ජන අරගලයේ රැල්ල ඉක්මණින් බැස යන්නක් වනවා වෙනුවට කල් පවත්නා සහ වඩ වඩාත් වේගවත්ව වර්ධනය වන එකක් බව දැන් හොඳින්ම පැහැදිලි වෙමින් තිබේ. දැනට මසකට පෙර මිරිහාන විරෝධය පැන නගින විටත් ගාලු මුවදොර අරගලය ආරම්භ වන විටත් පැවති දේශපාලන වාතාවරණය වේගවත් වෙනසකට ලක්ව තිබේ. මෙම ස්වේච්ජාමය ජනතා නැගී සිටීම අසංවිධානාත්මක සහ නායකත්වයකින් තොර වූවක් බැවින් එය හිංසාකාරී අන්තයකට ගමන් කළ හැකි යැයි පුරෝකථනය කරමින් එයින් කිසියම් දුරක් පවත්වා ගන්නට තීරණය කළ දේශපාලන පක්ෂ නායකයින්ගේද බුද්ධිමතුන්ගේද තේරුම් ගැනීම් වැරදි බව ඉක්මණින්ම සනාථ විය. අරගලයේ නිරත ජනතාව ඉතාම විශිෂ්ට විනයක් සහ ශික්ෂණයක් ගොඩ නංවා ගන්නට සමත් වූහ. ඔවුන් ධූරාවලීගත නායකත්ව රටාවන් ප්‍රතික්ෂේප කළහ. මේ වනවිට ගාලු මුවදොර අරගල බිමේ සක්‍රීයව වැඩ කරන කණ්ඩායම් අතුරින් කිසියම් පරිපාලන ව්‍යුහයක් නිර්මාණය වී තිබෙන බව සැබෑය. නමුත්, එය කිසිසේත්ම ධූරාවලීගත සංවිධාන රටාවක් බවට පරිවර්තනය කළ නොහැකිය. ඒ වෙනුවට එම එකතුව ක්‍රියාත්මක වන්නේ සංවාදය තුළින් එකඟතාවන්ට පැමිණීමේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට අනුවය. විවිධ පක්ෂ හා සංවිධාන අරගල බිමේ ක්‍රියාකාරීව සිටියද ඒ කිසිවෙකුට තනි නායකත්වයක් කියාපෑමට නොහැක. නායකත්වය කියාපෑමට උත්සාහ දැරූ පක්ෂ සහ පුද්ගලයින් හට ඉතාම ඉක්මණින් ප්‍රතික්ෂේප වී යාමට සිදු විය.

අරගලය අයාලේ නොයනු වස් දේශපාලන පක්ෂ විසින් එහි නායකත්වය භාර ගත යුතුව ඇතැයි යන අදහස දරන්නන් හට මෙම නව සමාජ ව්‍යාපාරයේ නව්‍ය ගතිකත්වයන් කිසිසේත්ම අවබෝධ වී නොමැත. මෙය තනි පක්ෂයකට හෝ පක්ෂ එකතුවකට නායකත්වය දිය නොහැකි තරමේ ඉතාම පුළුල් මහජන නැගී සිටීමකි. නමුත් වඩාත්ම වැදගත් කාරණය එය නොවේ. මෙරට දේශපාලන පක්ෂ තුළ පවත්නා සාම්ප්‍රදායික නායකත්ව රටාවන් සමග අනුගත නොවන ආකාරයේ පුරවැසි දේශපාලන සම්ප්‍රදායක් දැන් අරගල බිම තුළ නිර්මාණය වෙමින් තිබේය යන්නයි. එබැවින් අරගල බිමේ වැඩ කරන්නට එන දේශපාලන පක්ෂ හා සංවිධානවලට දැන් පළමුව තමන්වම වෙනස් කර ගන්නට සිදුව තිබේ. වෙනත් වචනයෙන් කිව හොත්, සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්ෂවලින් දැන් නියෝජනය වන්නේ පැරණි දේශපාලනයකි. අප මේ අත්දකිමින් සිටින්නේ නව සමාජ ව්‍යාපාරයක් ඔස්සේ නිර්මාණය වන්නා වූ නව දේශපාලනයකි. එයින් කියැවෙන්නේ පක්ෂ දේශපාලනය අහෝසි වී යාමට නියමිත බව හෝ අප ඊනියා පශ්චාත්-පක්ෂ දේශපාලනයකට ප්‍රවේශ වී සිටීය යන්න නොවේ. පක්ෂ දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතරම මෙතෙක් මෙරට නොපැවති ආකාරයේ සක්‍රීය පුරවැසි දේශපාලනයක්ද නිර්මාණය වෙමින් පවතින බවයි.

එසේම මෙම ජන අරගලයේ නව දේශපාලනය ඉතාම කෙටි කාල පරිච්ජේදයක් තුළ බරපතල දේශපාලන බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේය යන්න කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය. නිසි නායකත්වයකින් තොර, අසංවිධානාත්මක ව්‍යාපාරයක් යැයි පැරණි දේශපාලනයේ නියෝජිතයින් විසින් හඳුන්වා දෙන ලද එය රාජපක්ෂ පාලනාධිකාරය සසළ කරවීමට සමත් විය. පැවති අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරින්නට සිදු වූයේත්, ඊනියා අන්තර්කාලීන පාලනයක් කරා මාරු වන්නට සිදු වූයේත්, පාලක පක්ෂයට සුපුරුදු පරිදි මැයි දින සැමරුමක් පවා පවත්වන්නට නොහැකි වූයේත් මෙම නිර්පාක්ෂික නොහොත් බහු-පාක්ෂික ජනතා අරගලයේ බලපෑම හේතු කොටගෙනය. අරගලයේ නව ගති ලක්ෂණ නිසාම පාලනාධිකාරයට සුපුරුදු පරිදි මර්දන උපකරණ භාවිත කිරීමෙන් එය පාලනය කරන්නටද නොහැකි විය.

ජන අරගල දේශපාලනයේ කලා-සංස්කෘතික නායකත්වය

පැන නැගෙමින් පවතින ජන අරගල දේශපාලනයේ නව්‍ය ගති ලක්ෂණ අතුරින් වැදගත් එකක් වන්නේ දේශපාලනයත් කලා-සංස්කෘතියත් අතර පැවති සාම්ප්‍රදායික බෙදුම් ඉරි මැකී යමින් පැවතීමයි. මින් ඉහතදී කලා-සංස්කෘතික භාවිතයන් දේශපාලනය හා සම්බන්ධ වී තිබුණේ බොහෝ දුරට යම් යම් පක්ෂවල න්‍යාය පත්‍රවලට යටත්වය. මැතිවරණ තරඟයේ නිරත වන සෑම පක්ෂයක්ම පාහේ පුරුද්දක් ලෙස තමන්ට සහාය දක්වන කලාකරුවන්ගේ එකතූන් නිර්මාණය කර ගන්නට උනන්දු වූ බව අපි දනිමු. අසූව දශකයේදී පැවති විමුක්ති ගී ප්‍රසංගය වුවත් අවසාන අරුතින් පක්ෂ දේශපාලනයේ රාමුව තුළ ක්‍රියාත්මක වූවක් බව රහසක් නොවේ.

නමුත්, පසුගිය දශක දෙකක පමණ කාල පරිච්ජේදය තුළදී සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේ රාමුවට සීමා නොවූ දේශපාලනික කලා-සංස්කෘතික සම්ප්‍රදායක් ක්‍රම ක්‍රමයෙන් විකාශනය වූ අයුරු නිරීක්ෂණය කළ හැකිය. අජිත් කුමාරසිරිගේ සංගීතය, කොට්ටාව බේකරිය ආශ්‍රිත සංස්කෘතික ක්‍රියාකාරකම්, නදීකා බණ්ඩාරගේ නාට්‍ය යනාදිය කොළඹ ආශ්‍රිත එම දේශපාලනික කලා-සංස්කෘතික ලෝකය සඳහා නිදසුන් කිහිපයක් පමණි. දැන් රට පුරා පැන නගිමින් තිබෙන ජන අරගල අවකාශ තුළ දකින්නට ලැබෙන්නේ එසේ විකාශනය වූ නව දේශපාලනික කලා-සංස්කෘතික සම්ප්‍රදායේ බලවත් ව්‍යාප්තියක් යැයි කිව හැකිය. ගාලු මුවදොර පමණක් නොව ගාල්ල, මහනුවර, පොළොන්නරුව, අනුරාධපුර යන සෑම අරගල බිමකම පාහේ ගිතාරුවක් අතින් ගත් අරගලකරුවෙකුගේ රූපය ඔබට දැන් නිරීක්ෂණය කළ හැකිය. ඇතැම්විට නව ජනරජයක් පිළිබඳ පණිවිඩය රට පුරා රැගෙන යන පුරෝගාමී සංස්කෘතික ඒජන්තයා දැනටමත් නිර්මාණය වී සිටිනවා විය හැකිය. අඩුවකට ඇත්තේ නව ජනරජයේ බුද්ධිමය පුරෝගාමීත්වය ගන්නා බලවේගයක් තවමත් නිර්මාණය වී නොතිබීමයි.


බුද්ධිමය නායකත්වය සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්‍යතා

වත්මන් අරගලයේ ස්වභාවය අනුව තනි කැරිස්මැටික බුද්ධිමය නායකත්වයක් කිසිසේත්ම එය විසින් ඉල්ලා සිටිනු නොලැබේ. ඒ වෙනුවට අද අවශ්‍යව ඇත්තේ මෙම තීරණාත්මක ඓතිහාසික නිමේෂය තුළ වඩාත් ජනතාවාදී දේශපාලනික, ආර්ථිකමය සහ සමාජයීය පරිවර්තනයක් ඇති කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්නා වූ පුළුල් හා ගැඹුරු බුද්ධිමය සංවාදයකි. එවන් සංවාදයකදී අප විමසිය යුතු ප්‍රධානතම ප්‍රශ්න වනුයේ පැරණි ජනරජය බිඳ දමා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කරන නව ජනරජයක් නිර්මාණය කරගන්නා තරම් දුරට වත්මන් අරගලය රැගෙන යන්නේ කෙසේද, අප ගොඩ නගන නව ජනරජය තුළ ජනතාවගේ මූලික සමාජ සහ ආර්ථික අයිතීන් තහවුරු කෙරෙන ආකාරයේ සම්මුතියක් ගොඩ නගා ගන්නේ කෙසේද, එම සමාජ සම්මුතිය ආරක්ෂා කරන්නා වූත් එය පෙරට ගෙන යන්නා වූත් ස්වාධීන මහජන නියෝජන ආයතන ජාලයක් පාර්ලිමේන්තුවට පිටතින් නිර්මාණය කරගන්නේ කෙසේද, පැරණි ජනරජය තුළ ආන්තිකකරණයට හෝ බැහැර කිරීමට ලක්ව සිටි ජනවාර්ගික, ආගමික, සමාජ-ලිංගික සහ සංස්කෘතික සුළුතරය නව ජනරජය ගොඩ නැගීමේ සක්‍රීය කතෘකයන් බවට පත් කරගන්නේ කෙසේද, ඉදිරියේ එන්නට නියමිත ආහාර අර්බුදය, විරැකියාව, අපේක්ෂා භංගත්වය යනාදියෙන් පිරුණු ව්‍යසනකාරී දශකය තුළදී බිඳ වැටෙන ජන ජීවිතය යළි ගොඩ නගන ප්‍රතිජනනාත්මක දේශපාලනයක් සඳහා පදනම සකස් කරන්නේ කෙසේද යනාදියයි.

මෙය කිසිසේත්ම හුදෙකලා ශාස්ත්‍රීය බුද්ධිමතුන්ගේ සංවාදයක් නොවිය යුතුය. අවශ්‍යව ඇත්තේ අරගලය තුළ සක්‍රීයව සිටින ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ සංවාදයකි. එම සංවාදය තුළ කම්කරුවන්ගේ, ගොවීන්ගේ, ක්ෂුද්‍ර ණය උගුළෙහි සිරවුණු කාන්තාවන්ගේ, විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ, ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ හඬක් නොමැති උතුරේ පීඩිත ජනතාවගේ, කඳුරට ජනයාගේ පමණක් නොව විදේශගත ශ්‍රමික ප්‍රජාවගේද අදහස් හා යෝජනාවලට විවෘත වූවක් විය යුතුය. එම සංවාදය තුළින් ඇති කරගන්නා එකඟතා අනාගත ජනරජය පදනම් වන්නා වූ සමාජ සම්මුතිය ලෙසින් සැලකිය යුතුය යන්න මගේ අදහසයි. එම සම්මුතියේ ආරක්ෂකයා සහ ප්‍රවර්ධකයා විය යුත්තේ පහත සිට ගොඩ නැගෙන ජනතා කවුන්සිල ජාලයයි. ඉදිරියේදී බලයට පත් වන කවර පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වුවද මෙම මූලික සමාජ සම්මුතියටත් එම සම්මුතිය මූර්තිමත් කරන්නා වූ ජනතා සභාවලටත් වගකීමට බැඳී සිටින තත්ත්වයක් නිර්මාණය කළ යුතුව තිබේ. ගොඩ නැගෙන ජනතා සභා පදනම් කොටගත් දීර්ඝකාලීන බුද්ධිමය සහ සංස්කෘතික පුනර්ජීවන වැඩ පිළිවෙලක් සේම විකල්ප ප්‍රජා ආර්ථික වැඩ පිළිවෙලක්ද සැලසුම් කිරීමට විශේෂයෙන්ම වාමාංශික ජනතාවාදීන් හට අවස්ථාව තිබේ. අප ඉතිහාසයේ පෙර නොදක්නා ලද බහු-විධ ජනතා ක්‍රියාකාරීත්වයේ ජයග්‍රහණ කල් පවත්නා ලෙස ආරක්ෂා කරගත හැක්කේ මේ මග ගැනීමෙනි.

මීළඟ ප්‍රශ්නය වන්නේ විවෘත වූ ජන අරගල අවකාශය තුළ මෙවන් නව ජනරජයක් සඳහා වූ බුද්ධිමය සංවාදයක් සඳහා වේදිකාව ඉදි කළ හැක්කේත් එහි පුරෝගාමීත්වය භාරගත හැක්කේත් කා හටද යන්නයි. මා මින් පෙරද සඳහන් කළ පරිදි හුදෙකලා ශාස්ත්‍රීය බුද්ධිමය එකතූන්වලට ඒ සඳහා කළ හැකි දායකත්වය සීමිතය. කවර ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට වුවත් මේ සංවාදය සඳහා සහභාගී වී එය පෝෂණය කිරීමට කිසියම් දායකත්වයක් දැක්විය හැකි බව සැබෑය. නමුත්, මෙම බුද්ධිමය සංවාදයත් අරගලයේ නිරත බහුවිධ බලවේගත් අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් නිර්මාණය නොවුවහොත් එයින් නිකුත් වන අවසාන ප්‍රතිපලය වනු ඇත්තේ වියුක්ත ලියැවිල්ලක් පමණි. එසේනම්, අරගලයේ නිරත ජනතාවගේ පොදු පිළිගැනීමට ලක් වන සුජාතමය කතෘකයෙකු මේ සඳහා අවශ්‍ය වේ.

මගේ අදහස වන්නේ දැන් පවත්නා තත්ත්වය යටතේ එම කතෘකත්වය භාරගත හැක්කේත් එය සාර්ථකව ක්‍රියාවේ යෙදවිය හැක්කේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයට බවයි. දැන් තරමක් රොමාන්තිකකරණයට ලක්ව තිබෙන ගාලු මුවදොර ගෝඨාගෝගම අවකාශයෙන් පිටත ගොවිබිම්, වැඩබිම් සහ ගම් දනව් හා නගර පුරා මෙම සංවාදය රැගෙන යාමෙන් එය පොදු ජාතික කතිකාවක් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාවක් තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයටය. දේශපාලන ජීවිතයට වේගයෙන් කඩා වැදුණු රැඩිකල් තරුණ බලවේගයේ විවිධ කොටස්වලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවද එය සතුය. එබැවින්, නව ජනරජයක් උදෙසා වන නව සමාජ සම්මුතියක් පිළිබඳ සංවාදය සඳහා වේදිකාව ඉදි කරන්නට අන්තරය ඇතුළු ශිෂ්‍ය බලවේගයට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව ඔවුන් විසින් මග නොහරිනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි මැදිහත්වීමක්, ශිෂ්‍ය දේශපාලනය පිළිබඳව සෙසු සමාජ කොටස් අතර මෙතෙක් පැවති ඇතැම් නිශේධනීය ආකල්ප වෙනස් කිරීමටද ප්‍රබුද්ධ ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ ගෞවරණීය ආකල්පයක් වර්ධනය කිරීමටද හේතු වනු ඇත.


නව මැතිවරණයකට පෙර නව ජනරජයක්

අවසන් වශයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ වත්මන් ජනතා විරෝධය තම තමන්ගේ පක්ෂවල මැතිවරණ ජයග්‍රහණ බවට පරිවර්තනය කර ගන්නට හදිසි වන විපක්ෂයේ සියළු පක්ෂ එක්කෝ වත්මන් අරගලයේ විප්ලවීය ශක්‍යතා අවබෝධ කරගෙන නොමැති බවයි. නැතහොත්, ඔවුන් නියෝජනය කරන පැරණි දේශපාලනයේ සීමා තුළට වත්මන් ජන අරගලය කොටු කිරීමට ඔවුන් ප්‍රයත්න දරමින් සිටින බවයි. ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ඉල්ලා සිටින හදිසි මැතිවරණයක් සැබවින්ම කැඳවනු ලැබුවහොත්, එහි පළමු ප්‍රතිපලය වනු ඇත්තේ වත්මන් ජනතා ව්‍යාපාරයේ එක්සත්කම බිඳී යාමයි. එවිට විවිධ පක්ෂවලට සහාය දෙන කණ්ඩායම් අතර සාම්ප්‍රදායික තරඟය යළිත් ආරම්භ වනු ඇත. ජන අරගල දේශපාලනය පරයා මැතිවරණ දේශපාලනයේ න්‍යාය පත්‍රය පෙරට එනු ඇත. වත්මන් වාතාවරණය තුළ ක්‍රියාවට නැගෙන මැතිවරණ බල පොරයක් ඉතාම ප්‍රචණ්ඩ ස්වභාවයේ එකක් වීමට විශාල ඉඩක් තිබේ. අප ගණුදෙණු කරමින් සිටින්නේ ප්‍රබල මහජන විරෝධයක් හමුවේ වුවත් ගෙදර යාමට සූදානමක් නොමැති අධිකාරීමය පාලනාධිකාරයක් සමග බැවින් මැතිවරණ ප්‍රචණ්ඩත්වයක වියහැකියාව ඉතාම අධිකය.

වඩාත්ම වැදගත් කාරණය වන්නේ ජනතාවගේ ආර්ථික සහ සමාජයීය අයිතීන් තහවුරු කරන සම්මුතියක් සහ ජනතාවගේ ස්වාධීන නියෝජිත ආයතන ගොඩ නැංවීමට පෙර මැතිවරණයක් කැඳවනු ලැබුවහොත් ඉදිරියේ එන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ සමග ශක්තිමත්ව අභිමුඛ විය හැකි ජනතා බලවේගයක වර්ධනයට එය බාධාකාරී විය හැකි වීමයි. සජබ සේම ජාජබද අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය තවමත් පැහැදිලි නොමැති බැවින් ඉදිරි කාලයේදී වඩාත් තීරණාත්මක වන ආර්ථික ක්ෂේත්‍රයේ අරගලය සඳහා වැඩි විශ්වාසයක් තැබිය හැක්කේ පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නැගෙන ජන අරගල දේශපාලනය කෙරෙහිය.

එබැවින්, සැබෑ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් අපේක්ෂා කරන්නවුන්ගේ අද දවසේ සටන් පාඨය විය යුත්තේ පළමුව නව ජනරජයක් සඳහා වූ සම්මුතියක් ගොඩ නගා ගනිමු යන්නයි. ඉදිරි මැතිවරණය පැවැත්විය යුත්තේ එම නව සම්මුතිය පදනම් කොටගෙනය.

සුමිත් චාමින්ද | Sumith Chaaminda