සිංහල, Colombo, Gender, Human Rights, Peace and reconciliation

කමලාන් පිහෙල් ලියනගේ වජිරා වූවාය…!

ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි දෙවැනි දුවගෙ වයස අවුරුදු 14කි ඇයගේ වයස අවුරුදු 34 කි. ඇයට ස්තීර රැකියාවක් හො ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. දැනට ඇය ඉන්නේ මඩකළපුව මංගලාරාමයේ. එහි එළවළු කොටුව වැවිම,වතුර දැමීම,පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පහුම් ආදී බොහෝ වැඩ සිද්ධකරන්නෙ කමලාන් පිහෙල් නැතිනම් වජිරා අතිනි. මෙයින් තමයි ඇයත් ඇගේ දූවරු දෙදෙනාත් ජීවත් වන්නේ.


අක්ක කොහෙමද මෙච්චර හොදට සිංහල කතා කරන්නෙ? මම කතාවට මුල පිරුව ‛‛ මම හිටියේ අවිස්සාවේල්ලෙ.’’
ඒතකොට මෙහෙට ආවෙ කෙහොමද? ‛‛ මගේ ගම මඩකළපුවෙ කල්ලඩියේ මම දෙමළ.මම පොඩි කාලෙදීම මගේ තාත්තා නැතිවෙලා අපිව හැදුවෙ අම්ම. අපේ පවුලෙ හතර දෙනයි මම බාලයා මට අක්කල දෙන්නයි අයිය කෙනෙකුයි හිටිය. ඒ කාලේ මෙහේ හොදටම යුද්දේ තිබුනා මට මතකයි. අපි හිටියෙ හරිම බයෙන්.’’

‛‛මට හොදට මතකයි ඒ දවස. ඒ 1983 අවුරුද්ද. මගේ වයස එතකොට අවුරුදු 9යි. මම ගෙදරට ඕන කරන බඩු වගයක් ගේන්න කල්ලඩි ටවුමේ කඩේට ගියා. ආපහු එනකොට වෙඩි හඬවල් එක්ක මහ ගාලගෝට්ටියක් ඇහෙනව, හැමතැනම ඇහෙන්නෙ ලතෝනි හඬ. මම ගම පැත්තට දිව්ව මං දැක්ක මුළු ගමම ගිනි ගන්නව. ඒකම ගිනිගොඩක් හැමෝම පණ බේරගන්න දුවනව. මං කෑගැහුව අම්මවයි ගෙදර අයවයි හොයන්න. ඒත් ඒගොල්ලන් හිටියෙ නැහැ. ගමේ අනිත් අය කෑගැහැවුව දුවන්න කියල. ඒ නිසා මාත් අනිත් අයත් එක්ක පාර පැත්තට දිව්ව. මං පාර දිගේ දුවනකොට පාරේ ආපු ලොරියක් නවත්වල මාව ඒකට දාගත්ත. ඒ ලොරිය අම්පාරේ ඉදල ආපු එකක්. ඒකේ හිටියේ සිංහල මාමල දෙන්නෙක්. පස්සේ ඒ අය මාව කුරුණෑගල තිබුන එයාගෙ ගෙදරට එක්කගෙන ආව.’’

ගෙදර අයට මොකද උනේ කියල දන්නෙ නැද්ද? මං ඇගේ කතාවට බධාකලා
‛‛අම්මට අක්කලාට, අයියට මොනව උනාද කියල මම දන්නෙ නැහැ. මං හිතුවෙ ඒඅය ගින්නට අහුවෙන්න ඇති කියල. මාව ටික දවසක් කුරුණෑගල තියන් ඉඳල ඊට පස්සේ ගම්පහ ඉන්න ඒ මුදලාලිගෙ නෑදෑ වෙන ගෙදරකට එක්ක ගියා. ඒහේ තියෙන වැඩ පල කරගෙන මං අවුරුදු පහක් විතර එහේ හිටිය. එතකොට මං ලොකු ලමයෙකුත් වෙලා නිසා මාව තියාගෙන ඉන්න එක කරදරයි කියල දෙකටන ඉන්න ඒ අයගෙ නැන්ද කෙනෙකුගෙ ගෙදරට මාව පිටත්කරා. එයා ටිකක් වයසක කෙනෙක් තනියෙන් හිටියෙ. ඒහේදි මාව අවිස්සාවේල්ලෙ කෙනෙකුට කසාද බන්දල දුන්න. එයාගේ නම සරත් එතකොට මගේ වයස අවුරුදු 16යි නමුත් අවුරුදු 22 කියල හොරට වයස හදලයි මාව බන්දල දුන්නේ. මම ලියනගේ වජිරා උනේ එහෙමයි.‛‛
‛‛අපි කසාද බැඳල හොඳින් හිටිය මහත්තය බිස්නස් එකක් කලේ මඩකළපුවෙන් බඩු ගෙනල්ල විකුණන. මට දුවල දෙන්න හම්බවෙන කොට අපි ගෙයකුත් හැදුව අව්සසාවේල්ලෙ. ඒ අතර තුරේ මඩකළපුවට වෙළදාමේ ගිය මහත්තයා දවස් ගනනාවක් නෑවිත් හිටිය. කිසි ආරංචියක් තිබුනෙ නැහැ. නමුත් ටික දවසකට පස්සේ මහත්තයගේ මිනිය කඩුවෙල දිහා ගඩොල් වලක තිබිල හම්බ වුණා. මහත්තයගෙ ගෙදර අය කිවුවෙ මං මඩකලපුවේ නිසා එහේ අයත් එක්ක එකතුවෙලා මහත්තයව මැරුව කියල. ඒඅ ය මාව පොලීසියට අල්ලල දුන්න මහත්තයගෙ මරණෙට මාව සැකයි කියල. පොලීසියත් කිසිදෙයක් හොයන්නේ නැතිව මාව රිමාන්ඩ් කලා.ඒත් පරීක්ෂණ වලදි මං වැරදි නැහැ කියල ඔප්පු වෙච්ච නිසා මාව නිදහස් කළා. නිදහස් කළාට මට යන්න තැනක් තිබුනෙ නැහැ. මහත්තයගෙ පවුලෙ අය මාවයි දුවල දෙන්නවයි අපේ ගෙදරින් එලියට දැම්ම. යන්න එන්න තැනක් තිබුනෙත් නැහැ. මට සිංහල අය ගැන කිසි විශ්වාසයක් තිබුනෙත් නැති නිසා මං ඕන දෙයක් වෙන්න කියල මඩකළපුවට ආව. යන්න එන්න තැනක් නැති නිසා පංසලට ආවාම හාමුදුරුවෝ කිව්ව තියෙන දෙයක් කාල බීල පංසලේ ඉන්න කියල. පංසලේ වැඩ කරල හම්බවෙන දෙයින් තමයි දුවල දෙන්නට උගන්නන්නෙ. දුවල දෙන්න ගමේ ගෙදරක ඉන්නේ මං වැඩ කරල හවසට එහෙට යනව. මෙහේ ආවට පස්සේ ආරංචි වුනා අපේ අම්මයි අක්කලයි යාපනේ ඉන්නව කියල. ඒත් මට යාපනේට යන්න විදිහක් නැහැනේ. මම අම්මට ටෙලිපොන් එකේන් කතා කරා. අම්ම ලගට වත් යන්න තිබුන ඒත් දැන් යාපනේ යන්න පුළුවන් ප්ලේන් එකෙන් විතරයිනේ. මට කෙහෙන්ද එච්චර සල්ලි? ඇයට දැන් තියෙන්නේ එකම අරමුණයි. ඒ බලහත්කාරයෙන් ඇයගෙන් උදුරාගත් ඇගේ අයිතිය ඇගේ දූවරු දෙදෙනාට නැවත අරගෙන දීමයි. ඒ සඳහා ඇය කොළඹට පැමිණිය යුතුය. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ දකුණේ සිංහල මිනිසුන් ගැන ඈට කිසිදු විශ්වාසයක් නැති කමයි. ඒ හේතුවෙන් ඈ දැඩි ව්‍යාකූලත්වයකට පත්වී සිටින්නීය.
‛‛දුවල දෙන්නට කෙහොම හරි උගන්න ගන්න ඕන එක කරන්න ඒ දෙන්නට තාත්තා ගේ අයිතිය අරන් දෙන්නයි මට ඕන . මහත්තයට පුළුවන් නම් මට උදව් කරන්න අපේ ගේ අපිට අර ගන්න. ලොකු පිනක් ඒක.’’
පිහෙල් වෙනුවෙන් නැතත් වජිරා වෙනුවෙන් වත් අප සමාජය සාධාරණය ඉෂ්ඨ කරනු ඇතිද?

රසික පෙරේරා