iMage: newsradio.lk
ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය. එම බොරුව වංචාව සහ රැවටීම තුලින් මුළු රටම අන්ත අගාධයකට ඇද දමමින් රාජ්‍ය දේපල සොරා කන දේශපාලන සංස්කෘතියට එරෙහිව පසුගිය වකවානුවේ ඇතිවූ උද්ඝෝෂණ සහ නැගිටීම් වලින් කියා පෑවේ මෙම බොරුව තව දුරටත් රටට වහ කදුරු වී ඇති බවයි. එය ඉවසීමේ සීමාව පසු කරමින් තිබූ බව එම උද්ඝෝෂනයන් තුලින් පෙන්නුම් කළේය.
නමුත් මෙම උද්ඝෝෂන කෙරෙන් ලංකා දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ සිටින දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ යමක් ඉගෙන ගත්තා යයි සිතීම දුෂ්කරය. මා එසේ පවසන්නේ අද වන විට පාර්ලිමේන්තුව තුළ සිදු වන දේශපාලන බල අරගලය සහ රාජපක්ෂලාගේ වංචාකාරී කූට දේශපාලනය ආරක්ෂා කිරීම සඳහා පෙළ ගැසී සිටින විවිධ දේශපාලන බලවේග හැසිරෙන අයුරු දකින නිසාය. රටෙහි නොකඩවා ඇති වූ උද්ඝෝෂණය සහ රට පුරා පැතිරුණු අරගලයන්ගෙන් එක මොහොතකටවත් යමක් ඉගෙන ගත් බවක් එකී බලවේග සහ පුද්ගලයින් පෙන්නුම් නොකරයි.
‘ගෝඨා ගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ මෙන්ම රට පුරාම විවිධ නගරවල සහ ගම්මානවල එකදිගට පැතුරුණු රාජපක්ෂ ආණ්ඩු විරෝධය සහ අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා උද්ඝෝෂණ සහ සටන් වැදුණු ජනතාව පැවතුණු ආණ්ඩුව දෙදරවා හැරියේය. මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන මැරවරයින් ගේ ප්‍රචණ්ඩ හිංසනයට එරෙහිව රට පුරා නැඟුණු ප්‍රති-ප්‍රචණ්ඩත්වය හමුවේ මහින්ද රාජපක්ෂ කල්ලියට රහසේ පලා ගොස් හමුදා කඳවුරක සැඟවීමට පවා සිදු විය.
මහින්ද රාජපක්ෂගේ පලා යාමත් සමග ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිකම භාරගන්නා ලෙස විවිධ අයට පවසමින් කුඩා නාට්‍යයක් රඟ පෑවේය. විවිධ බුද්ධිමතුන් පවා එම නාට්‍යයේ කොටස්කරුවන් බවට දැන හෝ නොදැන පත්වී තිබුණි.
එම නාට්‍යය වූයේ දැන් රට ගොඩ ගැනීම කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුට බවයි. මේ වන විට අර්බුදය විසඳා ගැනීම පිණිස විවිධ යෝජනාවන් රටෙහි නීතිඥ සංගමය ඇතුළු කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාවන්ට රටෙහි පුළුල් පිළිගැනීමක් ඇතිවී තිබුණි. එම කාලය තුළ රටෙහි පොදු ජනතාවගේ ඉල්ලීම වූයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, තාවකාලිකව පත් කර ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් මාස හයක් වැනි කාලයක් තුළ මුලින්ම රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුකු බවයි. එමෙන්ම මෙම ආර්ථීක ප්‍රශ්න උග්‍ර වීමට මුල් වූ දේශපාලන හේතූන් වන දේශපාලන හේතූන් වලට පිළිතුරු සැපයිය යුතු බවද පොදු පිළිගැනීම සහ ඉල්ලීම විය.
එහිදී හිතුවක්කාර බලතල ලබා දෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රට තුළ නීතිය මත පාලනයක් ඇති කිරීම, නීතියේ ආධිපත්‍ය සහතික කිරීම, මහා පරිමාණ වංචා දූෂන සොයාබලා වැරදිකරුවන් නීතියේ රැහැණට හසු කිරීමට පියවර ගැනීම, ජනවාර්ගික ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් සැපයීම ආදී නොයෙක් කාරණා මෙම ඉල්ලීම් අතර විය.
නමුත් ඒ සියල්ල එසේ තිබියදීම රට තුළ උග්‍රවී ඇති ආර්ථික අර්බුදය නැතිනම් විදේශ විනිමය හිඟය විසඳිය හැකි එකම පුද්ගලයා ලෙස යම් යම් පිරිස් විශේෂයෙන්ම සමහර බුද්ධිමතුන් පවා හුවා දැක්වූයේ රනිල් වික්‍රමසිංහය.
මෙය අපට සුපුරුදු ආකාරයෙන් බොරුව ජනගත කිරීමක් මිස සැබෑවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මීට ප්‍රථම පස් වතාවක්ම අගමැතිවරයා ලෙස සිට ඇති අතර ඔහුගේ නොහැකියාවන් නිසාත් බොහෝ ප්‍රශ්න උග්‍ර වූ බවත් පසුගිය දේශපාලනය පෙන්නුම් කරනු ලැබීය. විශේෂයෙන්ම ඔහුගේ උග්‍ර නව ලිබරල්වාදී දැක්ම සමාජ, ආර්ථික අයිතීන් නොසළකා හැරියේය.
ඇත්තෙන්ම රට මෙතැනට පත්වූයේ මෙතෙක් දේශපාලන බලධාරීන් රට ගැන සිතනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික වාසිය සහ තම ගජමිතුරු ඥාති සංග්‍රහයේ දේශපාලනය කරගෙන ගිය බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් හිතුවක්කාරී වල්බූරු දේශපාලනයක් රටතුල ස්ථාපිත කිරීම හේතුවෙනි. මේ හේතු නිසාවෙන් රටෙහි මිනිස්සුන්ට හෝ ලෝක ජනයාට ලංකා දේශපාලන අධිකාරයේ බලය හොබවන කිසිවෙකු ගැන කිසිම විශ්වාසයක් නැතිව ගොස් තිබුණි. ඒ මේ අගාදයට රට පත් කළේ ඔවුන් නිසාවෙනි.
එසේ තිබියදී නැවතත් රාජපක්ෂ හිතවතුන් බලයට ගෙන එමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මෙතැනට පත්කර ගෙන ඇත. ඔහු සමග එකට සිටගෙන සිටින්නේ රටටම එපාවූ ප්‍රසන්න රනතුංග සහ වජිර අබේවර්ධන වැනි දූෂිත තක්කඩි රැලකි. මෙම දේශපාලනය කිසිසේත්ම මේ රටේ ජනතාව ඉල්ලා සිටි දේශපාලනය නොවන අතර මෙය තිබුණ පැරණි මජර දේශපාලනයම තව දුරටත් පවත්වා ගැනීමට කරන උත්සාහයක් පමණක් බව තර්ක කිරීමට දෙයක් නොවේ.
මෙහිදී අප සලකා බැලිය යුත්තේ රනිල් හැර වෙනකකු අගමැති තනතුරට පත්වූයේ නම් මෙයට වඩා රටට අහිතකර විය හැකි වූවේද යන්නයි. ඇත්තෙන්ම ලංකාව අද පත්වී තිබෙන තත්වය තුළ රාජපක්ෂලා ගෙන් තොර වෙනත් තාවකාලික සර්ව-පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත්තා නම් (පාර්ලිමේන්තුව තුළ සිටින සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකු අගමැති කරගනිමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ අයෙකු තාවකාලික ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් ) කිසිම වෙනසක් නැතිව වෙනත් රටවලින් ලැබෙන ආධාර අද පවතිනවාටත් වඩා හොඳින් ලබා ගැනීමටත් ඒ වාගේම පිටරටවල් වල දැනට ජීවත් වන මිලියන තුනකට වැඩි ලාංකිකයන්ගෙන් එක්තරා හෝ මුදලක් රට තුළට ගලා ඒමටත් ඉඩ තිබුණි. එහිදී යමකු කිව හැක්කේ අද පාර්ලිමේන්තුවේ තිබෙන බල තුලනය අනුව එහි සිටින මන්ත්‍රීන් එයට එකඟ වීමට ඉඩක් නොතිබුණූ බවයි. එසේ තර්ක කරන්නේ නම් එයින් කියවෙන්නේ මේ මන්ත්‍රීවරු මේ භූමියේ පවතින තත්වය මොහොතකටවත් වටහා ගෙන නොමැති බවයි.
ආර්ථික අර්බුදයෙන් සහ රට මේ පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට ක්‍රමවේදයන් සකස් කිරීම දීර්ඝකාලීනව කල යුතු දෙයක් වන අතර එය රනිල් හෝ වෙන කිසිවකු බලයට ආවා කියා කෙටියෙන් විසඳිය හැකි තත්ත්වයක නැත. බලයට එන මොනයම්ම රජයකට හෝ රටතුළ ඇති තත්වයෙන් එය ගොඩ ගැනීමට කාලයක් ගතවීම නොවැලැක්විය හැකිය. රටේ ජනතාවට පීඩාවන් තවත් කලකට හෝ ඉවසා සිටීමට සිදුවනු නොඅනුමානය. රටෙහි ජන විස්වාසය නැති රජයක් සමග මෙම ආර්ථික දුෂ්කරතාවල දී ජනතාවට පටි තද කර ගැනීමට සිදුවීමට එකඟ නොවනු ඇත. එය ඉදිරි කාලයේ විශාල කලකෝලාහල වෙත රට තල්ලු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
රනිල් සූත්‍රය යනු රාජපක්ෂලාගේ ගැලවුම් සූත්‍රයයි. නැතිනම් රාජපක්ෂලාගේ ගැලවිජ්ජාවයි. නැතිව එය ජනතාවගේ වුවමනාවන් රැකීමේ සූත්‍රයක් නොවන බව පැහැදිලිය. රනිල්ගේ හැකියාවන් පිළිබඳව ස්තෝත්‍ර ගීත ගායනා කරන්නේ සැබෑ තත්වයන් වටහා නොගන්නා හෝ වටහා ගැනීමට උවමනාවක් නොදක් වන්නාවූ හෝ රනිල් කෙරෙහි මානසික වහල් බැදීමක් ඇති පුද්ගලයින් බව මගේ විශ්වාසයයි.
මෙහිදී ද අපට පෙනෙන්නේ ලංකා සමාජයට හුරු වී ඇති ප්‍රථමයෙන්ම බොරුව සමාජගත කිරීමත් ඉන්පසු එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ උවමනාවන් (දේශපාලකයින්ගේ) ඉටුකර ගැනීමේ යටි අරමුණයි.
තම පටු උවමනාවන් ඉටුකරගැනීම සඳහා බොරුව ක්‍රියාත්මක කරවීම සඳහා දේශපාලන වාසි ලබාගැනීමට උසි ගන්වනු ලැබූ රටක ඉතිහාසයේ සිදුවීම් ගණනාවක් දෙස බලමු. නිදහසින් පසු ලංකාවේ දිගින් දිගටම බොරුව සමාජ ගත කරමින් නැති සතුරන් මතුකරමින් සමාජය භේදභින්න කරමින් විනාශය කරා මෙහෙයවනු ලැබුවේ මෙවැනි පෞද්ගලික දේශපාලන උවමනාවන් සඳහා පෞද්ගලික ලාභ සඳහා දියත් කළ දේශපාලනය විසිනි. අදටත් එය එසේම පවත්වා ගනිමින් පවතී.
උදාහරණයකට රටෙහි අසමමිතික සංවර්ධනය නැති කිරීමට සහ ප්‍රාදේශීය නො දියුණු භාවය නැති කිරීමට අවශ්‍ය බලය බෙදාහැරීමක්වන, සන්ධීය රාජ්‍ය ක්‍රමයක් ගැන කතා කළ විට, රට බෙදෙනු ඇත කියා බොරුවක් ගෙනහැර පාමින් මිනිසුන් තුළ බියක් මතුකර වැරදි දේශපාලනයක් දෙසට රට ගමන් කරවනු ලැබීය. එහි ප්‍රතිඵලය වන්නේ රට තුළ කැරලි ගණනාවක් ඇතිවී ලක්ෂ ගණනින් මිනිසුන් මිය යාමයි. දකුණේ කැරලි දෙකකුත් උතුරේ කැරැල්ල කුත් ඇති වන්නේ මෙම හේතුවෙනි.
රටෙහි සමාජ ක්‍රියාධරයන් මිනිස් අයිතීන් උල්ලංඝනය වීම ගැන කතා කරන විට ඔවුන් ඩොලර් සඳහා රට පාවාදෙන ද්‍රෝහීන් යයි නම් කරමින් ඔවුනට එරෙහිව ජනතාව උසි ගන්වා රජය විසින් එම සමාජ ක්‍රියාධරයින් මරා දමන තත්ත්වයකට පත්වන විට ජනතාව අත්පුඩි ගසන මට්ටමකට රට පත් කරනු ලැබීය. ඒ බොරුව සමාජගත කිරීමේ ප්‍රතිඵලයකි.
රට බේරා ගැනීමට යයි ගෝඨාභයව බලයට ගෙන එන්නේ රටේ ආරක්ෂාව තර කිරීමට ඔහු අවශ්‍ය බව පවසමිනි. එක්කෝ කොටි උවදුර නැත්නම් මුස්ලිම් උවදුර ආදී මෙකී නොකී බොරු වපුරමිනි. එහි ප්‍රතිඵල අද මුළු රටම අත් විඳිමින් පවතී. රට රකින විරුවා යයි නම් කරමින් ගෝඨාභය බලයට ගෙනා ජනයා මහමග ඔහුට බිම දිගාවී වඳින හැටිද නිලධාරීන් දනගසා වඳින හැටිද සමහරවිට ඔබට තාමත් මතක ඇත. එදා වැන්ඳ මිනිසුන් අද ඔහු ගැන කතා කරන්නේ ‘ගෝඨා ගෙදර පල’, ‘ගෝඨා පිස්සෙක්’ කියායි.
රට විශාල අර්බුදයකට ගොස් තිබෙන මොහොතක පාර්ලිමේන්තුවට රැස්වන රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් අදත් පොදුවේ මේ ප්‍රශ්න විසදා ගන්නවා වෙනුවට දෙපිලකට බෙදී සටන් කරන හැටි අපට දැකිය හැක. පොදුවේ රටේ ප්‍රශ්න විසඳීමට හැමෝම එක් වී රජයක් පිහිටුවනවා වෙනුවට ඔවුන් කරන්නේ තම තමන්ගේ මලු පුරවා ගැනීමේ දේශපාලනයක යෙදී සිටීම නොවේද?
නමුත් මොවුන් දැනගත යුතු තවත් කාරණයක් දැන් ඇත. ඔවුන්ගේ මෝඩ අනුගාමිකයින් හැරුණු විට රටෙහි විශාල ප්‍රමාණයක් විශේෂයෙන් ම තරුණ ජනයා ඔවුන්ගේ බොරුවලට තවදුරටත් නොරැවටෙනු ඇත.
ඔවුන් පාරේ අරගල කරමින් ඔවුන්ගේ මෙම බොරුවට මොවුන්ගේ මෙම වංචා සහගත ක්‍රියා පිළිවෙතට එරෙහිව දිගින් දිගටම සටන් කරමින් සිටී. එය මෙම රජයේ මෙතෙක් බොරුව ම සමාජගත කරමින් තිබූ දේශපාලනය වෙත කැරකී පාරාවළල්ලක් වී වදිනු නොඅනුමානය. නමුත් ඔවුන් සිතනුයේ තාම තමන්ට අර පැරණි බොරුවම එසේ නැත්නම් බොරු කියමින් රවටමින් බලයේ රැඳී සිටීමට හැකියාවක් ඇති බවයි. මගේ විශ්වාසය මේ වන විට ලංකා ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් මෙම බොරුවෙන් රැවටීමට නොහැකි තැනකට පත්වී ඇති බවය. ඔවුන්ට තමන්ගේ බුද්ධියෙන් කෙසේ වෙතත් ඔවුන්ගේ බඩ ඔවුනට සිතීමේ ශක්තිය ලබා දෙමින් පවතින බව මගේ විශ්වාසයයි.
ලංකා සමාජය තුළ සැමදාම බොරුව රජ කළ බොරුවෙන් විවිධ ගැටුම් ඇති කළ රටක් බව අප දන්නෙමු. අද එය හඳුනාගෙන එකිනෙකා සටන් නොකර වෛරය සහ ඊර්ෂ්‍යාව වෙනුවට ආදරය සහ සහයෝගීතාවය ආදේශ කර එකට අත්වැල් ගෙන එකට නැගී හිටියොත් අපේ ප්‍රශ්න අපට විසඳාගත හැකිබව පෙන්නුම් කරමින් පවතී.
ලංකා සමාජය තුල බොරුව ක්‍රියාත්මක වන අයුර පිළිබඳව ලංකාවේ උපත ලබා අද කැනඩාවේ ජීවත් වන ලොව ප්‍රකට ලේඛකයකු වන මයිකල් ඔන්ඩච්චි ඔහුගේ පවුල පිළිබඳ පොතෙහි අවසාන වදනින් ලංකා සමාජය ගැන කියා ඇති වැකියකින් මම ලිපිය අවසන් කරමි.
“ලංකාවේ මිනිසුන්ට සාධක සියයක් ගෙන හැර පෑවත් ඔවුන් එය විශ්වාස නොකරන අතර එක බොරුවක් කී විට එය පිළිගනිති.”
රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi