ආකර්ෂණීය දෘෂ්ටිවාදී ආමන්ත්‍රණයක්ද (රණකාමී ජාතිකවාදය) ප්‍රදානය කරන්නට සමත් වූ බැවිනි. කෙසේ වුවත්, මේ “පාරිභෝජනවාදී ජාතිකවාදීන්” දැන් වේගයෙන් රාජපක්ෂ පාලනාධිකාරයෙන් දුරස් වෙමින් සිටී. ඒ, අල්තුසරියානු වචනයෙන් කිව හොත්, ජාතිකවාදය වනාහී ඔවුනගේ පාරිභෝජනවාදී පැවැත්මේ සැබෑ සම්බන්ධකම් කෙරෙහි දක්වන ලද පරිකල්පනීය සම්බන්ධයක් බැව් මනාව ගම්‍ය කරමිනි.
එබැවින්, වත්මන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ අපේක්ෂාභංගත්වයට පත්ව සිටින නාගරික මධ්‍යම පන්තික කොටස් යළි දිනා ගැනීම දෘෂ්ටිවාදී මාධ්‍යයන් මගින් පමණක් කෙසේවත් සිදු කළ නොහැකිය. ඔවුනට ආර්ථිකමය වශයෙන් ඉතාම ප්‍රායෝගික ඉක්මන් විසඳුම් වුවමනාය. ඔවුනගේ ජීවන නිෂ්ටාවන් සහ ජීවන තත්ත්වය අතර පරතරය එන්ට එන්ටම පළල් වෙමින් තිබේ. දෘෂ්ටිවාදීමය තලයෙහි වුවද නාගරික මධ්‍යම පන්තියේ ලිබරල් හා නිරාගමික කොටස් දැන් දේශපාලනිකව වඩා බලවත් වෙමින් සිටින බවට ගෝඨාගෝගමේ නව සටන් පාඨ සාක්ෂි දරයි. අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මතට ප්‍රොජෙක්ටරයක් මගින් “එක්සත් ශ්‍රී ලංකාවක්” යන උදෘතය ප්‍රක්ෂේපණය කිරීමෙන් ඔවුන් දුන් එක් පණිවිඩයක් වන්නේ එයයි. (ඊට එරෙහි ඇතැම් අභ්‍යන්තර මතබේද තිබිය හැකි වුවද එසේ කළ හැකි වීමම දේශපාලනිකව ඉතාම වැදගත්ය. සජබ හෝ ජාජබ විරෝධතා තුළ එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සටන් පාඨය ප්‍රදර්ශනය කිරීමක් ගැන සිතිය හැකිද?). මේ තත්ත්වය තුළ ඉන්ධන හා තෙල් අර්බුදය තාවකාලිකව විසඳීම මගින් පවා රාජපක්ෂ පාලනාධිකාරයට තම නාගරික මධ්‍යම පන්තික සමාජ පදනම යළි ගොඩ නගා ගැනීම බෙහෙවින්ම අසීරු වනු ඇත.
ප්‍රති-උපායමාර්ගය විය යුත්තේ කුමක්ද?
මේ අනුව රාජපක්ෂ පාලනාධිකාරයට දැන් කිසියම් හෝ බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ තම සුපුරුදු අනුග්‍රාහක දේශපාලන යාන්ත්‍රණය යළි පන ගන්වමින් ග්‍රාමීය කෘෂිකාර්මික හවුල ප්‍රතිස්ථාපනය කර ගැනීම කෙරෙහිය. පොහොර සහනාධාරය පිළිබඳ පොරොන්දුව යළි ඉදිරිපත් කිරීම එහි එක් සලකුණක් පමණි. පොහොට්ටු පක්ෂයේ සංවිධාන ජාලය ඔස්සේ පහතට සම්පත් ගලා යාමට සැලැස්වීමේ බැසිලියානු ක්‍රමවේදයට වැඩි බරක් තැබෙනු ඇත. ඊනියා වැඩ ලක්ෂය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්ද මේ උපායමාර්ගය සමග ගැලපේ. කෙසේ වුවත්, මේ උපායමාර්ගයේ සාර්ථකත්වය සඳහා ඉතාම ප්‍රබල දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් වුවමනා වේ. ගාලු මුවදොර විරෝධතාව “නාගරික, මධ්‍යම පන්තික, තරුණ සහ හැකි නම් ඩයස්පෝරා හිතවාදී සහ අසංවර” එකක් ලෙස දෘෂ්ටිවාදීව පින්තාරු කිරීමට වුවමනා වේ. එසේම එය ඇතුළතින් බෙදීමට වුවමනා වේ; එහි අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා ඉස්මතු කිරීමට වුවමනා වේ; එහි සුවිශේෂකත්වය ලකුණු කිරීමෙන් එය සීමිත අරුතකට කොටු කිරීමට වුවමනා වේ.
එසේ නම්, ප්‍රති-උපායමාර්ගය විය යුත්තේ කුමක්දැයි වටහා ගැනීම අසීරු නැත. ගාලු මුවදොර තනි නොකරමින් ප්‍රාදේශීයව ගෝඨාගෝගම් ගොඩ නැගීමේ නැඹුරුව වනාහී වත්මන් පාලනාධිකාරයේ උපායමාර්ගය සෘජුවම අභියෝගයට ලක් කිරීමකි. දැනට ප්‍රාදේශීය ගෝඨාගෝගම් නිර්මාණය කිරීමේදී විපක්ෂයේ පක්ෂ කිහිපයක් තරඟ කරමින් සිටින බව පෙනේ. පිටතින් පෙනෙන ආකාරයට රත්නපුර ගෝඨාගෝගමක් සඳහා 43 සේනාංකයට සම්බන්ධ පිරිස් පුරෝගාමීත්වය ගෙන ඇති අතර ගාල්ල ගෝඨාගෝගම තුළ රැඩිකල් වාමාංශික කොටස් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.
නමුත්, මෙම ව්‍යාපාරය තුළ තරඟකාරී පක්ෂ දේශපාලනය ඉස්මත්තට ඒමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. එවැනි තත්ත්වයක් රාජපක්ෂ පාලනාධිකාරයට වඩා වාසිදායක වනු ඇත. සමකාලීන ස්වායත්ත මහජන ක්‍රියාකාරීත්වයේ සුවිශේෂකත්වය අප වටහාගත යුතුය. එහි බහුවිධත්වය සහ නව්‍යතාව ආරක්ෂා කර ගත යුතුය. වත්මන් මොහොතේ තීරණාත්මක වැදගත්කම වන්නේ මෙතෙක් දේශපාලනීකරණය වී නොසිටි ජනයා දේශපාලනීකරණය වීමයි. එම දේශපාලනීකරණයේ ගතිකත්වය පවත්වා ගැනීමට නම් පුරවැසි ක්‍රියාකාරීත්වය දිරිමත් කෙරෙන ආකාරයෙන් විපාක්ෂික බලවේග කටයුතු කළ යුතුව ඇත. පෙරට පැමිණ ඇත්තේ ජන අරගල දේශපාලනයයි. ඉහළට එසවෙමින් ඇත්තේ දියවන්නාවෙන් පිටත මහජන බලයක් පිළිබඳ සටන් පාඨයයි. ග්‍රවුන්ඩ් එක වෙනස් වී ඇති බව වටහා නොගෙන පැරණි තාලයට දේශපාලනය කරන්නට උත්සාහ කරන පක්ෂ සහ සංවිධාන ඉක්මනින්ම මේ අවකාශයෙන් ඉවතට විසි වී යනු ඇත.
ප්‍රාදේශීය ගෝඨාගෝගම් නිර්මාණය වීමේ තවත් වැදගත්කමක් වන්නේ කෘෂිකාර්මික ප්‍රජාව මුහුණදෙන පොහොර ප්‍රශ්නය, ක්‍ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය, ග්‍රාමීය දරිද්‍රතාව වැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික මහජන අරගලයේ කේන්ද්‍රයට රැගෙන ඒමට අවස්ථාව ලැබීමයි. එනයින්, අනුග්‍රාහක දේශපාලනයේ රාමුව තුළ නිර්මාණය කර තිබෙන ලාංකීය කෘෂිකාර්මික හවුල බිඳ දමා ග්‍රාමීය ප්‍රජාවත් නාගරික ප්‍රජාතාන්ත්‍රික බලවේගත් අතර ඓන්ද්‍රීය බැම්මක් ගොඩ නැගීමට අවස්ථාව විවර වීමයි. ඒ අතරම සුළුතර ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාවන්ගේ ඉල්ලීම් පෙරට ගෙන ඒමේදීද ජන අරගලය රට පුරා ව්‍යාප්ත කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. ජන අරගලය එසේ ව්‍යාප්ත වීමට සමාන්තරව එයට සහභාගී වන පිරිස් අතුරින් මහජන සභා ගොඩ නැගීමක්ද එම මහජන සභා අතර සබඳතා ගොඩ නැගීමක්ද සිදු විය යුතුව ඇත. ඉදිරියේදී කවර පක්ෂයක් බලයට පත් වුවද, කවර ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් වුවද ඒ සියල්ල මෙලෙස ගොඩ නැගෙන ජනතාවගේ ස්වාධීන නියෝජන ආයතනවල පරීක්ෂාවට ලක් විය යුතුය. දියවන්නාවෙන් එළියේ ජනතා පාර්ලිමේන්තුවක් පිළිබඳ සටන් පාඨය යථාර්තයක් බවට පත් කිරීම දැන් අප කලින් අපේක්ෂා කළාට වඩා ඉක්මණින් සිදු කළ හැකි බව පෙනේ.
මේ ප්‍රති-උපායමාර්ගය ක්‍රියාවට යෙදවීමේ ගාමක බලවේගයක් ලෙසින් තරුණ වාමාංශය සහ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කිසියම් බලාපොරොත්තුවක් තබා ගත හැකිය යන්න මගේ විශ්වාසයයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පා ගමනකින් පැමිණ ගාලු මුවදොර විරෝධතාවට පැමිණෙන විට ඔවුන්ව සාදරයෙන් පිළිගනු ලැබූ බව අමතක නොකළ යුතුය. එසේම, ගෝඨාගෝගම තුළ ජන අරගල ව්‍යාපාරය, අන්තරය, වෘත්තීය සමිති, බේකරියේ කට්ටිය සහ සමාජවාදී තරුණ සංගමය නියෝජනය වන ඉතාම ක්‍රියාකාරී වාමාංශික කලාපයක් නිර්මාණය වී තිබේ. ගාලු මුවදොර කොමියුනය සහ ප්‍රාදේශීය ගෝඨාගෝගම් අතර සබඳතා ගොඩ නැගීමේ ජැකොබින් කාර්යභාරය ඉටු කිරීමේදී ශිෂ්‍ය ව්‍යාපාරයට තිබෙන අමතර වාසියක් වන්නේ එහි සාමාජිකයින් රට පුරා ප්‍රාදේශීයව විසිර සිටින ක්‍රියාකාරී තරුණ පිරිසක් වීමයි.
අවසන් වශයෙන් මේ නව දේශපාලන ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගිය හොත් ඒ විසින් මෙතෙක් මෙරට පැවති සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේද රැඩිකල් පරිවර්තනයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජන අරගලයෙන් ඉගෙනීමට අසමත් වන පක්ෂවලට අනාගතයේදී ස්වකීය දේශපාලන දැක්මේ අසමත්කමේ විපාකවලින් ඉගෙන ගැනීමට සිදු වනු ඇත.
සුමිත් චාමින්ද | Sumith Chaaminda